24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    පොල්තෙල් ප්‍රශ්නය දේශපාලනීකරණය කොට බොරදියේ මාළු බෑම විහිළුවක්

    - Advertisement -

    රජරට විශ්විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ  පීඨාධිපති මහාචාර්ය ඩබ්. පර්සි විජේවර්ධන

    මිනිස් අවශ්‍යතා සංකීර්ණවීමත් සමඟ මුළු ලෝකය ම දැඩි තරගයකට හසුව තිබේ. පෙර කල මෙන් සරල දිවි පැවැත්ම, සරල අවශ්‍යතා හෝ ලද දෙයින් සතුටුවීමේ ගති ස්වභාවයන් අද මානව සමාජය තුළින් දැක ගැනීම පවා විරලය. නමුත් ජනතාව පෙරට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන ස්වභාවයක් දක්නට ලැබේ. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී ප්‍රමිතිය, ගුණාත්මක බව පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඒ අතරින් කැපී පෙනෙයි. එය දියුණු සමාජයක ධනාත්මක ලක්ෂණයකි. මුදල් පසුපස කොපමණ හඹා ගියද වෙළෙඳපොළ ක්‍රමවේදය පාරිභෝගික සමාජයේ මේ ස්වභාවයට අවනතව සිය නිෂ්පාදන ක්‍රියාවලිය නොකළහොත් එනයින් මතු වන්නේ ඝට්ටනයකි. පාරිභෝගිකයාගෙන් ප්‍රතික්ෂේප වීමකි. මේ පිළිබඳව රජරට විශ්විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්. පර්සි විජේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

    - Advertisement -

    l මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ දී භාණ්ඩ හා සේවා යන අංශ දෙකට ප්‍රමුඛත්වයක් හිමිවෙනවා. නමුත් අවශ්‍යතාවට වඩා ඉල්ලුම කියන සාධකය අද වෙළෙඳපොළ ක්‍රමය තුළ ප්‍රබලයි. ඒ ඇයි?

    මූලික මිනිස් අවශ්‍යතා අතරින් ආහාර, ඇඳුම් පැලඳුම්, ඖෂධ වැනි භාණ්ඩ පාරිභෝගිකයා වැඩියෙන් සපුරා ගන්නේ වෙළෙඳපොළෙන්. එහිදී පාරිභෝගිකයාගේ විශ්වාසය සහ කැමැත්ත දිනාගන්නා භාණ්ඩ හා සේවාවන්වලට වැඩි ඉල්ලුමක් ඇති වෙනවා. ඇතැම් විට අවශ්‍යතාව කොපමණ තිබුණත් පාරිභෝගිකයා ඒ භාණ්ඩයට තෘප්තිමත් නැත්නම් මිලදී ගන්නේ නෑ. මේ නිසා වෙළෙඳපොළ ක්‍රමය තුළ මේ ඉල්ලුම ඇතිවන්නේ විශේෂ වූ කාරණා කිහිපයක් මත රඳා පැවතීමෙන්. ඉන් පළමුවැන්න විශ්වාසය. දෙවැන්න ඒ භාණ්ඩය හෝ සේවාව පිළිබඳ පවතින කැමැත්ත. මේ දෙක ඇතුළේ තවත් සුවිශේෂි කාරණයක් සැඟව තිබෙනවා. ඒ සෑම භාණ්ඩයක් සහ සේවාවක් පිළිබඳව ම පාරිභෝගිකයාගේ මනස තුළ මැවුණු පූර්ව නිගමන සහිත චිත්‍රයක් තිබෙනවා. එය භෞතික සිතිවිල්ලක් මුත් මිලදී ගැනීමක දී හෝ එම භාණ්ඩය ප්‍රතික්ෂේප කිරීමේ දී මේ මනෝමය චිත්‍රය ඉතා ප්‍රබලව ඉස්මතු වෙනවා. වෙළෙන්දා පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට නම් මේ මනෝමය චිත්‍රය කෙබඳුද යන්න වඩාත් සුක්ෂමව අධ්‍යයනය කර හඳුනා ගත යුතුයි.

    l අද සමාජයේ අවශ්‍යතා බොහොම සංකීර්ණයි. පාරිභෝගික සමාජය විශාලයි. ඔබ කියන ඔය චිත්‍රය කොහොමද හඳුනා ගන්නේ?

