දෙවන බැඳුම්කර වෙන්දේසියේ දෙවන දිනදී රාජ්‍ය බැංකු තුනකට රුපියල් මිලියන 200කට අධික මුදලක් පාඩු කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව අධිචෝදනා 22ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට යයි.
විත්තිකරුවන්ට එරෙහි එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිවරයා ඊයේ (15) අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
මෙම නඩු කටයුත්ත ස්විශේෂී නඩු කටයුත්තක් ලෙස සලකමින් එය විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමට නීතිපතිවරයා එසේ අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.
2016 මාර්තු මස 31වැනිදා සිදුවූ මෙම දෙවන බැඳුම්කර වෙන්දේසියේ දෙවැනි දිනයේදී ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉකිරිකිරීමේ බැංකුව යන බැංකුවලට මෙලෙස පාඩු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සූදානම් වෙයි.
පර්පචුවෙල් ටෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් එහි අධ්යක්ෂවරුන් වන කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, චිත්‍ර රන්ජන් හුලුගල්ලේ, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් පුංචිහේවා හා ඉන්දික සමන් කුමාර යන විත්තිකරුවන්ට එරෙහිව එසේ නඩු පැවරීමට යයි.
කුමුදු හෙට්ටිආරච්චි
The article first published on dinamina.lk ⋆෴⋆