24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    ඉන්දියාව ෆැන්ටසි අපි රියැලිටි

    - Advertisement -
    දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති , අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට
    මාර්තු 4, 2021

    “මම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සමුළුවකට සහභාගී වෙලා එන ගමන් තානායමකට ගියා කෑම කන්න. එක මේසෙක එකම පුටුවයි ඉතිරිව තිබුණේ. එතැන සිටි සුදු නෝනාගෙන් අවසර අරගෙන වාඩි වුණාම මගෙන් රට මොකක්ද ඇහුවා. ශශ්‍රී ලංකාව කීවාම ඇය කෑම ගැනීම පසෙකලා මා එක්ක කතා කළා. ඇය බීබීසී ආයතනයේ ආචාර්යවරියක්. ‘අපි ඔබේ රට ගැන කතා කරනවා නව මාධ්‍ය, සමාජ මාධ්‍යවල බලපෑම නිසා වසරකට දික්කසාද වන පවුල් ගණන, වයස හැට පැන්න අය අවුරුදු විස්සේ විසිපහේ තරුණියන් සමඟ විවාහ වී ඇති රටකට උදාහරණයක් හැටියට.’ ඇය කියන විදිහටත් සමාජ මාධ්‍ය කියන දේ අපේ රටේ කොයිතරම් අවභාවිත වෙලා තියෙනවාද? ඒ නිසා රට හරි තැනකට ගන්න නම් සිනමාවම තමයි හොඳම සහ එකම මාධ්‍යය වන්නේ.” මෙසේ කීවේ රොහාන් වැලිවිට මහතාය. ඔහු වත්මනේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරය මෙන්ම දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපතිධුරයත්, අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ උපලේකම් ධුරයත් හොබවයි. ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ රොහාන් වැලිවිට මහතා වත්මන් සිනමාවේ අර්බුදය සහ ඔහු සම්බන්ධ වී ඇති සංගම් එකතුවෙන් ලබාදුන් විසඳුම් යෝජනා පිළිබඳ සරසවිය සමඟ කළ කතා බහකි මේ…

     

    - Advertisement -

    සිනමා ශාලා ජනවාරියේ විවෘත කරන්න ඔබ මුල් වුණා?

    සිනමා ශාලාවලට ආදායම් නොලැබීම නිසා ශාලා හිමියන් සහ මණ්ඩල බොහොම උනන්දුවකින් සහ උවමනාවකින් ඒවා නැවත ආරම්භ කරන්න කියලා ඉල්ලීමක් කළා. එයට හේතුව අනෙක් ක්ෂේත්‍රවලත් වැඩ ආරම්භ කිරීම. ඒත් ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් පෙන්වන්නේ මොන චිත්‍රපටද කියන එක. ඒ කියන්නේ සිනමා ශාලා වසන මොහොතේදී ආකර්ෂණීය චිත්‍රපට සිනමා ශාලාවල පෙන්වමින් තිබුණාද? නැත්නම් ආපසු විවෘත කරන වෙලාවේ පෙන්වන්න ආකර්ෂණීය චිත්‍රපටයක් තිබුණාද කියන එක. එවැන්නක් නොතිබුණු නිසා ප්‍රේක්ෂකයන් කොපමණ සංඛ්‍යාවක්ද ආවේ කියන එක තමයි දෙවැනි ප්‍රශ්නය. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් එන්නේ ආකර්ෂණීය චිත්‍රපට තිබුණොත් විතරයි. ඒ වගේම කොවිඩ් බිය නිසා ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත ඇදුණේ නැහැ. එනිසා මේ වෑයම කොතරම් සාර්ථක වුණාද යන්න ප්‍රශ්නයක්. මම දන්න තරමින් නම් මේ විවෘත කිරීම එතරම් සාර්ථක වුණේ නෑ.

     

    - Advertisement -

    ඒ කියන්නේ සිනමා ශාලා විවෘත නොකළා නම් හොඳයිද?

