පුහුණුකරු කෙනචී යෂුසු හා මොටෝරියෝ කානෂිරෝ, රොයෝටා හයාෂී, චිකාරා තෂිරෝ ක්‍රීඩකයෝ ගුවන් තොටුපොළේදී.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වීමට සූදානම් වන වෘත්තීය පාපන්දු තරගාවලියට ක්‍රීඩා කරන සී හොක්ස් (නාවික) ක්‍රීඩා සමාජයට ජපානයෙන් පුහුණුකරුවෙක් හා ක්‍රීඩකයෝ තිදෙනෙක් ඊයේ ශ්‍රී ලංකාවට පැමියහ. ඔවුහු් දින 14ක නිරෝධායනය සඳහා කල්පිටියේ පිහිටි හෝටලයක් වෙත යොමු කෙරුණහ.
වෘත්තීය පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවේ මුල්වරට ක්‍රියාත්මක වන හෙයින් පෙබරවාරි 7 වැනිදා සිට පුහුණු තරගාවලියක් පවත්වා අප්‍රේල් 17 වැනිදා සිට තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත.
සී හොක්ස් (නාවික) ක්‍රීඩා සමාජයට ජපානයෙන් පැමිණි පුහුණුකරු හා ක්‍රීඩකයන් තිදෙනා මාස 6ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කොට තරගාවලියට එක්ව සිටින අතර, ඒ සඳහා මිලියන 30කට අධික මුදලක් ගෙවීමට සී හොක්ස් ක්‍රීඩා සමාජය කටයුතු යොදා ඇත. පුහුණුකරු කෙනචී යෂුසු ජපානයේ ප්‍රෝ ලයිසන් පුහුණුකරුවකු වන අතර, 1988දී නිව්යෝක් සිටි තරුණ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. 2012දී කිරිගිස්තාන පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂක ලෙස ඒ මහතා කටයුතු කළ අතර, එරට 16න් පහළ කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේදී ඔමාන් හා කටාර් ක්‍රීඩා සමාජ පරාජය කිරීමට සමත් විය. පසුව ඔහු අප්‍රිකානු ක්‍රීඩා සමාජයක හා කාම්බෝජියානු ක්‍රීඩා සමාජයක පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඔහු ජාත්‍යන්තර පාපාන්දු සම්මේලනයේ ගෝල් කීපර් පුහුණුකරු සහතිකය හා ගෝල් කීපර් ඩිප්ලෝමා සහතිකය ගෙන ඇත.
ජපානයෙන් පැමිණි ක්‍රීඩකයන් තිදෙනා වන්නේ මොටෝරියෝ කානෂිරෝ, රොයෝටා හයාෂී හා චිකාරා තෂිරෝ වෙති. මේ තිදෙනාම ජපානයේ පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.
අප්‍රේල් 17 වැනිදා ආරම්භවන වෘත්තීය පාපන්දු තරගාවලිය මැයි මාසයේදී ලෝක කුසලාන දෙවැනි වටයේ තරග පැවැත්වෙන හෙයින් තාවකාලිකව නවතා යළිත් ජූනි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
මේ තරගාවලිය මාස 7ක් පුරා පැවැත්විය යුතු අතර, තරග 90ක් ලීග් ක්‍රමයට සංවිධාන කර ඇත. ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂ 20ක් හා අනු ශූරයන්ට රුපියල් ලක්ෂ 10ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කෝටි 9කට අධික මුදලක් වැය කරන අතර, තරගාවලියට එක්වන කණ්ඩායම්වලට මුදල් හා අවශ්‍ය සියලු පහසුකම් දීමට කටයුතු යොදා තිබිණි.
ප්‍රින්ස් ගුණසේකර