24 C
Colombo
Sunday, April 11, 2021

එක්තරා පියෙක්

ගුණපාල වැඩිහිටි නිවාසයට ඇවිත් දැන් සෑහෙන කාලයක්. ඒ වයස අවුරුදු හැත්තෑව වෙනවාත් එක්කය. ආණ්ඩුවේ ලොකු රස්සාවක් කරන ලොකු පුතා එයාගේ වාහනයෙන්ම ඔහුත් එක්ක මේ...
More

    Latest Posts

    මගේ පරමාදර්ශී චරිතය ලොකු අම්මා

    - Advertisement -
    කුෂාණි සඳරේඛා
    අප්‍රේල් 8, 2021

     

    ඈත ඉතිහාසයේ පටන් ශී‍්‍ර ලාංකේය ගී කෙත සුපෝෂණය කරන්නට දායක වූ ගායක ගායිකාවන්ගේ දායකත්වය අතිවිශාලය. එදා අද මෙන්ම හෙටත් මේ මෙහෙවර වෙනුවෙන් මෙරට ගී කෙතට ප්‍රවිෂ්ට වී නිර්මාණකරණයේ නියැළෙන්නෝ බොහෝය. ඒ අතර ඇයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ ගී මගේ උඩුගං බලා පියමනින්නට ඇයට ඇත්තේ ලේ උරුමයකි. නැතහොත් ජාන උරුමයකි. ඒ ඇගේ මව් පාර්ශ්වය මෙන්ම පිය පාර්ශ්වයද සංගීතයේ විවිධ ඉසව් ඔස්සේ පියමං කරමින් මෙරට සුප්‍රකට පුද්ගලයන් සේම, නිර්මාණකරුවන් වශයෙන් නමක් දිනාගෙන සිටීමය. ඇය අන්කවරකුවත් නොව කුෂාණි සඳරේඛාය.

    - Advertisement -

     

    කුෂානි ගේ සංගීත ඇසුර වඩා වර්ධනය වන්නේ මව් කුස තුළ සිටමය. ඇගේ ආදරණිය මව ඇය කුසයේ දරාගෙනම මේ රටේ කෙතරම් නම් සංගීත සංදර්ශනයන්හි ගීත ගායනා කරන්නට ඇතිද? එසේම කෙතරම් නම් සංගීත වැඩ කටයුතු , චිත්‍රපට පසුබිම් ගීත වෙනුවෙන් සිය හඬ මුසු කරන්නට ඇත්ද? එකී ආභාසය මව් කුස තුළ මෝරන කළලය ට නොදැනුනානම්, පුදුමය වන්නේ එයය. අද ඇගේ හඬ පෞරුෂය මෙන්ම සංගීත ලෝකයේ ඇගේ ගමන් මඟ දෙස බලන විට, එය උත්පත්තියෙන්ම ලැබූ දක්ෂතාවයක් හා වාසනා මහිමයක් යැයි මට සිතන්නේ එනිසාය.

    එහෙත් කුෂානි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ ගායිකාවක ලෙසින් නොවීම විශේෂත්වයකි. අප සියල්ලම ඇය මුලින්ම හඳුනා ගන්නේ අති දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසින්ය. එහෙත් අද වන විට නර්තනය හා ගායනය යන විෂය ක්ෂේත්‍රයන් දෙකෙන් කුමකට ඇය වැඩියෙන් දක්ෂදැයි නිර්ණය කිරිමට නොහැකි අන්දමට මේ ක්ෂේත්‍ර දෙකම මනාව ප්‍රගුණ කොට ඇති අන්දම විශිෂ්ටය.

    - Advertisement -

    ඇගේ හඬින් මේ දිනවල නිතර ඇසෙන ගීත කිහිපයක් ඒ සඳහා මට මනාව සාක්ෂි සැපයුවේය.

    මටම මම අවනත නොවී
    නුඹට බැඳී ප්‍රේමයෙන්
    යසට නිදිගත් රැය පුරාවට
    අවදියෙන් වැලපෙම්

    ‘‘අරුණ කිත්සිරි ගීත රචනයෙන් හා කසුන් කල්හාර ගේ සංගීතයෙන් හැඩවූ මෙම ගීතය මේ දිනවල ඇගේ යු ටියුබ් නාළිකාවෙන් අසන්නට හැකිය.

