24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ශ්‍රීලනිප ගොඩනැඟූ රාජ නීතිඥ එච්.ශ්‍රී නිශ්ශංක

    - Advertisement -

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ නීතිඥ එච්.ශ්‍රී නිශ්ශංක මහතා දිවංගත වී පෙබරවාරි 26 වෙනි දිනට එතුමාගේ ගුණ සමරුව නිමිත්තෙනි.

    - Advertisement -

     

    මගේ අශ්වයාට වඩා ඔබේ අශ්වයා ඉතා හොඳයි. උසස් වර්ගයේ එකෙක්. ඌ විකුණනවා නම් මට දෙන්න. මම ඔබට ඕනෑම මුදලක් දෙන්නම්. මට සල්ලි මිල මුදල් එපා. ඔබතුමා ඒ අශ්වයා මගෙන් ලැබුණ තෑග්ගක් විදියට ගන්න. එපා එපා මගේ අශ්වයා සමඟ ඔබ වටිනා මුදලක් ගන්න.

     

    - Advertisement -

     

     ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දොරට වැඩියේ සඟ,වෙද,ගුරු,ගොවි කම්කරු යන පංච මහා බලවේගයේ පෙර ගමන්කරුවා ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ එච්.ශ්‍රී නිශ්ශංක මහතාටය. පක්ෂයේ නමත්, වර්ණයත්, සළකුණත් එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේය.

     

    - Advertisement -

    මුහුදුබඩ පළාත් පාලනය කළ පෘතුගීසි බලය බිඳ හෙළමින් ලන්දේසි පාලනය ආරම්භ විය. ලන්දේසි පාලනය අවසන් වෙමින් තිබූ දහ අටවන සියවසේ මැද භාගයේ පුරාණ වැල්තොට හෙවත් වත්මන් බළපිටිය ප්‍රදේශයේ කොස්ගොඩට අයත්ව තිබූ අහුන්ගල්ල ඇතුළු ගම් රැසක ග්‍රාම ප්‍රධානියා හෙවත් මහා රාළ පදවිය දැරුවේ කළුහත් දිනෙස් ද ආබ්‍රේව් මහ රාළය. ඔහුගේ පුතණුවෙකු වූ කළුහත් හෙන්ද්‍රික් ද ආබ්‍රේව් ලන්දේසින් පළවා හැර මුහුදුබඩ අල්වාගත් ඉංග්‍රීසි පාලන යුගයේ මුල් අවදියේදී මුහන්දිරම් තනතුරකට පත් කළේ එවකට මුහුදුබඩ පාලනය කළ ප්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ අනුදැනුමෙනි. ඔහුගේ දියණියකගේ පුතණුවෙකු වූයේ ගුණවර්ධන ආදිමිස් ද සොයිසා වික්‍රමරත්නය. වර්තමානයේ සම්බුදු සසුනේ මුදුන්මල්කඩක් බඳු වූ බෞද්ධ සිද්ධස්ථානයක් වන රත්ගම මැතිවරණ කොට්ඨාසයේ අකුරළ ගල්දූව ආරණ්‍ය සේනාසනයට අයත් භූමි භාගය සසුනට පූජා කළ දානපති ඉඩම් හිමි වැවිලිකරුවා ඔහුය.

    ඔහුගේ දියණිය විවාහ වූයේ බළපිටිය ගරුමුණි වලවුවේ විසූ ගරුමුණි ආමිස ද සොයිසා වික්‍රමරත්න විදානේ ආරච්චි සමඟය. තම දියණිය ඔහු සමඟ විවාහ වන විට ඇයට දායාද වශයෙන් සිය පියා වූ ඉහත සඳහන් ආදිරිස් ද සොයිසා වික්‍රමරත්න මහතා පිරිනැමූ ඉඩම් ප්‍රමාණය අක්කර තුන් දහසකි.

