24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ජන දිවිය අරුත් කළ අලුත් සහල් මංගල්‍යය

    - Advertisement -

    සිංහල ආර්ය ජනයාගේ ආරම්භය සහ විකාශනය මෙන්ම පැවැත්ම ගැන කරුණු සෙවීමේදී කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් මෙරට වාසය කළ බව පැහැදිලිය. ඒ අනුව දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ ඔවුන් බත බුලතින් සරු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ බව නොරහසකි.

    මහ පොළොව ගිනියම් කළ අව්ව මෙන්ම පොළොවට වැටෙන වැස්ස ආදී මෙකී ස්වාභාවික වෙනස්වීම්වලට මුහුණ දෙමින් ඔවුන් මහ පොළොව සමඟ පොරබදා ආර්ථිකය ශක්තිමත් කළේ කිසිවකුට අත නොපා ජීවත්වීමටය. කැත්ත, උදැල්ල, හරකාබාන ඔවුන් සතු පොදු වස්තූන් විය. වැවෙන් ලැබෙන නිල් දියවරින් ගොවිතැන්බත් සරිකර ගත්තා සේම දාගැබෙන් පන්සලෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික චින්තනයට අවැසි මනසක් නිර්මාණය කළේය.

    - Advertisement -

    මිහිඳු සංස්කෘතියෙන් පෝෂණය වූ මෙරට හර පද්ධතිය රැකගැනීමට සිංහල රජ දරුවෝ දිවිහිමියෙන් කටයුතු කළෝය. එසේම තම යුතුකම වූ රට දැය සමය ආරක්ෂා කිරීමට ද නිරන්තරයෙන්ම වගබලා ගත්හ.

    සිංහල සංස්කෘතියේ සමාරම්භය මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර වූවක් බව බොහෝ වියතුන්ගේ මතය වේ. මහින්දාගමනයට පෙර සිංහල සංස්කෘතිය ආරම්භ වූ බවට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් දක්වන අදහස මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ද පිළිගෙන ඇත. විජයාවගමනයෙන් මෙරට ඉදිවූ අනුරාධ ග්‍රාමය මුල්කරගෙන නව කෘෂිකාර්මික දියුණුවක් ඇති විය.

    මහාවංසයේ සඳහන් කරන තොරතුරුවලට අනුව මෙරට ඉදිවූ ආදිතම වැව ලෙස හඳුනාගනු ලබන්නේ ක්‍රි. පූ. හතර වැනි සියවසේ ඉදිකරන ලද බසවක්කුලම වැවය. සිංහල ජනයා ස්වකීය ජල කළමනාකරණ ශඛ්‍යතාව මත නිර්මිත වූ මුල්කාලීන ශිෂ්ටාචාරය තුළින් මානව වංශයේ සුවිශේෂ ස්ථාවරත්වයකට පත්ව ඇත.

    - Advertisement -

    සිංහලයා සතු සංවර්ධිත වාරි තාක්ෂණ ඥානය සහ බෞද්ධ ස්මාරක ලොව මවිතයට පත් කිරීමට හැකි විය. වැව සහ දාගැබ පදනම් වූ ආර්ථික රටාවක් බිහිවීම ද සුවිශේෂී අවස්ථාවකි. මෙම පරිසරය තුළ ප්‍රධාන ආහාරය බත් වීමත්, සහල් සපයා ගැනීමට කුඹුරු කිරීමේදී වැව් මඟින් ජලය ගැනීමත් නිසා විවිධ උපකරණ, සාමුහික ක්‍රියා පිළිවෙත් සහිත නව සංස්කෘතියක් පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ගොඩනැඟිණි.

    මෙම පදනම හෙළ සංස්කෘතියේ පදනම බවට පත්වේ. ප්‍රධාන ආහාරය ලෙස සහල් සපයා ගැනීම නිසා වැව රැකියා සම්මුති සහ ජීවනෝපාය මත පදනම්ව ගොඩනැ‍ඟෙන සංස්කෘතිය හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හඳුනාගන්නේ ‘සහල් සභ්‍යත්වය’ යනුවෙනි.

