24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    රස මතක වැල් ගොතන වැල්ලවායේ කෝච්චි මාමා

    - Advertisement -

    මඟතොටේදී විවිධාකාර පුද්ගලයින් මුණගැසේ. ඔවුන් සතු අත්දැකීම් අතිවිශාලය. වෘත්තිය තුළ ලත් අමතක නොවන සිදුවීම් ද ඒ හා සමානය. ජීවිතයේ සැඳෑසමය ගෙවන ඇතැමකු තමන් ගත කළ ඒ සුන්දර කාලය සිහිපත් කරන්නේ දැඩි භක්තියකිනි. ගෞරවයකිනි.

    වැල්ලවායේ කෝච්චි අංකල් කියූ සැණින් ඔහු ගැන දන්නා බොහෝදෙනකු සිටිති.

    - Advertisement -

    එහෙත් ඔහු ගැන දන්නා බොහෝදෙනකු නොදන්නා කතා ද ඔහු සතු බව දන්නේ අතළොස්සක් දෙනා පමණි.

    ජීවිතයේ සැඳෑසමය ගෙවන එවන් අපූරු මිනිසකු සොයා අපි ඉකුත්දා කෝච්චි අංකල් පදිංචි වැල්ලවාය ඇල්ල පාරේ පරගස්මංකඩ පිහිටි නිවෙසට ගොඩවැදුණේ ඔහු හා බැඳුණු අත්දැකීම් බෙදා හදා ගන්නටය.

    ‘කිව්ව වගේම කිව්ව වෙල­ාවට ආවා නේ’ දැයි කටපුරා සිනාසෙමින් ඔහු එළියට බැස්සේ සුපුරුදු ළෙන්ගතුකමිනි.

    - Advertisement -

    ‘කොහොමද ජිවිතේ’ …මම විමසුවෙමි.

    ‘හොඳින් ඉන්නවා’ යැයි පැවසූ කෝච්චි අංකල්, “කාමරේට වඩා එළිය නිදහස්. අපි එළියට ගිහින් කතා කරමු” යැයි පවසා කතාව පටන් ගත්තේ නිදහසේ ඉන්නට තැනක් හොයාගෙන පුටු දෙකක් ද සූදානම් කරමිනි.

    ඒ එළියේ මල් පඳුරක් ළඟය.

    - Advertisement -

    “කවුරුවත් මේ පැත්තට පොඩි ළමයි එවන්න එපා. කෑගහන්නත් එපා. අපි වැදගත් සාකච්ඡාවක්” යැයි අපේ කතාබහ ඇරඹීමට මත්තෙන් නිවැසියන්ට අනතුරු ඇඟවීමක් කරන්නට ඔහු වග බලා ගත්තේය.

    “ඉතින් මහත්තයො මෙනවද දැනගන්න ඕනෑ?”

    ඔහු මගෙන් විමසන්නට පටන් ගත්තේය.

    “ඇයි කෝච්චි අංකල් කියන්නේ”? මගේ පළමු පැනය විය.

    “මම කෝච්චියේ අවුරුදු 40ක් රස්සාව කළා. ගොඩක් අය අඳුන ගත්තේ මාව කෝච්චියේ රියැදුරෙක් විදිහට. ඉතිං ඒ නම පටබැඳුනා.

    රස්සාවට සම්බන්ධ වුණේ කොහොමද?

