24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    අපේ අරමුණ දේශීය ආර්ථිකය පණගැන්වීමයි

    - Advertisement -
    Author(s): 
    මහින්ද අලුත්ගෙදර

    ලෝකයම මුහුණ දී තිබෙන බරපතළ අර්බුදයක් සේ සැලකෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද ආර්ථිකය සහ සමාජය යම්කිසි පසුබෑමකට ලක්ව තිබේ. එවැනි තත්ත්වයක් තුළ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක උපකාරක පන්ති ආරම්භ කිරීම මෙන්ම යහපත් ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සහ වත්මන් ආණ්ඩුවේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා සමඟ කළ සංවාඳයකි මේ.

    – කොවිඩ් 19 ප්‍රශ්නය ලෝකයේ කිසිම රටක් සියයට 100ක් විසඳාගෙන නැහැ
    – ශ්‍රී ලංකාවේ ආර්ථිකය යනු ලෝක ආර්ථිකයේ කොටසක්
    – මේ අවස්ථාවේ බොරදියේ මාළු බාන එක හරිම ලෙහෙසියි

    - Advertisement -

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී උපකාරක පන්ති ආරම්භ කිරීම කාලෝචිත ද ?

    උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි බැසිල් රාජපක්ෂ මහතා සමඟ මුලින්ම සාකච්ඡා කළා. එතුමා තමයි අපිව උනන්දු කළේ. බැසිල් රාජපක්ෂ මහතාට මේ රටේ ආර්ථිකයේ පුබුදුවාලිය යුතු අංශ සම්බන්ධයෙන් ප්‍රබල වුවමනාවක් තිබෙනවා. මටත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතාටත් කතා කරලා සාකච්ඡා කළා. කොහොමද උපකාරක පන්ති ක්ෂේත්‍රය යළි පණ ගන්වන්නේ, කියා සාකච්ඡා කළා. එහිදී අපිව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ කළා. පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමා සමඟ කිහිප දෙනෙකු සම්බන්ධ වී මේ ගැන සාකච්ඡා කළා.

    හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කළා. උපකාරක පන්ති ක්ෂේත්‍රයට අදාළ සංගමයේ නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළා. පසුව මේ තත්ත්වය තාක්ෂණික කමිටුව වෙත යොමු කළා. ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මේ තත්ත්වය තාක්ෂණික වශයෙන් ආරම්භ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කරුණු දෙකක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කළා. ඔන්ලයින් ඔස්සේ පන්ති පවත්වාගෙන යාම පිළිබඳව කතා කළා. ඔන්ලයින් ඩේටාවලට සහනයක් ලබාදෙන්නේ කෙසේ ද, පිළිබඳ අපි අවධානය යොමු කළා. අන්තර්ජාල පහසුකම නොමැති පළාත්වලට මෙය ලබාදෙන්නේ කෙසේ ද කියා බැලුවා. පන්තියක මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම ගැන කතා කළා. ජනාධිපතිවරයා යම් ප්‍රශ්නයක් විසඳන්න දරන උත්සාහය අපි දැක්කා.

    - Advertisement -

    දරුවන් සමූහයක්, ගුරුවරුන් සමූහයක් එක්වරම ගෙනවිත් පන්ති පටන් ගන්න බැහැ. කොවිඩ් එන්නත ලබාදිය යුතු බවට ඔවුන් සඳහන් කරනවා?

    සරලව ගැටලු විසඳන්න බැහැ. කොවිඩ් 19 සංකීර්ණ ප්‍රශ්නයක්. අමෙරිකාවටත් විසඳන්න නොහැකි වූ ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා මේ තත්ත්වය මනාව කළමනාකරණය කරගෙනයි යන්නේ. මෙතන දී තාක්ෂණ අමාත්‍යාංශයේ සාකච්ඡාවෙන් පසුව උපකාරක පන්ති නැවත සක්‍රිය කරන්න අවශ්‍ය මට්ටමට පැමිණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පවතින ගැටලු සාකච්ඡා කරන්න අවධානය යොමුව තිබෙනවා.

    සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන මාර්ගෝපදේශ අනුව උපකාරක පන්ති ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කළත් ගුරුවරුන්ගෙන්, සිසුන්ගෙන් ඒ සඳහා අපේක්ෂා කරන සහයෝගයක් ලැබෙයි ද ?

