24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ඉන්දියා – එංගලන්ත ටෙස්ට් තරගය දින 2න් නිමයි

    - Advertisement -

    අක්ෂාර් පටේල්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

    මේ සමඟින් තරග 4කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ද සත්කාරකයන්ට හැකි විණි.

    - Advertisement -

    ලොව විශාලම ක්‍රීඩාංගණය ලෙස පසුගියදා විවෘත වූ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය දින දෙකක් තුළ නිමා වීම කැපී පෙනෙන සිදු වීමක් විය.

    මේ තරගය ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 49ක ඉලක්කයක් කිසිවකුත් නොදැවී සපුරා ගැනීමට ඉන්දියාවට හැකි විය.

    තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 112කට සීමා කළ ඉන්දීය ක්‍රීඩකයෝ පළමු ඉනිම සඳහා ලකුණු 145ක් රැස් කළේය. ලකුණු 33ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය ලකුණු 81කට දැවී ගියේ ඉන්දියාවට ලකුණු 49ක පහසු ඉලක්කයක් හිමිකර දෙමිනි.

    - Advertisement -

    එංගලන්තය දෙවැනි ඉනිම ලකුණු 81කට සීමා වීමෙන් එය වාර්තා අතරට එක් වූයේ ඉන්දියාව හමුවේ එංගලන්තය දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. මින් පෙර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ඉන්දියාව හමුවේ ටෙස්ට් ඉනිමක දැවී ගොස් තිබූ අඩුම ලකුණු සංඛ්‍යාව 101කි. ඒ 1971 වසරේ ද ඕවල් ක්‍රීඩාංගණයේදීය.

    එංගලන්ත දෙවැනි ඉනිමේදී බෙන් ස්ටොක්ස් ලකුණු 25ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා විය. නායක ජෝ රූට් ලකුණු 19කට දැවී ගිය අතර, පිතිකරුවන් 8 දෙනකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අක්ෂාර් පටේල් ලකුණු 32කට කඩුලු 5ක් දවාගත් අතර, පළමු ඉනිමේදී කඩුලු 6ක් ද බිඳ දැමූ ඔහු තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. අක්ෂාර්ට අනගි සහායක් දුන් රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4ක් බිඳ දැම්මේය. මේ සමඟින් ටෙස්ට් කඩුලු 400 සීමාව පසු කිරීමට ද අශ්වින්ට හැකි විය.

    ඉන්දීය පළමු ඉනිමේදී රෝහිත් ශර්මා ලකුණු 66ක් රැස් කළ අතර, නායක විරාට් කෝලිගේ ඉනිම ලකුණු 27කට සීමා විය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ එංගලන්ත නායක ජෝ රූට් ලකුණු 8කට කඩුලු 5ක් බිඳ දැම්මේ සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමිනි. ජැක් ලීච් කඩුලු 4ක් දවා ගත්තේය.

    - Advertisement -

    දෙරට අතර, සිව්වැනි සහ අවසන් තරගය ලබන 4 වැනිදා අහමදාබාද්හිදීම පැවැත්වේ.


    ලෝක ශූරතාවලියෙන් එංගලන්තය එළියට

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජය වීමත් සමඟ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට එංගලන්තයට සිදු විය.

    අවසන් තරගය සඳහා මේ වන විටත් නවසීලන්තය සුදුස්සන් වී සිටින අතර, එංගලන්තයට ඒ සඳහා එක්වීමට නම් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග 4කින් සමන්විත මේ තරගාවලිය ජය ගැනීම අනිවාර්ය වී තිබිණි.

    කෙසේ වෙතත් මේ වන විට තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර, එංගලන්තය ඉතිරි තරගය ජය ගත්ත ද තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වනු ඇත.

    මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව ඇත්තේ සියයට 71.0ක ජයග්‍රහණ ප්‍රතිශතයක් සමඟිනි. නවසීලන්තය (70.0%) දෙවැනි තැන පසුවන අතර, දෙවැනි තරගයෙන් පරාජයෙන් 67.0% දක්වා පහත වැටුණු එංගලන්තයේ ජයග්‍රහණ ප්‍රතිශතය මේ වන විට 64.1ක දක්වා අඩු වී තිබේ.

    එංගලන්තය එළියට විසිවීමත් සමඟ ඉන්දියාවට අවසන් තරගයට එක්වීම සඳහා වැඩි අවස්ථාවක් තිබේ. කෙසේ වෙතත් මේ තරගාවලියේ දෙස තව දුරටත් බලා සිටීමට ඔස්ට්‍රේලියාවට ද සිදුව තිබෙන්නේ ඔවුන්ට ද තවමත් අවස්ථාව තිබීම හේතුවෙනි. ඔස්ට්‍රේලියාව 69.2%ක ප්‍රතිශතකයක් සමඟින් තෙවැනි තැන පසු වෙයි.

    කෙසේ වෙතත් ඉන්දියාවට අවසන් තරගයට එක්වීමට නම් එංගලන්තය සමඟ මේ තරගාවලියේ අවසන් තරගය ජය ගැනීම හෝ ජය පරායෙන් තොරව නිමා කර ගැනීමට සිදුව තිබේ. එසේ නොවී ඉන්දියාව පරාජය වුවහොත් අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ ඔස්ට්‍රේලියාවටයි.

    ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලබන ජූනි 18 වැනිදා සිට 22 වැනිදා දක්වා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.