24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    කොවිඩ් එන්නත ආරක්‍ෂාකාරියි – දුර්මතවලට රැවටෙන්න එපා!

    - Advertisement -

    ප්‍ර: ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් ලබාදීම වැදගත්ද?

    පි: බෝ වන රෝග වැළැක්වීම සඳහා භාවිත වන ඵලදායකම ක්‍රමය එන්නත්කරණය බවයි ප්‍රතිශක්තිකරණවේදීන් පෙන්වා දෙන්නේ. එහි වටිනාකම වසර ගණනාවක දිගු කාලයක් පුරා ඔප්පු වී තිබෙනවා. එන්නත් මඟින් අප ශරීර තුළ නිෂ්පාදනය වන ප්‍රතිදේහ සහ tසෛලවලින්  ප්‍රතිශක්තිකරණ පද්ධතිය සතු රෝග බීජවලට ඔරොත්තු දීමේ හැකියාව අතිශයින් ඉහළ නැංවෙනවා.

    - Advertisement -

    ප්‍ර; මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද?

    පි: ඒක ආරක්ෂණ ක්‍රමයක්. පරසතුරු ආක්‍රමණයක් ඉදිරියේ ඊට මුහුණදීමට රටවල් සන්නද්ධ හමුදාවන් පවත්වා ගැනීමට එය සමාන කරන්න පුළුවන්. නමුත් එකවරම සතුරන් විනාශ කිරීමට කිසිම හමුදාවකට බැහැ. එය සිදු කෙරෙන්නේ පියවරෙන් පියවරටයි. සිරුරට ඇතුළු වන වයිරස් හෝ බැක්ටීරියා වැනි සතුරු විසබීජ සමඟ සටන් කිරීමට ප්‍රතිදේහ, සුදු රුධිරාණු ආදිය තිබෙනවා. විසබීජ ශරීරගත වූ විට ඒ සමඟ සටන් කිරීමට එම ‘භටයන්’ පෙළගැසෙනවා. හමුදාවක මෙන්ම මෙම කටයුත්තටත් සම්බන්ධීකරණ ක්‍රියාදාමයක් තිබෙනවා.

    ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් නම්, එය මැනවින් ක්‍රියාත්මක වෙනවා. නමුත් යම් දුර්වලතා ඇතොත් මේ හමුදාවත් විකාර ලෙස කටයුතු කිරීමේ ඉඩක් තිබෙනවා. අපේ ශරීරයේම සෛලවලට පවා එය ප්‍රහාර එල්ල කරන්නට පුළුවන්. විසබීජ නොවන, එහෙත් තමන්ට දිරවන්නේ නැති ආගන්තුක සෛලවලට තර්ජනය එල්ල කරන්නට ස්වයං පෙලඹීමක් (autoimmunity analogy) ඇති වෙන්නට පුළුවන්. එවැනි අවස්ථා අප හ¾දුන්වන්නේ අසාත්මිකතාවක් ලෙසයි. ඉන් අදහස් වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් වැරදීමකින් පීලි නොපනින ලෙස නිසි පාලනයට නතු කරගත යුතු බවයි.

    - Advertisement -

    ප්‍ර: සාමාන්‍යයෙන් එදිනෙදා අප ශරීර තුළට ඇතුළු වන රෝගකාරක හානිකර විසබීජ රැසක් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් විනාශ කරනු ලබනවා නේද?

    පි: අනිවාර්යයෙන්ම. අපේ උපතේදී සිට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩ වඩාත් ශක්තිමත් වෙමින් හානිකර විසබීජවලින් අපට ආරක්ෂාව සලසනවා.

    ප්‍ර: එහෙම නම් අපට ප්‍රතිශක්තිකරණ එන්නත් අමුතුවෙන් අවශ්‍ය ඇයි?

    - Advertisement -

    පි: පුද්ගලයකුට ආසාදනයක් ඇති වුණාම ඊට හේතු වූ රෝගකාරක විසබීජය සමඟ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සටන් වදින බව ඉහතදීත් සඳහන් කළා. මේ ක්‍රියාදාමයේදී තමන් යෙදුණු සටන පිළිබඳ පළපුරුද්දක මතකයක් මෙම පද්ධතිය තුළ ඉතිරි වෙනවා. ඒ නිසා පසු අවස්ථාවක එම රෝගකාරකය නැවතත් ශරීරයට ඇතුළු වුවහොත් වඩාත් කාර්යක්ෂමව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියි.

