24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    මම නිකන් වතුර වගේ

    - Advertisement -
    චරිත් අබේසිංහ
    මාර්තු 4, 2021

    ඒ කාලේ හැටියට මම තමයි ළාබාලම නිෂ්පාදකවරයා

    ජූලියා නිසා මට මාවම අහිමි වුණා.

    - Advertisement -

    අපිව විශ්වාස නොකරන මිනිස්සු අපේ නිර්මාණ විශ්වාස කරන්න ඕනේ නැහැ

    මාව කැටගරි කරනවාට මම කැමති නැහැ

     

    - Advertisement -

    “ජූලියා” කියූ සැණින් ඔබට දෙදාහා දශකයේ මැදභාගයේ තරුණයින් පිරිසක් විසින් නිර්මිත ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් සිහිපත්වනවා ඇති. ඒත් සමඟම එකල අතිශය ජනප්‍රිය වූ “සරත් සඳේ රැයක මුදු සුවඳ දරා ගන්න” ගීතය සිහිවනවා ඇති. ජූලියා චිත්‍රපටයත් සමඟම ඒ තරම් උසත් නොවූ මිටිත් නොමැති දකුණු ඉන්දියානු පෙනුමකින් හෙබි කඩවසම් හාදයෙක් ඔබට මතකද? ඔහු නමින් චරිත් අබේසිංහ. නව පරපුරේ නිෂ්පාදකවරයෙක් සේම අධ්‍යක්ෂවරයෙක් ලෙස ගුණාත්මක නිර්මාණ රැසකින් ඔබව ආමන්ත්‍රණය කළ චරිත් සමඟ ඔහුගේ නිර්මාණ කර්තව්‍යය ගැන මෙලෙස අපි කතාබහ කළා.

     

    ජීවිතය කාර්තුවලට බෙදුවොත් මේ ගත වෙන්නේ චරිත් අබේසිංහගේ මොන කාර්තුවද?

    - Advertisement -

    මේ ගත වෙන්නේ තුන්වෙනි කාර්තුව. මිනිස්සු පළවෙනි අවුරුදු විස්ස ගත කරන්නේ ඉගෙනගන්න. මේ කාලයේ තමයි හැමදෙයම ඉගෙන ගන්නේ. අධ්‍යාපනය වගේම ජීවිතය ගැන දේවල් ඉගෙනගන්නවා. අපි කවුද කියලා අපිට හොයාගෙන යන්න හිතෙන කාලය. අවුරුදු විස්සේ ඉඳලා අවුරුදු තිහ වෙනකම් අපි කවුද කියලා අපි හොයනවා. අපි මොනවගේ රැකියාවක් කරනවාද? අපි අත්හරින්නේ මොනවාද? අල්ලගන්නේ මොනවාද? කියන දේවල් අවුරුදු තිහ වෙනකම් කරනවා. මගේ ගෙවෙන්නේ අවුරුදු තිහේ සිට හතළිහ දක්වා කාලය. මේ කාලය තමයි මිනිස්සු පරිණත වෙන කාලය. ඒක තමයි මේ මගේ ජීවිතේ තුන්වෙනි කාර්තුව කියලා කිව්වේ.

     

    චරිත් කවුද කියලා හොයාගත්තාද?

    අනිවාර්යයෙන්ම ඔව්. මම කවුද යන්න ඕනේ පාර මොකක්ද කියලා හොයාගත්තා. මම මේ ඒ පාර දිගේ යන ගමන් ඉන්නේ. මම පොඩි කාලේ නොයෙක් දේවල් කළා. ක්‍රිකට් ගැහුවා. බොක්සින් ගැහුවා. මියුසික් කළා. අවුරුදු විසිහතරේදී වගේ චිත්‍රපට හදන එක ගැන අවධානය යොමු වුණා. සිනමාව ගැන දේවල් දැනගෙන හිටියාට විෂයක් ලෙස සිනමාව අධ්‍යයනය කළේ අවුරුදු විසිහතරේ ඉඳලා. මේ අවුරුද්ද වෙනකොට මම අවුරුදු පහළොවක් තිස්සේ චිත්‍රපටි හදන එක ගැන ඉගෙනගන්නවා සහ අත්හදා බැලීම් කරනවා.