    - Advertisement -

    මනමාලකම් මේ නාඩගම්
    මට කියා දෙන්න හිතුණාම නම්
    කටකාරකම් පුරසාරමින්
    මම දිනාගත්තේ හරි සීරුවෙන්
    මනමාලකම් මේ නාඩගම්
    මට කියාදෙන්න හිතුණාම නම්
    ඔය ප්‍රේමයෙන් වැහිලා ඉඳන්
    ඒ වැරැද්ද කරන්නෙ මං

    වසන්ත දුක්ගන්නාරාල රචනා කර ඇති මේ ගීතයේ සංගිතය නිර්මාණය කළේ රනිදු ලංකාගේය. එය ඉරාජ් වීරරත්නගේ නිෂ්පාදනයකි.

    කුෂානිට ඇත්තේ කෙනෙකුට විරලව පිහිටන , විවිධ ආකාරයට වෙනස් කර ගායනයේ යෙදිය හැකි කටහඬකි. ඇය දේශීයත්වයට සමීපව දේශිය නාද මාලාවන් ගයද්දී ඒ අපේම හඬ යැයි කිවිය හැකිය. එසේම ඇයට බටහිර තාලයට ගැයීමේ හඬ උච්චාරණයන් මෙන්ම ඉතා ඉහළ ස්වර පරාසයන් ආවරණය කරමින් එකී ඌරුවට ගැයීමේ හැකියාවද මනාව පිහිටා ඇත්තීය. විවිධ ආකාරයෙන් තම හඬ හැසිරවීමේ අති විශිෂ්ට හැකියාව , දක්ෂතාවය කෙනෙකුට පිහිටන්නේද කලාතුරකිනි. ඒ විරල වාසනා මහිමය ඇයට පිහිටා ඇතැයි මා විශ්වාස කරන්නේ ඇගේ සමහර ගායන ශෛලීන්හි ඇති විවිධත්වය හා අපූර්වත්වය මා අත්විඳී නිසාමය.

    ‘‘ පුංචි කාලෙ ඉඳලම මගේ වටපිටාව සැකසී තිබුණේ සංගීතයෙන්. මට නිතර අහන්න දකින්න ලැබුණේ , අපේ ගෙදරට ආව ගියේ මේ විෂයට සම්බන්ධ පුද්ගලයන්. ඉතින් ඉබේම මමත් ඒ පැත්තට යොමු වෙන්න ඇති. නමුත් මම මේ හැම පැත්තක්ම ශාස්ති‍්‍රයව හැදෑරුවා. ඒ අධ්‍යයනය මට දුර ගමනක් යන්න පාර පෙන්නුවා කියලා මම විශ්වාස කරනවා.‘‘

    ගායිකාවක වශයෙන් ගත් කළ ඇයට තිබෙන්නේ නිර්මාණ වශයෙන් ඉතා අතළොස්සකි. ඈ අවසන් වරට ගීත එකතුවක් නිකුත් කරලූයේ මිට වසර දහයකටද ඉහතදීය. එහෙත් ගෙවී ගිය වසර ගණනාව තුළ ඇය නිකම් සිටියේද නැත. නිර්මාණකරණයේ නොයෙදුණද ඇය කිසි විටෙකත් සිය අධ්‍යයන කාර්යයයන්හි මෙන්ම පුහුණුවේ වෙනසක් කළේ නැත. වෘත්තීය ගායනවේදිනියකට අවශ්‍ය වන අධ්‍යයනය මෙන්ම පුහුණුව පිළිබඳ ඇය මනා අවබෝධයකින් සිටි නිසා ඒ සියල්ලටම තම ජීවිතයේ වැඩි තැනක් ලබා දුන්නාය.