    නෑ. එහෙම වුණා නම් සිනමාව එතැනින්ම නවතිනවානේ. ඒ නිසා විවෘත කළ එක හොඳයි. ඒත් ශාලා හිමියන්ට නඩත්තු කටයුතු සඳහා වැය වන මුදලවත් ලැබුණේ නැහැ. පාඩු ලබමින් සිටි ශාලා තවදුරටත් පාඩු වීමමයි සිදු වුණේ. ප්‍රේක්ෂකයන් එන තරමටනේ ශාලාවට ආදායම ලැබෙන්නේ. කොවිඩ්වලට කලිනුත් ප්‍රේක්ෂකයන් අඩු වුණා, කොවිඩ් ව්‍යසනයත් ආවා ඒ අතර අපි ශාලා නැවත විවෘතත් කළා.

     

    - Advertisement -

    සිනමාව ඇත්තටම කඩා වැටුණේ කොවිඩ් නිසාද?

    ඇත්තම කතා කළොත් පසුගිය දශකයක එකහමාරක පමණ කාලේ ඉඳලා සිංහල සිනමාව ජනතාවගෙන් දුරස්ථ වෙමින් තිබුණේ. එයටත් හේතු වුණේ ජනාකර්ෂණීය චිත්‍රපට නිර්මාණය නොවීම සහ තරුණ පෙළ වෙනත් මාධ්‍යවලට යොමු වීම. රූපවාහිනියේ චිත්‍රපට විශාල වශයෙන් පෙන්වනවා. සමහර නාළිකා යැපෙන්නෙම චිත්‍රපට පෙන්වලා. ඒ අතර අන්තර්ජාලය, නෙට්ෆ්ලික්ස් වැනි දේ ආව නිසා තමයි අපේ සිනමාව මෙතරම් වැටුණේ. අනෙක චිත්‍රපටයක් මුදා හැරලා මාස තුනහතරක් යන්න කලින් ඩීවීඩී එක වෙළෙඳපොළේ තිබෙනවා. ඒ නිසා රසිකයන් හිතනවා දහස් ගාණක් දීලා චිත්‍රපටයක් නරඹනවාට වඩා රුපියල් සීයක් දීලා පවුලම ඩීවීඩී එක බැලුවාම වාසියි කියලා.

     

    ඔබ අපේ සිනමා කෘතිවල ආකර්ෂණීය බව ගැන කතා කළා, විදේශ සම්මාන උලෙළවලින් සම්මාන පිට පිට දිනන චිත්‍රපට ගැන මොකද හිතන්නේ?

    ජනතා ආකර්ෂණීය කියන එකයි සම්මානවලට පාත්‍රවීමයි සමහර විට කරුණු එකක් හෝ දෙකක් වෙන්නත් පුළුවන්. ඔය අන්තර්ජාතික උලෙළකටම තේමාවක් තිබෙනවානේ, එයට අදාළව තමයි සම්මාන ලැබෙන්නේ. ඒවා කාන්තා, ළමා, කලාත්මක, මානව හිමිකම් ආදී විවිධ මාතෘකා යටතේ විය හැකියි. එනිසා සම්මානයට පාත්‍ර වුණත් ජනතා ආකර්ෂණීය නොවන්න පුළුවන්. කලාත්මක විය හැකියි, ඒවාට යොමු වුණ පිරිසකුත් සිටිය හැකියි. ඒත් ඒ තරම ප්‍රමාණවත්ද කියන දේ ආදායමින් සහ චිත්‍රපටයේ ප්‍රදර්ශන දින ගණනින් සිතන්න වෙනවා. ඒ වගේම ඒවා කලාත්මක නම්, අපේ රටේ මේ වෙද්දි කලාත්මක චිත්‍රපටවලට යොමු වන රසික සංඛ්‍යාව අඩු වෙලා තිබෙනවා. මොකද ඊට වඩා විනෝදාස්වාදයෙන් යුතු නිර්මාණ රූපවාහිනී නාළිකා මඟින් ගෙදර මැද සාලෙටම ගෙනැත් දෙන නිසා.