    මිහිඳු මාහිමියන්ගේ ආගමනය සිංහල සංස්කෘතිය නව දිශානතියක් කරා මෙහෙය වූ ප්‍රබලතම සංස්කෘතික විප්ලවය වශයෙන් පෙන්වා දීමට පුළුවන. මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පසු අටළොස් ශ්‍රේණියක කුලවල වෘත්තිකයන් මෙරටට පැමිණීමෙන් අපේ රට ආර්ථික, දේශපාලනික, සාමාජික වශයෙන් ඉහළ තලයකට පැමිණි බව නොරහසකි. මහා දාගැබ්, මහා වැව් පමණක් නොව රාජකීය උද්‍යාන, රාජකීය පොකුණු, විවිධ ගොඩනැගිලිවලින් අලංකාර නගර නිර්මාණයක් පණ්ඩුකාභය රජුගෙන් පසුව ඇරඹි බව ඉතිහාසය පෙන්වා දෙයි.

    - Advertisement -

    ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමත්, මහා විහාරය වැනි විශිෂ්ට ගණයේ අධ්‍යාපන ආයතන බිහිවීමත් මහාමෙවුනා උයන, ථූපාරාමය වැනි පරම පූජනීය ස්ථාන ගොඩනැඟීම තුළින් මිනිසුන්ගේ චිත්ත සන්තානය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර රැසක් මේ තුළින් බිහිවීමට හේතු විය. විශේෂයෙන් තමන්ගේ ආර්ථීකය ශක්තිමත් කළ වී ගොවිතැනේදී සිදුවන විපත් මඟහරවා ගැනීමේ අරමුණින් හා සශ්‍රික බව අරබයා පුද පූජා පැවැත්වීමේ සම්ප්‍රදායක් මේ අනුව බිහි විය.

    වැසි නොලැබෙන කාලවලදී ශ්‍රී මහා බෝධියට කන්නලව් කළ අතර නියං සමයේදී තිසාවැවෙන් පැන් ගෙන පෙරහරෙන් ගොස් බෝධීන් වහන්සේ නහවා තිබේ. දළදා වහන්සේට ද මෙබඳුම බලයක් පවතින බවට සමස්ත ජන සමාජයම පිළිගෙන ඇත.

    ශ්‍රී සුමංගල ශබ්දකෝෂයට අනුව කුඹුරු යනු ‘ගොයම් වැවෙන දිය සහිත කෙත’ ය. කෙත හෙවත් ඛෙත්ත යන්නද ‘කුඹුර’ යන අරුත දීමට යෙදෙන්නකි. ත්‍රිපිටක අර්ථ කෝෂයට අනුව ‘සාරඛෙත්ත’ යනු සරුසාරවත් කුඹුර යන අරුත ගෙන දෙයි. කුඹුර, කුබර, කෙත විය ආදී නම්වලින් ද එය ශිලා ලේඛනවල දැක්වේ. පූජාවක් පිළිබඳ සඳහන් කරන රිටිගල සෙල්ලිපියේ ද කුබර හා කෙත යනුවෙන් සඳහනක් දැකිය හැකිය.

    බුදු දහමේ උගන්වන කළගුණ සැලකීම යන උතුම් ගුණාංගය මහින්දාගමනයෙන් ඔපවැටුණු ශ්‍රී ලාංකේය කෘෂි අර්ථක්‍රමය තුළ ද හොඳින් ප්‍රදර්ශනය විය. කුඹුරු අස්වැද්දීමේ සිට ගොයම් කපා අස්වැන්න ගෙට ගන්නා තෙක් සියලුම ක්‍රියාදාමයන්හිදී බුදු පුද පැවැත්වීම ගොවි සංස්කෘතියේ ප්‍රධාන තේමාවක් බවට පත් විය. කෙත හා බැඳි සියලු අවස්ථාවලදී දානය අමතක නොකළ කෘතගුණශීලී ගොවි පරපුරක් ශ්‍රී ලාංකේය ගොවි සංස්කෘතිය තුළ සිටි බවට ඕනෑ තරම් නිදසුන් ජනකවි සාහිත්‍යය තුළින් ද මතුකර දැක්විය හැකිය.