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ 1953 අප්‍රේල් මාසයේදි.ආධුනිකයෙක් විදිහට තමයි බැඳුණේ. ඒ කාලේ අඟුරු එන්ජින් තිබුණේ. මුලින්ම අඟුරු කඩන්න, අඟුරු පටවන්න වගේම එන්ජින් සුද්ධ කරන්න ඕනෑ.. වෑද්දුම්කරුවන් එක්ක සෑම එන්ජිමක්ම පරික්ෂා කරන්න ඕනෑ පිටවෙන්න කලින්. ලයිට්, වැකුම් ඇණ, මුරිච්චි සියල්ල බලන්න ඕනෑ. එහෙම අත්දැකීම් ලබාගත්තම කවදා හරි රියැදුරෙක් වුණොත් ඒ දේවල් වැදගත් වෙනවා. එහෙම ඉඳලා එන්ජින් සුද්ධ කරන්නෙක් වෙනවා. අවුරුදු දෙකකට පස්සේ තුන්වැනි අඟුරු එන්ජිමකට රියැදුරෙක් වෙන තත්ත්වයට පත් වෙනවා. එතැන අවුරුදු දෙකක් වැඩ කරන කොට දෙවැනි එන්ජින්මෙන් තනතුර ලැබෙනවා. එතැන අවුරුදු අටක් වෙන කොට තමයි අපිට වරප්‍රසාදය ලැබෙන්නේ රියැදුරු තත්ත්වයට පත් වෙන්න. එතැනදි සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ලිඛිත පරීක්ෂණ තියෙනවා. වෛද්‍ය පරීක්ෂණයක් තියෙනවා. ඒකෙන් සමත්වුණොත් තමයි තුන්වැනි පන්තියේ රියැදුරෙක්ගේ තත්ත්වයට පත් වෙන්නේ. ඊට පස්සේ පුහුණු වෙන්න රත්මලානට යන්න ඕනෑ. කොළඹ තියෙන හැම තැනකටමත් යන්න ඕනෑ .අවුරුදු දෙකකට පස්සේ විභාගයක් තියෙනවා. හැම එන්ජින් වර්ගයක් ගැනම දැන ගන්න ඕනෑ. නීතිය සම්බන්ධයෙන්, මුදල් රෙගුලාසි සම්බන්ධයෙන් තමයි විභාගය තියෙන්නේ.

    තුන්වැනි පන්තියේ රියැදුරෙක් විදිහට එළියට දාන්නේ කොළඹ තදාසන්න ප්‍රදේශවල. ඊට පස්සේ විභාගයක් තියලා ඒකෙන් පාස් වුණාම ටිකක් ලොකු කෝච්චි ධාවනය කරන්න ලැබෙනවා. කොළඹ අවට වැඩ කරන්න ලැබෙනවා. ඊට පස්සේ තියෙන විභාගයෙන් සමත් වුණාම ඕනෑම තැනක රියැදුරෙක් විදිහට සේවය කරන්න පුළුවන්.

    අවුරුදු 40ක් තිස්සේ ඒ හැම කඩඉමක්ම පසු කරගෙන පසු කරගෙන ආවා.”

    අවුරදු හතළිහක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයිනේ. ඒ කාලෙ අමතක නොවන සිද්ධි එහෙමත් ඇති නේද?

    “අපොයි ඔව් ගොඩාක් තියෙනවා.”

    ඒවා කියන්න කලින් තේ එකක් බීලා ඉමු නේ දැයි ඔහු මගෙන් විමසුවේ කෝච්චි අංකල්ගේ අක්කා තේ පිළියෙල කර ඇති බව හස්ත මුද්‍රාවෙන් පැවසූ බැවිනි.

    “එහෙනම් යමු යැයි පවසා නිවෙසට ගොස් විස්කෝතුවක් කා කිරි තේ එකක් දෙදෙනා සමඟ බොන්නට වුණෙමු.

    “මම දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුණු දවස අමතක නොවන දිනයක්.”

    ඒ ඇයි මම විමසුවෙමි.

    “මම සේවයට වාර්තා කරන්න ගියේ සිල්වා කියලා ලොකු මහත්තයෙක් ගාවට.”

    ඉතිං…

    “නම කියපු ගමන් මගෙන් ඇහුවා කවුද තාත්තා කියලා. මම කිවුවා ඩබ්.එම්.ඒ. සිල්වා කියලා.

    එතකොටම එයා නැඟිටලා එක පාරටම මාව බදාගෙන පුතා උඹ තමයි මගේ ගැලවුම්කාරයා කියලා කිවුවා.

    මට මොකක්ද වුණේ කියලා හිතා ගන්නවත් බැරි වුණා. මම පුදුම වුණා.