     

    ආකර්ෂණීය සිනමාව යන්න ඔබ නිර්වචනය කරන්නේ?

    නිර්මාණයක් හොඳද නැත්ද කියන්න අයිතියක් තියෙනවාද කියන ප්‍රශ්නය මට තිබෙනවා. පෞද්ගලිකව තමන්ගේ කැමැත්ත අකමැත්ත කියන්න නම් අයිතියක් තිබෙනවා. ඒත් හොඳ නරක සඳහා හේතු සාධක ඉදිරිපත් කරන්න අපට හැකියාවක් නෑ. අර උලෙළවලදී නම් තේමාවක් තිබෙන නිසා එයට අනුකූලව එවැනි නිර්ණායක සපයන්න පුළුවන්. හැබැයි ආකර්ෂණීය සිනමාව ලෙස මම සලකන්නේ, ප්‍රේක්ෂකයන්ට ශාලාවට ඇවිත් කම්මැළි නැතිව බලා ඉන්න පුළුවන් චිත්‍රපට. එයට කතා තේමාව, සංගීතය, තාක්ෂණය, දෘශ්‍ය ප්‍රයෝග, නළු නිළියන් ඇතුළු අනෙකුත් අනුශාංගිකාංග ඇතුළත්.

     

    ඔබ කියන්නේ පසුගිය දශක එකහමාරක් පුරාම එවැනි චිත්‍රපට තැනුණේ නෑ කියාද?

    නෑ. නෑ. හැදුණා. ජැක්සන් ඇන්තනිගේ අබා, සෝමරත්න දිසානායකගේ සියලුම චිත්‍රපට පාහේ, ජයන්ත චන්ද්‍රසිරිගේ, අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපට ජනතා ආකර්ෂණයට ලක් වෙලා ලාභ ලබන තත්ත්වයට පත් වුණා. ඒත් එය ප්‍රමාණවත් නැති වීමයි ගැටලුව. අපේ සිනමාව සමඟ අපේ ප්‍රේක්ෂකයන් රඳවා තබන්න ඒවා විතරක් මදි. හැදෙන සෑම චිත්‍රපටයක්ම කලාත්මක හෝ ජනාකර්ෂණීය විය යුතුයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපේ රටේ චිත්‍රපටයක් හදන්න කිසිම සුදුසුකමක් ඕනෙ නෑනේ. තමන්ට සල්ලි තිබෙනවා නම් හෝ සල්ලිකාර ව්‍යාපාරිකයකු සොයා ගත්තොත් හෝ චිත්‍රපටයක් හදන්න පුළුවන්. ඒත් චිත්‍රපට කියන්නේ මහ පුදුම විෂයයක්. ක්ෂේත්‍රයේ වැඩකරමින් දවසින් දවස ලබන අත්දැකීම් සමඟ තමයි නිර්මාණයක් උසස් මට්ටමට ගන්න පුළුවන් වන්නේ.

     

    මේ කොරෝනා තත්ත්වය සමඟ සිනමා කර්මාන්තය කියන දේ පුළුල් තිරයේ සීමාවෙන් ඔබ්බෙහි ඇති වෙනත් මානයකට යොමු වන බව ඔබටත් පේනවා ඇති? ඒ අනුව අපි මේ යන ගමන වෙනස් විය යුතු නැද්ද?

