24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    පළමු ජනහමුවේදීම ප්‍රභාකරන්ට ජනතා විරෝධය එල්ල වුණු හැටි

    - Advertisement -

    මෙරට මෑත කාලීන ඉතිහාසයේ එක පිට එක දරුණු මෙන්ම අහිතකර සිදුවීම් වාර්තා වූ වර්ෂයක් ලෙස 1987 සැලකිය හැකිය. රටේ උතුර මෙන්ම දකුණද ගිනිගෙන දැවෙමින් තිබුණු අතර අන්තර්ජාතිකව ද රටට හිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබුණේ නැත. මේ සියලු අහිතකර බලපෑම් හමුවේ එල්.ටී.ටී.ඊ නායකයා ප්‍රථම වරට ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතීම සිදුවිය.

    ඉන්දු – ලංකා සාම ගිවිසුම අස්සන් කිරීමට නියම වී තිබුණේ 1987 ජූලි 29 වැනිදා ය. අස්සන් කිරීමට නියමිත ගිවිසුමේ කරුණු නිසා රට ගිනි ගනිමින් තිබිණි. මෙහි එක් වගන්තියකට අනුව සටන්කරුවන් ආයුධ භාර දීමටත්, රජය ඔවුන්ට සමාව දීමටත් නියමිත විය. මේ සම්බන්ධයෙන් දෙමළ සටන්කාමීන් තුළ එකඟතාවක් තිබුණේ නැත. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊයේ ප්‍රතිචාරය පැහැදිලිව පෙනෙන්නට තිබුණේ නැත. ජූලි මස 24 දින ඉන්දියානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් ප්‍රභාකරන් නවදිල්ලිය බලා රැගෙන ගියේ මේ අතර ය. මේ ගමනේදී ප්‍රභාකරන් අගමැති රජීව් ගාන්ධි ඇතුළු ඉන්දීය නිලධාරීන් කිහිපදෙනෙක් හමුවීමටද නියමිතව තිබිණි. ජූලි 28 ලංකාවේ දෙමළ සටන්කාමීන් සහ ඉන්දීය අගමැතිවරයා අතර හමුව සිදුවිය.

    - Advertisement -

    පසු දින ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ගිවිසුම අස්සන් කරන ලදී. ගිවිසුමට අනුව ජූලි 30 දින ඉන්දීය සාම සාධක හමුදාව පලාලි ගුවන්තොටුපොළින් ලංකාවට ගොඩ බැස්සේය. ඒ සමඟම දෙමළ සටන්කාමීන්ට පැය 72ක් ඇතුළත ආයුධ භාරදීමට නියම වී තිබිණි. බොහෝ දෙමළ සංවිධාන ආයුධ භාරදීමට කටයුතු කළත් එල්.ටී.ටී.ඊය තම ආයුධ භාර දීම මඟහැර සිටියේය. ඉන්දියාවට ගිය ප්‍රභාකරන් ගැන තොරතුරක් එල්.ටී.ටී.ඊයට ලැබී නොතිබීම මෙයට හේතු ලෙස දක්වා තිබිණි. මේ බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ යාපනය ආඥාපති කුමාරප්පා විසින් ප්‍රකාශ කරන ලද අතර, එහිදී ඔහු කියා සිටියේ තම නායකයා නොමැතිව තීරණයක් ගත නොහැකි බවය.

    මේ අතර දින අටකට පසු අගෝස්තු 2 දින ඉන්දියාව විසින් ප්‍රභාකරන් යාපනයේ සුදුමලේ ප්‍රදේශයට ආපසු රැගෙන ආවේය. අවි ආයුධ භාරදීම සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමේ රැස්වීමක් සුදුමලේ අම්මාන් කෝවිල අසලදී පැවැත්වීමට කටයුතු කෙරිණි. අගෝස්තු 4 වැනිදා පැවැති මෙම රැස්වීමට දස දහසක් පමණ ජනතාවක් පැමිණ සිටි බව කියැවේ. ඉන්දීය හමුදා නිලධාරීන්, දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් ද මෙයට සහභාගි වී සිටියහ. මෙහිදී ප්‍රභාකරන් විසින් කරන ලද කතාව බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය.