    ජීවිතේ ආපසු හැරිලා බලද්දි වැඩිපුර තියෙන්නේ දුකද සතුටද?

    මම හිතන්නේ සතුට හෝ දුක හෝ ඒ භාවයන් අත්හරින්න ඕනේ. අතීතයේ සතුට හෝ දුක වර්තමානයට වැදගත් වෙන්නේ නැහැ. වර්තමානය සතුටින් තියාගන්න අපි මොනාවද කරන්න ඕනේ කියන එකයි වැදගත් වෙන්නේ. දුක කියන එක අපි කාපු කට්ටට සමාන කළොත් ඔව් සෑහෙන කට්ටක් කාල තියෙනවා. සැප කියන එක ලබපු ජයග්‍රහණවලට සමාන කරනවා නම් සැපත් සෑහෙන්න ලබලා තියෙනවා. මේ දෙකම අඩු වැඩි වශයෙන් මගේ ජීවිතේ තිබුණා.

     

    චරිත්ව හැමෝම දැගනගන්නේ “ජූලියා” චිත්‍රපටයෙන්?

    ජූලියා කියන්නේ මට ලැබුණු අහඹු අත්දැකීමක්. අවුරුදු 24න් පසුව සිනමාව ගැන ඉගෙනගන්න කාලයේදී අහම්බෙන් මිත්‍රයෝ හමුවෙලා ඒ අය එක්ක චිත්‍රපටයක් කරන්න සූදානම් වුණා. මට ඒ යාළුවෝ හමු නොවී තනියම ඒ පාරේ ගියා නම් “ජූලියා” කියලා චිත්‍රපටයක් හැදෙන එකක් නැහැ. එහෙනම් චිත්‍රපටයක් නිර්මාණය කරන්න මම තව ටිකක් කාලය ගන්නවා. ජූලියා හැදුවේ 2008දී. ජූලියා කරන්න මාව ඇදලා දැම්මා වගේ වැඩක් වුණේ. ජූලියා කියන්නේ මම නිෂ්පාදනය කරන්නවත් රඟපාන්නවත් අදහස් කරපු නිර්මාණයක් නෙමෙයි. චිත්‍රපටයේ පිටපතේ තියෙන ඉංග්‍රීසි ටික හදලා දෙන්න ගිය අහඹු මොහොතක තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. වැඩක් කරන්න පටන්ගත්තාම ඒ වැඩේ හරියට කරන්න ඕනේනේ. චිත්‍රපටය හදනකොට මට අවුරුදු විසිහයයි. ඒ කාලේ හැටියට මම තමයි ළාබාලම නිෂ්පාදකවරයා. ඒ කාලේ ප්‍රධාන ධාරාවට සිනමා නිර්මාණයක් කරලා තරුණයන්ට ප්‍රධාන ධාරාවේ සිනමාවට එන්න යම් දිරි ගැන්වීමක් අපි කළා කියලා මම හිතනවා.

     

    ඊටපස්සේ එළඹෙන්නේ චරිත්ගේ නිහඬ කාලසීමාව?

    ඔව්. මම ඊටපස්සේ 2012 විතර වෙන තෙක් නිහඬ වුණා. ඒ කාලයේ මම ලංකාවේ හිටියේ නැහැ. මට අවශ්‍ය දේවල් ඒ කාලේ කරගන්න ලැබුණෙත් නැහැ. සිනමාකරණය ගැන ඉගෙනගන්න මට තිබුණු ඉඩකඩ එක සැරේම චිත්‍රපටයක් කරලා ජනප්‍රිය වුණාම නැති වුණා. ඒ කාලේ මට මාවම අහිමිවෙන්න ගත්තා. ඒ කාලේදි මම නැවත මාව හොයාගෙන ගියා. මම නැවතත් ලංකාවට එන්නේ 2012 වසරේ. එතෙක් මම විදේශගත වෙලා හිටියේ. ලංකාවට ආවාට පසුව මම ටිකක් ක්ෂේත්‍රය දිහා බලාගෙන හිටියා. 2014දී “ජූලි හතයි” කියලා කොමඩි ෆිල්ම් එකක් නිෂ්පාදනය කළා.