    ‘ ඇත්තටම මම පුංචි කාලෙ ඉඳලා වැඩිපුර රැඳී හිටියේ නර්තනය පැත්තේ. බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තෙත් නර්තන ශිල්පිනියක් විදියට. නමුත් උත්පත්තියෙන්ම මට ගායන හැකියාව පිහිටලා තිබෙනවා. අපේ අම්මලාගේ කාලෙ ගැන හිතනකොට ඒ අයට ක්ෂේත්‍රයට එන්න ඕන තරම් අවස්ථා තිබුණා. ඒ කාලේ චිත්‍රපට ඕන තරම් හැදෙනවා. ඒ වගේම තමයි එක චිත්‍රපටයක් ගත්තම ගීත ගණනාවක් තියෙනවා. නමුත් අපි ක්ෂේත්‍රයට එනකොට ඒ සිනමා වසන්තය මැකී ගිහින්. මට හිතෙනවා ඒ නිසා අපිට අවස්ථා මඟ හැරී ගියා කියලා.‘‘

    කුෂානිට ඇත්තේ චිත්‍රපට පසුබිම් ගායනයට බෙහෙවින්ම අවශ්‍ය කරන්නා වූ හැඟීම් ගායන ශෛලීයකි. ඇය එය මෙරට ප්‍රෙක්ෂකයන් වෙත මනාව ප්‍රකට කරලූයේ පියන්ත කොළඹගේ ගේ ‘ආදරණීය කතාවක්‘ චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට එක්ව වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගී ගායිකාව වශයෙන් සරසවිය සම්මානයටද පාත්‍ර වීමෙනි.

    පසුගිය කාලය ඇතුළත ඇය තවත් චිත්‍රපට කිහිපයකම පසුබිම් ගීත ගායනයට එක් වූවාය. ඒ අතර ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කළ ‘ මිදුණු විශ්වය ‘ චිත්‍රපටය සුවිශේෂ වන්නේය. තවම මෙරට සාමාන්යඑ ප්‍රේක්ෂකයන් උදෙසා ප්‍රදර්ශනය නොවුණු මෙම චිත්‍රපටයේ සුවිශේෂ ප්‍රදර්ශනයකදී එය නැරඹීමේ අවස්ථාව මා හට උදා විය. අධ්‍යක්ෂවරයා චිත්‍රපටයෙන් ප්‍රකාශ කරන්නට උත්සාහ කරනු ලබන්නාවූ තේමාව වෙනුවෙන් ඈ ඇගේ හැඟීම් ගායනය උපරිමයෙන් ඉදිරිපත් කර තිබූ ආකාරය ප්‍රශංසනීයය.

    ‘‘චිත්‍රපට පසුබිම් ගී ගායනය කියන්නේ වෙනමම ආකාරයේ එකක්. ඇත්තටම ඒක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. අධ්‍යක්ෂවරයාගේ අභිමතාර්ථ ඉෂ්ට කරන්නට ගායකයා හෝ ගායිකාව බැඳී සිටිනවා. පසුගිය කාලයේ මට එවැනි අවස්ථා කිහිපයක්ම හිමි වුණා.

    එක් අවස්ථාවක් තමයි ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ මිදුණු විශ්වය ‘ චිත්‍රපටය. මම හිතනවා මම ඒකට උපරිම සාධාරණය ඉෂ්ට කළා කියලා. ඊට අමතරව සෙකන්ඩ් ෂෝ ‘ කියලා ඉන්දියානු චිත්‍රපටයකටත් ගීත ගායනයෙන් එක් වුණා. ‘අයිස්කී‍්‍රම් ‘ චිත්‍රපටයටත් පසුබිම් ගීත ගැයුවා. පසුගිය කාලයේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ‘නිර්වාන්‘ කියන චිත්‍රපටයේ ගීත ගායනයට එක් වුණා. මම හිතන්නේ තවම රූගත කිරිම් කරලා නෑ. නමුත් ගීත ඔක්කොම පටිගත කළා.‘

