24 C
Colombo
Friday, February 26, 2021

දුම්රිය ටිකට් පත්වලට ජපානයෙන් කඩදාසි

Author(s): සුභාෂිණී සේනානායකදුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා යොදා ගන්නා ඝනකම් කඩදාසි මිලියන 30ක් ජපානයෙන් ගෙන්වීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා දිනමිණට ඊයේ (25)...
More

    Latest Posts

    දෙවරක්ම සමීප වූ මරණයට තුන්වැනි වර පැරදුණු ජයලාල් රෝහණ

    - Advertisement -
    පෙබරවාරි 18, 2021

     

    කොවිඩ්19 වසංගතය නිසා ශ්‍රී ලංකාව වසා දැමීමත් සමඟ රංගශාලා වැසී නාට්‍යවේදීන් නිවෙස්වලට කොටු වී අක්‍රියව සිටි යුගයක ප්‍රේක්‍ෂකයන්, නාට්‍යවේදීන් රංගශාලාවට කඳවාගෙන ඒම සදහා ටවර් හෝල් රඟහල පදනම දියත් කළ “ප්‍රේක්‍ෂා” නාට්‍ය උලෙළ මඟින් ප්‍රේක්‍ෂකයන් තුළත් නාට්‍යවේදීන් තුළත් යම් බලාපොරොත්තුවක් ඇති කිරිමට අපට හැකිවුණි. එම නාට්‍ය උලෙළේ වේදිකා ගත වුණ ජයන්ත චන්‍ද්‍රසිරිගේ “හංකිති දහතුන” නාට්‍යය ප්‍රේක්‍ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් නාට්‍යයක් වුයේ එය ජයන්ත චන්‍ද්‍රසිරිගේ නාට්‍යයක් වූ නිසාම නොවේ. එම නාට්‍යයේ රංගන දායකත්‍වය ලබාදුන්, ශ්‍රීයන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු සහ ජයලාල් රෝහණ යන රංගනවේදින් තම භුමිකාවන්ට ලබාදුන් ප්‍රතිභා පුර්ණ රංගනය නිසාය. එයින් ජයලාල් රෝහණයන්ගේ නගරාධිපති චරිතය බොහෝ දෙනෙකුගේ හද බැඳ ගැනිමට සමත්වුයේ ජයලාල්ටම ආවේණික රංග ශෛලියකින් එම චරිතය නිරූපනය කළ නිසාය.

    - Advertisement -

    එම නාට්‍ය උලෙළේම වේදිකාගත වුණ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ “සුදු සහ කළු” නාට්‍යයේ නැම්බියාවේ ග්‍රෝත්‍රික පොලිස් ප්‍රධානිගේ චරිතය රඟපාමින් ප්‍රකට කළ විශේෂ රංගන කුශලතාවය දකින්නෙකුට අමතක නොවනු ඇත.

    ජයලාල් රෝහණ 2021 වසරේ පෙබරවාරි 11 වෙනි දින තම භුමිකාව රඟපා නිම කර දිවි කරළියෙන් බැස ගියේ අනපේක්‍ෂිත අවස්ථාවකය. එය දිනපතා ප්‍රවෘත්ති තුළින් දකිද්දී අප අතරින් සමුගන්නා අප නාදුනන කොරෝනා මරණ ගැන දගින් දිගටම ඇසීම නිසා මරණයේ සංවේදි ස්වභාවය අපගෙන් ඈත්ව තිබුණත් මෑත කාලයේ අප අතරින් සමුගත්, මියුරි සමරසිංහ, එඩ්වින් ආයරිදාස, තෝමස් තිලනකරත්න වැනි වියපත් ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සමුගැනිම වේදනාවක් විය. එමෙන්ම ජයලාල් රෝහණ 56 වැනි වියේදි හිටි හැටියේම අපෙන් සමුගත් බව ඇසීම දැඩි කම්පාවට හේතුවක් විය.