     

    “ජූලි හතයි” චිත්‍රපටය කියන්නේ ඒ කාලේ ආපු ටිකක් අමුතු විදිහේ වැඩක්?

    “ජූලි හතයි” චිත්‍රපටය කියන්නේ ප්‍රංශයේ වේදිකා නාට්‍යයකින් කළ අනුවර්තනයක්. එය වෙනස් ආකාරයකින් ප්‍රේක්ෂකයා අතරට ගිය චිත්‍රපටයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සංජය නිර්මාල්. ඒ වෙනකොට මම වසර දෙකක් තිස්සේ රංගනය හදාරලා තිබුණේ. මේ චිත්‍රපටය නිර්මාණය කරපු සමයේදී තාත්වික රංගනය තමයි නිර්මාණවල ජනප්‍රිය වුණේ. අධිරංගනය ගැන අදහස කෙමෙන් කෙමෙන් ඈත්වෙමින් තිබුණේ. මට ඕනේ වුණා අපේ පරම්පරාවට වේදිකාවේ පවතින අධිරංගනය සිනමාවට ගෙනල්ලා පෙන්වන්න. ඒක රූගත කරද්දි අපිට හරිම අමාරු වුණා. මොකද ඒ සඳහා සම්බන්ධ වුණු හැමෝම තාත්වික රංගනයේ නිරත වූවන්. නිෂ්පාදකයෙක් හැටියට ජූලි හතයි කියන්නේ මට අලාභයක් වුණු චිත්‍රපටයක් නෙමෙයි. මම ඒ චිත්‍රපටයට ගීතයක් ගායනා කළා. ඒ ගීතයටත් මට ඒ වසරේ ජනප්‍රියම චිත්‍රපට ගීතයට සම්මානය ලැබුණා. (දෙරණ ෆිල්ම් අවෝඩ්‍ස්) ඒ චිත්‍රපටයේ රඟපාපු රංගන ශිල්පීන් දෙදෙනෙක් සරසවි සම්මාන උලෙළට නිර්දේශ වුණා.

     

    “ජූලි” කියන වචනෙත් එක්ක චරිත්ට තියෙන සම්බන්ධය මොකක්ද?

    අනේ එහෙම සම්බන්ධයක් නැහැ. මම ජූලි මාසේ ඉපදුණේවත් නැහැ. ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. ජූලියා, ජූලි හතයි නිර්මාණවලට පස්සේ මම “ජූලි” කියන වචනේ ගෑවෙත් නැහැ. (සිනාසෙමින්)

     

    “ජූලි හතයි”ට පසුව එළඹෙන්නේ චරිත්ගේ නව අත්හදා බැලීම් කරන සමය?

    ඔව්. මම ඊටපස්සේ “ගැමුණු මහරජ” කියලා ටෙලිනාට්‍යයක් කළා හිරු ටීවී නාළිකාවට. කාලෙකට පසුව නැවත ටෙලිනාට්‍යවල එන වීර කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භය ඒක. මම අධ්‍යක්ෂණය ආරම්භ කරපු පළමු වැනි නිර්මාණය ඒක. එහිදී මම සහාය නළුවා, නැඟී එන නළුවා ලෙස රයිගම්, සුමති සහ සිග්නීස් යන සම්මාන උලෙළවල නිර්දේශ වුණා. ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්ෂණය සහ වේශ නිරූපණයත් සම්මාන උලෙළවල නිර්දේශ වුණා.

     

    මිනිගංදෑල කියන්නේ චරිත්ගේ නිර්මාණකරණයේ එක සන්ධිස්ථානයක්?