    - Advertisement -

    මේ අවස්ථාව සරල සමාජ ආර්ථික තත්ත්වයක් නොව සංකීර්ණ තත්ත්වයක්. අපිට කොරෝනා සම්බන්ධයෙන් නිශ්චිත සහතිකයක් දෙන්න බැහැ. වයිරසයේ වෙනස් වීම, නව ආසාදන තත්ත්වයන්ට යොමුවීම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී මේකට සියයට 100ක සාර්ථක එන්නතක් දෙන්න බැහැ කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ෆයිසර්, ස්පුට්නික් 5 ඇතුළු එන්නත් වර්ග සියයට 100ක් සාර්ථක නැහැ. ලෝකයේ ඇතැම් රටවල මේ එන්නත ලබාදීලා ආසාදිත තත්ත්වයන් නැවත ඇතිව තිබෙනවා. ඒ නිසා නිශ්චිත විසඳුමක් තිබෙනවා කියලා කිසිවෙකු මේ තත්ත්වය තේරුම් ගත යුතු නැහැ. අපේ ගුරුවරුන් මේ තත්ත්වය තේරුම් ගන්නවා ඇති. මේ අභියෝග තත්ත්වයක් නිසා මෙහිදී අපිට අවධානමක් තිබෙනවා නැවත පන්ති වසා දමන්නේ නම් ගැටලුවක් වෙන්න පුළුවන්. දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ සියලු ගුරුවරුන්, ආයතන හිමියන්ට දැවැන්ත වගකීමක් තිබෙනවා.

    සෑම මොහොතකම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි. එසේ නොවන්නේ නම් ජාතියට ලොකු පාඩුවක්. මේ ගැන දෙමාපියන් ද දරුවන්ට මේ අවධානම් තත්ත්වය කියා දිය යුතුයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා දරුවන්ගේ අතින් අල්ලාගෙන පාසල් ගියාට පසුව තමයි දෙමාපියන් චකිතයකින් තොරව දරුවන් පාසල් එවන්න පටන් ගත්තේ. පුද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව පැවසූ පරිදි පන්ති කටයුතු ආරම්භ කළා. දෙමාපියන් සහ දරුවන් මේ අවස්ථාවේ පන්තිවලට යොමු වීමේ දී කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. මේ තත්ත්වය තුළ විවිධ ක්ෂේත්‍රයන් පීඩාවට පත්ව තිබෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු පුද්ගලික උපකාරක පන්ති සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තිබුණා.

    ලෝකය පුරාම කොවිඩ් 19 වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ද ?

    කොවිඩ් 19 ගැටලුව තිබෙන රටවල හැම කෙනාම සබුද්ධිකව මේ තත්ත්වය තේරුම් ගතයුතුයි. මම මේ ගැන කතා කරන්නේ උද්දාමයෙන් නොවෙයි. මෙය ඉතාම සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වයක්. මේ අවස්ථාවේ බොරදියේ මාළු බාන එක හරිම ලෙහෙසියි. කොවිඩ් එක විසඳුවේ නැහැ නේද ? උත්තරයක් නැහැ නේද? ෆේල් නේද කියා ප්‍රශ්නයක් අහන එක පෘතග්ජන පුද්ගලයෙකුට ලෙහෙසියෙන් කළ හැකි දෙයක්. නමුත් මේ ලෝක තත්ත්වය හමුවේ දිනපු රටක් නැහැ. මේ තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගලික උපකාර පන්ති ක්ෂේත්‍රය යළි පණ ගන්වන්නට සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වූවා. මෙය වෛද්‍ය තාක්ෂණික ගැටලුවක්. වෛද්‍ය තාක්ෂණික ගැටලුවකට ජනාධිපතිතුමාට දේශපාලන තීන්දුවක් දෙන්න බැහැ. එතුමා අදාළ වෛද්‍ය, තාක්ෂණික නිලධාරීන් සමඟ සාකච්ඡා කොට තමයි මේ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කරන්නේ. එතන දී සාමාන්‍යයෙන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා දවසකට රුපියල් මිලියන 100ක් පමණ වියදම් කරනවා.

