24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    ගෑනු ළමයින්ට ඕනෑ මොනවා ද?

    - Advertisement -

     

    ඊයෙ පෙරේදා දවසක රූපවාහිනියේ තරු එක්ක කරන කතාබහක් අහම්බෙන් ඇහැ ගැටෙනවා. තරු කිවුවට වැඩසටහනේ ඉන්නෙ අහසෙ පායන තරු නෙමෙයි. රූපවාහිනියට, සිනමාවට, සංගීත ක්ෂේත්‍රයට අලුතෙන් පායපු තරු. කොයිතරම් අලුත් ද කියනවා නම් ඒ තරු කීපයක්ම කවදාවත්ම රූපවාහිනියේ වත්, සිනමාවේ වත් ඇහැගැටිලා නැති තරමටම අලුත්. සාමාන්‍ය ප්‍රේක්ෂකයො දැකලාවත් නැති උදවිය එක පාරටම තරු වෙන්නේ කොහොමද කියලා මං කල්පනා කරනවා. ඒත් එයාලා රඟපානවා, සින්දු කියනවා ඇති. නැත්නම් තරු ලේබලයක් එක්කලා රූපවාහිනී වැඩසටහන්වල පෙනී ඉන්න බැහැනේ කියලා ආයෙම මට හිතෙනවා.

    - Advertisement -

    ඉස්සර හුඟක් වැඩසටහන්වල හිටියේ එක නිවේදකයෙක් විතරක් වුණාට අලුත් පන්නෙ වැඩසටහන්වල නිවේදකයො දෙතුන් දෙනෙක් ඉන්නවා. එක නිවේදකයෙක් තරුවලින් ප්‍රශ්න අහනකොට අනෙක් නිවේදක නිවේදිකාවො සින්දුවලට අත්වැල් අල්ලන සහාය ගායක ගායිකාවො වගේ, ඒ ප්‍රශ්නවලට හූමිටි තියනවා. එහෙම නැත්නම් හරි සද්දෙන් හිනාවෙලා “ඒ ප්‍රශ්නෙට මං එකඟයි” කියලා හිතෙන විදිහෙ සහාය ප්‍රශ්න අහනවා.

    වැඩසටහනේ ප්‍රධාන නිවේදකයා කොළ පාට දිග ඇඳුමක් ඇඳපු නීල වර්ණ දිග කේශකලාපයක් තියෙන, රූපසුන්දරියක් කියලා ඕනෑම කෙනකුට හිතෙන ලස්සන තරුවකින් ප්‍රශ්න අහනවා.

    “කසාද බඳින්න කැමැති මොනවගේ කෙනෙක් ද?”

    - Advertisement -

    තරු වෙළෙඳපොළේ වැඩියෙන්ම විකිණෙන ප්‍රශ්නයක්. රූප රාජිනී තරගෙකින් තුන්වෙනි තැනට ආපු රූපවන්තිට රූපෙ ලස්සන වගේම ජීවිතේ දිහා යථාර්ථවාදීව බලන හැකියාවත් තියෙනවා කියලා පෙන්නන උත්තර කීපයක්ම එයා ඒ ප්‍රශ්නෙට දෙනවා.

    “මට ලුණුයි බතුයි කන්න බෑ. ඒ නිසා සල්ලි බාගෙ තියෙන කෙනෙක් වෙන්න ඕනෑ, හොඳ ගතිගුණ වගේම සල්ලිත් වැදගත්” රූපවන්ති කියනවා.

    “ගතිගුණ නැතත් සල්ලි තිබුණම ඇද්ද?” කතාව කණපිට හරවන්න හදන නිවේදකයා අහනවා.

    - Advertisement -

    “මට වාහනයක් තියෙන නිසා එයාටත් වාහනයක් තියෙන්න ඕනෑ” රූපවන්ති එයාගේ තව අවශ්‍යතාවයක් කියනවා. “ඔයාට තියෙන වාහනේට වැඩිය ලොකු වාහනයක් ඕන නම් රෝසා බස් එකක් ගමු” සහය නිවේදක තැන ප්‍රතිඋත්තර දෙනවා.

    “එයා මට වැඩිය උස වෙන්න ඕනෑ”. ගෑනු ළමයා කියුවම “ඔයා ඉස්සෙල්ලම බලන්නෙ රූපෙ හැඩහුරුකම ද?” කියලා සහයට ඉන්න ගැහැනු නිවේදිකාව අහනවා.

    නිවේදක නිවේදිකාවො රූපවන්තිව හිනාවට ලක් කරන්න හිතාගෙන ප්‍රතිඋත්තර බැන්දට එයා සැලෙන්නෙ නැතුව ගෑනු ළමයකුට වුවමනා දේවල් ගැන “තිත්ත ඇත්ත” කියනවා. තමන්ගෙ සහකාරයා තමන්ට සහකාරයෙක් විතරක් නොවී පවුලේ අනිත් උදවිය එක්කත් සහයෝගයෙන් ඉන්න ඕනෑ බවත්, තමන් එක්ක තැනකට ගියාම “මහත්තයෙක්” විදිහට ඉන්න එක වැදගත් විත්තියත් එයා කියනවා.