    අනිවාර්යයෙන්ම. මිනිගංදෑල ටෙලිනාට්‍යය හැම ටෙලි සම්මාන උලෙළකම හොඳම ටෙලිනාට්‍යයට නිර්දේශ වුණා. හැම සම්මාන උලෙළකම නිර්දේශ දහයකට වැඩිය තිබුණා. මට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම අංග රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම ගායකයා යන සම්මාන ලැබුණා. ඒ මගේ දෙවෙනි අධ්‍යක්ෂණය. කළුගං මිටියාවතත් එක්ක බැඳුණු පරම්පරා තුනක් සම්බන්ධ වෙච්ච කතාවක් ඒක. මමත් කළුගං මිටියාවතේ ඉපදුණු කෙනෙක්. ඒ පළාත ගැන නිර්මාණයක් ඩිජිටල්ගත කරන්න ඉස්සර ඉඳලා මගේ ආසාවක් තිබුණා. තව අවුරුදු දහයකින් පහළොවකින් අපිට කළුගං මිටියාවතට ගියාම ඒ පරිසරය දකින්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා ඒ පරිසරය නිර්මාණයකට භාවිත කරන්න මම උත්සාහ කළා.

     

    සත්‍යා කියන්නේ චරිත් ෆීනික්ස් කුරුල්ලෙක් වුණු කතාව?

    සත්‍යා විකාශය වුණේ 2020 වසරේ. සත්‍යා කියන්නේ නාමල් ජයසිංහ එක්ක කරපු අලුත් ටෙලිනිර්මාණය. ඇත්තටම එහි තේමා ගීතයත් මට සමානයි. සත්‍යා ෆීනික්ස් කුරුල්ලෙක් වගේ අළු ගසා දාපු නිසා හැමෝම මේ වැඩේ සහ මං ගැන කතා කරන්න ගත්තා. එක රාමුවක හිරවෙන්න මම කැමති නැහැ. ගැමුණු මහරජ කළාට පස්සේ අතීතකාමී, ජාතිවාදී, නිර්වින්දන ලේබල් එකක් මට වැදෙන්න ගත්තා. විචාරකයෝ මාව ඒ රාමුවට දාගෙන යද්දි මම සත්‍යා ටෙලිනාට්‍යය හැදුවා. පවතින සමාජ ක්‍රමයේ තියෙන අඩුපාඩු, අවුල් දේශපාලනයකින් තොරව පෙන්නන්න පුළුවන්, ඒ අවුල්වලට හසුවන මිනිස්සුන්ගේ ජීවිතවල පවතින ගැටලු ටෙලිනිර්මාණයකින් පෙන්නන්න පුළුවන් කතාවක් මම හැදුවා. පිටපත නාමල් ජයසිංහගේ. නාමල් තමයි වැඩේට මට කතා කළේ. ඒයා මීට කලින් පිටපත් ලිව්වේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ට විතරයි. ඔහු එක්ක හොඳ වැඩක් කරන්න පුළුවන් බව දන්න නිසාම මම වැඩේට අතගැහුවා. මෑත කාලයේ බිහිවුණු විකල්ප ධාරාවේ ටෙලිනාට්‍ය රැල්ලේ තවත් එක ටෙලිනාට්‍යයක් “සත්‍යා” කියන්නේ. විකල්ප ධාරාවට ඇලුම් කරන අයව ආමන්ත්‍රණය කරන සත්‍යා මට හොඳ මාධ්‍යයක් වුණා. ඒ නිර්මාණය කළාට ඒකෙන් කියවෙන්නේ නැහැ මම ඒ විකල්ප මතවල එළඹගෙන ඉන්නවා කියලා. “සත්‍යා” විකල්ප ධාරාවට කැමති පිරිස ආදරයෙන් වැලඳගත්තා. ඒත් මම දැන් ඒ පිරිස ගැන ලැජ්ජ වෙනවා.

     

    ඒ ඇයි?