    - Advertisement -

    අන්න ඒ කාරණය අද ඉතාම වැදගත්. අද ලෝකයේ ජාත්‍යන්තර වෙළෙඳාම මෙන්ම රට තුළ සිදුවන දේශීය වෙළෙදපොළත් බොහොම සංකිර්ණයි. කාර්ය බහුලයි. ඉස්සර මිනිස්සුන්ගේ අවශ්‍යතා සරලයි. අද සංකීර්ණයි. ඒ වගේම ඔබ කියන ආකාරයට ම පාරිභෝගික සමාජය විශාලයි. මේ නිසාම අද වෙළෙඳපොළ දුවන්නේ පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට නිර්මාණය වුණු යුද පිටියක සටනක් වගේ. අතීතයේ මෙන් තම තමන්ගේ වුවමනාවන් තනිව සපුරා ගත නොහැකි නිසා පාරිභෝගිකයා වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කරනවා. මේ නිසා අද අපි ඉල්ලන දේ සැපයීමට එනම් නිෂ්පාදන කාර්ය වෙනත් පිරිසක් අතට පත්ව තිබෙනවා. ඒ සඳහා පාරිභෝගික ඉල්ලුම හඳුනා ගැනීම අද තනිකරම සිද්ධ වන්නේ විශේෂඥවරුන් ලබා දෙන සහතිකයක් මත. ඔවුන් අපේ කැමැත්ත අකැමැත්ත වෙළෙදපොළ පර්යේෂණ, සමීක්ෂණ හරහා අධ්‍යයනය කරනවා. ඉන්පසු පුර්ව නිශ්චය කර පිරිවිතරයකට අනුව භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ප්‍රමිතිය කියා හඳුන්වන්නේ මේ සංකීර්ණ දාමය තුළ පාරිභෝගිකයා අපේක්ෂා කරන ගුණාත්මකභාවයයි.

    l ඔබ ඔය කියන විශේෂඥවරුන් පාරිභෝගිකයාගේ රුචි අරුචිකම් උරගා බලා නිෂ්පාදනයට විශේෂඥ දැනුම දුන්නත් පාරිභෝගිකයාගේ හිත දිනාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි නේද?

    වෙළෙඳපොළ තරගයක් නිර්මාණය වන්නේ ඉතා ඉක්මනින් පහසුවෙන් තෘප්තියට පත් නොවන පාරිභෝගිකයා දිනා ගැනීමට නිෂ්පාදන ජාලය සහ වෙළෙඳපොළ සමාජය දරන දැඩි උත්සාහය නිසයි. මේ නිසා භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා තෘප්තිමත් කරන සහ විශ්වාසය දිනා ගැනීමට සමත් වීමට නම් මූලික සිද්ධාන්ත කිහිපයක් අනිවාර්යයෙන් ම වුවමනා කරනවා. එනම් යෙදවුම්, ක්‍රියාවලිය, නිෂ්පාදනය කළ භාණ්ඩය, ප්‍රවාහනය, ගබඩාකරණය. මේ කාරණා පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයටම සිද්ධ වෙනවා නම් භාණ්ඩයක ප්‍රමිතිය ඉහළ යනවා.

    - Advertisement -

    l විවිධ මාදිලියේ විවිධ නිෂ්පාදන කොපමණ ආවත් පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගන්නා විට ඔබ කියන කාරණා ගැන සැලකිලිමත් වන බව ද කියන්නේ?