    මම විශ්වාස කරන්නේ නම් ඔය කියන අතුරු දේවලින් සිනමාවට කළ හැකි බලපෑම සියයට 2-3ක් පමණයි. සිනමාව කියන්නෙම පුළුල් තිරය කියන දෙයමයි. ඕනෙම කෙනෙකු කැමැති තමන්ගෙ රූපයට වඩා විශාල රූපයක් දිහා බලන්නයි. ඒ නිසානෙ අපි පන්සලට ගිහින් බුදු හාමුදුරුවන්ගේ පිළිම දිහාත් බලාගෙන ඉන්නේ. අපි කොටස් තුනකට බෙදුවොත් සිනමාව කියන්නේ ‘බිග් ස්ක්‍රීන්’, රූපවාහිනිය කියන්නේ ‘ස්මෝල් ස්ක්‍රීන්’, මේ ෆෝන් එකට කියන්නේ ‘මයික්‍රෝ ස්ක්‍රීන්’ කියලයි. ඉතින් අපි සිනමා ශාලාවකට ගිහින්, දොරවල් වහලා කළුවර කරලා 5.1 හෝ 7.1 ශබ්ද තාක්ෂණයත් එක්ක ඒ විඳීන අත්දැකීම ටෙලි විෂනයෙන් හෝ ෆෝන් එකෙන් ලබන්න පුළුවන්ද? ඒ නිසා මම විශ්වාස කරන්නේ ටික කාලයක් යනකල් මේවා සිනමාවට තර්ජනයක් වුණත් හොඳ චිත්‍රපටයක් හැදුවොත් එය බලන්න නම් සිනමා ශාලාවට යා යුතුමයි. එහෙම නැතුව ටෙලි විෂනය හෝ ෆෝන් එක දිහා බලා හිටියාට හෝ නෙට්ෆ්ලික්ස් වගේ ඒවාට චිත්‍රපට දාලා නැත්නම් ඒවා බලන්න බෑනේ. මේ වෙලාවේ ලංකාවේ බලාපොරොත්තුවක් තැබිය හැකි විදිහට හැදුණු චිත්‍රපට කීපයක් තිබෙනවා. ඒවා බලන්න ප්‍රේක්ෂකයන් අපේක්ෂාවෙන් ඉන්නවා.

     

    මුළු ලෝකයේම සිනමාව කඩා වැටෙද්දි හොලිවුඩ්වල පවා පියවර වුණේ චිත්‍රපට අන්තර්ජාලයට මුදා හැරීම?

    මම ලෝකයේ අනෙක් රටවල සිනමාව ගැන නම් දන්නේ නැහැ, හැබැයි ඉන්දියාවට සහ අපේ අය චිත්‍රපට හදන්නේ අතේ සල්ලිවලින් නෙවෙයි. නිෂ්පාදකයකු සමඟ. එහෙම වෙලත් අපේ කිසිම ප්‍රවීණ, ජනප්‍රිය නිර්මාණකරුවකු ඒ වැඩේ නොකරපු එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් ඒවා කවදා හෝ සිනමාශාලාවල පෙන්වීමට තබාගෙන ඉන්නවා.

     

    හැබැයි සංඛ්‍යාලේඛන අනුව අද චිත්‍රපට නොබලන ලංකාවේ පිරිස කෝටි දෙකකට වැඩියි. වයස අවුරුදු 15ට අඩු දරුවන් බහුතරයක් සිනමා ශාලා කියන අත්දැකීම ලබලාම නැහැ. ඒත් ඔවුන් සිනමා රසිකයන්. එවන් පසුබිමක ඒ රසිකයන් වෙනුවෙන් යමක් කළ යුතු නැද්ද?

    ඒ මාර්ගයටත් පිවිසෙන්න ඕනෙ තමයි. ඒත් ළමයින් එහෙම ඒ ක්‍රම ඔස්සේ චිත්‍රපට නරඹද්දි මොකක්ද තිබෙන වාරණය? ඒත් සිනමා පටයක් කියන්නේ මේ රටේ සංස්කෘතිය සාරධර්ම ඉතිහාසය අනුව අනිවාර්යයෙන් රැඟුම්පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලබන දෙයක්. නිර්මාණයක් ළමයින්ට සුදුසු නැත්නම් එය වැඩිහිටියන්ට පමණයි කියන ලේබලයෙන් නිකුත් වෙන්නේ. කිසිම කලා නිර්මාණයකින් ජාති, කුල, ආගම් භේද ඇති කරන්න බැහැ. ඒ නිසා කිසිම නීතියක් රීතියක් ප්‍රමිතියක් නැති ස්මාර්ට් ෆෝන්වලින් චිත්‍රපට බැලීමෙන් ළමයින් පුළුවන් තරම් ඈත් කරලා, දේශීය සිනමාවට, සිංහල සිනමාවට දරුවන් හුරු කරන්න ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන්න හුරු කරන එක. අපේ සංස්කෘතිය, ආගම ආරක්ෂා වන පළමු කලා මාධ්‍යය තමයි සිංහල සිනමාව. අනෙක අපට ගෘහ උපකරණ, ඇඳුම්, වාහන සියල්ල පිටරටින් ගෙන්වූවත් කවදාවත් අපට සිංහල චිත්‍රපටයක් රටින් ගෙන්වන්න බෑනේ…