    පසුගිය මාස නවයක කාලයේ දී පී.සී.ආර් පරීක්ෂණ වෙනුවෙන් රුපියල් බිලියන 100ක් වියදම් කර තිබෙනවා. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ද මෙරටට ගෙනවිත් නිරෝධායනය කරලා අවශ්‍ය පහසුකම්, වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා දෙනවා. නොමිලේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යනවා. මේ කටයුත්තට රජය දැනටත් රුපියල් බිලියන 13ක් වෙන්කර තිබෙනවා. විපක්ෂය මේ වෙලාවෙන් වගකීමෙන් ක්‍රියාකිරීම අවශ්‍යයි. මෙය ආණ්ඩුවට, මහජනතාවට, කිසියම් සංවිධානයකට තනිව විසඳන්න බැරි ජාත්‍යන්තර අර්බුදයක්. ඒ වෙලාවේ දේශපාලන පාට කණ්ණාඩි ඉවත් කරලා අපි සාමූහිකව කටයුතු කළ යුතුයි. නමුත් විපක්ෂය කටයුතු කරන ආකාරය අපි දන්නවා. යුද්ධය පැවැති කාලයේ ඔච්චම් කළ ආකාරය අපිට මතකයි. පාමංකඩ, මැදවච්චිය ගිය හැටි ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියා පැවසූ ආකාරය අපි දන්නවා. මේවා මතක් කරනවිට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දුකක් ඇති වෙන්නේ නැද්ද. රවී කරුණානායක මහතාට දුකක් ඇති වෙන්නේ නැද්ද.

    එදා යුද්ධයේ දී වචනයකින් හෝ සහාය දුන්නේ නැහැ කියලා. අපි දැනුත් කියනවා මේක ජාත්‍යන්තර අර්බුදයක්. මේ ජාත්‍යන්තර අර්බුදය හමුවේ අපි කටයුතු කළ යුත්තේ කෙසේද. ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් විශාල පිරිසක් සහාය දෙන්න කැමැතියි. කොවිඩ් සම්බන්ධයෙන් වන එන්නත් වර්ග 5ක් කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

    කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළේ දී රජය අනුගමනය කර තිබෙන වැඩපිළිවෙළ ප්‍රමාණවත් නැහැ, නිසි අවධානයක් යොමුකර නැතැයි විපක්ෂයෙන් චෝදනා එල්ල වෙනවා නේද?

    කොවිඩ් 19 ප්‍රශ්නය ලෝකයේ කිසිම රටක් සියයට 100ක් විසඳාගෙන නැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. එකක් තමයි ඇමෙරිකාව, ඉන්දියාව වගේ ඕන කෙනෙකුට හැදෙන්න කියා අතහැර දාන්න පුළුවන්. දෙවැනියට අපිට පුළුවන් රටම හුදෙකලා කරන්න. අනිත් එක තමයි නව සාමාන්‍යය. අපි කෙසේ හෝ මේ සම්බන්ධයෙන් පියවර ගතයුතු වෙනවා. නමුත් කැමැති වුණත් අකමැති වුණත් කොවිඩ් 19 එක්ක ඉදිරියට කටයුතු කරන්න වෙනවා. ඇතැමුන් කියනවා මුලින්ම ගුවන් තොටුපළ වැසුවානම් හරිනේ කියලා. මුලින්ම හුදෙකලා කළා නම් හරිනේ කියලා. රටේ අවසන් කොවිඩ් රෝගියා තෙක් අපිට අවදානමක් තිබෙනවා. ලෝකයෙන් මෙය තුරන් වනතුරු ඒ ගැන අවදානමක් තිබෙනවා. මෙය මර්දනයට හා විසඳුම් ලබාදෙන්න හොඳ නායකත්වයක් ලබාදිය යුතුයි.

    කොවිඩ් වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය අංශවලින් සහ ආරක්ෂක අංශවලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් ද?

    කොවිඩ් 19 මර්දනය වෙනුවෙන් කමිටුවක් තිබෙනවා. එහි ප්‍රධානියා යුද හමුදාපතිවරයායි. යුද හමුදාව නිරෝධායන කාර්යයට අදාළව විශාල සේවාවක් ලබා දෙනවා. සෞඛ්‍ය අංශය ද තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලනවා වෙනුවට මේ වසංගතය පාලනය වෙනුවෙන් තම දායකත්වය ලබා දෙනවා. ඒ වගේම අලුතින් තාක්ෂණික ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. සෑම අංශයක්ම බල ගන්වන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ වෙනුවෙන් රාජ්‍ය අංශයේ දායකත්වය ලබා දෙනවා.

    පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව පසුබෑමට ලක්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ ඉදිරියට යාම සඳහා පවතින රජයේ වැඩපිළිවෙළ කුමක් ද?

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය යනු ලෝක ආර්ථිකයේ කොටසක්. එවිට ලෝක ආර්ථිකයේ පසුබෑමක් තිබිය දී අපිට ප්‍රවර්ධනයක් ලබා ගන්න පුළුවන් නම් එය යහපත්. නමුත් අපිට විතරක් මේක කරන්න බැහැ. ලෝක ආර්ථිකයේ පසුබැසීමත් එක්කම තමයි අපේ ආර්ථිකය නඟාසිටුවන්න වෙන්නේ. ලෝක ආර්ථිකයට ද අපිට ආදර්ශ දෙන්න වෙනවා. දේශීය ආර්ථිකය පණගන්වන්න අවශ්‍ය වෙනවා. ආර්ථිකය නඟාසිටුවීමේ දී ජාත්‍යන්තර වශයෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් දේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කරනවා. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ කොටස් වෙළෙඳපොළ රටේ ආර්ථිකය පිබිදෙනවා ද කියන එක නිර්ණායකයක්. අපිට ජාතික ආර්ථිකයට බාධා කරමින් කෘතීම තත්ත්වයක් මවන්න අවශ්‍ය නැහැ. මේ වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි පණගන්වා තිබෙනවා. දේශීය නිෂ්පාදකයන් නිෂ්පාදන ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව ජනතාව අතරට මුදල් ගලාගෙන යන තත්ත්වයක් තිබෙනවා. ආර්ථිකයට මූල්‍ය ප්‍රසාරණයක් කරන්න මේ වනවිට රජය පියවර ගෙන තිබෙනවා. ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා. 

    කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ගැන බොහෝ දෙනෙක් කතා කළා ?

    අපි ආණ්ඩුවක් ලෙස වරාය විකුණන්න යනවා කියලා රට ගිනි තියන්න හදපු පුද්ගලයන්ට විශේෂ යමක් කියන්න කැමැතියි. ජාතික සම්පත් විකුණන්නේ නැහැයි පොරොන්දුවක් දීලා තමයි අපි බලයට ආවේ. දේශීය සම්පත් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන්නේ ඉතාම වගකීමෙන්. ජනාධිපතිවරයා බලයට පත්වෙලා මේ දක්වා කාලය තුළ එක බිම් අඟලක් හෝ විදේශ රටකට හෝ විදෙස් සමාගමකට විකුණා තිබෙනවා නම් මම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙනවා. එතුමා වරාය සම්බන්ධයෙන් පුබුදුවාලීමක් කරන්නයි උත්සාහ කළේ. අපේ රටේ වරායට භූ දේශපාලනික වශයෙන් තිබෙන වැදගත්කම එතුමා හොඳින් දන්නවා. ලංකාවේ වරාය පහසුකම හා වැදගත්කම ඉන්දියාවට නැහැ. ඇතැම් වරායවල්වලට යම් නැව් ප්‍රමාණයක් ගේනවා ඇති. ඒ කිසිඳු වරායකට විශාල නැව් ගේන්න බැහැ. අපේ තරම් ගැඹුරු වරායක් නැහැ. ඒ නිසා ඔවුන්ට වරාය වාසියක් නැහැ. ඒ වරාය වාසිය තිබෙන්නේ කොළඹ වරායටයි.

    ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් රට සංවර්ධනය කිරීම සඳහා රජයේ ඉදිරි සැලසුම් මොනවා ද ?

    රජයක් ලෙස සෑම ග්‍රාම සේවා වසමකම ඉල්ලුම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. සමස්ත ආර්ථිකයම දියුණු කරන්න අපේක්ෂා කරනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් “ගම සමඟ පිළිසඳරක්” වැඩ සමඟ යළි ගමට වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා. ගම්වලින් සංවර්ධන යෝජනා ලබාගෙන ඒවා ක්‍රියාත්මක කරනවා. සමාජ, ආර්ථික පහසුකම් වගේම රැකියා උත්පාදනය, ජීවනෝපාය වැඩසටහන්, දේශීය කර්මාන්ත නඟාසිටුවීම, කෘෂිකර්මය නඟාසිටුවීම අාදිය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    ඡායාරූප – විමල් කරුණාතිලක

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.