    අනිවාර්යයෙන්ම ඔව්. අද ලෝකයේ විද්‍යාව හා තාක්ෂණය දියුණු වුණත් මිනිස්සු ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේවල් සපුරා ගැනීමේ දී ගැඹුරින් සිතනවා. ඉස්සර නිවෙසේ කාන්තාව ඉවුම් පිහුම්වලදී ප්‍රමිතිය බැලුවේ අත් ගුණය මත. බත හොඳට ඉදිල ද බලන්න හැඳි මිටේ කූරෙන් බත් හැළියට ඇනලා යට අඩියේ බත් ඇටයක් අරගෙන පොඩි කරලා බලනවා. ලුණු රස බලන්නෙත් ඒ විදිහට. අදත් මේ කාර්යය ම වෙනත් විදිහකට සිද්ධ වෙනවා. ගොවියා තමන් විසින් වස විස ගහලා හදන එළවළු පලතුරු වෙළෙඳපොළට දුන්නත් තමන් කන්නේ නෑ. ඇතැම් රටවල් වුණත් එහෙමයි. තම රටේ ජනතාව වෙනුවෙන් භාණ්ඩ ආනයනය කිරීමේ දී බොහොම සැලකිලිමත්ව බලනවා. නැවෙන්, ගුවනින් ගෙනැත් බාන්නේ තත්ත්වය, ප්‍රමිතිය බලලා. ඇතැම් විට ආනයනය කරන්නේ ආහාර නම් අමුද්‍රව්‍යයේ සිට සියල්ල බලනවා. කන බොන දේවල්වලට විතරක් නෙමෙයි සියල්ලට ම මේ කාරණය පොදුයි.

    l ඔබ ඉතා හොඳ සංධිස්ථානයකට ප්‍රවේශ වුණා. වෙනත් රටවල් ආනයන අපනයන ක්‍රියාවලියේ දී ප්‍රමිතිය සම්බන්ධයෙන් දක්වන උනන්දුවට සාපේක්ෂව අපි ඉන්නේ කොතැන ද?

    අද පාරිභෝගිකයා සිය රුචිකත්වය කියන කාරණයේ දී සියල්ලට ම වඩා සැලකිලිමත් වන්නේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳවයි. ලෝකයේ සිටින අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු පාරිභෝගික සමාජය වගේම අපේ ශ්‍රී ලාංකේය ජන සමාජයත් මේ සම්බන්ධයෙන් බොහොම ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම ජනතාවට වගකියන රජයක් භාණ්ඩ ආනයනයේ දී මේ පිළිබඳව දක්වන සැලකිල්ල කෙරෙහිත් ජනතාව ඉතාමත් උනන්දුවෙන් ඉන්නවා. මෙහිලා ජනතාවට වඩා රජයකට තිබෙන වගකීම බොහොම වැඩියි.

    l පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගැන ඇති වී තිබෙන උණුසුම තුළ ඇතැම් අය රජයට මේ ගැන චෝදනා කරනවා. නමුත් පාරිභෝගික සමාජය කලබල වී ඇති ස්වරූපයක් දක්නට නෑ. මේ ගැන ඔබේ දැක්ම කොහොමද?

    පිළිකා කාරක පොල්තෙල් මෙරටට ආනයනය කර ඇති බව රට ම දැනගත්තේ රජය නිෂ්පාදන ආනයනයේ දී ගුණත්වය ප්‍රමිතිය සොයා බලන යාන්ත්‍රණය නිසි ලෙස පණගන්වා තිබුණු නිසයි. පිළිකා කාරක ඇති බව අනාවරණය වුණේ සොයපු නිසයි. මේ නිසා රජය සිය වගකීම පැහැර හැර නෑ. වගකීම නොපැහැර ඉටු කර ඇති නිසයි මේ සිද්ධිය අනාවරණය වුණේ. මීට පෙරත් සෞඛ්‍යාරක්ෂිත නැති ප්‍රමිතිය නැති භාණ්ඩ හා නිෂ්පාදන කොයිතරම් රට තුළට එන්න ඇති ද? නමුත් සොයා නොබලපු නිසා අනාවරණය වුණේ නෑ. වත්මන් රජය මේ යාන්ත්‍රණය ක්‍රියාවට නංවා තිබුණු නිසා සිදු වීමට ගිය පරම්පරා ගණනකට විඳවීමට සිදුවිය හැකි විපතකින් රට ගළවා ගත්තා. ඒ බව දන්න නිසයි ජනතාව නිහඬව ඉන්නේ.

    l ආනයනික භාණ්ඩවල ප්‍රමිතිය සොයා බලන ආයතන බොහොමයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. එම ආයතන ක්‍රියාත්මක වෙන්නේ පවතින ආණ්ඩුව ඒ ගැන උනන්දු වුණොත් විතරයි කියන එකද ඔබ කියන්නේ?

