24 C
Colombo
Thursday, February 25, 2021

ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා...
More

    Latest Posts

    අමෙරිකාවේ 46 වැනි ජනපති ජෝ බයිඩන් වැඩ අරඹයි

    - Advertisement -

    මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිනයයි

    දිවුරුම් දීමෙන් අනතුරුව කියයි

    - Advertisement -

    අමෙරිකානු ඉතිහාසයේ පළමු කාන්තා උප ජනාධිපතිනී කමලා හැරිස්

    අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (20) දිවුරුම් දීමෙන් අනතුරුව වැඩ ආරම්භ කළ අවස්ථාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කොට තිබූ ඇතැම් ප්‍රධාන ප්‍රතිපත්ති කිහිපයක් ඉවත් කළේය.

    “අප හමුවේ ඇති අර්බුදයට මුහුණ දීමේ දී නාස්ති කිරීමට කාලයක් නැතැ“යි ද ඔහු දිවුරුම් දීම අවසන් කර ධවල මන්දිරයට පැමිණෙන අතරතුර ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් කීවේය.

    - Advertisement -

    බයිඩන් විධායක නියෝග 15කට අත්සන් කළ අතර, මේවා අතරින් කොරෝනා වසංගතයට අදාළ ෆෙඩරල් මැදිහත් වීම වර්ධනය කරන ඒවා රැසක්ම විය. අනිත් ඒවා කාලගුණික විපර්යාස සහ සංක්‍රමණවලට අදාළව ට්‍රම්ප් අස්සන් කර තිබූ අහිතකර ප්‍රතිපත්ති ආපසු හැරවීමේ නියෝග විය.

    ධවල මන්දිරයේ පිහිටි ජනාධිපතිවරයාගේ ඕවල් කාර්යාලයේ දී ඔහු වැඩවල නිරත වෙමින් අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළේය.

    මෙවර දිවුරුම් දීමේ උත්සවය වෙනදා පැවැත් වූ නිල දිවුරුම් දීමේ උත්සවවලට වඩා සීමිත විශේෂාංගවලින් යුක්ත වූ අතර, කොරෝනා වසංගතය නිසා මෙසේ සිදු කළ බව වාර්තා විය. එම උත්සවය කලින් දා කැපිටල් ගොඩනැඟිල්ලේ දී පැවැති අතර ඊට සහභාගී වූයේ සීමිත පිරිසකි. හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති මයික් ස්පෙන්ස්, හිටපු පළමු කාන්තාවක වන මිෂෙල් ඔබාමා, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු සම්භාවනීය පිරිසක් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූහ.

    - Advertisement -

    මේ අවස්ථාවේ කතා කළ අභිනව ජනාධිපතිවරයා පැවැසුවේ තමා දැන් ඡන්ද ලබාදුන් නොදුන් සැමදෙනාගේම එකම ජනාධිපතිවරයා වන බවයි. තවද රටේ වලපල්ලට ගොස් ඇති ප්‍රජාතන්ත්‍රවාදය නැවත ඇති කළයුතු බව ද ඔහු කීවේය.

    මේ අවස්ථාවේ මුළු ලොවම අප කරන්නේ කුමක්දැයි බලා සිටිනවා යැයි ද බයිඩන් කීවේය. අමෙරිකාව හමුවේ නව අභියෝග මතු වී තිබෙන බවත් ඔහු වැඩි දුරටත් කීවේය. “මිනිසුන්ගේ හඬට ඇහුම්කන් දී තිබේ, මිනිසුන්ගේ අධිෂ්ඨානයට සියල්ල අවනත වී තිබේ“ යැයි ද බයිඩන් වැඩි දුරටත් කීවේය.

    බයිඩන්ගෙන් අනතුරුව දිවුරුම් දුන්නේ ඔහුගේ උප ජනාධිපතිනී කමලා හැරිස්ය. ඇය අමෙරිකානු ඉතිහාසයේ පළමු කාන්තා උප ජනාධිපති වන අතර, ඉන්දීය සම්භවයක් ඇති අයකු ලෙස එරට දේශපාලනයේ වැඩිම දුරක් ඉදිරියටම පැමිණි තැනැත්තිය ද වේ.

