දේශීය සෝයාබෝංචි වගාකරුවන්ගේ අස්වැන්න සඳහා වෙළෙඳපොළක් ලබා දෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉහළ ගුණත්වයෙන් යුක්තව දේශීයව නිෂ්පාදිත උමේගා සෝයා තෙල් නිෂ්පාදන රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් ඊයේ(27) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති, නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවයේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය.
රට තුළ වාර්ෂිකව වගා කෙරෙන සෝයා බෝංචි අක්කර හැට දහසක වුවද අස්වැන්නභාවිතයෙන් සෝයා තෙල් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයක් පවතින United Agri Ventures ආයතනය පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ දේශීය සෝයාබෝංචි වගාකරුවන්ට සිය අස්වැන්න අලෙවි කරගත නොහැකි අවස්ථාවකදී එම අස්වැන්න ඉලක්ක කරගනිමින් බිහිවූ United Agri Ventures ආයතනය මඟින් නිෂ්පාදිත මෙම සෝයා තෙල්, දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම තුළින් වාර්ෂිකව සෝයා තෙල් ආනයනය කිරීම සඳහා වන බිලියන ගණනක වියදම අවම කිරීමටත්, සෞඛ්‍යයට ඉතා හිතකර වන බැවින් පාරිභෝගිකයාගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමටත් හැකියාව ලැබෙනවා.
දැනට වෙළෙඳපොළ පවත්නා මිලට වඩා අඩු මිළකට රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සෝයා තෙල් පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු සලසා ඇති ආකාරය පැහැදිලි කරමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ දේශීය වගාකරුවන්ගේ අස්වැන්න භාවිතයෙන් නිසි ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් සියයට සියයක්ම දේශීය වශයෙන් සිදු කෙරෙන නිෂ්පාදන කටයුත්තක් වනඅතර එම සෝයා තෙල් අලෙවිය රාජ්‍ය වගකීමක් ලෙස සලකනු ලබනවා. එතුළින් පාරිභෝගික ජනතාවගේ සුව පැවැත්මත්, දේශීය සෝයා බෝංචි වගාකරුවා දිරිමත් කිරීම හා දේශීය සෝයාතෙල් නිෂ්පාදකයා දිරිමත් කිරීම යන අරමුණු සියල්ලම සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව මෙමඟින් සැලසෙනවා.
එමෙන්ම පොල්තෙල් සඳහා ආදේශකයක් වශයෙන් සෝයාතෙල් භාවිතයට ජනතාව හුරු වීමේ ප්‍රතිඵල වශයෙන් නිරෝගී හා සෞඛ්‍යසම්පන්න වීමත්, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අමතරව පොල් සඳහා පවතින ඉහළ මිළ පාලනය සඳහා ද හැකියාව ලැබෙනු ඇති බව ඇමැතිවරයා සිහිපත් කළේය.
මෙහිදි ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ඉල්මි හේවාතුඩගේ මහත්මිය විසින් සෝයාතෙල් භාවිතයේ වැදගත්කම හා එහි ඇති සෞඛ්යාරක්ෂිත බව පිළිබඳව අදහස් දැක්වූවාය.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති, United Agri Ventures ආයතන ප්‍රධානීතුමා සහ එම ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
අනුර ප්‍රේමලාල්