    “හදිසියේම, කාලයක්, අවකාශයක් නොලබා, අපගේ සටන්කාමීන්ගේ කැමැත්තෙන් තොරව, අපගේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැතිව මෙම ගිවිසුම අපිව නිරායුධ කර දමයි. මේ නිසා අපි ආයුධ භාරදීම ප්‍රතික්ෂේප කළෙමු. මේ තත්ත්වය යටතේ ඉන්දියා අගමැති රජිව් ගාන්ධි මහතා මා කැඳවා සාකච්ඡා කළේය. ඔහු සමඟ අපගේ ප්‍රශ්න පිළිබඳව විවෘතව කතා කළෙමි. සිංහල ජාතිවාදී රජය කෙරේ අපට බිඳුවක් හෝ විශ්වාසයක් නැති බවත්, ඔවුන් මෙම ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැති බවත් ඉන්දීය අගමැතිවරයා හට මම ගෙනහැර දැක්වීමි. අපගේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයත් ඒ සඳහා අවශ්‍ය වන සහතිකය පිළිබඳත් ඔහුට කීවෙමි. ඔහු අපගේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සහතික විය.”

    - Advertisement -

    “… අප සතුරන් වෙතින් ආරක්ෂා කිරීමේ වගකීම ඉන්දීය හමුදා භටයෝ භාර ගනිති. අප ඔවුන් වෙත ආයුධ භාරදීමෙන් ඊළාම්වාසී සෑම ද්‍රවිඩයකුගේම ජීවිතයටත්, ආරක්ෂාවටත් ඉන්දියානු රජය යැයි වගකිව යුත්තේ යන්න මෙහිදී මම අවධාරණය කරන්නට කැමැතියි.”

    “මගේ ආදරණීය ජනතාවනි, ඉන්දියාවේ මෙම උත්සාහයට සහයෝගය දීම හැර අන් මඟක් නැත. මෙම අවස්ථාව අපි ඔවුනට ලබාදෙන්නෙමු.”

    ප්‍රභාකරන්ගේ මේ කතාවත් සමඟම රැස්ව සිටි ජනතාව අත්පොලසන් දී ප්‍රීති ඝෝෂා නඟන්නට වූහ. ප්‍රභාකරන්ගේ මුහුණේ ඇඳී තිබුණේ දැඩි කෝපයකි. රූපවාහිනී තිර ආධාරයෙන් රැස්වීම නැරඹූවන්ට ප්‍රභාකරන්ගේ මුහුණෙහි වූ කෝපය දැක ගන්නට ලැබිණි. ජනතාවගේ හැසිරීම නිසා එම අවස්ථාවට සහභාගි වී සිටි එල්.ටී.ටී.ඊ යේ නියෝජ්‍ය නායක මහත්තයා ද බලවත් සේ කෝප වී සිටියේය.

    - Advertisement -

    “බලන්නකෝ, මේ මිනිස්සු දිහා! මේ යක්කු අප්පුඩි ගහනවා නිකමට හිතන්න අපි සටන් කරලා තියෙන්නේ මේ ජාතියෙ මිනිස්සු වෙනුවෙන් දැයි”ප්‍රකාශ කර තිබේ.

    මෙහිදී වැදගත් දෙයක් අප අවබෝධ කරගත යුතුය. රැස්ව සිටි ජනතාවගේ හැඟීම්, ප්‍රභාකරන්ගේ හැඟීම්වලට සමාන වී නම් ජනතාව මෙහිදී මහත් කනගාටුවට පත්විය යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදු නොවිණි. එසේ වූයේ ජනතාව තවදුරටත් යුද්ධය පිළිකුල් කළ නිසාය. ජනතාවට අවශ්‍ය වූයේ එල්.ටී.ටී.ඊය විසින් හෝ වෙනත් පාර්ශ්වයක් බලහත්කාරයෙන් පටවන ලද නිදහසක් නොව සැබෑ නිදහසක්ය යන්න මින් පැහැදිලි වේ.

    අගෝස්තු 05 දින එල්.ටී.ටී.ඊය ආයුධ භාරදීම ආරම්භ කළේය. එසේ අවිආයුධ භාරදීමට කලින් තමන් ප්‍රහාරවලදී භාවිතයට ගත් අවි ආයුධ ප්‍රදර්ශනය කරමින් එල්.ටී.ටී.ඊය සහ ඊරෝස් සංවිධානය මඩකලපුව, තිරිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක පෙළපාලි පැවැත්වීය.