    තාත්තා ඉන්නව ද කියලා ඇහුවා. මම කිවුවා ඔව් කියලා එහෙනං ගෙදර ගිහිල්ලා තාත්තාගෙන් අහගන්න කිවුවා. මමත් වැඩ ඇරිලා ගෙදර ආවා. තාත්තට මේ විස්තරේ කිවුවා. හා එයා ඉන්නව ද එයා තමයි මගේ හොඳම යාළුවා ඔයා තමයි එයාගේ මඟුල කැඩුවේ කියලා මට කිවුවා.

    මොකක්ද ඒ කතාවේ තේරුම කියලා ඇහුවාම තාත්තා කිවුවේ, මම ඉපදිලා තියෙන්නේ 1933 අවුරුද්දේ ත්‍රිකුණාමලයේ. එතකොට 1932 නන්තල් දවසේ රෑ වැඩ කරන කොට තැපැල් දුම්රිය ප්‍රමාද වෙන හින්දා එයා එන්ජිම ගෙනැල්ලා බලාගෙන හිටියා රියැදුරා එනකම්. හතට එන රියැදුරා ආවේ නෑ රියැදුරා බීලා බීලා රෑ දහයට විතර ආවා. තාත්තා ස්ථානාධිපතිට කියලා රියැදුරා ඇවිල්ලා වැකුම් නැති නිසා මේකේ බ්‍රේක් පවර් නෑ කියලා. එතකොට කෝච්චියේ යන්න හිටපු කෙනෙක් කිවුවලු සුද්දා පයිප්යක් කපලා ගියා කියලා. තාත්තට කේන්ති ගිහින් ගහන්න ගිහින් සුද්දගේ ඔළුව පැළුනලු. තාත්තට මාසයක් වැඩ තහනම් කරලා. මාසයක් ගිය තැන පරීක්ෂණයෙන් පස්සේ දඬුවම් මාරුවක් විදිහට ගාල්ලට මාරු කරලා.

    මම ඉපදෙන්නේ සැප්තැම්බරි මාසේ ත්‍රිකුණාමලේදි. එතකොට තාත්තට ටැලිග්රෑම් එකක් එනවා පුතෙක් ලැබුණා එන්න කියලා. තාත්තා ගැලුම් හා මැදිරි පරික්ෂක විදිහට තමයි ඉඳලා තිය‍ෙන්නේ. එතැන තවත් එක්කෙනෙක් ඉන්නවා ඩබ්.එම්.එස්. සිල්වා කියලා. අපේ තාත්තා ඩබ්.එම්.ඒ. සිල්වා.”

    ඉතිං.. ඉතිං… මම තවදුරටත් කෝච්චි අංකල් දිරි ගන්වන්නට මෙන් පැවසුවෙමි.

    “ඩබ්.එම්.එස්. සිල්වා මහත්තයා තරුණ කෙනෙක්. චීන කොරටුවේ ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා එයාගේ ගෙදර තමයි නතර වෙලා රස්සාව කරලා තියෙන්නේ.

    කරුමෙට ද හොඳට ද දන්නේ නෑ එයාගේ අම්මට සනීප නැතුව ගමේ ගිහින් ඉන්න අතරතුර තමයි මේ ටැලිග්රෑම් එක ආවේ. අපේ තාත්තා ගැන කවුරුවත් දන්නේ නෑ. අර ගෙදරට ගිහින් මේ ටැලිග්රෑම් එක දීලා.

    බෝඩිමේ ගෙදර මිනිස්සු මේක කඩලා බලලා. ඒකට තමයි එහෙනං මේ ගියේ කියලා හිතලා තියෙනවා. තාත්තා මේ කිසිදෙයක් දන්නේ නෑ.

    යාළුවා ගෙදර ගිහින් ආයෙත් ආවාම බෝඩිමේ අය යුද්ධෙ ප්‍රකාශ කරලා. බඩු මුට්ටු ඔක්කොම එළියට විසි කරලා ගෙදරින් එළියට දාලා..තෝ මරනවා කියලා නැන්දම්මා තර්ජනයත් කරලා. කතා කිසි දෙයක් එපා අපි ඔක්කොම දන්නවා කියලා. ඉතින් මෙයා වෙන බෝඩිමක ඉඳගෙන රස්සාව කරන්න පටන් අරගෙන. තාත්තා එතැන දිගටම හිටියා. එයා තමයි මේ සිල්වා මහත්තයා. ඔන්න ඕක තමයි ඒ කතාව. දැන් ඒ සිල්වාත් නෑ. මේ සිල්වාත් නෑ.”

