24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    මොකක්ද මේ සුබාරංචිය?

    - Advertisement -
    පෙබරවාරි 25, 2021

    මේ සති කීපය කලා ක්ෂේත්‍රයට අපල සමයක් යැයි කීවත් නිවැරැදිය. එයට හේතුව වේදිකාව, සිනමාව, රූපවාහිනිය වැනි ක්ෂේත්‍රවල දස්කම් පෑ ශිල්පී ශිල්පිනියන් කිහිප දෙනකුම අප අතරින් වියෝ වීමයි. ඒ විප්‍රයෝග දුක්ඛය වඩාත් තීව්‍ර වූයේ ජනතා ආකර්ෂණය ලද ඔවුන්ට හිමි අවසන් ගෞරව දැක්වීමට පවා කොවිඩ් රකුසා එරෙහි වීම නිසාය. කෙතරම් ජනප්‍රසාදය ලබා ගෙන සිටියද සිය සැඳෑ සමය අතිශය දුක්ඛිත ලෙස ගෙවන කලාකරුවන් ගැන ද අපට අසන්නට ලැබෙන වාර අපමණය. මෙයට හේතුව කලාකරුවන් පිළිබඳ නිසි සුබසාධන වැඩපිළිවෙළක් නැතිකම බවටද ඇතැම්හු චෝදනා කරති. ඒ අතර අපට ටවර්හෝල් රඟහල පදනම දෙසින් අසන්නට ලැබෙන්නේ කරළිය ජයගත් කලාකරුවන්ට සුබ ආරංචියකි. ඒ පිළිබඳ පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නාට්‍යවේදී, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහතා සරසවියට කරුණු හෙළි කළේ මෙසේය…

     

    - Advertisement -

    මෙහි ආරම්භය ගැන සවිස්තරව දැනගන්න කැමැතියි?

    ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණවේදීන් සඳහා සංවිධානාත්මක ආයතනයක් තිබුණෙ නැහැ. එත් ක්‍රමික විකාශයකින් පැමිණි අපේ නාට්‍ය කලාවේ වර්ධනීය අවස්ථාවක් ලෙස රාජ්‍ය ආයතනයක් වශයෙන් 1978 වසරේ ටවර්හෝල් රඟහල පදනම ආරම්භ වීම හඳුන්වන්න පුළුවන්. ඇත්තෙන්ම එහි පනත බිහිවන්නේ පදනම රජයට පවරා ගැනීම සඳහා. එහෙත් වර්තමානයේ දී එය පනතේ අරමුණු සාක්ෂාත් කරගනිමින් පුළුල් අයුරින් ක්‍රියාත්මක වෙනවා. එදා ටවර් රඟහල නවීකරණය කරලා, පැරැණි නාට්‍ය නවීකරණය කරමින් පෙන්වා, නළු නිළියන්ට විශ්‍රාම දීමනා ලබා දීමට කටයුතු කළේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරිමට වුවත් අද ඒ ටවර් නළුනිළියන් නැහැ. දැන් ඉන්නේ නූතන නාට්‍ය ක්ෂේත්‍රයේ නියුතු කලාකරුවන්. ඒ නිසා ඒ නාට්‍යකරුවන් දිරි ගැන්වීම, ඔවුන්ට යටිතල පහසුකම් සැලසීම ටවර් හෝල් පදනම මඟින් සිදුකෙරෙනවා. මම 2005 වසර අවසානයේ සිට 2015 මුල් කාලය දක්වා ඒ කියන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මා ජනාධිපතිධුරය දැරූ කාලය පුරාම අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා. ඒ කාලය තුළ ටවර්, එල්ෆින්ස්ටන්, රුක්මණී දේවී අනුස්මරණ ආදි වශයෙන් වූ රංග ශාලා තුනම නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නවීකරණය කරන්න හැකියාව ලැබුණා. එය මහින්ද චින්තන මැතිවරණ ප්‍රකාශයේ කලා කෙත අස්වැද්දීම යන මාතෘකාව යටතේ පැහැදිලිවම ප්‍රකාශයට පත්ව තිබූවක් ඉටු කිරීමේ එක් නිදසුනක්. ටවර් ශබ්දාගාරයත් සම්පූර්ණයෙන්ම නවීකරණය කළා. ටවර් නාට්‍ය හා රංගකලා පාසල ආරම්භ කළා.

