24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    රාජිනි තිරාණගම ඝාතනය ගැන දිනමුරසු හෙළිදරවුව

    - Advertisement -

    1989 අගභාගයේ සිදු වූ ඝාතනයක් අදටත් අභිරහසක්ව පවතී. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කථිකාචාරිනී රාජිනි තිරාණගම ඝාතනයයි ඒ,

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී මෙන්ම කොටි සංවිධානයේ සිට පසුව ඉවත් වූ නිර්මලාගේ සහෝදරියයි රාජිනි තිරාණගම. ඇය මානව හිමිකම්, කාන්තා විමුක්තිය වෙනුවෙන් අවංකවම පෙනී සිටි අයෙකි. සිය ජීවිතයට අනතුරක් සිදුවිය හැකියි කියන තරම් අවදානමක් මධ්‍යයේ වුවද යාපනය විශ්වවිද්‍යාලය ක්‍රියාකාරී තත්ත්වයට ගෙන එන්නට ඉදිරියෙන්ම කටයුතු කළ අයෙකි.

    - Advertisement -

    බිඳුණු තල් ගස

    ඉන්දීය හමුදාව පැමිණීමෙන් ඇති වූ මානව හිමිකම් උල්ලංඝනයවීම්, සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් රාජිනි තිරාණගම පසු වූයේ මහත් කෝපයෙනි.

    ‘අප වටා සිදු වන්නේ කුමක් ද යන්න අපක්ෂපාතීව ගෙනහැර දැක්විය යුතුයි. මේ දුකින් මිදුණු ජීවිතයක් ගැන සිතන්න ජනතාවට අවබෝධ කර දිය යුතුයි යන්න රාජිනිගේ කැමැත්ත විය.

    - Advertisement -

    යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සඳහා වූ ආචාර්ය මණ්ඩලය යන නමින් සංවිධානයක් ගොඩනඟා තම ජීවිත කාලයේ සිදු වූ විනාශයන් හෙළිකරන්නට ඉදිරිපත් වූ අයගෙන් කෙනෙකි රාජිනි.

    මානව හිමිකම් සඳහා වූ ආචාර්ය මණ්ඩලය (යාපනය) නමින් මාධ්‍ය නිවේදන නිකුත් විය. ඉන් අනතුරුව රාජිනි තිරාණගම අභීතව අති විශාල ප්‍රයත්නයක යෙදුනාය.

    එනම් ‘බිඳුණු තල් ගස’ නමැති ග්‍රන්ථය බිහිකිරීමේ ප්‍රයත්නයයි. ඇයත් සමඟ අවනීතියට එරෙහි අභීත විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන රාජන්ඩ්‍රීල්, දයා සෝමසුන්දරම්, කේ. ශ්‍රීදරන් යන අය ද එක්ව එම ග්‍රන්ථය ගොඩනැඟීමේ උත්සහයේ නිරත වූහ. මානව හිමිකම්, මානවයාගේ ගෞරවය වෙනුවෙන් හඬ නැඟීම යන නමින් ඔබේ නමත්, මුහුණත් පෙන්වන රැස්වීම් කවදත් පැවැත්විණි. දැනටත් එවැනි දේ ක්‍රියාත්මකය.

    - Advertisement -

    මේ අය මානව හිමිකම් වෙනුවෙන් සටන් කළහොත් කරදරයක් වන්නේ පුවත්පත්වලටයි. තමන්ගේ නම්, මුහුණු ප්‍රවෘත්ති ඡායාරූපවල පළවූයේ නැතිනම් විලාප නඟන්න පටන් ගනියි.

    මෙවැනි පුද්ගලයන් මානව හිමිකම් ගැන කතාකර තම ජීවිතයට අනතුරක් කියමින් රටින් පලා යනු ඇත. පසුව සුර සැප විඳිමින් සුඛවිහරණව මානව හිමිකම් ගැන කතා කරන්නට සුදුසු වාතාවරණයක් ගොඩනැඟුණහොත් ආපසු පැමිණ තමන් ගැන පුරසාරම් දොඩනු ඇත.

