24 C
Colombo
Tuesday, March 2, 2021

යුද හමුදා බසයක් වනවාසලදී දුම්රියේ ගැටෙයි

සෙබළුන්ට හානියක් නෑ කැලණිය සහ වනවාසල අතර තෙලඟපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ...
More

    Latest Posts

    එංගලන්ත සුද්දෝ තරගාවලියම සුද්ද කරති

    - Advertisement -

    ශ්‍රී ලංකාවට පිට පිට  සිවුවැනි ටෙස්ට් පරාජය

    දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ උදෑසන ආරම්භ වූ ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම පැය තුනක් ඇතුළත ලකුණු 126කට සීමා කළ සිය දඟපන්දු යවන්නන් ලකුණු 164ක පහසු ඉලක්කයක් ලබාදීම නිසා සංචාරක එංගලන්ත පිල දෙපිල අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ඊයේ තරගයේ සිවුවැනි දිනයේදීම කඩුලු 6කින් ජයගැනීමට සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත දෙපිල අතර ටෙස්ට් තරගමාලාවෙන් එංගලන්ත පිල තරග 2-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මෙය එංගලන්ත පිල ශ්‍රී ලංකා භූමියේදී අඛණ්ඩව ලැබූ දෙවැනි පූර්ණ ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය ද වේ. මීට පෙර අවසන් වරට 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත පිල තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 3-0කින් ජයගත්තේය.

    - Advertisement -

    පෙරේදා දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබා සිටි එංගලන්ත පිලේ අවසන් කඩුල්ල ඊයේ උදෑසන ඩිල්රුවන් පෙරේරා යැවූ දිනයේ තුන්වැනි ඕවරයේ පළමු පන්දුවෙන් බිඳ වැටුණේ එංගලන්ත පිලේ පළමු ඉනිම ලකුණු 344කට සීමා කරමිනි. ඒ අනුව ලකුණු 37ක වාසියක් සහිතව ඊයේ උදෑසන සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් එල්ල කළ එංගලන්ත පිලේ දඟපන්දු යවන්නන් වන ඩොම් බෙස් සහ ජැක් ලීච් කඩුලු 4 බැගින් බෙදා ගනිමින් ඉනිම අඩපණ කළ අතර, අවසන් කඩුලු දෙකක පිට පිට යැවූ පන්දු දෙකකින් බිඳ දැමීමට එංගලන්ත පිලේ නායක ජෝ රූට් සමත් විය.

    ඊයේ ආහාරය වන විට ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් සියලුදෙනාම ක්‍රීඩාගාරයේ නැවත අසුන් ගෙන සිටි අතර, මුළු ලකුණු සංඛ්‍යාව දිස් වූයේ කඩුලු 6කට 67ක් ලෙසිනි. අනතුරුව ශ්‍රී ලංකා ලකුණු 126කට දැවී ගියේ දිවා ආහාරයෙන් පැයක් ගත වීමටත් පෙරය. ඊයේ උදැසන 10.18ට ආරම්භ වූ ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම දිවා ආහාරය සඳහා වැය කළ කාලය හැරුණු විට පන්දුවට පහර දුන් කාලය පැය දෙකකුත්, මිනිත්තු 45ක් පමණි.

    ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේ පස්වැනි ඕවරය යැවීමට දඟපන්දු යවන ජැක් ලීච් කැඳවීමත් සමග ඉනිම කඩා වැටෙන්නට පටන් ගත්තේය. සිය දෙවැනි පන්දුවෙන්ම කුසල් ජනිත් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට ලීච් සමත් වූ අතර, එම දැවී යෑම රූපවාහිනි විනිසුරුවරයාට යොමු කිරීමට කුසල් කටයුතු කළ ද, ප්‍රතිඵලයේ වෙනසක් නොවීය. ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 19දී බිඳ දැමූ එංගලන්ත පිල මුළු ලකුණු සංඛ්‍යාව 29දී අංක 3 පිතිකරු ඕෂද ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කළේ ඩොම් බෙස්ගේ පන්දුවකිනි. අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 37දී තිරිමාන්න දවාලමින් ජැක් ලීච් සිය දෙවැනි කඩුල්ල අත්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම අනගි ශතකයකින් වර්ණවත් කළ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට බෙස් සමත්වූයේ පිතිකරු අන්දමන්ද කළ විස්මිත දඟ කැවීමක් සහිත පන්දුවකිනි. ඒ වනවිටත් ශ්‍රී ලංකා ඉනිම දිස් වූයේ ලකුණු 37ක් ලෙසිනි. දිනේෂ් චන්දිමාල්ට ද වැඩි වේලා පිටියේ රැඳී සිටීමට ජැක් ලීච් ඉඩ නොදුන් අතර, දිවා ආහාරයට පෙර යැවූ අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් නිරෝෂන් දික්වැල්ල දවාලීමට බෙස් සමත්වූයේ තරගයේ පාලනය මුළුමනින්ම එංගලන්ත පිල අත තබමිනි.

    - Advertisement -

    දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල ලකුණු 67කට කඩුලු 6ක්ම අහිමි කරගෙන සිටියේය. ඒ වනවිට ශ්‍රී ලංකා පිල එංගලන්තයට වඩා ලකුණු 104ක් ඉදිරියෙන් පසු විය. පළමු ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක නිරතව ලකුණු 67ක් රැස් කළ ඩිල්රුවන් පෙරේරා දිවා ආහාරයෙන් පසු යැවූ දෙවැනි ඕවරයේදී ඩොම් බෙස්ගේ සිවුවැනි ගොදුර බවට පත් විය.