    මෙම නව විවාහයෙන් එම දෙපළට ලැබුන දූ දරුවන් අතර පුතුන් දෙදෙනෙකු විය. ඔවුන් නම් ගරුමුණි රොබට් ද සොයිසා මහතා සහ ගරුමුණි ආතර් ද සොයිසා යන දෙපළය. මොවුන් දෙදෙනාම මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ මන්ත්‍රිවරු දෙදෙනෙකු විය. මේ දෙදෙනාගේම සොහොයුරියක වූ ගරුමුණි අනෝනා ද සොයිසා වික්‍රමරත්න මෙනවිය විවාහ වූයේ දිවේරිස් මෙන්ඩිස් මහතා සමඟය. මේ දෙපළට 1898 දී උපත ලද දරුවා එච්.ශ්‍රී නිශ්ශංක විය.

    බළපිටිය ගරුමුණි වලව්වේදී උපන් නිශ්ශංක මහතා තම මෑණියන්ගේ පියාණන් විසින් අරඹන ලද ගරුමුණි වලවුව අසල පිහිටි බොදු මුසු පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය උදෙසා ඇතුළත් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයටය. එයින් පසු කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූ නිශ්ශංක මහතා සරසවි අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. මෙම විශ්වවිද්‍යාලයේදී ඔහුට සුවිශේෂි මිතුරෙක් වීමට සුදුසු ලාංකික සිසුවෙකු හමුවිය. ඔහු නම් දිවංගත අගමැතිවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. සැදැහැවත් බෞද්ධ සිසුවෙකු වූ නිශ්ශංක මහතාට ක්‍රිස්තියානි බැතිමතෙකු වූ බණ්ඩාරනායක මහතා ඇසුරු කිරීමට කිසිම අපහසුවක් නොවීය. නිශ්ශංකයන්ගේ අදහස වූයේ කෙසේ හෝ ලංකාව අධිරාජ්‍යවාදින්ගෙන් නිදහස් කර සිංහල කමට බොදු කමට මුල්තැන දෙන රජයක් පිහිටුවීමය. ඔහු එංගලන්තයේ ඉගෙන ගන්නා අතර කල්පනා කළේ මෙම දේවල් පිළිබඳවය. එංගලන්තයේ සිට අධ්‍යාපනය නිමා ක‍ළේ නීතිවේදියෙකු වශයෙන් දිවුරුම් දීමෙනි. එසේ දිවුරුම් දුන් නිශ්ශංක මහතා 1922 වසරේදී එනම් මීට වසර එකුන් සියයකට පෙර ලංකාවට පැමිණ නීති වෘත්තියේ වැඩ කටයුතු ආරම්භ කළහ.