     

    ඔබේ ඔය ආරාධනාව පිළිගන්න තරම් ගුණාත්මක චිත්‍රපට රසිකයන්ට පිරිනමන්න නිර්මාණකරුවන් කටයුතු කර තිබෙනවාද?

    එතැන තමයි ප්‍රශ්නය. නිර්මාණකරුවන්ගේ අඩුපාඩුව නිසා මිස රූපවාහිනිය හෝ ස්මාර්ට් ෆෝන් නිසා නෙවෙයි සිනමාව මෙතරම් බිඳ වැටුණේ.

     

    ප්‍රේක්ෂකයා අපේක්ෂාවෙන් බලා ඉද්දි නිර්මාණවලත්, ශාලාවලත් ප්‍රශ්න තිබෙනවා නම් කවුද කොහොමද මෙය විසඳීය යුත්තේ?

    මම ඒ වෙනුවෙන් පෙනී සිටි නිසයි කියන්නේ, මගේ මතය නම්, මෙය අපේ රටේ ඇති අර්බුදයකට ලක් වූ කර්මාන්තයක් ලෙස සලකා රජය මැදිහත් වී මේ රට පවතින තාක් කල් අපේ රටේ අනන්‍යතාවක් වූ සිංහල සිනමාව රැක ගැනීමට කටයුතු කළ යුතුයි. ක්‍රිකට්වලටත් කලිනුයි අපේ සිනමාව ජාත්‍යන්තරයට ගියේ. ඒ මතය දරන නිසා තමයි මම මූලික වෙලා ගිය ජනවාරි 8 වැනිදා අපේ රටේ ඇති සිනමා සංගම් අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සංසදය, නිෂ්පාදකවරුන්ගේ සංසදය සහ සිනමා ශාලා හිමියන්ගේ සංගමය ඒකාබද්ධව සිනමා විෂයය භාර ඇමැතිවරයා විදිහට අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළේ මේ වෙනුවෙන් පෙනී සිටින ලෙස. අපි ඒකාබද්ධව ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා වසර දෙකක කාලයකට. අගමැතිතුමා එය පිළිගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස විනෝද බද්ධ සියයට 100ක් ඉවත් කළා. එය සියයට පනහ බැගින් දෙකට බෙදෙනවා ශාලා හිමියාට හා නිෂ්පාදකයාට. මිලියන 35ක් දක්වා චිත්‍රපටයකට වැය කළොත් බදු සහන ලැබෙනවා, ඒ අනුව අපේ රටේ ව්‍යාපාරිකයන් චිත්‍රපට නිෂ්පාදනයට පෙලඹෙයි කියලා විශ්වාස කරනවා. චිත්‍රපට නිෂ්පාදනයට අදාළ උපකරණ සඳහා තීරු බදු සහනයක් ලැබුණා, විදුලි බිලට සහනයක් ලැබී තිබෙනවා. සිනමා ශාලා නවීකරණයට සහ චිත්‍රපට නිෂ්පාදනයට සියයට 4 අඩු පොළී ණය පහසුකම ලබා දෙන්න සාකච්ඡා කරමින් යනවා. මේ සියල්ල ලැබුණොතින් අප විශ්වාස කරනවා මේ වසර දෙක තුළ කොවිඩ් නීතිරීතිවලට යටත්ව වුවත් යම් ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වේවි කියලා.