    එංගලන්ත පළමු ඉනිමේදී කඩුලු 7ක් දවාලූ ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයට ජීවයක් එක් කරමින් වේගවත් පිතිහරඹයක නිරතවීම කැපී පෙනුණි. ඔහු අංක 10 ස්ථානයෙන් පිටියට පැමිණ ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 40ක් රැස් කළේ පන්දු 42කිනි. ඊට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුළත් විය. සුරංග ලක්මාල් සමග එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 48ක සම්බන්ධතාවක් ගොඩ නැගූ ඇඹුල්දෙණිය ඊයේ රැස් කළේ ඔහුගේ ටෙස්ට් තරග දිවියේ පමණක් නොව ක්‍රිකට් දිවියේ ද ඉහළම ලකුණු සංඛ්‍යාවය.

    ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේ සියලු කඩුලු එංගලන්ත පිලේ වේගපන්දු යවන්නන් හමුවේ බිඳ වැටුණ ද, දෙවැනි ඉනිමේ සියලු කඩුලු බිඳ වැටුණේ දඟපන්දු යවන්නන් හමුවේය.

    - Advertisement -

    ලකුණු 164ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිලේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනකු දවාලමින් ඊයේ ඇඹුල්දෙණිය සිය ටෙස්ට් තරග දිවියේ පළමු වරට තරගයක කඩුලු 10 සම්පූර්ණ කරමින් තවත් වාර්තාවක් තැබීමට සමත් විය. එංගලන්ත පිලේ පළමු කඩුලු 4ම ලකුණු 89ක් ඇතුළත බිඳ වැටීමෙන් පසු ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලි නොදැවී ලකුණු 56ක් ද, ජොස් බට්ලර් නොදැවී ලකුණු 46ක් ද රැස් කරමින් එංගලන්ත පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේ පස්වැනි කඩුල්ලට ලකුණු 75ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩනගමිනි.

    තරගයේ වීරයා සම්මානයත්, තරගාවලියේ වීරයා සම්මානයත් දෙකම එංගලන්ත පිලේ නායක ජෝ රූට් දිනා ගත්තේය.

     

    ශ්‍රී ලංකා පළමු ඉනිම – 381යි. (ඕවර 139.3) ඇන්ජෙලෝ මැතිව්ස් 110, නිරෝෂන් දික්වැල්ල 92, ඩිල්රුවන් පෙරේරා 67, දිනේෂ් චන්දිමාල් 52 (ජෙම්ස් ඇන්ඩර්සන් 40/6, මාක් වුඩ් 843)

    එංගලන්ත පළමු ඉනිම – 344 යි (ඕවර 116.1) ජෝ රූට් 186, ජොස් බට්ලර් 55, ඩොම් බෙස් 32 (ලසිත් ඇඹුල්දෙණිය 137/7)

    ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම

    කේ. පෙරේරා ක.මු.ක. ප. ලීච් 14

    එල්. තිරිමාන්න ඇ.ක්‍රවුලි ප. ලීච් 13

    ඕ. ප්‍රනාන්දු ඇ.ක්‍රවුලි ප. බෙස් 3

    ඒ.මැතිව්ස් ප. බෙස් 5

    ඩී.චන්දිමාල් ඇ.ඇන්ඩර්සන් ප. ලීච් 9

    එන්. දික්වැල්ල ඇ.ලෝරන්ස් ප. බෙස් 7

    ආර්.මෙන්ඩිස් ඇ.බට්ලර් ප. ලීච් 16

    ඩී.පෙරේරා ඇ.ක්‍රවුලි ප. බෙස් 4

    එස්. ලක්මාල් නොදැවී 11

    එල්. ඇඹුල්දෙණිය ඇ.බෙයාර්ස්ටොව් ප. රූට් 40

    ඒ.ප්‍රනාන්දු ප. රූට් 0

    අතිරේක 4

    එකතුව සියලුදෙනා දැවී (ඕවර 35.5) 126

    කඩුලු බිඳ වැටීම – 1-19, 2-29, 3-37, 4-37, 5- 47, 6-66, 7-70, 8-78, 9-126

    පන්දු යැවීම – ඇන්ඩර්සන් 2-0-6-0 , කරන් 2-0-9-0 , බෙස් 16-1-49-4 , ලීච් 14-1-59-4, රූට් 1.5-1-0-2

    එංගලන්තය දෙවැනි ඉනිම

    එසෙඩ්. ක්‍රවුලි ඇ. ඕෂද ප. ඇඹුල්දෙණිය 13

    ඩී. සිබ්ලි නොදැවී 56

    ජේ. බෙයාර්ස්ටොව් ක.මු.ක. ප. ඇඹුල්දෙණිය 29

    ජෝ රූට් ප. මෙන්ඩිස් 11

    ඩී.ලෝරන්ස් ඇ. දික්වැල්ල ප. ඇඹුල්දෙණිය 2

    ජේ. බට්ලර් නොදැවී 46

    අතිරේක 7

    එකතුව කඩුලු 4ක් දැවී (ඕවර 43.3) 164

    කඩුලු බිඳ වැටීම – 1-17, 2-62, 3-84, 4-89

    පන්දු යැවීම – ඇඹුල්දෙණිය 20-3-73-3, ඩිල්රුවන් 13.3-1-39-0, මෙන්ඩිස් 10-0-48-1

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.