    සත්‍යා ටෙලිනාට්‍ය අවසන් වුණාම ඒ පිරිස අපිට චෝදනා කළා ඒක යම් බලපෑමක් නිසා නතර වුණා කියලා. එහෙම කිසිදු බලපෑමකින් නෙමෙයි සත්‍යා නතර වුණේ. අපි කියන එක තවමත් මේ පිරිසට විශ්වාස නැහැ. අපිව විශ්වාස නොකරන මිනිස්සු අපේ නිර්මාණ විශ්වාස කරන්න ඕනේ නැහැ. මිනිස්සු කැමතියි තමන් දකින්නේ නැති තමන්ට සැබෑ කරගන්න බැරි දේවල් ටෙලිනාට්‍යවලින් බලන්න. ඉන්දියන් ටෙලිනාට්‍ය සහ ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය මිනිස්සු බලන්නේ ඒ නිසයි. ඒවා පිරිසක් විවේච්නය කරනවා. ඒ නිසාම අපි හොඳ විකල්ප ධාරාවේ ගුණාත්මක නිර්මාණයක් කළාම ඒකෙනුත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ තමන්ට ඇත්ත කරගන්න බැරි ඇත්ත වෙන්න ඕනේ දෙයක් ටෙලිනාට්‍යකින් බලන්න. අපි හැමෝම නිතරම මේ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කළාට කවුරුවත් ක්‍රියාවේදී තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ දේ සියයට සියයක් කරන්නේ නැහැ. ටීවී එකෙන් අන්තර් ජාලයෙන් සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්න ඒවා දකින්න විතරයි ඒ අයට ඕනේ. උදාහරණයක් විදිහට කාලයක් විල්පත්තුව බේරගන්න කියලා කෑගැහුවාට දැන් බැලුවොත් විල්පත්තුව තියෙන විදිහම තමයි. කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ වගේම සත්‍යා ටෙලිනිර්මාණයෙනුත් මිනිස්සු බලාපොරොත්තු වුණා දේශපාලන අධිකාරියට ගහන පොරවල් ටිකක් බිහිවෙයි කියලා. ඒක කරන්න ඕනේ මහපොළොවෙදී. නාට්‍යකාරයෝ වෙච්ච අපිට කරන්න පුළුවන් දේවල් සීමාසහිතයි. යථාර්ථය තුළ ඇත්තටම වෙන්නේ විකල්ප මතධාරීන් එන්න එන්න අඩුවෙන එක. ඒත් ඒ කතිකාවත තවමත් තියෙනවා. විකල්ප ධාරාව ගැන නාට්ටි කළාට, සින්දු කිව්වාට, චිත්‍රපට හැදුවාට ඒ වෙනස කරන්න බැහැ. වසර හැත්තෑ ගාණක් ලංකාවට වුණේ ඒකයි.

     

    තාදි කියන්නේ අමුතු කතාවක්?

    ඔව්. මේ දිනවල සතිඅන්තයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ටෙලිනාට්‍ය තාදි. ඒකත් මගේ අධ්‍යක්ෂණයත්. ඒක මම කරපු හැම වැඩකටම වඩා වෙනස් ත්‍රාසජනක කතාවක්. නාට්‍ය අවසානය වෙන තෙක් කාටවත් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැහැ. මම “තාදි” බලන අයට අභියෝග කරනවා පුළුවන් නම් ඊළඟ එපිසෝඩ් එකේ වෙන දෙය කියන්න කියලා. ඒක කාටවත් කියන්න බැහැ. එකකට එකක් පැටළුණු කතාවක් මේක. අවසානයේදී ඒ පැටළුම් ඔක්කොම ටික විසඳාගන්න පුළුවන්. අපිට බැලුවාම ඉදිරිය ගැන හිතන්න පුළුවන් කතාවක් නම් අපි බලන්නෙ ඒක අපි තවදුරටත් බලලා වැඩක් නැහැ. අපි කරන ඕනෑම දෙයක තිගැස්ම, රසවින්දනය, රසය ඕනේ දෙයක් තියෙන්නේ අපිව පුදුම කිරීම තුළ. තාදි ටෙලිනාට්‍ය චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයක්. වෙනස්ම අදහස් තියෙන වෙනස් වැඩක් කරන්න මහන්සි වෙන නිෂ්පාදිකාවක් ඇය. පිටපත චාමර කොඩිතුවක්කුගේ. තාදි ටෙලිනාට්‍යයේ ප්‍රමිතියත් යම් ඉහළතාවක් පේනවා. ඒකට ස්වාධීන රූපවාහිනියටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.

     

    රිසානාගේ කතාවට මොකද වුණේ?

    රිසානාගේ කතාවෙන් මම චිත්‍රපටයක් නිර්මාණය කරමින් සූදානම් වුණා. ඒ නිෂ්පාදකවරයාගේ යම් පැසුබෑමක් පේනවා. එහෙමයි කියලා නිර්මාණය කරන අදහස අත්හැරලා නැහැ.