    එන්නත් මඟින් ඉටු කෙරෙන්නේ මෙම තත්ත්වය කෘත්‍රිම ලෙස පද්ධතියට ලබාදීමයි. ප්‍රතිශක්තිකරණ එන්නතක් පද්ධතිය හ¾දුනාගන්නේ විසබීජ ආක්‍රමණයක් ලෙසයි. ඒ නිසා ඊට එරෙහිව එය ක්‍රියාත්මක වෙනවා. එහෙත් ඇත්තටම සතුරු ආක්‍රමණයක් සිදු වී නැහැ. නමුත් මේ පිළිබඳ මතකය පද්ධතිය තුළ ඉතිරි වෙනවා. එය යුද පෙරහුරු අභ්‍යාසයකට සමාන කරන්න පුළුවන්. පසුව ඇත්තටම රෝගකාරකය ශරීරයට ඇතුළු වුවහොත් පහසුවෙන් විනාශ කිරීමේ හැකියාව එවැනි පද්ධතියකට ලැබෙන්නේ ඒ ආකාරයටයි.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මඟින් සිදු වන්නේත් මෙයමයි.

    ප්‍ර: වයිරසයක් මිනිස් සෛලවලට ප්‍රහාර එල්ල කරන්නේ කොහොමද?

    පි: වයිරසයකට ශරීරයක් තුළ වර්ධනය වීම සඳහා සජීවී සෛලයක් අවශ්‍යයි. ඒ සඳහා වයිරසය විසින් සෛලය සතු යම්කිසි දුර්වල ලක්ෂණයක් යොදාගනු ලබනවා. ආක්‍රමණිකයා ‍ෙදාරටුවක් හදාගන්නේ එහෙමයි.

    යම් රටක ආරක්ෂාව භාර මර්මස්ථානයක පහසුවෙන් යටත් කරගත හැකි දුර්වලයකු හෝ පාවා දෙන්නකු සිටිනවා නම් පරසතුරන්ට ඒ රට පහසුවෙන් ආක්‍රමණය කරන්න පුළුවන්. වයිරසයක් යොදා ගන්නෙත් ඊට සමාන උපක්‍රමයක්. කොව්ඩ් වයිරසය ගැන සැලකුවොත් එහි මතුපිට ඇති තුඩු විශේෂයකට පුළුවන් සෛලයක් සමඟ බන්ධනයක් ඇති කරගැනීමට. ACE2 නමැති මෙය ප්‍රෝටීන විශේෂයක්. මෙම බන්ධනය හරහා සෛලය තුළට වයිරසය විසින් තමා පිළිබඳ තොරතුරු දත්ත ඇතුළත් දූතයකු යවනවා. මෙය හැඳින්වෙන්නේ RNA ලෙසයි. මේ ආකාරයෙන් එම සෛලය අවනත කරගන්නා වයිරසය එහි සිට යාබද තවත් සෛල කරා ආක්‍රමණය මෙහෙයවනවා. මෙය හයිජැක් කිරීමකට සමානයි.

    ප්‍ර: නමුත් මෙතරම් විනාශයක් කරන වයිරසයක් යනු සෛලයක්වත් නෙවෙයි නේද?

    පි: ඔව්. ඒ නිසා තමයි වයිරසයකට පැවැත්ම සඳහා සජීවී සෛලයක් අවශ්‍ය වෙන්නේ.

    ප්‍ර: ඒ විදියට වයිරස් ආක්‍රමණයකින් පුද්ගලයකු ආසාදනය වුණාම මොකක්ද මුලින්ම වෙන්නේ? 

    පි: වෛද්‍ය විද්‍යාත්මකව මෙය සංකීර්ණ ක්‍රියාදාමයක්. නමුත් තාක්ෂණික යෙදුම් අවම කරලා සාමාන්‍ය පාඨකයකුට වුවත් තේරුම්ගත හැකි වන පරිදි මෙය විස්තර කරන්නම්.