    ආයතන කොපමණ තිබුණත් ජනතාවට වග කියන්නේ රජය. ඕනෑම දෙයක් රට ඇතුළට විවිධ මාර්ග ඔස්සේ එන්න පුළුවන්. නමුත් රට තුළ ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක වෙනවා නම් නීති විරෝධි දේවල්, සෞඛ්‍යාරක්ෂිත බවට තර්ජනයක් වන නිෂ්පාදන හසුකර ගත හැකියි. ප්‍රමිතිය සොයන ආයතනවලත් ඉන්නේ මිනිස්සු. ඒ අය සියයට සියයක් ස්වාධීන ව අපක්ෂපාතිව, අල්ලස් දුෂණවලින් තොරව කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කළ නොහැකියි. නමුත් රජයේ නීති පද්ධතිය දැඩි නම් පසු විපරම ශක්තිමත් නම් එවැනි අක්‍රමිකතාවලට වැට බැඳෙනවා.

    l ආනයන අපනයන දාමය තුළ සෑම රටක් ම ගොඩනඟා ගත් කීර්ති නාමයක් තිබෙනවා. දේශීය නිෂ්පාදන අපනයනයේදී අපි ඉන්නේ කොතැනද?

    ඉතා හොඳ ප්‍රශ්නයක්. අපිට විදේශ විනිමය උත්පාදනය කර දෙන අපනයන යාන්ත්‍රණය අපි කාලයක් තිස්සේ මහන්සියෙන් ගොඩනඟා ගත් ක්ෂේත්‍රයක්. ඇඟලුම්, කුළු බඩු සහ විශේෂයෙන් තේ අපනයනයේ දී ශ්‍රී ලාංකේය නාමය බොහොම ඉහළින් තිබෙනවා. සිලෝන් ටී කියන නාමය තවමත් අංක එකට ඉන්නවා. ගම්මිරිස් ඇතුළු කුළු බඩුවලින් අපේ නිෂ්පාදන ඉස්තරම් කියන විශ්වාසය අපි තහවුරු කර තිබෙනවා. ඒ වගේම ඇඟලුම් හා නිමි ඇඳුම් වලිනුත් එහෙමයි. ලංකාවේ ඉන්නේ බොහොම නිර්මාණශීලි මිනිස්සු කියන නාමය ගොඩනැඟි තිබෙන්නේ අපේ ඇඟලුම් නිෂ්පාදන හරහායි. අපේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපි තහවුරු කර තිබෙන ප්‍රමිතිය අපි කිසි විටෙක බාල කරගෙන නෑ. මේ නිසා දේශීය වශයෙන් අපි අපනයනය කරන සියල්ලට ම ඉහළ පිළිගැනීමක් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තිබෙනවා.

    l නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන කූට වෙළෙඳ ජාවාරම්වල බලපැම්වලට අපිටත් මුහුණ දීමට සිදු වූ අවස්ථා තිබෙනවා නේද?

    ඇත්තෙන්ම ඔව්. එහෙම අවස්ථා කිහිපයක්ම සිදු වුණා. වරක් කෙන්යාව අපේ තේවලට ඔවුන්ගේ කසළ තේ මිශ්‍ර කර අපේ ගැනුම්කාර රටවල්වලට විකුණුවා. ඒ වගේම ලංකාවේ ගම්මිරිස්වලටත් එහෙම ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අපේ කුරුඳු නිෂ්පාදන අපනයන යාන්ත්‍රණය අන් සියල්ලටම වඩා ශක්තිමත්. කිසිම විදෙස් ආදේශකයකට ළං වීමට නොහැකි ආකාරයට අපි කුරුඳු ටික අපේම අනන්‍යතාව ඇතිව පිටරට යවනවා. එහිදී කුරුඳු ටික තළන්න ගන්න ආම්පන්නයේ සිය අපිට අනන්‍ය රහස් තිබෙනවා. විදෙස් පාරිභෝගිකයා නොරවටන ඉහළම ප්‍රමිති සහතිකය අපි සතුයි. අපිට අපේ අපනයන වෙළෙඳපොළ කඩා නොවැටී රඳවා ගැනීමට හැකි වී තිබෙන්නේ විදෙස් වෙළෙඳපොළේ විශ්වාසය අපි දිනාගෙන ඇති නිසයි.

