24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    අතීතයෙන් වත්මනට

    - Advertisement -

    ශ්‍රී ලංකාව අනාදිමත් ප්‍රෞඩ ඉතිහාසයකින් යුත් රටකි. අතීතයේ ඉතා සෞභාග්‍යමත් සහ සශ්‍රීක රටක් ලෙස මෙරට පැවතුණු බවට පුරා විද්‍යා නටබුන් අදටත් සාක්ෂි දරයි. ලෝකය දියුණුවෙන් දියුණුවට පත්වෙද්දී තාක්ෂණික දියුණුව ඔස්සේ බොහෝ රටවල් ළඟා කරගත් තැන්, ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ මෙයට බොහෝ කලකට පෙරම සාක්ෂාත් කරගෙන ඇති බව සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණ ජීවමාන සාක්ෂි බවට පත්වෙමින් ලෝකයට නිරාවරණය කරමින් තිබේ.

    දේශීය ආහාර පාන සහ බේත් හේත් ආදිය හේතුවෙන් ශක්තිමත් සහ නිරෝගී ප්‍රජාවක් ලෙස ජීවත් වන්නට ආදි ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබී තිබෙන බව ඔවුන් සිය කාය ශක්තියෙන් සිදුකර ඇති විශ්මිත නිර්මාණ මොනවට කියාපායි.

    - Advertisement -

    ඒ අපේ අතීතය යි. අප වර්තමානය ගොඩනඟාගෙන තිබෙන්නේ ඒ අතීතය ඔස්සේය. අතීතයෙන් වර්තමානයට රැගෙන ආ බොහෝ දෑ අතර දේශීය අනන්‍යතාවයට මුල්තැන දෙන විවිධ කර්මාන්ත සහ සංස්කෘතිකාංග ද අප අතර තිබේ. නක්ෂත්‍රය සහ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ද අතීතයේ සිට පැවත එන එවන් එක අංගයකි. එසේම යම් යම් ඇදහිලි සහ විශ්වාස ද අප පරම්පරා ගණනාවක සිට රැගෙන එමු.

    වර්තමානය වන විට රැල්ලක් ලෙස දේශීය දේට අගෞරව කරන ආකාරයක් දක්නට ලැබෙන නමුත් එයට එරෙහිව හඬ නගන්නට නොහැකි වන්නේ ඒ සඳහා සාධාරණ හේතු ද සමාජය තුළින්ම පැණ නැඟී ඇති නිසාය.

    ඕනෑම වටිනා කියන යමක පිරිහීම සනිටුහන් වන්නේ එය අතිශයෝක්තියක් බවට පත්කරමින් ප්‍රදර්ශනය කරන්නට සූදානම් වීම නිසාය. තිබෙන දෙයට එහා ගිය යමක් පෙන්වන්නට උත්සාහ දැරීමෙන් සිදු වන්නේ අවසානයේ දී එහි සැබෑ වටිනාකමක් ගැබ්වී තිබුණත් එය අහිමි වීමය. වඩාත් කණගාටුදායක කාරණය වන්නේ එබඳු හේතු මත වටිනා කියන දේට ලැබිය යුතු තැන අහිමි වී ඒවා ප්‍රතික්ෂේප වී යාමය.