    එහෙත් රාජිනි තිරාණගම එවන් අයෙකු නොවේ. ඇය සටන්කාමී කාන්තාවකි, සාමාන්‍ය දෙයක් මෙන් මිනිස් ඝාතන සිදුවෙමින් පවතින විටත් කිසිවකට නොසැළී තම ජීවිතය පරදුවට තබා මානවයාට එරෙහි හිංසාවන් එළියට ගෙනඒමට කටයුතු කළ සටන්කාමිනියකි. කතාවටත් වඩා ක්‍රියාවෙන් වැඩ කරන්නට ලැදි අයෙකි.

    ඉන්දියානු හමුදාවේ කෝපය

    ‘බිඳුණු තල් ගස’ ග්‍රන්ථය නිර්මාණය කිරීම සඳහා රාජනිටත්, ඇය හා එක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් විපතට පත් අයව හමුවීමට අවශ්‍යව තිබිණි. ඉන්දීය හමුදාව මිනිස් දඩයම සිදුකළ ඒ ප්‍රදේශවලටම ගොස් තොරතුරු රැස්කිරීමේ අවශ්‍යතාව තිබිණි. මේ තොරතුර ඉන්දීය හමුදාව අතට පත් විය. තමන් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෝකය හමුවට යාවි යැයි ඔවුන් කලබලයට පත් වූහ.

    තෙවතාවක් රාජිනි තිරාණගමගේ නිවසට ගිය ඉන්දීය හමුදාව අස්සක් මුල්ලක් නෑර මේ පිළිබඳ තොරතුරු සෙව්වත් කිසිවක් හමු වූයේ නැත.

    වක්‍රව තර්ජනය කරන්නට වූහ. තමන් පසුපස කවුරු හෝ හඹා එන බව ඇය දැන සිටියාය.

    කොටි සංවිධානය පිළිබඳවත්, ඔවුන්ගේ කටයුතු පිළිබඳවත් රාජිනි හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විවේචනය කර තිබුණි. කොටින්ගේ වැරදි ක්‍රියා හෙළිකර තිබිණි. එහෙත් ඔවුන්ගේ කටයුතු එදා කොටින්ටත් වඩා ඉන්දීය හමුදාවට හා ඉන්දීය හමුදාවට සබැඳි සංවිධානවලට විශාල අභියෝගයක් විය.

    ලෝකයේ විශාලතම හමුදාවන්ගෙන් එකක් වූ ඉන්දියන් හමුදාව ශ්‍රී ලංකාවේ ලේ පිපාසයෙන් කටයුතු කළහ. අපචාර ක්‍රියාවන් හි නිරත වූහ. යාපනය රෝහල තුළට රිංගා මිනීමැරුම් සිදුකිරීම් වැනි තොරතුරු ප්‍රචාරය වීම ඉන්දියන් හමුදාවට කිසිදිනෙක ගැලවිය නොහැකි ලේබලයක් විය.

    එයත් සමාජයේ එකඟත්වය ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එවැනි ග්‍රන්ථයක් නිකුත් කළහොත් එය කාගෙත් විශ්වාසය දිනාගන්නා පිළිගත් ග්‍රන්ථයක් වනු ඇතැයි බිය වූහ. රාජිනි තිරාණගම ඝාතනය සිදු වූයේ මෙවන් පසුබිමකය. මින් මතුවට සඳහන් කරනු ලබන තොරතුරු රාජිනි තිරාණගම ඝාතනය පිළිබඳ මෙතෙක් ප්‍රකාශ වූ තොරතුරුවලට හාත්පසින්ම වෙනස්විය හැකිය. එබැවින් ලද තොරතුරු එලෙසින්ම සඳහන් කරමි.