    පසුව දිලිප් යෝගී විසින් එල්.ටී.ටී.ඊයේ ප්‍රථම අවි තොගය ආරක්ෂක ලේකම් සේපාල ආටිගල මහතාට භාරදුනි. එහිදී ජනාධිපතිවරයාගේ සමා නියෝගය ද ආටිගල මහතා විසින් කියවන ලදි. එම අවස්ථාවේ අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, කල් ඇතිව තම කොටස ඉටුකරන ලෙස ඉන්දියාව තමන් කැමැති කරවා ගත් බවද, අවි සොයා එළියට දැමීමට ඉන්දියාව භාරගත් බවද කීවේය. “එය සාමය සඳහා මිස යුද්ධය සඳහා වූ ගිවිසුමක් නොවන බව”ද ඔහු අවධාරණය කළේය. මෙවැනි අවි ආයුධ භාරදීම් ගණනාවක් උතුරු නැගෙනහිර දක්නට ලැබිණි. මේ අවස්ථා රූපවාහිනී නාලිකාවල පෙන්වීමට කටයුතු කර තිබිණි.

    ගිවිසුම් අස්සන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර ස්ථිරසාර සාමයක් ඇති වී යයි බොහෝ දෙනා විශ්වාස කළහ. සියල්ලෝම සතුටට සැනසීමට පත්වූහ. ගිවිසුමට අනුව සියලු සටන්කාමී කණ්ඩායම් ලංකාවට පැමිණීම, ආයුධ භාරදීම, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රවිශ්ට වීම සිදුවිය යුතුව තිබිණි.

    එකල “ඊලමුරසු” පුවත්පතේ වාර්තාවලට අනුව ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව එල්.ටී.ටී.ඊය දේශපාලන ප්‍රවාහයට එක්වීමට නියමිත විය. මෙලෙස ආයුධ භාරදීම සහ සටන්කරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක් විවිධ අදහස් දක්වා තිබිණි.

    මෙහිදී “පොරොන්දු වූ පරිදි දෙමළ ගරිල්ලන් ඔවුන් සතු ආයුධ ඉන්දියා සාම සාධක හමුදාවට භාර දෙන්නේද සහ මෙම ගිවිසුම රටේ අයිතිය පාවා දෙන්නක් යැයි කියමින් ගිවිසුමට එරෙහිව කරන විවේචන නවතා දැමීමට තරම් සිංහලයන් සාධාරණ වේද යන කරුණු දෙක මත මෙම ගිවිසුමේ සාර්ථකත්වය මැන ගත හැකියි” යනුවෙන් සඳහන් කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ගිවිසුමේ බොරු වළවල් දැකිය හැකි බවත්, ඒවා පැහැදිලිව පෙනෙන්නට තිබෙන හෙයින් ප්‍රඥාවන්ත ලෙස කටයුතු කළ යුතුව බව ද පෙන්වා දී තිබිණි.

    කෙසේ වුවද අවි භාරදීම නිසි පරිදි සිදු නොවූ බව ඇතැම් විචාරකයන්ගේ මතයයි. එහිදී එල්.ටී.ටී.ඊය පරණ අවි ආයුධ භාරදුන් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එමෙන්ම ගිවිසුම් අස්සන් කිරීමෙන් පසුව දෙමළ සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා ගහමරා ගැනීම් අවම වෙතැයි සිතුවත් එවැන්නක් වූයේ නැත. මෙලෙස එකිනෙකා මරාගැනීමේ පළමු සිදුවීම මන්නාරමෙන් වාර්තා වූ අතර එහිදී එල්.ටී.ටි.ඊ සාමාජිකයන් තිදෙනකු මරා දමා තිබිණි. මෙතැන් පටන් යාපනයේ එකෙන් එක සිදුවීම් දක්නට ලැබිණි. මෙහි දරුණුම ප්‍රහාරය වූයේ සැප්තැම්බර් 13 වැනිදාය. එදින එල්.ටී.ටී.ඊය විසින් අනපේක්ෂිත මොහොතක කරන ලද ප්‍රහාරයකින් 70 දෙනකු මරා දමන ලදහ. මෙසේ මිය ගිය පිරිස සෙසු දෙමළ සටන්කාමී පිරිසක් වූ අතර සාම ගිවිසුම නිසා ආයුධ අතහැර දමා සිටි පිරිසක් ද විය.

    මෙහිදී බොහෝ පිරිසකට පැන නැඟී ප්‍රශ්නයක් තිබිණි. ඒ ඉන්දියාව එල්.ටී.ටී.ඊයට පමණක් ආමන්ත්‍රණය කිරීම, අවධානය යොමු කිරීම මඟින් ඔවුන් විශේෂ සැලකිල්ලක් එල්.ටී.ටී.ඊයට ලබාදී තිබීමයි. මේ අනුව එල්.ටී.ටී.ඊය මැඬ පැවැත්වීමට ඉන්දියාවට ඇත්ත වශයෙන්ම වුවමනාවක් තිබුණිදැයි ජනතාවට සැකයක් ඉපදී තිබිණි.