    ඔහු මුහුණු පොතේ නළුවෙක් නොවීය. රූප ශෝභාවෙන් විරාජමාන වූ ප්‍රේමණිය පෙනුමක් ඇති නළුවෙක් හෝ මැරවර පෙණුමක් ඇති දුෂ්ට චරිත රඟන නළුවෙක්ද නොවිය. ඔහු කවරෙකු හෝ සමඟ තරග නොකළාක් මෙන්ම ඔහුට කිසිම රංගන ශිල්පියෙකු අභියෝගයක්ද නොවිය. කෝට්ටේ ආනන්‍ද ශාස්ත්‍රාලයෙන් ඉගෙන ගෙන සමාජයට පිවිසි ඔහු තම මව රැක බලා ගනිමින් ඇයගේ ජීවිතයට ආලෝකයක් ලබා දීම බලාපොරොත්තුව කරගත්තෙකි. වැඩමුළුවක දේශනයකට ගිය මට මෙයට වසර 40 කට පමණ පෙර ඔහුව හඳූනාගන්නට ලැබුණි. එදා හඳූනාගත් හැඩි දැඩි දඩබ්බර කටකාර මැර පෙණුමක් තිබුණු අසම්මත තරුණයා මා මෙහෙයවූ ශ්‍රී ලංකා සොවියට් මිත්‍රත්‍ව මන්දිරයේ සති දෙකක වැඩමුළුවේදී ක්‍රියාශිලි විනයගරුක නායකත්‍වයට ගරු කරන එහෙත් හැඩි දැඩි කටකාර තරුණයෙකු බවට පත්වුණි.

    - Advertisement -

    නාට්‍ය ක්‍ෂේත්‍රයට අවශ්‍ය හිතුවක්කාර දඩබ්බර අසම්මත තරුණ තරුණියන් බව මගේ විශ්වාසයයි. එයට හේතුව ඔවුන් නව ලෝකයක් සොයා ගමන් කරන අය නිසාය. ඔවුන් එක් තැනක නොසිටින එක් ගුරුකුලයකට අයත් නැති දැණුම සහ අත්දැකීම් සොයා ගමන් කරන අයවළුන්ය.

    1986 මා නිර්මාණය කළ “හිට්ලර්” නාට්‍යයේ ජර්මන් සොල්දාදුවාගේ චරිතය මම ජයලාල්ට භාරදුන්නේ ඔහුගේ මැර ගතිය නිසාත්, කටකාරකම් නිසාත්ය. තම නාට්‍යයේ වේදිකා කළමණාකාරිත්‍වය ඔහුට භාරදුන්නේ ඔහු තුළ සිටි සාර්ථක කළමණාකරුවා මා හඳුනාගත් නිසාය. ඔහු තම චරිතය ප්‍රේක්‍ෂාගාරය කීරි ගැසෙන්න මැනවින් නිරූපණය කළේය. ඉතා සංකීර්ණ වේදිකා පසුතල සහිත හිට්ලර් නාට්‍යයේ වේදිකා පරිපාලනය නළු නිළියන්ට කිසිදු ගැටලුවක් නොවන්න මැනවින් කළමණාකරණය කළේය. නාට්‍ය වේදිකාගත කරන්න ආසන්නව තිබියදී ඔහු අධ්‍යක්‍ෂ වූ මා ඇතුළු බාහිර පුද්ගලයන් සියලු දෙනාම වේදිකාවෙන් ඉවත් කළ හැටි මගේ මතකයේ ඇත.

    “හිට්ලර්” නාට්‍යයේදී 13 හැවිරිදි ඈන්ට තම ගිනි අවියේ බලය පා බලහත්කාරකමක් කරන්නට සුදානම් වෙද්දී කාමරයේ සැඟවි සිට කඩා පනින පිරිස ආවේගශිලි ලෙස සොල්දාදුවා මරා දමා සිරුර ගඟට ඇද දමයි. හිට්ලර් නාට්‍යය වේදිකා ගත වුණ දර්ශන සිය ගණනකදී ජයලාල්ගේ ගෙල මිරිකා මරා කැලයට දමන්න ඇදගෙන යද්දී වේදිකාව අඳුරුවන හැම මොහොතේම විහිළුවක් කියමින් ජයලාල් නැඟී සිටියත් දිවි කරළියේ ඔහුට යළි නැඟී සිටිමට නොහැකි වීම මහත් වේදනාවකි.

