පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මඟින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පිළිබඳ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාක්ෂි සලකා බැලීමේදී අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් බව එවකට රජය ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිසන් සභාවේ මතය වී තිබුණද හිටපු ජනපතිට හා අගමැතිට ද්විත්ව ප්‍රමිතියකින් සලකා ඇතැයි එමඟින් දක්වා ඇත.
කොමිසන් වාර්තාව මඟින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ කර ඇති නිර්දේශ තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
මේ කොමිෂන් සභාව ස්ථාපිත කළ අරමුණු සාධනය සඳහා සාධනීය පිළිතුරු නිගමන හා නිර්දේශ මේ වාර්තාවේ අඩංගු නොවන බව පක්ෂයේ පොදු මතය බවත් කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේදී පවරන ලද විෂය සීමා ඉක්මවා ඔවුන්ගේ නිගමන හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් නිවේදනයේ සඳහන් කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙන්වා දෙන්නේ විෂය පථයට කිසි ලෙසකින්වත් අදාළ නොවන කරුණු පිළිබඳ විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවයි.
සිද්ධියට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කර නැති කොමිෂන් වාර්තාව මඟින් හිටපු ජනාධිපතිවරයා රාජකාරි හා වගකීම් පැහැර හැර ඇති බවත්, එය හුදෙක් සිවිල් නොසැලිකිලිමත් බව ඉක්මවා යන බවත් ප්‍රකාශ කර ඇතැයි පවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපතිවරයකුට එරෙහිව යම් පැහැර හැරීමක් මත අපරාධ නඩු පැවරිය යුතු යැයි තීරණය කරන ලද සංකල්පය අහිත කර පූර්වාදර්ශයක් වන අතර එය රාජ්‍ය නායකයකු වෙත ව්‍යවස්ථාවෙන් දෙන බලය හෑල්ලු කිරීමක් බවද නිවේදනයේ දක්වා තිබේ.
හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කර ගත් මේ ක්‍රියාව තුළින් අනාගතයේදී ඕනෑම රාජ්‍ය නායකයකුට එරෙහිව සාපරාධි චෝදනා ගෙන ඒමේ පූර්වාදර්ශයක් ස්ථාපිත වන බවද එය භයානක අධුරදර්ශී ක්‍රියාවලියක් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පෙන්වා දී තිබේ. ඒ අනුව මේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන කළ යුතු දෙයක් නොමැති බවට පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කළ බවද නිවේදනයේ සඳහන් කර තිබේ.
The article first published on dinamina.lk ⋆෴⋆