     

    චරිත්ගේ හැම නිර්මාණයකම ගීත ඒ වකවානුවේ ජනප්‍රිය වුණා නේද?

    ඒකට හේතුව මම ක්ෂේත්‍රයට එන්න කලින් කළේ සංගීතය. සංගීතය ගැන වෙනම රසක් මට තියෙන්නේ. ගීතයක් ඇහුවාම ඒක ඩඪබ වෙනවාද නැද්ද? ගීතමය රසය කොපමණද කියලා කියන්න පුළුවන්.

     

    චරිත් අබේසිංහ චිත්‍රපටවලත් ඉන්නවා, ටෙලිනාට්‍යවලත් ඉන්නවා, වෙළෙඳ දැන්වීම්වලත් ඉඳහිට දකිනවා. ඒත් චරිත් ජනප්‍රිය රැල්ලේ නළුවෙක් නෙමෙයි?

    මගේ පෞද්ගලික ජීවිතය මම කාටවත් පෙන්වන්නේ නැහැ. මම සෙල්ෆි ගගහා කනබොන කෙනෙක් නෙමෙයි. යන එනතැන් කවුරුත් දන්නේ නැහැ. සමාජජාලාවල පවා පෞද්ගලික ජීවිතය පෙන්වන්නේ නැහැ. මම වෙළෙඳ දැන්වීම්වල හිටියාට වෙනත් රංගන ශිල්පීන් වගේ වෙනත් සන්නාම ජනප්‍රිය කරවන්නේ නැහැ. ජනප්‍රිය, හොඳම, නැඟී එන, සහාය මොනම කැටගරියකටවත් මාව දානවාට මම කැමති නැහැ. නිර්මාණ එකින් එකට මගේ භූමිකාව වෙනස් වෙනවා. වෙලාවකට මම නිෂ්පාදකවරයෙක්. වෙලාවකට මම අධ්‍යක්ෂවරයෙක්. වෙලාවකට මම නළුවෙක්. ගායකයෙක්. වතුරේ හැඩේ මොනවගේද කියලා කාගෙන් හරි ඇහුවොත් කාටද කියන්න පුළුවන්? මමත් වතුර වගේ. මම කවුද කියලා කාටවත් කියන්න බැහැ. පාරක තොටකදී වුණත් කාටවත් මම තමයි චරිත් අබේසිංහ කියලා කියන්න බැහැ. ස්වරූපයෙන් වුණත් මාව ඒ හැටි ඉක්මන්ට හඳුනාගන්න බැහැ. ඒක එහෙමම තියාගන්න මම සෑහෙන්න වෙහෙස වුණා. මට ඒ අප්‍රසිද්ධිය නැති වෙලා තිබුණේ. මොකද ජූලියා චිත්‍රපටයේ රඟපාපු කාලේ මට පාරේ බැහැලා යන්න බැරි තැනකට ආවා. ජනප්‍රියත්වය තියෙන්න ඕනේ මම කරන නිර්මාණවල. මගේ රූපේ නෙමෙයි ජනප්‍රිය වෙන්න ඕනේ.

     

    චරිත් අබේසිංහගේ ඊළඟ නවාතැන කොහේ වේවිද?

    මගේ ඊළඟ නවාතැන හොඳ චිත්‍රපටයක්. ඒක හොඳ ළමා චිත්‍රපටයක් වෙයි. මට ඒක විතරයි අල්ලගන්න බැරි වුණේ. ළමයින්ට ආමන්ත්‍රණය කරන එක වෙන වැඩක්. ඒ වැඩේට තමයි දැන් සැලසුම් කරන්නේ. ඒ වගේම මේ දිනවල මම “ව්භථඡඥප ව්ඪදඥ” කියලා වෙනස්ම ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා. ඒ තුළින් හැමෝටම මහේන්ද්‍ර පෙරේරාව සහ කාලෙකට පස්සේ උදාරි වර්ණකුල ටෙලිනිර්මාණයකින් දකින්න පුළුවන් වෙයි.

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.