    ඒ හැරෙන්නට නාට්‍ය කලාවේ උන්නතිය සඳහා කටයුතු කීපයක් අපි කළා. ඉන් ප්‍රධාන වන්නේ අන්තර්ජාතික නාට්‍ය ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කළ සුවිශේෂී කාර්යභාරයයි. අවස්ථා දෙකකදී ඒ අන්තර්ජාතික සම්මේලනවලට පවා සහභාගී වන්නට කලාකරුවන්ට අවස්ථාව ලැබුණා. නාට්‍යකලාව ඉහළ මට්ටමක තිබෙන රටක් විදිහට අන්තර්ජාතික සම්බන්ධතා තුළින් තහවුරු කරන්න හැකියාව අපට ලැබුණා. ඒ කාර්යය අවසානයේ අපට තිබෙන වගකීම වන්නේ ජාතික නාට්‍ය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම. ඒ සඳහා අපේ ප්‍රධාන කාර්යාලය පිහිටි සවුසිරිපාය ගොඩනැඟිල්ල ලබා ගැනීම තමයි අපේ අරමුණ වුණේ. එවැනි පසුබිමකදී තමයි අපේ සේවා කාලය අවසන් වුණේ. ඒත් යළි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පත්වීමත් සමඟ අගමැතිතුමාගේ නියමයෙන් මාව යළි භාරකාර මණ්ඩලයටත් පසුව අධ්‍යක්ෂ ජනරාල් ධුරයටත් පත් වුණා. එහිදී අතපසු වූ කොටස් සහ අත්‍යාවශ්‍ය රාජකාරි කීපයක් ඉටු කරන්න අපේක්ෂා කළා. අපි රංගශාලාවල ගාස්තු අඩු කළා. එහෙත් මාර්තු මස වන විට රට වැසුණු නිසාත් ඉන් පසුව පවා නාට්‍ය කලාව හා නිතැතින්ම බැඳී පවතින රංගශාලා සම්පූර්ණයෙන් වසා තිබීම නිසාත් වේදිකා නාට්‍ය පසුබැස්මකට ලක් වුණා. මේ වසා තැබීම දිගු කල් පවතින ලකුණු පෙනුණු නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අදාළ අවසර ලබාගෙන ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය පවත්වමින් නාට්‍ය රැසක් ප්‍රදර්ශනය කළා. එය ඉතා සාර්ථක වුණා.

    - Advertisement -

    ඈත පළාත්වල නාට්‍ය රසිකයන් පන්සල්වල නතර වී නාට්‍ය නැරඹීමට එන අයුරු අප දුටුවා. එයින් නාට්‍යකරුවන් ප්‍රබෝධමත් වුණා. ඒ නිසා මැතිවරණයෙන් පසුව අපි ප්‍රේක්ෂා රංග කලා උලෙළ මසක් පුරා පැවැත්වීමට කෙටි, ළමා, පාසල්, දෙමළ සහ දීර්ඝ ආදී වර්ගවලින් විවිධ නාට්‍ය ප්‍රදර්ශනයට නාට්‍යකරුවන් ඉදිරිපත් වුණා. අපි රංගශාලාව නොමිලේ ලබා දීම නිසා ඔවුන් බොහෝ උනන්දුවෙන් තම කටයුතු කරමින් යද්දි තමයි දෙවැනි කොවිඩ් රැල්ල පැන නැංගේ. ඒ සමඟ රංග ශාලා යළි වසා දමන්න සිදු වුණා. විශේෂයෙන් මරදාන ප්‍රදේශයේ කොවිඩ් ඇඳීරිනීතිය පැනවීම නිසා ඒ කටයුතු ඇනහිටියා.

    මේ වෙද්දි අපහසුවට පත් වූ නාට්‍යකලාකරුවන් වෙනුවෙන් කළ හැකි දෙයක් කල්පනා කරද්දි වෙනත් සුබසාධන කටයුතු සඳහා තිබුණු මුදලක් යොදාගෙන ප්‍රේක්ෂා නාට්‍ය කලාකරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ඇති කළ හැකියි කියන සංකල්පය මම භාරකාර මණ්ඩලයට යෝජනා කළා. නාට්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය දායකත්වය දක්වන වයස අවරුදු 35ත් 75ත් අතර කලාකරුවන්ට අයැදුම් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම ක්ෂේත්‍රයේ වසර පහකට අඩු ඉතිහාසයක් ඇති අයට රාජ්‍ය සම්මාන ලැබී තිබේ නම් සහ වයස සම්පූර්ණ නම් ඒ සඳහා ඉල්ලුම් කරන්න අවස්ථාව දුන්නා. මේ අනුව දෙසැම්බර් මස දෙවැනි සතිය වනවිට අයදුම්පත් කැඳවා අවසන් කර, සුදුසු රක්ෂණ ආයතනයක් තෝරාගැනීම සහ කලාකරුවන් 500 දෙනකු තෝරාගන්නටත්, වයස 75 වැඩි වුවත් අත්‍යාවශ්‍ය වැඩිහිටි කලාකරුවන් 40 දෙනකුත් තෝරාගැනීමට හැකි වුණා.