    රහසිගත සැලැස්ම

    රාජිනි තිරාණගමව කොටින්ගේ නමින් ඝාතනය කරන්නට ඉන්දීය හමුදාවේ එක් බලඇණියක් තීරණය කර තිබිණි. මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම කර්නල් සසිකුමාර්ට භාර කෙරිණි. කර්නල් සසිකුමාර් වහාම ඊ. පී. ආර්. එල්. එෆ්. යාපනය දිස්ත්‍රික් ප්‍රධානි රාෆීක් හා සම්බන්ධ විය. රාෆීක්ගේ නිවැරදි නම රවීන්දිරන්. ඔහු පදිංචිව සිටියේ යාපනය කොවිලඩි ප්‍රදේශයේය.

    ඉන්දීය හමුදාව පිටව යාමට නියමිත බවත් තමන්ට වැඩි කාලයක් මෙසේ වැජඹීමට නොහැකි බවත් රාෆීක් දැන සිටියේය. එපමණක් නොව තමන් විසින්ම කොල්ලකෑම් ගණනාවක් සිදුකර මුදල් හා සම්පත් රැස්කිරීමට පියවර ගෙන සිටියේය.

    නායකත්වයේ සිටි උදවිය ඉන්දියාවෙන් ලැබෙන මුදල් යටිමඩි ගසාගනියි. මම කුමක් කරන්න ද? හෙට දවසේ මහ පාරට ඇද වැටෙන්න ද? ඒ රාෆීක් තම ක්‍රියාව ගැන කී කතාවයි.

    පද්මනාභාගේ විශ්වාසවන්තම පුද්ගලයා වූ රාෆීක් පද්මනාභටම හොරෙන් කොල්ලකන්න පටන් ගත්තේය. ඒ සමඟ ඉන්දීය හමුදාව හා ඉන්දීය හමුදාවේ රහස් ඔත්තු සේවා සමඟ ද සබඳතා පැවැත්වූ අතර එම සබඳතාවය පුද්ගලික සබඳතා බවට පසුව පරිවර්තනය විය.

    රාජිනී මරන්න ඔත්තු බැලීම

    කර්නල් සසිකුමාර් රාෆීක් හමුවී රාජිනි මරාදැමීම ගැන කී මොහොතේම රාෆීක් එක්වරම ඊට එකඟ විය. ඒ කාලයේ මිනී මැරීම සාමාන්‍ය දෙයකි. මීට පෙර ආර්ථික විද්‍යා ආචාර්ය ක්‍රිෂ්ණානන්දන් ඇතුළු ගුරුවරුන් රැසක් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ අය විසින් ඝාතනය කර තිබිණි. රාෆීක්ගේ අනුදැනුම ඇතිවම ඒ සියලු ඝාතනයන් සිදු විය. එනිසා රාජිනි තිරාණගමව ඝාතනය කිරීම ද සාමාන්‍ය දෙයක් ලෙස රාෆීක් බාරගනු ලැබීය.

    මේ පිළිබඳව පද්මනාභ දැනුවත් කළේද, නැද්ද යන්න දැනගත නොහැකිය. රාජිනිව ඝාතනය කිරීමේ වගකීම රාෆීක් විසින් කාර්තික්, තෝමස් යන දෙදෙනාට පවරනු ලැබීය. මොවුන් ටික දවසක් රාජිනිගේ ගමන් මාර්ගය හා ක්‍රියාමාර්ග අධීක්ෂණය කළහ. ඇය පසුපස ගමන් කළහ.

    1989-09-21 දින යාපනය විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි තිරුනෙල්වේලි හන්දියේ දී රාජිනි වෙඩි තබා ඝාතනය කළහ.

    රාජිනිට වෙඩි තැබුවේ තෝමස් නමැත්තාය. ඇයට වෙඩි පාරවල් කිහිපයක් තබා පලා ගියේය.