    මෙම ජීවිතයට පෙර නිශ්ශංක මහතාට තවත් සුවිශේෂි ජීවිතයක් තිබුණි. ඒ ජීවිතය නම් කාලයක් ගත කළ පැවිදි ජීවිතයයි. ලක්දිව බුදු සසුන පොදු මහත් ජනතාවටම විවෘත කරමින් 1802 දී මෙරට අමරපුර භික්ෂු වංශය බළපිටිය මාදු නදියේ සිදුකළ මහා උපසම්පදාවත් සමඟ පිහිටු වූ පසු එම ප්‍රදේශයේ සෑම පවුලකින්ම දරුවෙකු සසුන්ගත කිරීම සුවිශේෂි කාරණයක් විය. ඒ අනුව දුගී පැල්පතේ සිට වලවු මන්දිර දක්වා පවුල්වල දරුවන් කිසිම භේදයකින් තොරව සසුනට ඇතුළත් විය. ගරුමුණි වලවුවට නෑ සබඳතා ඇති අය අතරින් ප්‍රථමයෙන් පැවිදි වූයේ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මා හිමියන්ය. එයින් දශක ගණනකට පසු නිශ්ශංක දරුවා පැවිදි විය. අතිපූජනීය අරංගල සිරි ධම්ම හිමියන් සෙව‍ණේ පැවිදි වූ මෙම සාමණේරයන් වහන්සේ තමාගේ මවු පාර්ශ්වයේ ඥාති හිමි නමක් වූ රාජගුරු වැලිතර සිරි සුදස්සන උප සංඝරාජයාණන් වහන්සේගේ අවසරය මත එකල උන්වහන්සේගේ භාරයෙ තිබූ ගල්දූව තපෝවනයේ දුෂ්කර ජීවිතයක් ගෙවමින් භාවනා යෝගිව වැඩ සිටියහ. තම මවගේ මුත්තණුවන් විසින් සසුනට පිදූ මෙම පින්බිම තුළ වෙසෙන යුගයේ මෙම හිමියන්ට වැටහී ගියේ මෙම පැවිදි දිවියෙන් තමා සසරෙන් ගැලවී ගියත් තවත් විශාල ප්‍රමාණයක් සසර සයුරට වැදී දුක් විඳින බවය. තවත් අතකින් ඉංග්‍රීසින්ට යටත්ව තිබෙන මෙම යුගයේ පැවදිව සිටිමින් ඇති වී ඇති දුර්භාග්‍ය සමයෙන් ශාසනය රැක ගැනීමට භාවනා යෝගිව සිටින පැවිදි අයෙකුට කළ හැකි කාර්ය අල්ප බවයි. මේ සඳහා ගිහි සමාජයට ඇතුළත්ව සමාජයේ උසස් තැනකට පැමිණ අරගලයක යෙදිය යුතු බව සිතට දැනුනි. තම මවට අයත් අක්කර සිය ගණනක දේපළ පසෙකට දමා පැවිදි වූ මේ හිමියෝ යළි උපැවදි වී එංගලන්තයට ගොස් නීතිය හදාරා පැමිණ කොළඹ නගරයෙ ගොඩනැඟූ යමුනා නිවසේ පදිංචි වූයේ බෞද්ධ නායකයෙකු වශයෙන් හා සුවිශේෂි දක්ෂතා ඇති නීතිවේදියෙකු ලෙස නමක් දිනා ගනිමිනි.

    දිනක් අශ්වයෙකු පිට නැඟී ගාලු මුවදොර පිටියේ ගමන් කරන විට ඒ අසලට තවත් අයකු සිට නැඟී පැමිණි පුද්ගලයා නිශ්ශංක මහතාගේ අශ්වයා නිරීක්ෂණය කර මේ අශ්වයා කාගෙදැයි විමසීය. මේ සතා අද්වකාත් නිශ්ශංකගේ යැයි ඔහු කීය. ඔහු හමුවෙන්නට හැකි දැයි අසරුවා ඇසීය. පුළුවන් සවසට ගෙදරට එන්න යැයි නිශ්ශංක මහතා කීය. ප්‍රශ්න කළ තැනැත්තා නිශ්ශංක මහතා ගැන අසා තිබුණත් දැන හඳුනාගෙන සිටියේ නැත. සවස නිශ්ශංක මහතා සොයාගෙන ඔහුගේ නිවසට අර අමුත්තා පැමිණියේය. ඒ වන විට නිශ්ශංක මහතා සිටියේ තම ගෙවත්තේ වෙනත් වැඩක යෙදීය.

    ‘‘ළමයෝ අද්වකාත් මහතා සිටිනවා ද?“ ඔහු ඇසීය.

    ‘ඔව් ඉන්නවා. එනකං ගිහින් වාඩිවෙන්න“ නිශ්ශංක මහතා කීවේය.

    ඇඟපත සෝදාගෙන නිශ්ශංක මහතා පැමිණියේය. අමුත්තා පුදුම විය. උදේ හමු වූ පුද්ගලයාත් වත්තෙ වැඩ කළ පුද්ගලයාත් දැන් තමා ඉදිරියේ සිටින පුද්ගලයාත් තිදෙනෙකු නොව එක් අයෙකු බවත් ඔහු තමා නොදැක සිටි නමින් හඳුනන නිශ්ශංක අද්වකාත් මහතා බව ඔහු වටහාගත්තේය.