    දිවුරුම් දීමේ උත්සවය සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 වලින් ආරක්ෂා වීමේ ක්‍රියාමාර්ගවලට මුල්තැන දෙමින් පැවැත්විණි. උත්සවයට සහභාගී වූ පූජකවරු, ප්‍රධාන අමුත්තන්, අනෙකුත් ඉදිරිපත් කරන්නන්, ගායකයන්, ආරක්ෂක නිලධාරීන් සියල්ලම මුඛ ආවරණ පැළැඳ දුරස්ථභාවය ආරක්ෂා කරමින් සිටියහ. නව පරපුරේ සම්මානලාභී කිවිඳියක වන අමන්දා ගෝමන් රසවත් කාව්‍යයක් ඉදිරිපත් කළ අතර, සුපිරි ගායිකා ලේඩි ගාගා ජාතික ගීය ගායනා කළාය. ජෙනිෆර් ලෝපස් සහ ගාර්ත් බෘෘක්ස් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව බයිඩන් මහතා සහ පළමු කාන්තාව ජිල් බයිඩන් මහත්මිය හැරිස් මහත්මිය සහ ඇයගේ සැමියා ඩග් එම්හොෆ් මිතුරන් සහ ආධාරකරුවන්ගේ සුබපැතුම් මැද පෙනසිල්වේනියා වීදිය ඔස්සේ ධවල මන්දිරය වෙත පාගමනින් ගමන් කළහ.

    බයිඩන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත් වූ “සෙලිබ්‍රේටිං අමෙරිකා“ නමින් හැඳින්වූ සංස්කෘතික සැදෑව ලින්කන් අනුස්මරණ ස්ථානයේ පැවැත් වූ අතර, එය ටොම් හෑන්ස්ක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බ්‍රෘෘස් ස්ප්‍රින්ස්ටීන්, ජෝන් ලෙජන්ඩ්, ජොන් බොන් ජොවී, ජස්ටින් ටිම්බර්ලේක් සහ ඩෙමී ලොවාටෝ මෙම අවස්ථාව වර්ණවත් කළහ. මේ සමඟම විසිතුරු ගිනි කෙලි සංදර්ශනයක් ද පැවැත්විණි.

    ට්‍රම්ප් පාලනය රටට සිදු කළ හානිය යථාවත් කොට රට පෙරට ගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමට නව විධායක නියෝග ඉදිරිපත් කරන බව ප්‍රකාශ විණි. අමෙරිකානු ජීවිත ලක්ෂ 4ක් බිලි ගත් කොරෝනා වසංගතයට විසඳුම් ලබාදීමට පියවර ගැනීම බයිඩන්ගේ පළමු රාජකාරී අතර ප්‍රධාන වේ.

    බයිඩන් පාලනය යටතේ ෆෙඩරල් ආණ්ඩුවට අයත් සියලුම ස්ථානවල දුරස්ථභාවය සුරැකීමටත්, මුඛ ආවරණ පැලැඳීම අනිවාර්ය කිරීමටත් පියවර ගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් ගත් තීරණය ද බයිඩන් ආපසු හැරවීය. තම පාලනයේ මුල් අවුරුද්දේ දින 100ක් ඇතුළත අමෙරිකානුවන් මිලියන 100කට කොරෝනා එන්නත් ලබා දීමට ද බයිඩන් තීරණයක් ගෙන ඇති අතර, මේ පියවර සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් ද අගය කළේය.

    තම පාලන කාලයේ දී දේශගුණික වෙනස්කම්වලට එරෙහි සටනට සහාය දෙන බව ද කී බයිඩන් මෙක්සිකෝව සමඟ ඉදිකිරීමට නියමිත දේශසීමා තාප්පය පිළිබඳ ද සුබවාදී ආකල්ප ඉදිරිපත් කර තිබේ. 2015 පැරිස් දේශගුණික ගිවිසුමට නැවත ඇතුළු වන බව ද බයිඩන් වැඩි දුරටත් පැවැසීය. ජනාධිපති ධූරයේ වැඩ භාරගනිමින් විදේශ රාජ්‍ය නායකයකු වෙත ඔහුගේ මංගල දුරකථන ඇමතුම ලබා දුන්නේ කැනේඩියානු අගමැති ජස්ටින් ට්‍රෘෘඩර්ටය.

    ජෝ බයිඩන්ට වසර 50ක් ඉක්මවූ දේශපාලන අත්දැකීම් ඇති අතර, ඔහු 2009 වසරේ සිට 2017 දක්වා අමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. විදේශ සම්බන්ධතා පිළිබඳ විශේෂඥයකු වන ඔහු සීත යුද සමයේ රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ අමෙරිකානු කණ්ඩායමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය.

    ජෝ බයිඩන් අමෙරිකාවේ සුළු ජාතීන්, කළු ජාතිකයන් සහ මධ්‍යම පන්තිය වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කරනු ඇතැයි විචාරකයෝ බලාපොරොත්තු පළ කරති. අවුරුදු 78ක් වයසැති බයිඩන් වැඩිම වයසින් අමෙරිකාවේ ජනාධිපති ධූරයට පත් වූ තැනැත්තාය.

    බුද්ධි කරුණාරත්න

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.