    - Advertisement -

    මෙයට වසර 12 කට පමණ පෙර සවස 7.00 ට පමණ මට දුරකථනයෙන් කතා කළ අයෙකු කියා සිටියේ ජයලාල් කෝච්චියේ හැපී කොළඹ ජාතික රෝහලට ගෙනා බවයි. ආරංචිය ලත් සැණින් හදිසි අනතුරු දැඩි සත්කාර ඒකකයට ගියේ ජයලාල්ට සිදුවුණ අනතුර නිසා කැඩි බිදි ගිය සිරුරක් දැකිමේ බලාපොරොත්තුවෙනි. හෙදියකගේ අවසරයෙන් කොළ පාට කබායක් සහ හිස්වැසුම් සහ පාවහන් දාගෙන මම දැඩි සත්කාර ඒකකයට ගියත් ජීවිතයත් මරණයත් අතර සටන් කරන රෝගින් කීපදෙනා අතර ජයලාල් සොයා ගත නොහැකි විය. එහෙත් හෙදියගෙන් විමසු විට මට පෙන්වූ ජයලාල් අදුනාගත නොහැකි තරමට ඉදිමී ඇඟ පුරා බට දමා යන්ත්‍රයක් ඇසුරෙන් හුස්ම ගන්නා යාන්ත්‍රික මිනිසෙකු වී තිබුණු අයුරු දුටු මම තැති ගත්තෙමි. එම අවස්ථාවේම ජයලාල් ශල්‍යාගාරයට ගෙන යන ලද අතර, ඉතා අවිනිශ්චිත බවකින් ට්‍රොලිය පසුපස ගිය මට ඇසුණු ජයලාල් හුස්ම ගන්නා බියකරු හඬ නිසා ජයලාල්ගේ අවසන් විනාඩි කීපය මෙයදැයි සැකයක්ද ඇති වුණි. ශල්‍යාගාරයට ළඟට ගිය පසු ඔක්කෝම ගිහින් හෙට උදේ එන්න. හෙදියන් කියා දොර වසා දමන ලද හෙයින් මම නිවෙසට ආවේ නරක ආරංචියක් කොයි වෙලාවේ හෝ අසන්නට නොලැබේවා යන සිතුවිල්ලත් සමඟය. එයට විනාඩි හතළිස් පහකට පමණ පසු රොජර් සෙනෙවිරත්න කථා කර කීවේ ජයලාල්ගේ තත්ත්‍වය හොඳ අතට හැරෙන බවයි.

    වේදිකාවමත වාර දෙතුන් සියයක් මිය ගිය ජයලාල් මරණය අභියසට ගොස් නැවත ආවේ අප අතර බලාපොරොත්තු රැසක් තබාය. ඔහු යළිත් රඟපෑමට එක්වුණි. ටෙලි නාට්‍ය රැසක අතිශය දක්‍ෂ රංගන ශිල්පියෙක් ලෙසින් ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් අතර, “නිව්ස් පේපර්” ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් සිනමාව ජය ගත්තේය.

    ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරුන් රැසකගේ නාට්‍ය රැසක රඟපෑ වේදිකාවේ රංගනය පිළිබඳ සම්මාන පමණක් නොව, වේදිකා පසුතල නිර්මාණ, රංගාලෝක නිර්මාණ, අංග රචනා, ඇඳුම් නිර්මාණ, වේදිකා කළමනාකාරිත්‍වය, නාට්‍ය රචනය නිෂ්පාදනය යන ක්‍ෂේත්‍ර සියල්ලෙන්ම සම්මානයට පත් විය. ඔහු රඟපෑ නාට්‍ය අතර, සුභ යස, පණ්ඩුකාභය, වර්ණ, සෙනෙහෙබර ඩොලී, වැනිසියේ වෙළෙන්දා හිට්ලර්, විකල් සමයම, යක්‍ෂාගමනය, උත්තමාවි, ජුරිය, පාදඩයා, උක් දඬු ගින්න, සොක්‍රටීස්, හෙණ මැක්බත්, කැලණි පාලම, හංකිති දහතුන, ඩොන්ගෝලා ඇතුළු නාට්‍ය රැසකි. ඔහු 1992 යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් කළ“ලෝකා” නාට්‍යයේ හොඳම නළුවා ලෙස ජයලාල් සම්මානයට පත් වුණ අතර, හොඳම නිළිය වුයේ රසාදරි පීරිස්ය. ප්‍රසාද් සුරියආරච්චි ජුරියේ විශේෂ සම්මානයක් දිනාගත් අතර, එම උලෙළේ සම්මාන රැසක්ම ජයලාල් අත්පත් කර ගන්නා ලදි.