    යම් පුද්ගලයකුට තමා ආසාදනයකට බ¾දුන් වී ඇති බව වැටහෙන්නේ සැලකිය යුතු ප්‍රමාණයකට රෝග ලක්ෂණ පහළ වූ පසුවයි. නමුත් න්‍යුට්‍රොෆිල්ස්, සුදු රුධිරාණු ආදිය ඒ වනවිටත් සටන අරඹා තිබෙනවා. ප්‍රතිදේහ නිෂ්පාදනයත් ආරම්භ වෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි එන්නතක් ලද වහා ප්‍රතිශක්තිකරණය ඇති නොවෙන්නේ. ඒ සඳහා කාලය අවශ්‍යයි.

    ප්‍ර: ආසාදනයක් නිසා රෝග ලක්ෂණ පහළ වීම ගැන තව දුරටත් පැහැදිලි කළොත්?

    පි: වයිරසයක් හෝ බැක්ටීරියාවක් ඔබේ සිරුර ආක්‍රමණය කරලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී ශරීරයේ වේදනාවක් සහ උණුසුම ඉහළ යෑමක් අත්දකින්නට පුළුවන්. ප්‍රතිශක්තිකරණ හමුදාව තම ඒකකවලට මෙන්ම සෛලවලටත් දැනුම්දෙනවා සතුරු ආක්‍රමණයක් සිදුවී ඇති බව. මේ සන්නිවේදනය සිදු වන්නේ cytokines නමැති රසායනිකය මාර්ගයෙනුයි. මෙම රසායනිකය නිසා වේදනාව සහ උණ වර්ධනය වෙනවා. තමා ආසාදනයකට ලක් වී ඇති බවට රෝගියාටත් ඒ මඟින් අවබෝධයක් ලැබෙනවා. sarscovid2 නිසා මේ රෝග ලක්ෂණ අධික ලෙස පෙන්නුම් කෙරෙනවා.

    ප්‍ර: කොවිඩ් එන්නත ලැබීමෙන් පසු ප්‍රතිදේහවලට ශරීරය දක්වන ප්‍රතිචාරය කෙබ¾දුද?

    පි: ප්‍රතිදේහ ගැන බොහෝ පිරිසක් කතා කරනවා. නමුත් වයිරසයට එරෙහිව සටන් කරන t, cd4, cd8 වැනි සෛල වර්ග ගණනාවක් තිබෙනවා.

    ප්‍ර: අපගේ ශරීර ආරක්ෂා කරන එම සෛල වර්ග අප තුළම නිෂ්පාදනය වෙනවාද?

    පි: ඔව්. t සෛල සහ b සෛල නිෂ්පාදනය වෙන්නේ ඇටමිදුලු තුළ. ඉන්පසු t සෛල හදවත අසල පිහිටි තයිමස් ග්‍රන්ථිය කරා ගොස් එහිදී රුධිර සංසරණ පද්ධතියට එක් වෙනවා. නමුත් b සෛල කෙළින්ම රුධිරයට මුසු වෙනවා.

    ප්‍ර: කොවිඩ් වයිරසයට එරෙහි ප්‍රතිදේහ අපේ ශරීර තුළ ස්වාභාවිකව නිෂ්පාදනය නොවන්නේ ඇයි? එන්නත් හරහා එය ලබාගත යුත්තේ ඇයි?

    පි: ඔබ කොවිඩ් වයිරසයට ආසාදනය වුණොත් ඒ ප්‍රතිදේහ සහ t සෛල ඔබ තුළම නිෂ්පාදනය වෙනවා. නමුත් ගැටලුව වන්නේ ඉහත සඳහන් කළ ලෙස ඒ සඳහා යම්කිසි කාලයක් ගත වීමයි. අනෙක් අතට අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ තරබාරුව වැනි ලක්ෂණ ඇති අයට මෙහි අවදානම වැඩියි. තත්ත්වය බරපතළ රෝගීන්ට රෝහල්ගත වීමට සිදු වෙයි. මෙය බි්‍රතාන්‍යයේ රෝහල් පද්ධතියට පවා ඔරොත්තු දුන්නේ නෑ.