    මම මහමුදලි සොලමන්ස් ඩයස් බණ්ඩාරනායක ඔහු කීය. ඔව් මම දන්නවා. ඔබගේ පුතත් මමත් එකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගත්තෙ. මම ඒකත් දන්නවා. නමුත් මම මීට පෙර ඔබ දැකල තිබුණෙ නැහැ. මහ මුදලි තුමා කීහ. මා ආවෙ ඔබෙන් ලොකු උදවුවක් ඉල්ලගෙන. මගේ අශ්වයාට වඩා ඔබේ අශ්වයා ඉතා හොඳයි. උසස් වර්ගයේ එකෙක්. ඌ විකුණනවා නම් මට දෙන්න. මම ඔබට ඕනෑම මුදලක් දෙන්නම්. මට සල්ලි මිල මුදල් එපා. ඔබතුමා ඒ අශ්වයා මගෙන් ලැබුණ තෑග්ගක් විදියට ගන්න. එපා එපා මගේ අශ්වයා සමඟ ඔබ වටිනා මුදලක් ගන්න. නැහැ නැහැ මට එපා. මට ඔය වර්ගයේ අශ්වයො කිහිපදෙනෙක් ඉන්නවා. අපේ බළපිටියෙ ගරුමුණි වලවුවෙත් ඉන්නවා, නිශ්ශංක මහතා කීවේය. තමාගේ අසරුවකු සමඟ මහමුදලිවරයාගේ නිවසට අශ්වයා යැවීමට නිශ්ශංක මහතා පියවර ගත්තේය.

    මෙවැනි රසවත් කතා රාශියක් නිශ්ශංක මහතා වටා ගෙතී ඇත. තම මවගේ සහෝදරයා වූ ගරුමුණි රොබට් ද සොයිසා 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරග කරන විට ඔහු බළපිටියට පැමිණ උදවු කළේය. නමුත් එම මැතිවරණයේදීම ගාල්ලට තරග කළ ආචාර්ය සී‍.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා සමග තරග වැදී සිටි තම ඥාතියෙකු වූ රාජ නීතිඥ ප්‍රැන්සිස් ද සොයිසාට උදවු නොකර ඔහු උදවු කළේ කන්නන්ගර මහතා දිනවීමටය.

    1946 සැප්තැම්බර් 06 වෙනි දින ඩී.ඇස්.සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට තම මාමා වූ ගරුමුණි ආතර් ද සොයිසා මහතා තම බෑනා වූ එච්.ශ්‍රී නිශ්ශංක මහතාට ද එයට එක් වන ලෙස ඇරයුම් කළහ. තමාගේ මිතුරා වූ බණ්ඩාරනායක මහතා ද නිශ්ශංක මහතාට ආරාධනා කළත් ඔහුවත් ඔහුගේ එවකට තිබූ දේශපාලන සංවිධානය වූ උඩරට සමාජවාදි පෙරමුණවත් එක්සත් ජාතික පක්ෂයට එකතු වූයේ නැත. ආරම්භක එක්සත් ජාතික පක්ෂයේ 125 වෙනි සාමාජිකයා වූයේ තමාගේ මවගේ සොහොයුරා වූ බළපිටිය හිටපු රාජ්‍ය මන්ත්‍රී ආතර් ද සොයිසා මහතාය. නමුත් නිශ්ශංක මහතා ආරම්භයේ සිටම අංක එකේ එ.ජා.ප විරෝධියෙකු විය.