    සුසිරන්ද සිල්වාගේ “ඉසුරු යෝගය“ ටෙලි නාට්‍යය ජයලාල්ගේ රංගනය වෙනස් මඟකට හරවන ලද නාට්‍යයකි. සුමති නාට්‍ය උලෙළේ හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත් ජයලාල් සම්මාන ඇතත් නැතත් චරිතය කෙබදු චරිතයක් වුවත්,එය අවබෝධයකින් රඟපාමින් චරිතයට සාධාරණයක් කරන්නට මහත් කැපවීමක් කළ රංගන ශිල්පියෙකි.

    ජයලාල් ඉගෙනිමේ ක්‍රියාවලිය නොකඩවා කරගෙන ගිය අතර, උපාධිය ලබාගන්නා තෙක්පමණක් නොව විවිධ විෂයන් පිළිබඳ සොයා ගොස් දැණුම එකතු කරගන්නට ඔහු තරම් වෙහෙසුණ අන් අයකු මම නොදිනිමි. ඔහු යමක් ඉගෙන ගන්නට අවශ්‍යවූ විටක එය පසුපස හඹා යන්නට ඒ පිළිබඳ ලියවුණු පොත්, එකතු කරන්න, විද්වතුන් සොයා ගෙන යමින් දැණුම රැස් කරන්නට දැක්වුයේ නොතිත් ආශාවකි.

    ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්‍යවරයකු ලෙස කටයුතු කළ බවත්, විශ්ව විද්‍යාල කීපයකට ආරාධිත දේශකයකු ලෙස කටයුතු කරන බවත් මම අසා ඇත්තෙමි.

    ඔහු රංගාලෝකය පිළිබඳව ඉගෙන ගත්තේ සහය රංගාලෝක ශිල්පියෙක් ලෙසින් ලුම්බිණිය ඇතුළු රංග ශාලා කීපයක රංගාලෝක ශිල්පින්ට සහය වෙමින් කට්ටක් කා ගෙනය.

    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඔප දැමු වේදිකාවට ඔහු පිවිසෙන්නේ බොරළු පිරුණු පිට්ටනිවල විදි නාට්‍ය රඟපාමින් ලබාගත් අත්දැකීම් සමඟය. එනිසා ඔහු ජනතාවගේ රංගන ශිල්පියෙක් විය.

    ඔහුගේ පළමු නාට්‍යය වන “ලෝකා” විනිශ්චය මණ්ඩලයේ සුගතපාල ද සිල්වා, මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර සමඟ මමත් කටයුතු කළෙමි. එයට වසර ගණනාවකට පසු එම විනිශ්චය මණ්ඩලයට මා වෙනුවට ජයලාල් කටයුතු කරන ලද අතර, සුගතපාල ද සිල්වා මහතා අසනීප වන විටත් නාට්‍ය විනිශ්චය කටයුතු කළේ ජයලාල් සමගය.

    ජාතික තරුණ සේවා සභාවේ යොවුන් රඟහල විවෘත කිරිමෙන් පසු නාට්‍ය කරුවන්ට එය ලබා ගැනිමට හැකි බව ප්‍රචාරය කිරිමට කළ යුත්තේ කුමක්දැයි සභාපති චරිත් රත්වත්ත මහතාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති සාකච්ඡාවකදී විමසන ලද අතර, නාට්‍ය උලෙළක් පැවැත්වීමට මම යෝජනා කළෙමි. අවසානයේදී එය ඉටු කිරිමද මට පැවරුණි. එහිදී යෞවන සම්මාන දිනූ “ලෝකා” පළමු දින පෙන්වන නාට්‍යය ලෙසත් දෙවැනුව මංගල සේනානායකගේ “කිරට අඬන සප්පයෝ”, නාට්‍යයත් තෙවන දිනයේ ජයලාල් ඇතුළු තරුණයන් පිරිසක් රඟපාන හිට්ලර් නාට්‍යයත් වේදිකාගත කිරිමට කටයුතු කරන ලදි. ඉතා සාර්ථක නාට්‍ය උලෙළක් ලෙස හැඳීන්විය හැකි එම උලළේදි පළමු දිනයේ වේදිකාගත වුණු ජයලාල් රෝහණගේ ලෝකා නාට්‍යය මෙම රඟහලේ වේදිකාගත වුණ පළමු නාට්‍ය ලෙස වාර්තාගත වන්නේය.