    යම් රටක ජනගහනයෙන් සියයට 60ත් 80ත් අතර පිරිසක් ප්‍රතිශක්තිකරණය සහිත වුවහොත් වයිරසය එරට තුළ ව්‍යාප්ත වීම බොහෝදුරට පාලනය වෙනවා. අප මෙම තත්ත්වය හ¾දුන්වන්නේ ‘සාමූහික ප්‍රතිශක්තිය’ ලෙසයි. සියයට සියයකට ප්‍රතිශක්තිය ඇති කිරීම ප්‍රායෝගිකව කළ නොහැකියි.

    කෙසේ වෙතත් මුලින්ම එන්නත් ලබාදෙනු ඇත්තේ අවදානම් කණ්ඩායම් සඳහායි. පසුව අනෙක් පිරිස්වලට අවස්ථාව ලැබෙනු ඇති.

    යම් ප්‍රජාවක ආසාදන ව්‍යාප්තිය වැඩි වුවහොත් එක්තරා කාලයකට පසු ඉතිරිව සිටින අයගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ස්වාභාවිකව ඉහළගොස් ඇති ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. නමුත් එන්නත්කරණය මඟින් රෝගය ව්‍යාප්ත වීමේ දාමය මුලින්ම බිඳ දැමීමට පුළුවන්. එමඟින් වැඩි විනාශයක් සිදුවීම වළක්වාගත හැකියි.

    ප්‍ර: කොව්ඩ් එන්නත් නිසි මාර්ගෝපදේශන නොතකා කඩිමුඩියේ නිකුත් කළ බවට පවතින මතය ගැන අදහස මොකක්ද?

    පි: මෙයින් වසරකට පෙර කොවිඩ් එන්නතක් නිර්මාණය කළ හැකි බව කිසිවකු විශ්වාස කළේ නෑ. සාර්ථක එන්නත් නැති ඒඩ්ස්, මැලේරියා වැනි රෝග ගණයටයි එය සැලකුණේ. කෙසේ වෙතත් මුළු ලෝකයේම විද්‍යාඥයන් එකමුතුව කටයුතු කළ නිසා එන්නත් කිහිපයක් නිර්මාණය කරගැනීමට හැකි වී තිබෙනවා.

    සාමාන්‍යයෙන් අතීතයේ එන්නතක් සාර්ථක බව තහවුරු කිරීමට වසර 15ක් පමණ ගත වුණා. පූර්ව සායනික අධ්‍යයන, ඉන්පසු පළමුවැනි පරීක්ෂණ අදියර සහ එහි දත්ත විශ්ලේෂණය, ඉන්පසු දෙවැනි පරීක්ෂණ අදියර සහ එහි දත්ත විශ්ලේෂණය, ඉන්පසු තෙවැනි පරීක්ෂණ අදියර… ආදී වශයෙන්.

    නමුත් මෙම අවස්ථාවේදී අදාළ පියවරයන් එකක් පසුපස එකක් වශයෙන් නොව සමාන්තර වශයෙන් සහ සාමුහිකත්වයෙන් ඉටු කළ නිසා කාලය ඉතිරි වුණා. මෙවැන්නක් මින් පෙර සිදු වී නැහැ. පිළිගත් මාර්ගෝපදේශන එසේම අනුගමනය කරනු ලැබුවා.

    ප්‍ර: කොවිඩ් එන්නත් වර්ග ගණනාවක් තිබෙනවා. ඒවා නිපදවීමේදී අනුගමනය කළ මූලධර්මයන් එකිනෙකට වෙනස්ද?

    පි: වයිරසයකට එරෙහිව එන්නතක් නිපදවීමේදී අනුගමනය කළ හැකි ප්‍රවේශයන් කිහිපයක් තිබෙනවා. එක් ක්‍රමයක් වන්නේ ශරීරයට ඇතුළු වූ වයිරසය අඩපණ කිරීමයි. තව ක්‍රමයක් කෙළින්ම වයිරසය විනාශ කිරීම හෝ අක්‍රිය කිරීම. අප කවුරුත් දන්නා සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා ආදී එන්නත් නිෂ්පාදනය කර ඇත්තේ ඒ ආකාරවලින්.