    l විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ආහාර ඇතුළු සෑම නිෂ්පාදනයකට ම පාහේ යෙදවුම්වලට කෘත්‍රිම දේවල් යොදනවා. එයින් එක්තරා දුරකට පාරිභෝගිකයින් මුළා වෙනවා. එවිට ප්‍රමිතිය කියන කාරණය උල්ලංඝනය වෙනවා නේද?

    අද සෑම භාණ්ඩයකටම ආදේශක භාණ්ඩ නිෂ්පාදනය වෙනවා. ඔබ කියූ අර කෘත්‍රිම යෙදවුම් භාවිතයට ගන්නේ ආදේශක භාණ්ඩ නිෂ්පාදනයේදීයි. පොල්තෙල්වලටත් අද අදේශක තිබෙනවා. නමුත් පාරිභෝගිකයා එනයින් හැම විටෙකම මුළා කරන්න බැ. ආදේශක භාණ්ඩ හඳුනාගත හැකියි. නමුත් නොහැකි අවස්ථාත් ඕනෑතරම් තිබෙනවා. එහිදී ස්වභාවික නිෂ්පාදනයක් බව පවසමින් ආදේශකයක් විකුණන්නේ නම් එය කූට වෙළෙඳ ප්‍රයෝගයක්. එය හසු කර ගැනීම ටිකක් දුෂ්කර වුණත් ප්‍රමිති ආයතන ඒවා හඳුනා ගැනීමට සුක්ෂම විය යුතුයි. වරාය, රේගුව, ප්‍රමිති කාර්යාංශය වැනි ආයතනවලට මෙහිදී පැවරෙන වගකීම ඉතා ප්‍රබලයි.

    l අපි දේශීය වෙළෙඳපොළ පැත්තට හැරුණොත් ගොවියාගේ සිට වෙළෙන්දා දක්වා වෙළෙඳපොළ දාමය තුළ භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය සියයට සියයක් තිබෙනවා කියා ඔබ සිතනවා ද?

    එතැන ප්‍රශ්නයක් තිබෙනවා. අපනයනයේදී තත්ත්වය හා ප්‍රමිතිය ගැන අපි ඉහළින් සිටියත් දේශීය නිෂ්පාදන, දේශීය පාරිභෝගියාට දෙන ක්‍රියාවලියේ බරපතළ ප්‍රමිති උල්ලංඝනය වීම් සිද්ධ වෙනවා. අද ඇතැම් අය පිළිකා කාරක පොල්තෙල් ගැන මහ හඬින් කෑ ගැහුවත් ඊට වඩා බරපතළ සෞඛ්‍යාරක්ෂිත නිති රීති උල්ලංඝනය වීම් සිද්ධ වෙන්නේ නැද්ද? ගොවි බිමෙන් නෙළන බටු ටික වෙළෙඳපොළට යවන්න මොහොතක් තියලා කෘමිනාශකවලින් නහවනවා. ආර්ථික මධ්‍යස්ථානවල එළවළු කල් තබා ගැනීමට බෙහෙත් ගහනවා. පලතුරු වර්ග බලෙන් ඉදවනවා. මේවායේ පිළිකා කාරක නැද්ද?

    l මේවාට තිත තබන්න බැරි ද?