    වසරකට වැඩි කාලයක් තුළ සමස්ත ලෝක වාසි ජනතාවම පීඩාවට පත් කරන්නාවූ කොරෝනා වසංගතය නිසා සියලු දෙනාම ජීවත් වූයේ හුදකලා වූ ලෝකයන් තුළය. එය ඔබට, මට මෙන්ම කුෂානිටද පොදුය. කලාකරුවන් වශයෙන් කුෂානි වැන්නන්ට මෙය දැඩි ලෙසම බලපෑවේය. එහෙත් ඒ හුදකලාව තුළ ඇය නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වී ඇති බව දැන ගන්නට ලැබීමද සතුටට කරුණකි. ඇගේ සූදානම වන්නේ ගීත අටකින් පමණ සමන්විත වන ගී තැටියක් නොබෝ දිනකින් එළි දැක් විමටයි. මෙය සිදුවන්නේ කුෂානි සඳරේඛා නමින් යුත් පසුගියදා ආරම්භ කරනු ලැබූ යූ ටියුබ් නාළිකාව ඔස්සේය.

    ‘‘ අපි අලුත් වැඩ කීහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා.‘ ගැහැනු වස්තුව‘ නමින් මගේ ගීත එකතුවක් මගේ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නිකුත් කරන්න තමයි මේ දිනවල සූදානම් වෙන්නේ. මේ සඳහා නවතම ගීත කිහිපයක් මෙන්ම පරණ ගිතවල රීමේක් කිහිපයක් දාන්නත් සැලසුම් කරලා තියෙනවා.

    කුෂානි ගායිකාවක් , නර්තන ශිල්පිනියක් මෙන්ම ගුරුවරියක් වශයෙන්ද දැන් කටයුතු කරයි. ඇයගේ ‘රේඛා‘ සංගීත ආයතනයේ මෙන්ම කසුන් කල්හාරගේ ‘දි ඇකඩමි‘ සංගීත ආයතනයේ ද ගුරුවරියක වශයෙන්ද කටයුතු කරන්නීය.පසුගිය කාලයේ දෙරණ ක්‍රොස් ඕවර් වැඩසටහන හරහා නර්තනය වෙනුවෙන් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඈ ලබා දුන් තීන්දු හා තීරණ ප්‍රේක්ෂකයන් දකින්නට ඇති. එවන් වැඩසටහනකට සම්බන්ධ වෙන්නට තරම් අත්දැකීම් මෙන්ම අධ්‍යාපන මට්ටමක්ද ඈ සතු වන්නීය.

    ඇගේ ජීවිතේ පරමාදර්ශී චරිතය වි ඇත්තේ ඇගේ ආදරණීය ලොකු අම්මා වූ ප්‍රවීණ රංගධාරිණී අනෝජා වීරසිංහය. කුෂානි කුඩා දැරියකව සිටියදී ඇ සිය ලොකු අම්මාගේ ජීවිතය දෙස බලා සිටියාය. ඇය දේශීය වශයෙන් නොව විදේශීය වශයෙන්ද සම්මානයට පාත්‍ර වෙත්දී, ඇගේ නිවෙසේ එම සම්මාන බබළද්දී කුෂානි ඒවා අත පත ගෑවේ මහත් ආසාවකිනි. කෙදිනක හෝ තමන්ටද මෙවැනි සම්මානයන්ට හිමිකම් කියන්නට ඇත්නම් කෙතරම් අපුරුදැයි ඇයට සිතෙන්නට ඇත.ඒ උත්තේජනය , ඒ පූර්වාදර්ශ අද ඈ සම්මානනීය තත්ත්වයට ගෙන එන්නට හේතුවක් වන්නට ඇත. කෙසේ වෙතත් අද ඈ සිය ක්ෂේත්‍රය ජයගත් තැනැත්තියක් මෙන්ම කාන්තාවක් වශයෙන් සිය ජීවිතයද ජය ගත් ගැහැනියකි.

    ඇගේ ආදරණීය මව්පියන් දයාබරත්වයෙන් බලා කියා ගන්නා දියණියක වන ඇය සිය සැමියාට දරුවාට බෙහෙවින්ම ආදරය කරන බිරිඳක් මවක් වශයෙන්ද, ගෘහණියක් වශයෙන්ද තම යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කරන්නට කැප කිරීම් කරන්නියකි.

     

     

    තිලක් පෙරේරා

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.