    එසේම වඩාත් සංකීර්ණ නව ක්‍රමයන් සොයාගනු ලැබ තිබෙනවා. උප ඒකක එන්නත් (subunit vaccine) යනු එවන් ක්‍රමයක්. එහිදී වයිරසය සම්පූර්ණයෙන් නොව ඉන් කොටසක් ඔබේ ශරීරයට නික්ෂේපනය කෙරෙනවා.

    වයිරසයේ ජානමය කොටස් මේදමය ආස්තරණයක් සහිතව සෛල තුළට ඇතුළත් කිරීමේ MRNA නමැති අණුක ක්‍රමයකුත් තිබෙනවා. ස්වභාවයෙන්ම අස්ථාවර එම අණුව සෛලය තුළ පිහිටි රෛබොසෝම් කොටස තුළදී ප්‍රෝටීන බවට වෙනස් කරනු ලබනවා. මෙම ප්‍රෝටීනය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් හ¾දුනාගනු ලබන නිසා අවශ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග දියත් කිරීමට ඊට හැකි වෙනවා.

    MRNA සහ DNA ප්‍රවේණි අණු අතර සමෝධානයක් ඇතිවීම වැළැක්වීම මෙහිදී අත්‍යවශ්‍යයි. එම ක්‍රමය යොදාගන්නා එන්නත් අධික ඍණ ශීතල තත්ත්වයක් යටතේ ප්‍රවාහනය කිරීම සහ ගබඩා කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසායි. එම ශීතල දාමය බි¾දුණොත් එන්නතේ බලය නැති වෙනවා.

    අවසන් වශයෙන් මා සඳහන් කරන්නේ වයිරස් දෛශික ක්‍රමයක්. ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් භාවිත කර ඇති මූලධර්මය මෙයයි. චිම්පන්සියන් හට සෙම්ප්‍රතිෂ්‍යා රෝගයක් ඇති කරවන adenovirus වයිරසයක් මෙහිදී යොදාගනු ලබනවා. නමුත් එන්නතට චිම්පන්සියන් සමඟ සම්බන්ධයක් නෑ. වයිරසය පමණක් භාවිත කෙරෙන්නේ.

    එම වයිරසයට (SARS-CoV-2) කොවිඩ් වයිරසයේ මතුපිට ඇති කටුවක් වැනි ප්‍රෝටීනය අමුණා තිබෙනවා. එය සෛලයක් තුළට පිවිසුණු විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් හ¾දුනාගනු ලබනවා.

    රුසියාව නිපදවූ එන්නතද මෙම මූලධර්මයම යොදාගෙන ඇතත් එහිදී භාවිත කර ඇත්තේ චිම්පන්සියන්ට නොව මිනිසාටම වැල‍ෙ¾දන adenovirus වයිරස් විශේෂයකුයි.

    ප්‍ර: නමුත් මෙම මාදිලියේ එන්නත් මිලෙන් අධිකයි නේද?

    පි: ඇත්ත වශයෙන්ම. මිල අධික නමුත් කාර්යක්ෂමයි. ජනවාරි 11දා MRNA එන්නත් නිපදවීමට අයත් ක්‍රියාදාමය ලෝකයට හෙළි කරනු ලැබුවා. MRNA අණුව විශේෂිත විද්‍යාගාර තුළ කෘත්‍රිමව නිර්මාණය කරගත හැකියි. ඒ නිසා සජීව වයිරස් චිම්පන්සියන්ගෙන් ලබාගැනීමට දැන් අවශ්‍ය නෑ.

    ප්‍ර: චිම්පන්සින්ගෙන් ලබාගත් ද්‍රව්‍ය නැතත් උෟරන් හෝ ගවයන්ගෙන් ලබාගත් ද්‍රව්‍ය මෙවැනි එන්නත්වලට යොදාගනු ලබනවාද?

    පි: කොහෙත්ම නෑ. කිසිම සතකුගෙන් හෝ මිනිසුන්ගෙන් ලබාගන්නා කිසිදු ද්‍රව්‍යයක් එන්නත්වල අඩංගු වන්නේ නෑ.

