ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අභියෝග රැසක් සමඟින් අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහි දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට පිවිසෙයි.
තරග 2කින් සමන්විත තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවන බැවින් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකා පිල මේ තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. එමෙන්ම පිට පිට තරග පරාජයන් කිහිපයකට මුහුණදී සිටින බැවින් ඊට තිත තැබීමටත්, නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී මෙන්ම එංගලන්තය සමඟ පළමු තරගයේදීත් පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 4න් 3ක් පරාජය වී ඇති අතර, එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගෙන ඇත. ඒ සිම්බාබ්වේ පිල සමඟ පසුගිය වසරේ ජනවාරි මස පැවැති තරගයකි.
අනෙක් අතට එංගලන්ත පිල ශ්‍රී ලංකා තරග බිමේදී අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 5ම ජය ගැනීමට සමත්ව ඇති අතර, අවසන් වරට ශ්‍රී ලංකා පිල හමුවේ එංගලන්තය පරාජයට පත්ව ඇත්තේ 2014 වසරේ ජූනි මස ලීඩ්ස්හිදී පැවැති තරගයෙනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ළහිරු තිරිමාන්න (111), ඇන්ජෙලෝ මැතිව්ස් (71) සහ කුසල් ජනිත් (62) ලකුණු අතරට පිවිසීම යම් අස්වැසිල්ලක් වනු ඇත. වසර 7කට පසු තිරිමාන්න රැස් කළ මේ ශතකය හේතුවෙන් ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 12ක් ඉදිරියට ඒමට ද ඔහුට හැකි විය. කුසල් ජනිත් පෙරේරා ස්ථානය 9කින් ඉදිරියට පැමිණ තිබේ. තිරිමාන්න මේ වන විට 87 වැනි තැන පසුවන අතර, කුසල් 47 වැනි තැන රැඳී සිටී. මැතිව්ස්ට හිමිව ඇත්තේ 20 වැනි ස්ථානයයි.
හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසන්නේ කණ්ඩායමේ පිතිකරුවන් ඔවුන්ගේ ශක්තිය සහ ලකුණු රැස් කිරීම මත විශ්වාසය තැබිය යුතු බවයි. ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ද පවසන්නේ මැතිව්ස්ගෙන් අනෙක් පිතිකරුවන් පාඩමක් උගත යුතු බවයි. එසේ වුවහොත් තරගාවලිය සම කර ගැනීම අසීරු නොවන බව ද ඔහුගේ අදහස වී තිබේ.
එබැවින් මැද පෙළ පිතිකරුවන් වන නායක දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානකට අද තරගයේදී පිත්තෙන් වැඩි යමක් කිරීමට සිදු වනු ඇත. දිගින් දිගටම අසාර්ථක වී සිටි කුසල් මෙන්ඩිස් මේ තරගයෙන් ඉවත් කිරීම නිසා එම ස්ථානයට ආබාධයකින් සුව වී සිටින ඕෂධ ප්‍රනාන්දු පැමිණීමට වැඩි අවස්ථාවක් තිබේ. මැද පෙළ පිතිකරුවකු ලෙස රොෂේන් සිල්වා ද සංචිතය සමඟ සිටී.
ගාලු තණතීරුව දඟ පන්දු යවන්නන්ට වාසිදායක වන බැවින් ලසිත් ඇඹුල්දෙණිය, ඩිල්රුවන් පෙරේරා සහ වනිඳු හසරංගට මේ තරගයේදී වැඩි යමක් කළ හැකි වනු ඇත.
එංගලන්තයට එරෙහිව පළමු තරගයේදි කඩුලු 5ක් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 6ක් ඉදිරියට එමින් 47 වැනි තැනට පත්වීමට ද සමත් විය. අසිත ප්‍රනාන්දු (96) ස්ථාන 11ක් ඉදිරියට පැමිණ තිබේ.
ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නකු වන සුරංග ලක්මාල් අද තරගයට එක්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් බැවින් එහි ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන පසුවන එංගලන්තයට අවසන් තරග බලාපොරොත්තු තබා ගැනීමට මේ තරගාවලිය ජය ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.
මේ සංචාරයෙන් අනතුරුව එංගලන්ත ඉන්දීයාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වීමට නියමිතය. එබැවින් එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ අරමුණ වී ඇත්තේ මේ තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමය. එමඟින් සිය කණ්ඩායමේ ආත්මවිශ්වාසය ගොඩනඟා ගැනීමට මහත් පිටුවහලක් වනු ඇතැයි පවසන ඔහු ඉන්දීය පිලට මුහුණදීමට එය පහසු වනු ඇතැයි කියා සිටී.
පළමු තරගයේදී ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමට සමත් වූ ඩොම් බෙස්, ජැක් ලීච් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට අමතරව පන්දු බළඇණිය ශක්තිමත් කිරීමට ජේම්ස් ඇන්ඩර්සන්, ක්‍රිස් වෝක්ස් සහ ඔලි ස්ටෝන් ද සංචිතයේ රැඳී සිටිති. බෙස් පළමු තරගයේදී ලකුණු 130කට කඩුලු 8ක් දවාගත් අතර, ලීච් ලකුණු 177කට කඩුලු 6ක් බිඳ දැම්මේය. කොරෝනා වයිසරය ආසාදනය වීමෙන් පසු ඉන් සුවවී සිටින මොයින් අලී මේ තරගයට එක්වීම අවිනිශ්චිතය.