    1947 මහ මැතිවරණයෙදී බළපිටිය අම්බලන්ගොඩ බහු මන්ත්‍රී ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුනේ ගරුමුණි ආතර් ද සොයිසා මහතාය. එච්.ශ්‍රී නිශ්ශංක මහතා එම මැතිවරණයට ඉදිරිපත් වූයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයට එ.ජා.ප. විරෝධි නිදහස් අපේක්ෂකයෙකු ලෙසය. මෙම මැතිවරණයෙන් කුරුණෑගල ආසනය දිනාගෙන මැති සබයට පැමිණීමට එච්.ශ්‍රී නිශ්ශංක මහතාට හැකි විය. බළපිටිය අම්බලන්ගොඩ බහු මැතිවරණ කොට්ඨාසයේ දෙවෙනි මන්ත්‍රිවරයා වශයෙන් නිශ්ශංක මහතාගේ මාමා වූ ගරුමුණි ආතර් ද සොයිසා මහතා මැති සබයට පැමිණියේ ගාලු දිස්ත්‍රික්කයෙන් මැති සබයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රිවරයාත් ප්‍රථම මන්ත්‍රිවරයාත් වශයෙන් වාර්තාවක් තබමිනි. ඊට අමතරව නිශ්ශංක මහතාත් ආතර් ද සොයිසා මහතාත් එම මැති සබයේ තවත් වාර්තාවක් තැබුවේය. එම වාර්තාව නම් මැති සබය නියෝජනය කළ මාමාත් බෑනාත් වශයෙනි.

    1947 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට රජයක් පිහිටුවීමට ඉඩකඩ නොතබා සමාජවාදි රජයක් පිහිටුවීම සැලසුම් කිරීම එච්. ශ්‍රී නිශ්ශංක මහතා අතින් සිදු විය. ඒ අනුව නිශ්ශංක මහතාගේ කොළඹ පිහිටි “යමුනා” නිවසට කැඳ වූ වාමාංශික පිරිස් ඇතුළු ස්වාධින මන්ත්‍රිවරු බණ්ඩාරනායක මහතා අගමැති කිරීමට පිඹුරුපත් සැකසුව ද මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය දිනා මැති සබයට පැමිණ සිටි බණ්ඩාරනායක මහතා ඒ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේ අගමැතිවරයා වශයෙන් ඩී.ඇස්.සේනානායක මහතාගේ නායකත්වය පිළිගනිමිනි.

    1951 වසර වන විට රජය සමඟ මතභේද ඇතිකරගත් බණ්ඩාරනායක මහතා රජයෙනුත් එක්සත් ජාතික පක්ෂයෙනුත් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන්ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිටි ඩී.ඒ.රාජපක්ෂ මන්ත්‍රිවරයා සමඟිනි. බණ්ඩාරනායක මහතාගේ නව පෙරළියත් සමඟ ඒ ගැන වඩාත් සතුටු වූයේ එච්.ශ්‍රී නිශ්ශංක මහතාය.

    ඔහු නව පක්ෂයක් පිහිටුවීම සඳහා දමා තිබුණු අඩිතාලම බණ්ඩාරනායක මහතාට පැහැදිලි කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1951 වසරේ සැප්තැම්බර් 04 වෙනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දොරට වැඩියේ සඟ,වෙද,ගුරු,ගොවි කම්කරු යන පංච මහා බලවේගයේ පෙර ගමන්කරුවා ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ එච්.ශ්‍රී නිශ්ශංක මහතාටය. පක්ෂයේ නමත්, වර්ණයත්, සළකුණත් එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේය. බෞද්ධ නායකයෙකු වූ නිශ්ශංක මහතා පක්ෂයට වර්ණය යොදා ගැනීමේ දී නිල්පාට තෝරා ගත්තේ එය බෞද්ධ ධජයේ තිබෙන ප්‍රථම වර්ණයත් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ වර්ණයත් නිල්පාට නිසාය. පක්ෂයේ ලකුණට ‘අත’ යොදා ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය සිහිපත් කරගෙනය. තමාගේ නමට තිබෙන ශ්‍රී අකුර පක්ෂයේ මුල් අක්ෂරය ලෙස යොදා ගනිමින් ඔහු සිය පක්ෂය නිර්මාණය කර ගත්හ. බණ්ඩාරනායයක මහතාට තිබුණේ මෙම නිර්මිත පක්ෂයේ නායකත්වය භාර ගැනීම පමණි. එච්.ශ්‍රී නිශ්ශංකගේ නව දේශපාලන පක්ෂයට තමාගේ උපන් නිවස වූ බළපිටිය ගරුමුණි වලවුවේ ඥාතින් කිසිවෙක් සම්බන්ධ වූයේ නැත. බළපිටියේ එ.ජා.ප මූලස්ථානය වූයේ ශ්‍රී.ල.නි.ප ය නිර්මාණය කළ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ මහා ගෙදරය.