    ශ්‍රී ලංකාවේ රංගන ශිල්පින් කෙතරම් හිටියත් ස්වාධින රූපවාහිනියේ විකාශය වන “දොර මඬලාව” විද්වත් කතිකාවට කැඳවූ රංගන ශිල්පීන් කීප දෙනා අතර, ජයලාල්ට ප්‍රමුඛ තැනක් නිතැතින්ම හිමිවන්නේ එම වැඩසටහන තුළ නාට්‍යමය ස්වරූපයකින් ඔහුටම ආවේණික අයුරින් කරුණු දැක්වීම නිසාය.

    ඔහු ගැන විශේෂයෙන් සඳහන් කළයුතු කරුණක් වන්නේ නාට්‍ය හා රංගකලා ගුරුවරයෙකු ලෙස ඔහු ලබා ඇති කිර්තිනාමයයි. නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්නට උපාධි ලබන්නට ඔහු වාසනාව නොලැබුවත්, ඔහුගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙනගත් බොහෝ දෙනෙක් නාට්‍ය හා රංග කලාව හදාරන්නට විශ්වවිද්‍යාල වරම් ලබන්නට වාසනාව උදාකරගත් බව මම දනිමි.

    ඔහු දන්නා දේ කියා දෙන්නට රට වටේම යමින් වැඩමුළු පවත්වමින් කළා වූ මෙහෙවර නාට්‍යවේදියෙකු ලෙසින් මම අගය කරමි. ගුණාත්මක නාට්‍ය කලාවක් සඳහා ඔහු ජීවිතයෙන් වැඩි කාල පරිච්ඡේදයක් වෙන් කරන ලද්දේ දරුවන් දෙදෙනා බලා ගැනිම් කටයුතු ආදරණිය බිරිඳ මේනකාට පවරමිනි. ඇයද ජයලාල් රෝහණයන්ට යහපත් පතිනියක්ම වුවාය.

    මා සිතා සිටියේ මා අවසන් ගමන් යන දිනක මා ගැන වචන කීපයක් ජයලාල් ලියාවි කියාය. එහෙත් අප අතර, ඔහුගේ ගුණ සුවඳ තියා මට වඩා වයසින් අඩු ඔහු අප අතහැර ගොස් ඇත.

    ත්‍රස්තවාදින් පිටකොටුවේ බෝගස අභියස පුපුරවා හැරි බෝම්බයෙන් යන්තම් දිවි ගලවා ගත්, දුම්රිය අනතුරින් යාන්තමින් දිවි ගලවා ගත් ජයලාල් මෙවර තම නිවසේදීම තම ආදරණීය බිරිඳ මේනකා අභියස අවසන් ගමන් යන්නට සිතන්නට ඇත්තේ මරණය සැනසිලිදායක ලෙස වැලඳ ගැනිමෙහිලා අවශ්‍යතාවය නිසාදැයි මම නොදනිමි.

    වසර 40 කට පෙර මාගෙන් ඉගෙනගත් ඔබගෙන් බොහෝ දේ මම ඉගෙන ගත්තෙමි. “සබේ විදුලි විලක්කුව”, “සැබෑ මුහුණේ වෙස් මුහුණ”, “හඬ විදුම” වැනි නාට්‍ය හා රංගකලා විෂයෙහි ප්‍රායෝගික අංශය පිළිබඳ ඔබ ලියා ඇති කෘති තවත් කලක් අප රට විද්‍යාර්ථින්ට මෙන්ම නාට්‍යවේදින්ටද අත්පොත් වන්නේමය.

     

     

    ජයලාල් රෝහණ සොයුර

    ඔබට නිවන් සුව අත්වේවා !

     

    නීතීඥ ඩග්ලස් සිරිවර්ධන

     

    අධ්‍යක්‍ෂ ජනරාල් – ටවර් හෝල් රඟහල පදනම

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.