     

    ඔබ ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂධුරයේ දැන් නැහැ. එවිට මේ සඳහා සංස්ථාවේ භූමිකාව කුමක්ද?

    මේ රජය ක්‍රියාකාරී අධ්‍යක්ෂ කියන තනතුර අහෝසි කළ නිසයි මම සංස්ථාවෙන් ආවේ. ඒත් මම තමයි දේශීය සිනමා ශීල්පීන්ගේ සංවිධානයේ සභාපති වගේම අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ උපලේකම්. ඉහත කී සියලු කටයුතු සිදු වන්නේ චිත්‍රපට සංස්ථාව හරහා එහි අධීක්ෂණය සහ අනුමැතිය අනුවයි. වර්තමානයේ සිනමාවේ බලධාරියා ජාතික චිත්‍රපට සංස්ථාවයි.

     

    අපේ රටේ කලාකරුවන්ගේ සංගම් වැඩිකල් නොපවතින බවට සහ එතරම් ක්‍රියාකාරී නොවන බවට මතයක් තිබෙනවා?

    සිනමාව සම්බන්ධ මේ සංගම් හතරම දැන් අවුරුදු හතකට වඩා කල් පැවතුණු ඒවා. මේ සියල්ල මේ මොහොතේ සියයට සියයක් ක්‍රියාත්මකයි. අපේ තව මතයක් තමයි චිත්‍රපටයක් ශාලාවලට මුදාහැර වසර දෙකකට පසු ඩීවීඩී හා රූපවාහිනී නාළිකාවලට දීම සුදුසුයි කියන දේ. අනෙක අපේ රටේ සුඛෝපභෝගී ජීවන තත්ත්ව ගත කරන්න කැමැති ජනතාවක් ඉන්න මොහොතක චිත්‍රපටයක් බලන්න යන්නම ඕනෙ කෙනා ඒ සඳහා යන්නේ ඉහළම පහසුකම් තිබෙන තැනකට. මොකද සාමාන්‍ය තැන්වල වැසිකිළි පහසුකම්, වායු සමීකරණ, මකුණො කන්නෙ නැති ආසන, ළමයින් සමඟ ගියොත් කන්න බොන්න තැනක් හරියට නැහැ. ඒ නිසා ශාලා හිමියන් අන්ත දුක්ඛිත තත්ත්වයෙන් මුදවන්න තමයි ණය ක්‍රමයක් පවා යෝජනා වුණේ. ඉතින් මේ තමයි හරිම වෙලාව රජය සිනමා කර්මාන්තය ආරක්ෂා කර වැඩිදියුණු කිරීම සඳහා අත තැබිය යුතු. එහෙම නොවුණොත් සමහර විට අපේ සිනමා කර්මාන්තයට විදේශීය සමාගම් එන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් සිංහල චිත්‍රපට ඒ ආයතනවලට අවශ්‍ය විදිහට හදන්න වෙයි.

    අපි රූපවාහිනියට ගිය කාලේ ඉගෙන ගත් දෙයක් තමයි, නියම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයා කියන්නේ වතුර ටිකක් බොන්නවත් ප්‍රේක්ෂකයා නැඟිටින්නෙ නැති වෙන විදිහට ඇද බැඳ තබාගන්න ආකාරයෙන් නිර්මාණ කරන කෙනා කියන එක. දහසක් බාධක සහ නිවෙසේ වැඩ කටයුතු සමඟ රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂකයන්ට ඒ කිසිවකට සිත යොමු නොකර ටෙලිවිෂනය බලන තත්ත්වයට වැඩසටහන් හැදීමයි අභියෝගය. හැබැයි චිත්‍රපට එහෙම නෑ. අපි සූදානමින් යන්නේ, බෙල් තුන ගහලා, කළුවර කරලා චිත්‍රපටය පෙන්වද්දි අපිට අනිවාර්යයෙන්ම බලා ඉන්න වෙනවා. අපි එයට අනුගත වෙනවා. එහෙනම් ඇයි ගමේ රසිකයාත් කොළඹ ඇවිත් හොඳ හෝල්වල චිත්‍රපට බලන්නේ. ගමේ ශාලාවල රූපයයි ශබ්දයයි හොඳ නැති නිසා. අපි කියන්නේ නැවත වරක් සිනමාව ඉහළට ගන්න රූපයේත් ශබ්දයේත් ගුණාත්මකබව ඉහළට ගන්නම වෙනවා. එයට රජය මැදිහත් වෙන්නම වෙනවා.