     

    - Advertisement -

    මොනවාද මේ රක්ෂණයේ පහසුකම්?

    ජීවිත රක්ෂණ ක්‍රමවේදය අනුව හදිසි අනතුරකදී ලක්ෂ 6ක් පමණත්, සාමාන්‍ය මරණයකදී ලක්ෂ 2ක් පමණත්, බේත් හේත් ගැනීමට, ඇස් කාච ලබා ගැනීමට, රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට ආදී වශයෙන් එයින් කලාකරුවන්ට රක්ෂණාවරණය ලැබෙනවා. මෙය අප කලේ මේ මොහොතේ කලාකරුවන් අතේ මුදල් ගැවසෙන්නේ නැති බව දන්න නිසා. ඒත් කනගාටුවට කරුණ මෙය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට තිබියදී සුදුසුකම් ලැබූ කලාකරුවන් හතරදෙනකු වන අතුල ජයතිස්ස, මියුරි සමරසිංහ, තෝමස් තිලකරත්න සහ ජයලාල් රෝහණ අප අතරින් වියෝ වීමයි. කෙසේ වුවත් මෙය ක්‍රියාත්මක වූ විට මේ සියවසේ නාට්‍යකලාකරුවන් ලද ලොකුම සහනය සහ ගෞරවය මෙය බවට පත්වෙනවා. මෙය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය තුළ සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ ක්‍රියාත්මක වන කටයුත්තක් ලෙස ඉතිහාසගත වනවා.

     

    මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කළේ?

    අපි ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ පවත්වමින් සිටියදී වේදිකාවේ පසුතලයේ තිබූ යකඩ බට පලංචියේ සිට රඟපා ඊළඟ ජවනිකාව සඳහා වේදිකාව අඳුරු කර තිබියදී එයින් බසිද්දී වැටුණා. මම එය දැක්කා ඔහු තිරයක් තුළට බඩගාගෙන යනවා. පසුව පිරිසක් පැමිණ ඔහු ඔසවාගෙන ගියා. ඊළඟ ජවනිකාවට ඔහු ආවේ නොණ්ඩි ගසමින්. පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළා. ඒ වගේම කලින් දවසක නාට්‍ය පුහුණුවීමක පැමිණි රත්නා ලාලනීගේ හිස වේදිකාවේ තිබුණු යකඩ බටයක වැදිලා ප්‍රතිකාර සඳහා ගෙනයන්න වුණා. මේ දේවල් ඉතිහාසය පුරා අපි දැක තිබෙනවා. වේදිකාවේ ඇණ ඇනිලා, ලෑලි කඩන් වැටිලා, කරන්ට් වැදිලා, බස් එක හැප්පිලා අනතුරු වූ අය වගේම නාට්‍ය නිම වී ගෙදර යද්දි හදිසි අනතුරුවලින් මියගිය ශිල්පීන් අපට මතකයි. ඒ වගේම අනපේක්ෂිත ලෙස රෝගාබාධවලට ලක් වූ ශිල්පීන් අදටත් ඉන්නවා. ගාමිණි අම්බලන්ගොඩගේ කකුලක් ආබාධයකට ලක් වුණා. විජය නන්දසිරි මියගියේ නාට්‍යක් රඟපා අවසන් වූ පසුව. ගාමිණි හෙට්ටිආරච්චි රෝගීව සිට මිය ගියා, ජයලත් මනෝරත්න දිගු කලක් රෝගීව හිඳ මිය ගියා. ඒ කාලය තුළ ඔවුන්ට ප්‍රතිකාර සඳහා මුදලක් ලබා දීමටවත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වගේම මීට වසර කීපයකට පෙර ප්‍රසිද්ධ රංගන ශිල්පියකුගේ මළ ගෙදර ගිය අපට දකින්න ලැබුණේ ඔහුගේ අවසන් කටයුතු සඳහා ආධාර පත්‍රයක් එකතු කරන ආකාරයයි. අපි එවැන්නක් බලාපොරොත්තුවෙන් නොගිය නිසා ඒ මොහොතේ අතේ තිබුණු කීය හරි දුන්නාට ඔය සිදුවීම ඒ ශිල්පියාගේ අභිමානයට කරන හානියක් ලෙස මගේ හිතේ තදින් රැඳුණා. එනිසා කලා ශිල්පියකු මියගිය විට භාරකාර මණ්ඩලයේ අනුමැතියට යටත්ව ඒ අවමංගල්‍ය කටයුතු ආයතනයෙන් සිදු කරන්නත්, මූල්‍යාධාර ලබා දෙන්නත් කටයුතු කළා. එහෙත් කොවිඩ් නිසා අපේ ආයතනවල මූල්‍ය ශක්තියත් අඩු වෙලා තිබෙන්නේ. නළු නිළියන්ගේත් සාක්කු හිස්. මේ හේතු නිසා තමයි මා ඉදිරිපත් කළ සංකල්පයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා, විදුර වික්‍රමනායක විෂයය භාර ඇමැතිතුමා ඇතුළු භාරකාර මණ්ඩලය එකලෙස අනුමැතිය දුන්නේ.