    පැරැණි ජන සාහිත්‍යයේ එන ජන කවියක දැක්වෙන ‘තුනක් මැනලා ගෙන අටුවේ තියෙනවා දෙකක් කොටා කෑමට සලසනවා දනක් දීමට බතක් උයනවා’ යන පද පිරික්සීමෙන් අතීත මිනිසා තම ආර්ථික ජීවිතයේ දී සිය අස්වැන්න කළමනාකරණය කරගත් ආකාරය පිළිබඳව කාලීන වැදගත්කම් සහිත තොරතුරු රැසක් මතුකර ගැනීමට හැකියාව ඇත. සිය අස්වැන්න නිවෙසට රැගෙන ආ ගොවියා ඉන් කොටසක් අනාගත අවශ්‍යතා සඳහා තැන්පත් කිරීමක් සිදු කරන අතර, තවත් කොටසක් සිය ආහාර අවශ්‍යතා පූරණය කිරීම සඳහා යොදාගෙන තිබේ. මෙම සියලු කාර්යයන්වලට පෙරාතුව දානය සඳහා බතක් උයා එහි අග්‍රඵලය බුදු පුද සඳහා වෙන් කිරීමට ඔවුන් අමතක කළේ නැත. තම අස්වැන්න හා එහි සරුසාරත්වයෙහි ගෞරවය ආගමික සංස්ථාවක් වෙත බද්ධ කරමින් සිය කෘතගුණශීලීත්වය එකී ආගමික සංස්ථාව වෙත ලබාදීමට අතීත මිනිසා දැක්වූ නම්‍යශීලීත්වය ආගමික සංස්ථාව හා බැඳි දායක පරපුරක් සමාජය වෙත දායාද කිරීමට මනා පිටිවහලක් වන්නට ඇති බව ද කල්පනා කළ හැකිය. තවත් අතකින් එය බුදුන් වහන්සේ විසින් ලෝකයට කියා දුන් ආර්ථික කළමනාකරණයේ සහ කෘතගුණශීලීත්වයේ පණිවිඩය සමාජගත වූ අවස්ථාවක් ලෙස ද පෙන්වාදිය හැකිය.

    දහදිය වගුරුවා සපයා ගත් අග්‍ර කොටස අලුත් සහල්, අගස, අගහස, අලුස්සාල්, අලුසහල්, අගසස් අක්බත, මුල්යාල, අක්යාල සහ අක්කියාල යන නම්වලින් හඳුන්වන්නේ ද එකී අස්වැන්නේ අග්‍ර ඵලයයි. එහි ප්‍රමුඛ පූජා කරන දානය අගස්දානය, අගහස්දානය, අගසස් දානය, අගස්ස දානය, අලුසල් මංගල්‍යය සහ අලුත් සහල් මංගල්‍යය යන නම්වලින් ව්‍යවහාර වේ.