    ‘එතැනින් පස්සේ කොහොමද රස්සාවේ තොරතුරු. .ඔය අතරතුර අනතුරු එහෙම වුණේ නැද්ද…?’

    ‘අපොයි මොකද නැත්තේ.

    “මගේ අතින් මිනිස්සු 35ක් මැරිලා තියෙනවා අවුරුදු හතළිහේ සේවා කාලය ඇතුළත. ඒකෙන් දෙකක් ඇක්සිඩන්ට්. අනිත් ඔක්කොම දිවි නසාගැනිම්.”

    ‘ඒ අනතුරුවලදි සංවේදී වුණ අවස්ථා නැද්ද..?’

    ” දවසක් මම මාතර ඉඳලා කොළඹ එනකොට ගෑනු ළමයෙක් කෝච්චියට පැන්නා. හොඳ වැදගත් ළමයෙක් වෙන්න ඇති. එක පාරටම කොණ්ඩෙ කඩාදාගෙන පැන්නා. හැප්පිලා විසිවෙලා මැරුණා. ලොකුවට තුවාල නෑ. මම කෝච්චිය නතර කරලා ගිහින් බැලුවා. ‘ඇන්ලොප්’ එකක් තිබුණා මෙයාට දන්වන්න කියලා විතරයි තිබුණේ. එයා පොලිස්කාරයෙක් දෙහිවල.’

    ‘තව දවසක් ගාල්ලේ ඉඳලා කොළඹ කෝච්චියෙ වැඩ කරන කාලේ මහකප්පින්න වලව්ව, ඒ කියන්නේ බලපිටිය හරියෙදි රාජපක්ෂ වලව්වට ‘මිනිමොක් වෑන්’ එකක් දානවා. දානවාත් එක්කම උඩින් ගිහිල්ලා ඇළකට වැටුණා. කාටවත් ලොකු අනතුරක් වුණේ නෑ. තුවාල වුණා. ලස්සන වැඩේ කියන්නේ ඒකේ බබෙක් හම්බවෙන්න හිටපු ගෑනු කෙනෙකුයි, නෝනගේ අම්මයි, නංගියි, මහත්තයයි හිටියේ. අර නෝනා නැඟිටපු ගමන්ම අර කවුරුවත් ගැන නෙවෙයි බැලුවේ පපියා කෝ පපියා කෝ කියලා. බල්ලව හෙවුවේ. එතැන හිටපු අය බල්ලව උස්සගෙන ගියා. ගාඩ් මහත්තයා ටක් ගාලා ලෙඩ්ඩු ටික රෝහලට යැවුවා. පස්සේ බලනකොට ඒ හැප්පිලා තියෙන්නේ රේල්ලුවේ කෙනෙක්ගේ දුවෙක්. මට ඇවිල්ලා කිවුවා මගේ දරුවා හැප්පිලා තියෙන්නේ කියලා. මම කිවුවා මම හිතලා හැප්පුවේ නෑ කියලා.

    ඉතිං මම හවස අනුකම්පා හිතිලා ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු බලන්න ගියාම අහනවා හප්පලා බලන්නත් ආව ද? කියලා.

    ‘මගේ මනුස්සකමට බලන්න ආවේ. නෝනගේ මනුස්සකමට මට බැන්නට කමක් නෑ කියලා මම ආවා. මාස තුනකට විතර පස්සේ සිතාසියක් ආවා උසාවියට එන්න කියලා. සාක්ෂියට. මම කෝච්චියේ බලපිටියේ උසාවියට ආවා.

    අපරික්ෂාකාරීව ධාවනය කළා කියලා නීතිඥයා මට බැනගෙන බැනගෙන ගියා ඉංග්‍රීසියෙන්. මට හොඳටම කේන්ති ගියා. මමත් දන්න ඉංග්‍රීසි කුණුහරුප ඔක්කොම කියලා බැන්නා. උසාවියේ නඩුව කතා කළා. රුපියල් 500ක් දඩ ගෙවන්න කිවුවා.”