    මානව හිමිකම් පිළිබඳ අභීත ක්‍රියාකාරිනී රාජිනි ලේ ගංගාවක වැතිර සිටියාය. මෙම සිදුවීම කිසිවෙකුටත් නොකියා රහසිගතව තබාගත යුතු බව ඉහළින් ලද නියෝගයක් බවත් රාෆීක් වෙඩි තැබූවන්ට නියම කළේය.

    ඝාතකයාගේ ශෝකය

    ඝාතනය පිළිබඳ පුවත හෙළිවීමටත් පෙර මෙම ඝාතනය කොටි විසින් සිදු කළ බවට ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානය නිවේදනයක් නිකුත් කළේය. ඒ නිවේදනයෙන් ඔවුන්ගේ ශෝකය ද පළ කර තිබිණි.

    රාජිනි තිරාණගම තිරුනල්වේලි හන්දියේ දී වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේ ඒ වෙඩි හඬ ඇසුණු මොහොතේ කොටි සංවිධානයේ ප්‍රබලයෙක් එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇත. තමන්ව දැක වෙඩි තබනවා යැයි සිතූ කොටි ප්‍රබලයා ඉතා වේගයෙන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. ඔහු එසේ වේගයෙන් ගමන් කරනු සමහරක් දැක ඇත. මේ ඝාතනය කොටි පිට පැටවීමට හේතු වී ඇත්තේ එම කාරණයමයි.

    මේ තොරතුරු සියල්ල මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ වූ කාර්තික් මඟින් හෙළිවී ඇත. කාර්තික්, තෝමස් යන අය ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ ‘මන්ඩයන්’ කණ්ඩායමේ සිටි අයයි. ඊ. පී. ආර්. එල්. එෆ්. යැයි එළියට නොපෙනෙන්නට තම විරුද්ධවාදීන්ව මරා දැමීම මෙම කණ්ඩායමේ රාජකාරිය විය.

    ඉන්දීය හමුදාව පිටව යාමෙන් පසු කාර්තික් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයෙන් ඉවත් වී ඊ. පී. ඩී. පී. සංවිධානයට එක්විය. තෝමස් ඊ. පී. ආර්. එල්. එෆ්. මහ ලේකම් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ආරක්ෂකයා ලෙස කොළඹ ටික කලක් සිටියේය. දැනට විදෙස්ගතව සිටියි.

    කාර්තික් පසුව ඊ. පී. ඩී. පී.යෙන් ඉවත් විය. ත්‍රිකුණාමලයේ දී පුද්ගලික අරවුලකින් කපා කොටා මරා දමා ඇත. රාජිනී තිරාණගම ඝාතනයට තමන් සම්බන්ධ නැති බව කොටි කල්තියාම කියා තිබුණි. එහෙත් මේ දක්වාම කියවෙන්නේ කොටි සිදුකළ බවය.

    මේ අතරතුර රාජිනි ඝාතනයේ ප්‍රධාන මොළකරු කර්නල් සසිකුමාර් යාපනය අරියාලයි මනියම් වතු ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් කොටි විසින් මරා දමන ලදි.

    තමන් මිය යාමට දින 14 කට කලින් රාජිනි සිය හිතවතෙකුට ලියූ ලියුමක මෙසේ සඳහන් කර සිටියාය.

    ‘කවදා හෝ දවසක තුවක්කුවක් මා නිහඬ කරනු ඇත. එය සාමාන්‍ය මිනිසෙක් විසින් සිදුකරන්නක් විය නොහැක. මාගේ ඉතිහාසය බෙදාගන්නා මේ සමාජයේ ජීවත්වන එක් කාන්තාවකගේ කුසෙන් ඉපදුනු පුතෙකු විසින් එල්ල කරන ලද තුවක්කුවක්ම විය හැකිය.

     

    ටී. චන්ද්‍රසේකර

    (දිනමුරසු ඇසුරෙන්)

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.