    රජීව් ගාන්ධිගේ ශ්‍රීලංකා භූමිකාව මානව දයාව හෝ මානව හිමිකම් රැකීම වැනි උත්තරීතර අරමුණකින් යුතුව ගොඩ නැඟුනක් නොවේ. බොහෝ විචාරකයන් පෙන්වා දෙන පරිදි එය ආත්මාර්ථකාමී දේශපාලන අරමුණක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සකස් වූවක් බව පෙනේ.

    එකල රජීව් ගාන්ධිගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් තිබිණි. ස්වීඩනයෙන් අවි ආයුධ මිලදී ගැනීමේදී වූ මහා පරිමාණ ජාවාරම අනාවරණය වීම නිසා මෙන්ම නොයෙක් අභ්‍යන්තර වියවුල් ද මේ කෙරේ බලපා තිබිණි. මැතිවරණයක් ආසන්නයේ මෙසේ කඩා වැටී සිටි ගාන්ධිට ඉන් ගොඩ ඒමට තිබූ හොඳම ක්‍රමය වූයේ තමිල්නාඩු ප්‍රාන්තයේ දැවෙමින් තිබුණු ජාතිවාදයට පක්ෂපාතී වීමය.

    ප්‍රභාකරන් නවදිල්ලියේ රඳවා සිටි කාලයේදී රජීව් ගාන්ධි සහභාගි වන ජන රැලියක් තමිල්නාඩුවේ පැවැත්වීමට කටයුතු කෙරිණි. ලංකාවේද දේශපාලනය උණුසුම්ව පැවැති මේ අවස්ථාවේ ප්‍රභාකරන් ද අදාළ රැලියට සහභාගි වීමේ ඉඩක් තිබෙන බවද ප්‍රචාරය වී තිබිණි. එදිනම ලංකාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දීය මහකොමසාරිස්වරයා වූ ජේ.එන්. ඩික්සිත්ගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබිණි.

    “ඒක මම දන්නේ නැහැ. එම්.ජී. රාමචන්ද්‍රන් සහභාගි වෙනවා.” ඩික්සිත්ගේ පිළිතුර එලෙස කෙටිවී තිබිණි.

    තමිල්නාඩුවේ පැවැති අදාළ රැස්වීමට ප්‍රභාකරන් සහභාගී වූ බවට වාර්තා හමුවන්නේ නැත. එහෙත් රජීව් ගාන්ධි සමඟ එම්.ජී.ආර් එම රැස්වීමට සහභාගි වූහ. මෙහිදී ගාන්ධිව වීරයකු ලෙස පිළිගැනුණු බව එකල පුවත්පත් වාර්තා කර තිබිණි. ගාන්ධි සහ එම්.ජී.ආර්. දෙදෙනා දෙමළ ජනතාවගේ සහ සටන්කාමීන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත බව ජනතාවට තහවුරු කළහ. තවද සමකාලීනව අගෝස්තු 03දා රුසියාවේ ප්‍රවුදා පුවත්පත ඉන්දු – ලංකා ගිවිසුම ගැන මෙසේ අදහස් දක්වා තිබිණි.

    “ත්‍රිකුණාමල වරාය තුන්වන රටකට නොදීමටද, ‘අමෙරිකානු හඬ’ ගුවන්විදුලි මධ්‍යස්ථානයේ කටයුතු සීමා කිරීමට හා පාලනය කිරීමටත් පාකිස්තාන් හා ඊශ්‍රායල් යුද උපදේශකයන් මුදා හැරීමටත් නවදිල්ලි රජය හා ශ්‍රීලංකා රජය එකඟ වීමෙන් ශ්‍රී ලංකාවේ අර්බුදය තමන්ගේ වාසියට හරවා ගැනීමට ප්‍රයත්න දරන අධිරාජ්‍යවාදී කණ්ඩායම්වල අපේක්ෂාවන් නිරර්ථක කිරීමට හේතුවනු ඇත.”

    ඉන්දු ලංකා ගිවිසුමෙන් පොරොන්දු වී ඇති පරිදි ඉන්දීය හමුදා පෝක් සමුද්‍ර සන්ධිය අසල මුහුදේ මුරසේවා සඳහා යොදවා තැබීමට කටයුතු කෙරිණි. එම සිදුවීම ප්‍රවුදා පුවත්පත වාර්තා කර තිබුණේ ආයුධ හොරෙන් ගෙන ඒම වැළැක්වීම සඳහා ඉන්දියානු යුද්ධ නැව් වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයට යොදවා ඇති බවය.

     

     

     මලික් චමින්ද ධර්මවර්ධන

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.