    1952 වසරේ පැවැති මහ මැතිවරණයට නිශ්ශංක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගලට ඡන්දය ඉල්ලූ අතර නිශ්ශංක මහතාගේ මෑණියන්ගේ සහෝදරියගේ පුතා වූ අධිනීතිඥ ඉයන් ද සොයිසා මහතා බළපිටියට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් විය. මෙම මැතිවරණයෙන් නිශ්ශංක මහතා පරාජය වුව ද ඥාති සහෝදරයා වූ ඉයන් ද සොයිසා මහතා බළපිටිය මන්ත්‍රිවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති සබයට ආහ.

    කොළඹ මහ නගර සභාවේ වැල්ලවත්ත ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයා වශයෙන් නිතරඟයෙන් පත්ව කොළඹ නගර සභාව නියෝජනය කළ නිශ්ශංක මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරය ද දැරුවේය. තම මෑණියන්ගේ මුත්තණුවන් වූ ආදිරිස් ද සොයිසා ගුණවර්ධන බොදු උවසුවා මෙන් නිශ්ශංක මහතා ද මෙරට ශාසනික ඉතිහාසයේ වටිනාම සේවයක් සැලසූ බෞද්ධ නායකයෙයකු ලෙස සල්ගල ආරණ්‍ය සේනාසනය නඟා සිටුවා වැඩි දියුණු කළේ බෝසත් උතුමෙකු ලෙසය.

    1947 දී පාර්ලිමේන්තුවේ කථානායක පදවියට ද තරග වැදුන මෙතුමා පරාජයට පත්වූවත් නිශ්ශංක මහතාගේ කීර්තිය යශෝරාවය මේ වනතුරු පරාජයට පත් වී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇම්.පී. ද සොයිසා, සී.පී.ද සිල්වා වැනි නායකයන් හඳුන්වා දී ඔවුන්ට පක්ෂයේ මුදුනටම පැමිණීමට අඩිතාලම දැමුවේ නිශ්ශංක මහතා විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නියෝජ්‍ය නායකයාවූ එච්.ශ්‍රී නිශ්ශංක මහතා අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ ළඟම හිතවතෙකු විය. සල්ගල ආරණ්‍යයේ සියලු කටයුතුවලට ඩඩ්ලිගේ සහය ලබා ගත්තේ සහෝදර ප්‍රේමයෙනි.

    නිශ්ශංක මහතා ආරම්භ කළ උඩරට සමාජවාදී පෙරමුණට එක් වූ තරුණයෙකු වූ දි.මු.ජයරත්න මහතාට මෙරට අගමැති වීමට තරම් වාසනාව හිමි විය. එම සංවිධානයේ සාමාජිකයෙකු වූ ටී.බී.ඉලංගරත්න මහතා කීර්තිමත් දේශපාලකයෙකු විය. තමාගේ ගම් පළාතේ උපන් සී.පී.ද සිල්වා මහතා බණ්ඩාරනායක මහතාගෙන් පසු පක්ෂයේ නායකයා විය. (ශ්‍රි.ල.නි. පය අද එය අකාමකා දමා ඇත.) එම්.පී.ද සොයිසා මහතා පක්ෂ ලේකම් වශයෙන් ද ක්‍රියා කළේය. පහතරට ධනපති වලවු පරපුරක උපත ලබා සමාජවාදය වෙනුවෙන් කැපවුන මේ ශ්‍රේෂ්ඨ දේශපාලකයා 1954 පෙබරවාරි මස 26 වෙනි දින දැයෙන් සමුගත්තේ සිරිලක ශ්‍රී සම්බුද්ධ ශාසනයත් දේශපාලනයත් පවතින තුරු අමතක නොවන ශ්‍රී නාමයක් ඉතිරි කරමිනි.

     

     

      අහුන්ගල්ලේ දේ. සූ. ද සොයිසා

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.