    මේවා අල්ලන්න ඕනෑතරම් වැටලීම් කරනවා. නීතියෙන් දඬුවම් කරනවා. නමුත් රජයට මේ සියල්ල සියයට සියයක් පාලනය කරන්න බෑ. මින් මුළු රට ම මිදෙන්නේ ගොවියා, වෙළෙන්දා, අතරමැදියා මානුෂීයව මේ ක්‍රියාවන්වලින් ඈත් වුණොත් පමණයි.

    l කොහොම වෙතත් පිළිකා කාරක පොල්තෙල් මාතෘකාවත් සමඟ අපිට බොහොමයක් දේවල් ගැන අලුතින් හිතන්න බල කර තිබෙනවා කිව්වොත් ඔබ එය විග්‍රහ කරන්නේ කොහොමද?

    පිළිකා කාරක පොල්තෙල් මෙරටට ආව පළමු වතාව මෙය නොවෙන්න පුළුවන්. එය දේශපාලනීකරණය කර ගනිමින් බොරදියේ මාළු බෑම විහිළුවට කරුණක්. කාලයක් තිස්සේ මේ රටේ දේශීය නිෂ්පාදනවලට අගය කිරීමක් තිබුණේ නෑ. ඇතැම් රජයන් හැම විටම ආනයනයට තමයි ඉඩ දුන්නේ. නමුත් අපිට දැන් නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ ආනයනය මත නොයැපී අපිම නිෂ්පාදනය කර ගමු කියන කතාවයි. අපි කැමතියි අපේ බිඳවැටුණු පොල් කර්මාන්තයට රජයේ පූර්ණ අවධානය යොමු වෙනවා නම්. පොල් ත්‍රිකෝණයට සීමා නොවී චතුරශ්‍රයක් හදාගන්න අපිට බැරි ද? අපි පිටරටින් සහල් ගෙන්වන්න ඕනෙ නෑ. මිරිස් ගෙන්වන්න ඕනේ නෑ. අපි මේ සියල්ල මීට පෙර රට තුළින්ම නිපදවා ගත්තා. ජපානය සහල් ආනයනය කරන්නෙම නෑ. මේ රටවල්වලින් අපිට ආදර්ශයක් ගත හැකියි. වත්මන් රජය කාබනික වගාවට ධනාත්මක ප්‍රවේශයක් ඇති කර තිබෙනවා. පිටරටින් ගෙන්වන රසායනික පොහොර ගැන අපිට සහතිකයක් දෙන්න බෑ. වස විස නැති ආහාර ටික අපිම හදා ගත යුතුයි.

    l කූට වෙළෙඳ උපක්‍රම මුලිනුපුටා දැමීමට අපේ පවතින නීතිය ප්‍රමාණවත් ද?

    නීති රිති බලගන්වන්න අවශ්‍යයි. ඒවායේ හිඩැස් තිබුණොත් ඒවායින් ඇතැමුන් රිංගා යනවා. නමුත් අපිට හැමදේම නිපදවා ගන්න බෑ. ඉන්ධන, ඖෂධ ආනයනය කරන්න ම වෙනවා. ප්‍රමිතිය උල්ලංඝනය කර ඇති නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් වීමට පෙර ප්‍රතිඅපනයනය තමයි කළ හැකි සරලම කාර්යය. ඉන් ඔබ්බට යනවා නම් ආනයනික සමාගම්වලට එරෙහිව නඩු මඟට යා යුතුයි. ඇතැම් රටවල් මෙවැනි අවස්ථාවලදී දැඩිව කටයුතු කරනවා. වරක් චීනය කුඩා දරුවන් සඳහා කිරි පිටි නිෂ්පාදනය කළ සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයට මරණ දඬුවම ක්‍රියාත්මක කළා. අපි ඒ තරම් දුර යා යුතුයි කියා අපි කියන්නේ නෑ. නමුත් මේ සිද්ධිය රිදී රේඛාවක් බවට පත් කරගෙන රාජ්‍ය ප්‍රතිපත්තිය හා ආහාර සුරක්ෂිතතාව එකක් බවට පත් කරගෙන ඉදිරියටත් කටයුතු කළ යුතුයි.

    සකුන්තලා ජයසිංහ

    අඹන්පොල විශේෂ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.