    ප්‍ර: මෙම එන්නත්කරණය හරහා ක්ෂුද්‍ර චිපයන් ශරීර තුළට ඇතුළත් කරනු ලබන බවටත්, එමඟින් ඔබ කරන කියන දෑ යන එන තැන් ගැන ආණ්ඩුව අධීක්ෂණය කරන බවටත් ඇතැමුන් සැක කරනවා.

    පි: එවැන්නක් කිසිසේත් සිදු කළ නොහැකියි.

    ප්‍ර: මෙම එන්නත නිසා පිළිකා වැලඳීමේ අවදානමක් තිබෙනවාද?

    පි: පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී RNA එන්නත් භාවිත කරන නමුත් කොව්ඩ් එන්නත් නිසා එවැන්නක් වන බවට මෙතෙක් කිසිම සාක්ෂියක් ලැබී නැහැ.

    ප්‍ර: එන්නත් වර්ග ගණනාවක් තිබීම නිසා ඒ කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි බවට ඇතැම් පිරිස් සැක පළ කරනවා.

    පි: මුළු ලෝකයේ සමස්ත ජනතාවටම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් නිපදවීමේ හැකියාව කිසිම නිෂ්පාදන සමාගමකට නැති බව අප පිළිගත යුතුයි.

    විද්‍යාඥයකු නොවන පුද්ගලයකු යම් නිෂ්පාදනයක් සිදු කර එය කොවිඩ් සුව කිරීමට සමත් යැයි ප්‍රකාශ කළහොත් එය ප්‍රතික්ෂේප කිරීම නම් පිළිගත හැකියි. නමුත් එන්නත් නිපදවනු ලබන්නේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුවයි.

    ප්‍ර: මේ හැම එන්නතකම සුරක්ෂිතභාවය ගැන සෑහීමට පත් විය හැකිද?

    පි: ඇත්තෙන්ම පුළුවන්. යම් එන්නතක් ජනයාට ලබාදෙන්නේ ඒ පිළිබඳව සෞඛ්‍ය නියාමන බලධාරීන් වෙතින් අනුමැතිය ලැබීමෙන් පසුවයි. ගැටලුකාරී එන්නත්වලට අනුමැතිය ලැබෙන්නේ නැහැ. නිදසුනක් ලෙස ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වූ CSL එන්නත දැක්විය හැකියි. එය නවත්වනු ලැබුවා. බි්‍රතාන්‍යයේ සමාගමක් නිෂ්පාදනය කළ එන්නතක්ද සාර්ථකත්වය පෙන්නුම් නොකළ නිසා අත්හිටුවනු ලැබුවා. ප්‍රසිද්ධ කෙරෙන්නේ අනුමැතිය ලද එන්නත් පමණයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම දියුණු රටවල් විසින්ද නියාමනයන් පනවනු ලබනවා. එසේ සිදු කරන්නේ අදාළ තොරතුරු සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුවයි. ඒ කිසිම බලධාරී ආයතනයක් මේ එන්නත් සුදුසු යැයි හිතුමතේ කියන්නේ නෑ.

    ප්‍ර: සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට ලබාදීම සඳහා විශේෂයෙන් එන්නත් නිෂ්පාදනය කෙරෙනවාද?

    පි: එන්නත් ගබඩාකරණය සහ ප්‍රවාහනය පිළිබඳ ඇතැම් නිර්ණායක සපුරාලීමේ හැකියාව සමහර ආසියානු සහ අප්‍රිකානු රටවලට නැහැ. ඇතැම් එන්නත් වර්ගවල මිල ඉතා අධිකයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිල කර ඇත්තේ නිෂ්පාදන වියදම පිරිමසා ගැනීම පිණිස පමණයි. එහි එක් මාත්‍රාවක් සඳහා ඩොලර් 3ක් පමණ වෙනවා. ඔක්ස්ෆර්ඩ් එන්නත නිෂ්පාදනය කිරීමේ බි්‍රතාන්‍ය බලපත්‍රය ඉන්දියාවේ serum Institute වෙත හිමිවී තිබෙනවා. එම ආයතනය ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදන අතරින් එකක්. දැනට ශ්‍රී ලංකාවේ භාවිත වන්නේ එයයි. එය සෙල්සියස් අංශක 4-8 අතර ශීතකරණවල ගබඩා කළ හැකියි. මෙය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින වැනි අසල්වැසි රටවලට ලැබී තිබෙනවා.

