ගල් ගුහා සිතුවම් මානව ශිෂ්ටාචාරයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් හැටියට විද්‍යාඥයෝ සලකති. ඒ අනෙකක් නිසා නොව එමඟින් මිනිසාගේ බුද්ධි මහිමය, සන්නිවේදන හැකියාව, ලිවීමේ හැකියාව, චින්තනය යනාදී කාරණා රාශියක් පිළිබිඹු වන බැවිනි. මානව ශිෂ්ටාචාරයේ සිතුවම් පිළිබඳ සාකච්ඡාවට නැවත පණ පොවන්නට සමත් ගුහා සිතුවමක් සොයා ගන්නට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. මේ සිතුවම සොයාගෙන තිබෙන්නේ ඉන්දුනීසියාවෙනි. විද්‍යාඥයන් පවසන අන්දමට එය වසර 45 500කට පළමුව මිහිමත වාසය කළ මානවයන් අඳින ලද ගුහා සිතුවමකි.
රතු පැහැති මැටි
ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනේ ‘ලෙඇන්ග් ටෙඩොන්ග්එන්ගේ’ (Leang Tedongnge) නැමැති ගල් ගුහාවේ තිබී සිතුවම විද්‍යාඥයන් සොයාගෙන ඇත. එම සිතුවමෙන් දැක්වෙන්නේ වල් ඌරකු බව විද්‍යාඥයෝ පවසති. රූපයෙන් දැක්වෙන වල් ඌරා ජීවමාන වල් ඌරකුගේ ප්‍රමාණයට සමාන ය. ගල් ලෙන් බිත්තියෙහි සෙන්ටිමීටර 136ක් දිගැති සෙන්ටිමීටර 54ක් පළලැති පරාසයක් පුරා සිතුවම නිර්මාණය කෙරී ඇත. අඟක් වැනි ව්‍යූහයක් යොදා වල් ඌරාගේ රුව නිමවා ඇති බැවින් එයින් නිරූපණය වන්නේ පිරිමි ජීවියකුගේ රුවක් බැව් පර්යේෂකයන්ගේ අනුමානය. පැහැදිලිවම පෙනෙන්නට තිබෙන සත්ත්ව රුවට පිටුපසින් එහෙත් තරමක් ඉහළින් මිනිස් අත්ල සටහන් දෙකක් දක්නට පුළුවන. එයට අමතරව ප්‍රධාන රූපයට ආසන්නයෙන් තවත් ජීවීන් දෙදෙනකුගේ රූප තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි සිතුවම් කොටස් දැකිය හැකිය. සමස්ත සිතුවම පැහැ ගැන්වීම සඳහා රතු පැහැති මැටි යොදා සකසා ගත් වර්ණ, ආදී මානවයා භාවිතයට ගෙන ඇති බව අනාවරණය වේ. ඒ අනුව මෙය ලොව පැරැණිතම රූපික වශයෙන් පැහැදිලි සත්ත්ව රූප සහිත ගුහා සිතුවම හැටියටත් සැලකිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මිනිස් ඛේටය
සිතුවමේ දැක්වෙන වල් ඌරා අනෙක් ඌරන් සටන් කරනු නරඹන බවක් හෝ අනෙක් වල් ඌරන් දෙදෙනා අන්තර් ක්‍රියාවක යෙදෙනු නරඹන බවක් හෝ නිරූපණය වන්නේ යැයි විද්‍යාඥයෝ කියා සිටිති. අත්ල සටහන් පැහැ ගැන්වීමේ දී මිනිස් ඛේටය ද යොදාගන්නට ඇතැයි සමහර විද්වත්හු පවසති. සිතුවම් මත අඩංගු වර්ණක කොටස් පර්යේෂණයන්ට භාජනය කළ හොත් ඒ බැව් අනාවරණය කරගන්නට විද්‍යාඥයන්ට ඉඩ ලැබේ. එම අනාවරණයන් අනුව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද පවත්වන්නට ඉඩ ලැබෙන බව ඔවුහු පවසති.