     

    මේ සියල්ල කළ යුතුව තිබියදී ඔබ ටවර් හෝල් පදනමෙන් සමුගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචියක් පැතිර යනවා?

    මගේ සේවා කාලය 2020 දෙසැම්බර් 31 අවසන් වන්න නියමිතව තිබුණේ. ඒත් අගමැතිතුමා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් තවත් මාස දෙකක කාලයක් ලබා දුන්නා. ඒත් කොවිඩ් තර්ජනය ඒ කාලය පුරාත් දැඩිව පැවතුණා. මේ ආයතන තනි පුද්ගලයකුට සීමා වුණු දේවල් නෙවෙයි. ඒ නිසා මේ පෙබරවාරි 28 වැනිදායින් මගේ සේවා කාලය නිම වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා අපට වඩා දක්ෂ තරුණ නිලධාරියකු මේ ටවර් හෝල් රඟහල පදනමෙන් ඉටුවිය යුතු කාර්යයන් සියල්ල කලාකරුවන් වෙනුවෙන් ඉදිරියට ගෙන යෑමට උර දෙයි කියලා.

     

    එහෙත් ඔබ ටවර්හෝල් රඟහල පදනම මඟින් අනාගතයේ කළ යුතු කටයුතු රැසක් සැලසුම් කරමින් හිටියේ?

    ඇත්ත. මම ඊළඟට කරන්න හිතාගෙන සිටි කටයුතු අතර කලාකරුවන් සඳහා නිවාඩු නිකේතන පහක් යාපනය, කතරගම, අනුරාධපුර, නුවර එළිය සහ කොළඹ ඉදි කිරීමට භාරකාර මණ්ඩලයේ අනුමැතියෙන් ඉඩම් පවා ලබා ගැනීමට දිසාපතිවරුන් සමඟත් සාකච්ඡා පවත්වමින් සිටියේ. ඒ වගේම අධ්‍යාපන මධ්‍යස්ථානයක් සකස් කිරීමට, නේවාසික වැඩමුළු පවා පැවැත්විය හැකි අයුරින් එය ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. ජාතික නාට්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීම අපේ පදනමේ දැක්ම සහ මෙහෙවර යටතේ ඇති අරමුණක්. ඒ සඳහා ජනාධිපතිතුමා‌ගේ සෞභාග්‍යයේ දැක්මේ එන ජාතික නාට්‍ය නිකේතනය යන්න එක්ව ගෙන ටවර් හෝල් රඟහල පදනම සතු විජේරාම මාවතේ පිහිටි සිවු මහල් සව්සිරිපාය ගොඩනැඟිල්ල ලබා ගැනීමට පසුගිය කාලයේම කටයුතු කළා. එහි බදු ගිවිසුම අවසන් නිසා භාරකාර මණ්ඩලයත් එයට අනුමැතිය දී තිබෙනවා. සියලුම නාට්‍යවේදීන්ගේ නාමාවලියක් වගේම දත්ත බැංකුවක් සකස් කර තිබෙනවා. නාට්‍යකරුවන් සඳහා ලොව කුමන රටකට ගියත් පිළිගැනීමට ලක්වන ආකාරයේ අන්තර්ජාතික නාට්‍ය ආයතනය හා බද්ධ වූ හැඳුණුම්පතක් ලබා දීමට කටයුතු කරමින් සිටියේ. ඒ ව‌ගේම දැනට නාට්‍ය හා රංග කලාවට ඇති උපාධියට අමතරව, වේදිකා, රූපවාහිනී, සිනමා රංගනය, ගුවන්විදුලි හඬකැවීම්, වෙළෙඳ දැන්වීම් නිරූපණය වැනි ප්‍රායෝගික වෘත්තීය පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවකට සැලසුම් කර තිබෙන්නෙ. ඒ වගේ අපි නාඩගම් ගී පරිපූර්ණ එකතුවක සංයුක්ත තැටියක් නිකුත් කළා. මේ සියල්ල ඉදිරියේ මෙය බාරගන්නා අය අතින් නොපිරිහෙළා සිදුවේය කියා විශ්වාස කරනවා.

     

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.