    - Advertisement -

    මානසික ශක්තිය අන් සියල්ලට වඩා බලවත් බව මනෝ විද්‍යාව පිළිබඳව යම් යම් හැදෑරීම් සහ ඒ පිළිබඳව අවබෝධයක් දක්වන පිරිස් පමණක් නොව සාමාන්‍ය ජනතාව ද යම්තාක් දුරට අවබෝධ කරගෙන සිටී. කෙසේ වුවද යම් අයකු සිය මානසික ශක්තිය දියුණු කර ගැනීම සඳහා සහ ඒ ඇසුරෙන් යම් යම් ක්‍රියාකාරකම් සිදු කරනවා නම් ඒ සියල්ලටම යම්කිසි කැප කිරීමක් සහ දීර්ඝ කාලීන පුහුණුවක් තිබිය යුතුය. නමුත් වර්තමානය වන විට යම් යම් බලවේග සහ අද්භූත බලපෑම් මඟින් සිතා ගත නොහැකි කාර්යයන් සිදු කරන්නට හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයෝ ගෙනයන කූඨ උපක්‍රම නිසා කාලාන්තරයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි යම් යම් පෞරාණික සිරිත් විරිත් සහ විශ්වාස ද ඇදහිලි ද පිළිබඳවද බොහෝ දෙනා තුළ අවිශ්වාසයක් පැනනැඟීම පුදුමයට කරුණක් නොවේ.

    මිත්‍යාව යනු මිත්‍යාව ම ය. එය කිසි විටෙකත් සත්‍ය දෙසට නැඹුරු කරන්නට හෝ හරවන්නට අපට හැකියාවක් නොවේ. අතීතයේ ලාංකික ජන සමාජය තුළ තිබුණා යැයි කියැවෙන බොහෝ විශිෂ්ට වෛද්‍ය ක්‍රම ද යම් යම් කලා හැකියාවන් ආදී බොහෝ දෑ ද වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම අභාවයට පත් වී තිබේ. එසේ වුවද එවැනි විස්කම්වල විස්තර හොයා සොයා ගන්නා ඇතැම් පුද්ගලයින් ඒවා වර්තමානයේ ද පවතින බව සඳහන් කරමින් සිදුකරන කූඨ ක්‍රියාවලි නිසා දේශීය ප්‍රෞඩ ඉතිහාසයට තිබූ ගෞරවය ටිකෙන් ටික වැනසෙමින් යන අයුරු දක්නට ලැබේ.

    මිත්‍යා විශ්වාස සහ දේශීයත්වය යනු එකක් නොවේ. එබැවින් මිත්‍යා මත සෑම මොහොතකම ඉවතට විසිකර දමන්න අප නිරන්තර සූදානමින් පසු වුවද අපේ දෑ එසේ ඉවතලන්නට අපට කිසිදු හැකියාවක් නොමැත. මිත්‍යාව කෙරෙහි අප දක්වන විරෝධය සමඟ දේශීය දේ අගයන්නට හැකි විය යුතුය. අපේ දෑ පිළිබඳව අත්තනෝමතිකව විරෝධතා එල්ල කිරීම තුළ අපට අපේ දෑ අහිමි ව යන්නට වැඩි කාලයක් ගත වන්නේ නැත. එය සැබැවින්ම කනගාටුදායකය.

    - Advertisement -

    මිත්‍යා මත සමාජය පුරා රෝපණය කරන යම් පිරිසක් වෙත් නම් ඔවුන්ට පැවසිය යුත්තේ ඔබ වනසා දමන්නේ සාඩම්බර රටක ගෞරවය බවය. සැබැවින්ම අගය කළ යුතු දෑ ද මිථ්‍යාව මත අතහැර ඒවා ද විනාශ කර දමන්නට දඟලන සියලු දෙනාට පවසන්නට ඇත්තේ ද මසැසින් නොව මනැසින් විමසා බලමින් කටයුතු කරන ලෙසය. ඕනෑම ක්ෂේත්‍රයක අන්තවාදීන් වීම එහි අක්මුල් සිඳ දමන්නට කදිම ආයුධ සකස් කරයි. එබැවින් මිථ්‍යාවෙන් නොගිලී විද්‍යාවේද අන්තයට නොගොස් මධ්‍යස්ථ තැනක නතර වී, එතැන සිට දේශීය වටිනාකම් පිළිබඳව අන්ධ නොවූ දෑසකින් බලන්නට හැකි නම් තවත් සියවස් ගණනාවක් ඉදිරියට අපේකම සුරක්ෂිත ව පවතිනු ඇත.

    දිල්රූ ජයසේකර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.