     

    ඒ ඔක්කොම කළාට පස්සේ නරඹන නිර්මාණවල තත්ත්වය ඉහළ නැංවීමට කරන යෝජනාව කුමක්ද? ස්වර්ණමය යුගයේ මෙන් ප්‍රේක්ෂකයන් අද්දා ගන්න?

    මගේ මතය නම් ස්වර්ණමය යුගයේ වුණත් ඉන්දියානු සිනමා ආභාසය ලැබූ අය හිටියා. ඉන්දියානු සිනමාව කියන්නේ කෙළින්ම ෆැන්ටසිය. සිංහල සිනමාව කියන්නේ රියැලිටිය නැත්නම් යථාර්ථය. ඒ කාලේ ෆැන්ටසියෙන් එළියට යන්න පුළුවන් අය හැටියට හිටියේ ධර්මසිරි බණ්ඩාරනායක, වසන්ත ඔබේසේකර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ වගේ අය. එහෙම නොවුණා නම් අපි තවමත් ඉන්නේ අර ෆැන්ටසියේ. වර්තමානයේ ලංකාවේ මම හිතන්නේ කාන්තාවන්ගෙන් සියයකට 50ට හින්දි තේරෙනවා. තව පිරිසකට කතාකරන්න පුළුවන්. අපේ අය ගෙවල්වල ඉඳගෙන ඇයි දෙමළ චිත්‍රපට ටික බලන්නේ. අපේ පළඟැටියෝ, බඹරු ඇවිත් වගේ චිත්‍රපට වගේම පසු පරපුරේ අයගේ යථාර්ථවාදී චිත්‍රපටවලින් මිනිසුන්ගේ ජීවිත හොඳ මාර්ගයකට යොමු කරගන්න පුළුවන්. අනෙක්වායේ තිබෙන්නේ සින්දු පහයි, ෆයිට් පහයි, රේප් දෙකයි. මම දන්න තරමින් මේ ලෝකෙම තියෙන්නේ කතා තේමා 26යි. ඒවාම තමයි එහෙට මෙහෙට කරකවලා කතා හදන්නේ. ඉන්දියානු සිනමාවේ ඒ තරම්වත් තේමා නෑ. දුප්පත් කොල්ලයි, පෝසත් කෙල්ලයි සම්බන්ධ ෆැන්ටසි කතා විතරයි. අපේ ජන සමාජයේ ඒවා කොහෙද තියෙන්නේ.

     

    සිනමා සංස්කෘතියක් රටේ ඇති වුණා නම්?

    මම කලින් කී අය සමඟ 70 දශකයේ තවත් අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ සතුව සිනමා සංස්කෘතියක් තිබුණා. ඔවුන්ගේ ප්‍රඥාව, සාහිත්‍ය දැනුම ආදිය සමඟ එය ගොඩනැඟුණේ. අද එහෙම නෑ. මඟුල් ගෙවල්වල ෆොටෝ ගහන කැමරාවලින් චිත්‍රපට හදනවා. ටෙලි නාට්‍ය හදලා ඒවා චැනල්වලට දීගන්න බැරි වුණාම චිත්‍රපටයක් කරනවා. රැඟුම් පාලක මණ්ඩලයටත් වගකීමක් තිබෙනවා ගුණාත්මකබව, රටට ගැළපෙනවාද කියලා බලන්න. අද සංස්ථාවත් ලොකු අමාරුවක වැටිලා තියෙනවා චිත්‍රපට කියලා ලැයිස්තුවක් අනුමත කරගන්න බැරි තත්ත්වයෙන් තිබෙන නිසා.