    “කලින් ප්‍රේමවන්තයට මොකද වුණේ? ” කියලා නිවේදක මහත්තයා ඇහුවාම “යාළුවෙන හැමෝම කසාද බඳින්නෙ නෑනේ…” කියලා සරල උත්තරයක් එයා දෙනවා. ඒ උත්තරේ විහිළුවක් විදිහට බාර අරගෙන නිවේදක උදවිය එයාට හිනාවෙනවා. ඒත් එයා ගානක් නැතුව “ගෑනු ළමයින්ට ඕනෑ මොනවද?” කියන තිත්ත ඇත්ත කියනවා.

    හැම ගෑනු ළමයටම ඕනෑ තමන්ට වැඩිය උසස්, සල්ලි බාගෙ වැඩිපුර තියෙන, තමන්ට වැඩිය දැන උගත් කෙනෙක් ද? එහෙම කියන්න බෑ. එච්චර කරුණු කාරණා ගළපන්නෙ හුඟක් වෙලාවට තමන්ටත් තමන්ගෙ දෙපයින් හිටගන්න පුළුවන් ගෑනු ළමයින්ම තමයි. ප්‍රේමවන්තයාගෙන්ම ජීවිත කාලෙ පුරාවටම යැපෙන්න බලාගෙන සුදුසුකම් කන්දක් එක්කලා ප්‍රේමවන්තයෝ හොයන ප්‍රේමවන්තියෝ දැන් ඉන්නෙ අතළොස්සක් විතරයි.

    එතකොට බොළඳ ආදර කතන්දරවල තියෙන දුප්පත් ප්‍රේමවන්තයාට ප්‍රේම කරන පොහොසත් ප්‍රේමවන්ති ඉන්නෙ සුරංගනා කතන්දරවල විතර ද? එහෙම නෑ. ඇත්ත කතන්දරවලත් එයාලා ඉන්නවා.

    සමාධි ප්‍රේම කතන්දරේක පැටළුනේ බොහොම තරුණ කාලෙමයි. ආදරේ නාමෙන්ම විශ්විද්‍යාලෙට තේරුණත් නොයා ඉන්න සමාධි තීරණය කරන්නෙ, “කැම්පස්වල ඉන්නෙ නරක ගෑනු ළමයි” කියලා එයාගෙ ප්‍රේමවන්තයා කලින්ම තීරණය කරලා තිබිච්චි හින්දයි.

    යමක්කමක් තිබිච්ච පවුලක එකම ගෑනු දරුවා වෙච්චි හින්දම එයාගෙ මව්පියෝ සල්ලිබාගෙ, ඉගනීම අතින් තමන්ගෙ දුවට ගැළපෙන මහත්තුරු කොයිතරම් හෙව්වත්, සමාධි ඉන්නෙ ආදරෙන් අන්ධ වෙලා හන්දා එයාට ඒ ගැළපීම් හැමදේකටම වැඩියෙන් “පළවෙනි ආදරේ” ගැළපෙනවා කියලා හිතෙනවා.

    සමාධිගෙ පළවෙනි ආදරේ වෙච්චි පිරිමි ළමයට හරිහමන් ඉ‌ෙගනීමක්වත්, ඉන්න තැනක්වත් නෑ. ඇඳුම් පැලඳුම් ටික විතරක් අරගෙන ප්‍රේමවන්තයා එක්කලා හඳපානෙ යන්න ගියපු හන්දා සමාධිට ජීවත් වෙන්න වුණේ ප්‍රේමවන්තයාගෙ දෙමව්පියෝ එක්ක. ඒ ජීවිතේ එච්චර සාමකාමී නොවිච්ච හන්දා එයාලා පස්සෙ කාලෙක මහගෙදරම ඉඩමෙ කොනක පැලක් අටව ගන්නවා. හරිහමන් ඉගනීමක් නැති සමාධිටවත් එයාගේ ප්‍රේමවන්තයාටවත් කවදාවත් වැදගත් රැකියාවක් ලැබෙන්නෙ නෑ. හැමදාම එයාලා ජීවත්වෙන්න අනුන්ට අතපානවා. අර රූපවාහිනී වැඩසටහන කරපු නිවේදක මහත්තැන්ම නොවුණත්, වෙන රූපවාහිනී නාලිකාවක, වෙන නිවේදක මහත්තයෙක් සමාධිටත් එයාගෙ මහත්තයාටත් ආදරේ නාමයෙන් ඉපදුණු දරු පැටව් පස් දෙනාටත් ආධාර ඉල්ලලා තව වැඩසටහනක් කරනවා.

    ආදරේ කියන්නේ දාඩිය සුවඳට ප්‍රේම කරනා එක විත්තියත්, අත අත නෑර එක මග ගමන් කරනා එක විත්තියත් බොළඳ ප්‍රේම කතන්දර ලියන, සංවේදී පෑන් තුඩුවල අයිතිකාරයෝ වෙච්චි ගත්කතුවරු කියනවා. එහෙම ලියුවට, සාර්ථක වෙන ප්‍රේම කතන්දර ඇතුළෙ හදවතට වගේම, බුද්ධියටත් තීරණ ගන්න අවස්ථාවක් තියෙනවා.

    දසුනි හෙට්ටිආරච්චි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.