    ප්‍ර: ජනතාව එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ලොව කොපමණ ජනකායක් මිය යනු ඇත්ද?

    පි: දැනට ලෝකයේ සමස්ත ආසාදිතයන් ගණන කෝටි 11ටත් අධිකයි. බොහෝ පිරිසක් මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්වීම පමණක් නොව ආසාදිතයන් වර්ධනය වීම සෞඛ්‍ය සේවාවන් අකර්මණ්‍ය වීමට හේතුවක්. දැඩි සත්කාර ඒකක ඇත්තේ සීමිත ප්‍රමාණයක් පමණයි. සෞඛ්‍ය සේවකයන්ට විශාල ආතතියක්.

    ප්‍ර: ගර්භණී මවුවරුන් සහ ළමයින් එන්නත් කිරීම සුදුසුද?

    පි: ගර්භණී කාන්තාවන්ටත් එන්නත් ආරක්ෂාකාරීයි. සෞඛ්‍ය සේවාවේ නියුක්ත ගැබිනියන් හට එන්නත ලබාදෙනු ඇති. කෙසේ වෙතත් වයස 18න් පහළ ළමයින් සඳහා එන්නත තවමත් අත්හදා බලා හෝ නිර්දේශ කර හෝ නැහැ.

    ප්‍ර: අසාත්මිකතා ඇති අය එන්නත ලබාගැනීම සුදුසුද?

    පි: එක්තරා එන්නතක් නිසා අසාත්මිකතා සිදුවීම් වාර්තා වුණා. එවැනි අවස්ථාවල සුපරීක්ෂාකාරී විය යුතුයි. සාමාන්‍යයෙන් සියලු වැඩිහිටි පුද්ගලයන්ට එන්නත ලබාගත හැකියි.

    ප්‍ර: අලුතින් හමු වන නව විකෘති ප්‍රභේදයන්ටත් වත්මන් එන්නත් මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත්ද?

    පි: නව විකෘති ප්‍රභේද රැසක් දැනට සොයාගෙන තිබෙනවා. මෙම නව ප්‍රභේදයන්ගේ ව්‍යාප්තිය, බරපතළභාවය, පරීක්ෂාවන්ට සහ එන්නත්වලට දක්වන ප්‍රතිචාර යන කරුණු සැලකිල්ලට ගත යුතුයි. බි්‍රතාන්‍ය ප්‍රභේදවලට එන්නත් සාර්ථක ප්‍රතිඵල දුන්නත් දකුණු අප්‍රිකානු ප්‍රභේදයට සාර්ථකව මුහුණදීම සඳහා මෙම එන්නත් සමත් නොවන බවට සාක්ෂි මතු වුණා.

    ප්‍ර: කොවිඩ් එන්නත වටා බොහෝ මිථ්‍යා මත පැතිරෙමින් තිබෙනවා. මත්පැන් හෝ දුම්පානය කරන අය මෙම එන්නත ලබාගැනීම නුසුදුසු බවට පවතින මතය නිවැරදිද?

    පි: කොහෙත්ම නැහැ. දුම් පානය කරන්නන් අයත් වන්නේ අවදානම වැඩි කාණ්ඩයටයි. ඒ නිසා ඔවුන් මුහුණදෙන රෝග ලක්ෂණ වඩාත් දරුණු විය හැකිය. ඒ නිසා ඇමෙරිකාව සහ බටහිර රටවලදී මෙවැනි අයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙනවා.

    ප්‍ර: මෙම එන්නත වඳභාවයට හේතු විය හැකිද?

    පි: තරුණ යුවළ අතර මෙවැනි බියක් ඇතිවීම සාමාන්‍යයි. නමුත් මෙහිද කිසිදු සත්‍යයක් නැහැ. ප්‍රජනන පද්ධතියට බලපෑමක් කිරීමේ ඉඩක් එන්නතට නැහැ. එය ඉතාම ආරක්ෂාකාරීයි. මෙවැනි සැකයන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම ඉතාම වැදගත්.