සිතුවම මත කැල්සයිට් තැන්පතුවක් දක්නට ලැබුණු බව විද්‍යාඥයෝ සඳහන් කරන්නෝ ය. සිතුවම කවර කාලයක දී අඳින ලද එකක් ද යන්න නිර්ණය කිරීම සඳහා යුරේනියම් සමස්ථානික කාල නිර්ණ පරික්ෂාව යොදා ගත් බව සඳහන් වේ. කාල නිර්ණ පරික්ෂාව සිදු කර තිබෙන්නේ කැල්සයිට් තැන්පතුව සම්බන්ධයෙන් මිස සිතුවම සම්බන්ධයෙන් නොවේ. සිතුවම, කැල්සයිට් තැන්පතුවට වඩා පැරැණි බව විද්‍යමාන වේ. කැල්සයිට් තැන්පතුව වසර 45 500ක් තරම් පැරැණි යැයි තහවුරු වන බව පර්යේෂකයෝ අනාවරණය කරති. ඒ අනුව සිතුවම ඇඳ තිබෙන්නේ එම සමයේම විසූ මානවයන් බවට ඔවුහු උපකල්පනය කරන්නෝ ය. ඒ අනුව දැනට අනුමාන කෙරෙන්නේ මෙම සිතුවම ඇඳ තිබෙන්නේ මෙයට වසර 45500කට පමණ ඉහත දී වාසය කළ ආදී මානවයන් බවය. එකී උපකල්පන සැලකිල්ලට ගත් විට ගල් ගුහාවේ සිතුවම් ඇඳ තිබෙන්නේ නූතන මානවයාගේ ආදි පරම්පරාවල විසූ මානවයන් බව කිව හැකි ය.
නූතන මානවෙයා්
“මේ සිතුවම ඇඳ තිබෙන්නේ නූතන මානවයන්. එම මානවයන් හැඩ රුව අතින් වර්තමානයේ ජීවත් වන මානවයාට සමානයි. සිතුවමක් ඇඳීමට අවශ්‍ය ධාරිතාව සහ මෙවලම් ඔවුන් සතුව තිබුණා…” යැයි මෙම පර්යේෂණයට හවුල් වූ විද්‍යාඥ මැක්සිමී ඕබර්ට් ‘සයන්ස් ඇඩ්වාන්සස්’ ජර්නලයට විද්‍යා ලිපියක් ලියමින් සඳහන් කරයි.
වසර හතළිස් පන්දහසකටත් වඩා කාලයක සිට මිනිසා සිතුවම් කලා ගැන දැනගෙන සිටි බව මෙයින් සනාත වේ. සමහර විට එයටත් වඩා වැඩි කාලයක සිට මිනිසා සිතුවම් කලා ගැන දැනගෙන සිටින්නට ඇතැයි කියා ද කෙනෙකුට විශ්වාස කරන්නට පුළුවන.
සුලවෙසි දිවයින
ඉන්දුනීසියාවේ වොලාසියා දූපත් මානව සංචාරණයේ ඉතා වැදගත් භූමියක් හැටියට සැලකෙයි. එම දූපත් පිහිටා තිබෙන්නේ ආසියා සහ ඕස්ට්‍රේලියා මහාද්වීප අතර මුහුදු කලාපයේ ය. ආසියාවෙහි ජීවත්වුණු නූතන මානවයාගේ ආදිතමයන් ඕස්ට්‍රේලියා මහාද්වීපයට සංක්රමණයවීමේදී වොලාසියා වෙත පැමිණ එහි සිට ඔස්ට්‍රේලියාවට පය තබන්නට ඇතැයි කියා මතයක් ගොඩනැඟී තිබේ. වොලාසියා දූපත් සමුහයට සුලවෙසි දූපත ද අයත් ය. මේ නිසා සුලවෙසි දූපත මානව සංචාරණයේ මෙන්ම මානව ශිෂ්ටාචාර ගොඩනැඟීමේදී ද ඉතා වැදගත් වුණු භූමි භාගයක් හැටියට සැලකිය හැකි ය.
ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනෙන් සොයා ගත් මේ සිතුවම නූතන මානවයාගේ බුද්ධිය, සන්නිවේදන හැකියාවන් ආදී බොහෝ දේ ගැන පවසන නිර්මාණයක් බවට විවාදයක් නැත. එසේ වූවත් එය මානවයා අඳින ලද ලොව පැරැණිතම ගුහා සිතුවම නම් නොවේ. දැනට සොයාගෙන ඇති ගුහා සිතුවම් අතරින් පැරැණිතම ගුහා සිතුවම හැටියට සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ බ්ලොම්බොස් ගල් ගුහාවෙන් (Blombos Cave) සොයා ගන්නා ලද සිතුවම් ය. එම සිතුවම් ඇඳ තිබෙන්නේ මෙයට වසර හැත්තෑ තුන් දහසකට පමණ ඉහත දී මිහිමත වාසය කළ මානවයන් බව විද්‍යාඥයෝ පවසති. එම සිතුම්වල දැක්වෙන්නේ ඉතා සියුම් කතිර ලකුණු සමූහයකි.
BBC ඇසුරෙනි
මංජුලා විජයරත්න