    මෙරට ගොවියා කෙතේ වැඩ ආරම්භ කිරීමට පිවිසෙන්නේ බුදුන් දෙවියන් වැඳ ලබාගත් ආශීර්වාදයේ පිවිතුරු සිතිනි. නව කන්නයට කෙත සකස් කිරීමට ආරම්භ කළ තැන් සිට ඒ ඒ අවස්ථාවේදී බුදුන්ගේ සහ දෙවියන්ගේ පිහිට සහ ආරක්ෂාව අපේක්ෂා කළ බව නොරහසකි. වගා කළ ගොයම නිල්ලට හැරී කරල් පූදින අවස්ථාවේදී කිරි කරල් දෙවියන්ට පිදීම අදටත් රජරට ප්‍රදේශය ඇසුරෙන් දක්නට ලැබේ. ඇතැම් පළාත්වල අධිපති දෙ‍වාලේ කපුමහතා පුවක් මල්, නා අතු වැනි දෑ යාතිකා කරවා කුඹුරුවල එල්ලා තැබීම ගොයම් පූදින කාලය තුළ ගොවීන් අනුගමනය කරන චාරිත්‍රයකි. ඇතැම් අවස්ථාවල ගොවියා විසින් පැසීගෙන එන වී කරල් විහාරයට ගෙන ගොස් එල්ලා තැබීම ද සිදු කරයි. ඇතැම් ප්‍රදේශවල කපු මහතා හෝ විහාරාධිපතීන් වහන්සේ සමඟ පෙරහරකින් කුඹුරට දේවාභරණ වැඩම කිරීමක් සිදු කරනු ලබයි. කුඹුරේ සිට අස්වැන්න සාර්ථක වීමට යාතිකා කිරීමක් ද සිදුකිරීම ද විශේෂත්වයකි.

    මේ සෑම ක්‍රියාවකම අවසන් ප්‍රතිඵලය සරු අස්වැන්නක් ලබා ගැනීමයි. වෙහෙස මහන්සි වී නෙළාගත් අස්වැන්න පන්සලට හෝ දේවාලයට වෙන් කිරීම මේ අනුව අනිවාර්ය අංගයකි.

    අතීත ගොවි ජනතාව වගාවේ අග්‍රඵලය බුදු පුදට වෙන්කළ ආකාරය එලෙස දැක්විය හැකිය. ඒ අනුව පසුකාලීනව මෙම පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ද සහිතව මහා මංගල්‍යයක් ලෙසින් වර්ධනය වූ ස්වභාවයක් දැකගත හැකිය. ප්‍රථම වරට එවැනි අලුත් සහල් මංගල්‍යයක් පවත්වා ඇත්තේ 1967 වසරේදීය. පුරා වසර 54ක් පැවැත්වූ මේ උතුම් චාරිත්‍රය මෙවරත් පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව අප්‍රේල් 4 වැනි ඉරු දින ඉතා උත්සවාකාරයෙන්ම පැවැත්වීමට ‘සෞභාග්‍යයේ දැක්ම’ පෙරටු කොටගත් වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරෝගාමීත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම මෙවර නියෝජනය වීම මෙහි ඇති විශේෂත්වයයි.

    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නයේ ඇති සිංහ කණුව අසලට රැස්වූ ජනතාව එතැන් සිට මහත් බැතියෙන් රැගෙන ආ අගසස් මළුව වටේ පැදකුණු කරවීය. බෝධිමළුව අබියස ඇති අලංකාර මණ්ඩපය තුළ තැන්පත් කර ඇති පාත්‍රයට තමන් රැගෙන ආ නොඉඳුල් සහල් පිරවීම ඉන්පසු සිදු විය.

    අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට නිරන්තරයෙන් වෙහෙසෙන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‍ගේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ඇතුළු තවත් අමාත්‍යවරු රැසක් මෙන්ම රාජ්‍ය නිලධාරිහු ද විශේෂයෙන් දිවයිනේ සිවුදෙසින් පැමිණි රටට බත සපයන ගොවි මහත්වරු ද මේ උතුම් කටයුත්තට සහභාගි වූහ.

    එදා පෙර රජ දරුවන් ඇරැඹූ මේ අලුත් සහල් මංගල්‍යය නම් ජාතික උත්සවය මෙවරත් කොවිඩ් තර්ජනය ඇතුළු විවිධ අභියෝග රැසක් මැදින් ඉතා සාර්ථකව පැවැත්වීමට වර්තමාන රජය ගත් උත්සාහය ඉතා ප්‍රශංසනීය කටයුත්තක් බව කිව යුතුව තිබේ.

    මහින්ද ආරියවංශ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.