    ප්‍ර: එන්නත ලබාගැනීමෙන් පසු පුද්ගලයකුට කොවිඩ් පරීක්ෂණයෙන් ධන ප්‍රතිඵල ඇති විය හැකිද?

    පි: PCR පරීක්ෂණයකින් ඔබට ධන ප්‍රතිඵල ලැබිය නොහැකියි. ගමන් යෑමට අවශ්‍ය අයට ඉන් බාධාවක් වේ යැයි සැක ඇති වෙන්න පුළුවන්. පරීක්ෂණාගාර කටයුතු ගැන සාමාන්‍ය ජනතාව වධ වීමට අවශ්‍ය නැහැ.

    ප්‍ර: එන්නත නිසා අසාත්මික ප්‍රතික්‍රියා පහළ විය හැකිද?

    පි: ඇතැම් එන්නත් නිසා අසාත්මිකතා ඇති වෙන්නට පුළුවන්. නමුත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා එවැනි ගැටලු ඇති වෙලා නැහැ.

    ප්‍ර: එන්නත නිසා ඇති විය හැකි අතුරු ආබාධ තිබෙනවාද? දෙවැනි මාත්‍රාව ලැබීමෙන් පසු ඒ තත්ත්වය උත්සන්න විය හැකිද?

    පි: සියලුම ආකාරවල එන්නත් නිසා සුළු අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙම එන්නත නිසාත් වෙහෙසකර බව, ඉදිමුම, උණ, හිසරදය, කැරකිල්ල ආදිය හටගන්න පුළුවන්. නමුත් එම ලක්ෂණ වැඩිකල් පවතින්නේ නෑ. ඉක්මනින් පහව යනවා. අනෙක් අතට අප සැලකිය යුතුව ඇත්තේ එන්නත නොගෙන සිටීමෙන් ඇති විය හැකි වඩාත් බරපතළ ආබාධ ගැනයි.

    ප්‍ර: දැනටමත් කොවිඩ් ආසාදනය වී සුවය ලද පුද්ගලයන් මෙම එන්නත ලබාගැනීමට අවශ්‍යද?

    පි: කෙසේ වෙතත් ඔබ මෙම එන්නත ලබාගැනීම වැදගත්. ඔබට දැනටමත් ප්‍රතිශක්තිය ලැබී ඇත්නම් මෙයින් එය වඩාත් ශක්තිමත් වනු ඇත. එන්නත ලද පසු යම් අපහසුතාවක් ඇති වුවහොත් පැරසිටමෝල් සහ ඇන්ටිහිස්ටමින් ඔෟෂධයක් ලබාගැනීම සුදුසුයි. ඒවායින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් වන්නේ නැහැ.

    ප්‍ර: එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ආරක්ෂිතව සංචරණයේ යෙදීමට හැකිද? නිරෝධායන නියමයන් ඔවුන්ට මඟහැර යා හැකිද?

    පි: කොවිඩ් වයිරසය හා එයි ව්‍යාප්තිය පිළිබඳ අප සතු දැනුම තවමත් සීමාසහිතයි. නමුත් සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් අවදානම අඩු වී ඇති බව වාර්තා පෙන්නුම් කරනවා. මෙය ධනාත්මක දිශාවට අප යොමු කර ඇත. නමුත් එන්නත ලබාගැනීමෙන් පසුව පවා ඔබ නියමිත සමාජ දුරස්ථකරණ නියමයන් අනුගමනය කළ යුතුයි. මුහුණු ආවරණ පැලඳිය යුතුයි. ජනගහනයෙන් සියයට 60-70 අතර ප්‍රමාණයකටවත් එන්නත ලබා දුන් පසු නොබියව සංචාරය කිරීමට හැකි වනු ඇත. මේ සඳහා සමාජය තුළ ‘සාමූහික ප්‍රතිශක්තිය’ මුලින් ඇති කරගැනීමට උත්සාහ කරමු. වැදගත්ම කාරණය වන්නේ, එන්නත ලබාගත් පමණින් සෞඛ්‍යාරක්ෂණ ඉවත දමා නිදහසේ ඒකරාශි වීමට ඉක්මන් නොවිය යුතු බවයි.

    සැකසුම – පාලිත වර්ණකුලසූරිය

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.