     

    ඒ තත්ත්වය අවම කරන්න ඔබේ යෝජනාවලියේ ක්‍රමවේදයක් තිබෙනවාද?

    මම චිත්‍රපට සංස්ථාවේ හිටිය ටික දවසට කීවේ චිත්‍රපටයක් කරන අය මුලින් ලියාපදිංචි වෙද්දී සංස්ථාවේ යුතුකමක් තිබෙනවා ඔවුන් දැනුම්වත් කරන්න. ඒ වගේම නිහාල්සිංහ මහත්මයාගේ කාලේ වගේ තෝරාගන්න ක්‍රමවේදයක් නැවත ඇති කළ යුතුයි. අපේ රටේ රූපවාහිනියේ යන දේවල් නියාමනය කරන්නත් ක්‍රමවේදයක් සැකසිය යුතුයි. වෙළෙඳ දැන්වීම්වල හොඳ ‘ම’ කියලා යොදන්න බෑ. ඉන්දියාවේ මෙහෙ වගේ බෑ. අපේ චිත්‍රපටවලටත් වෙලා තිබෙන්නේ ඒ දේමයි. ඉතින් ජාතික චිත්‍රපට සංස්ථාවේ පනත බොහොම බලගතුයි එයින් තමයි පිටපත් අනුමත කරන්න හෝ යම් විධිමත් ක්‍රමවේදයකට අධ්‍යක්ෂණයට මෙන්ම නිෂ්පාදනයට යොමු වන්නා දැනුම්වත් කරන්න ඕනෙ. ඒ මඟින් නිෂ්පාදකයා අමාරුවේ වැටීමත් අඩු වෙනවා. අධ්‍යක්ෂවරයාත් හොඳ නිර්මාණයකට යොමු වෙනවා. අපේ සමහර චිත්‍රපටවලට වඩා සමහර ටෙලි නාට්‍ය හොඳට වියදම් කරලා ලස්සනට හදනවා. ඒ වගේම චිත්‍රපට සංස්ථා පනතේ තිබෙනවා පාසලක් පටන් ගත යුතු බව. මේ වෙනකල් එය කෙරුණේ නැහැ. මමත් ඉස්සර හිතුවේ කාටත් චිත්‍රපට හදන්න එකම අයිතිය තිබිය යුතුයි කියලයි. ඒත් දැන් ඒ සිතුවිල්ල වෙනස් කරගත්තා. එනිසා මේ වසර දෙක ගැන අපි යෝජනා කරන්නේ ලංකාවේ ඉහළම මට්ටමේ චිත්‍රපට තැනිය යුතු කාල සීමාව හැටියටයි. අඩුම තරමේ ජනාකර්ෂණීය චිත්‍රපට 25ක් නිර්මාණය විය යුතුයි. මේ වසර දෙක තුළ සිනමාව ප්‍රවර්ධනය කළ යුතුමයි. සිංහල සිනමාව ඉහළම මට්ටමක තිබෙන බව ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්විය යුතුමයි. සිංහල සිනමාව බේරා ගැනීම රජයේ නිලධාරීන්ගේත යුතුකමක් බව අවබෝධ කරගත යුතුයි. නැවත පස්වෙනි මණ්ඩලයක් හෝ තනා එයට තේරෙන චිත්‍රපටවලවත් ප්‍රචාරයට මූල්‍ය පහසුකම් දිය යුතුයි. එවිට පුළුවන් වෙයි තුන්වැනි අවුරුද්ද වන විට යළි සිනමාවට ජනතාව ආකර්ෂණය කරගන්න.

     

     

     

    තිලක් පෙරේරා

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.