    ‘ඔය අතරෙ දේශපාලනයට සම්බන්ධ වෙනවා නේද? ඒක බොහොම රසවත් අතීතයක් නේද..?

    “ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඒ කියන්නේ 1947 ඉඳලා දේශපාලනය කළා. මගේ තාත්තා රේල්ලුවේ ඉන්න කාලේ දුම්රියක් පීලි පැන්නුවා අනුරාධපුරේදි. ඒ තරහට තාත්තා ඇතුළු 17 දෙනෙක් කොළඹින් අල්ලගෙන ගිහින් රිමාන්ඩ් කළා.

    අද රිමාන්ඩ් කළා හෙට නිදහස්. මොකද ඒ අය හිටියේ කොළඹ නිසා. ඉතින් ඔය දවස්වල ගෝල්ෆේස් පිටියේ රැස්වීම් තියෙනවා. මමත් යනවා දෙමටගොඩ ඉඳලා පයින්. මගේ වීරයා තමයි එඩ්මන් සමරක්කොඩි. මොකද එයා එන්නේ රතු පාට කාර් එකේ රතු පාට කමිසයක් ඇඳගෙන. කාර් එකෙන් බහින්නේ නළුවෙක් වගේ, ඉතින් එයාව බලන්න තමයි මම යන්නේ.”

    ‘එතකොට වයස කීයක් විතර ඇද්ද..?’

    “අවුරුදු 14යි’

    ඡන්දවලට බැස්සේ 1952දී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවලා පළවෙනි ඡන්දය තියෙන වෙලාවේ. මිනිපේ ආසනේට පී.බී.ඩබ්ලිව් රඹුක්වැල්ල අපේ සර්. එයා ග්‍රැජුවේට් කෙනෙක්. ඒ වගේම පොහොසත් ඉංග්‍රීසි ටීචර්. නියෝජ්‍ය විදුහල්පති. එයාට ‘නොමිනේෂන්’ ලැබුණා. මිනිපේ මිනිස්සු එයා අඳුරන්නේ නෑ නේ. අපි එස්.එස්.සී ළමයි 10ක් විතර ගියා. මම තමයි ලීඩර්. ගමක් ගමක් ගානේ ගියා. කිසිම ප්‍රතිචාරයක් නෑ හරි හරි කියනවා විතරයි. බණ්ඩාරනායක මහත්තයා සිංහල ජාතිය ආගම බේරගන්න ඇවිල්ලා ඉන්නේ කියලා අපි කිවුවට කාටවත් කිසිම ගාණක් නෑ.

    ඡන්දෙට දවස් තුනකට විතර කලින් රැස්වීමක් තිබුණා. ඒක ඉවර වෙලා එනකොට අපිට ගැහුවා බිම දාගෙන මාව වැටුණා. පාගගෙන ගියා. සමහරු කිවුවා ඕකා මැරිලා අයින් වෙලා පලයල්ලා කියලා. ඉතිං ඡන්දේ අපි දිනුම්. 56 ලංකාවේ පළවෙනි ඡන්ද ප්‍රතිඵලේ. එදා ඉඳන් මාතලේ නිමල් කරුණාතිලක එක්ක අපි දේශපාලනේ තමයි.

    56දී නොමිනේෂන්වලට ඉස්සෙල්ලා නාවලපිටියේ රැස්වීමක් තිබුණා. නාවලපිටිය ආරින් ජයතිලක, කොටගලට ජේ. ඩී. වීරසේකර, ගම්පලට බණ්ඩාරනායක කියලා වෙද මහත්තයෙක්.ඒ. පී. ජයසූරිය, ජේ.ඩී. වීරසේකර, ඩී.ඒ. රාජපක්ෂ, ජයවීර කුරුප්පු, බදුර්දීන්, ඩබ්.ඒ. සිල්වා ඔය වගේ කට්ටිය ගොඩක් හිටියා. පොඩි කොල්ලෝ වුණාට මේ වැඩේට අපි හරි කැමතියි .’

    ’80දී ලංකාවේ එකම එන්ජින් රියැදුරු වැඩ වර්ජනයට බැස්සා. 82 තමයි ජනාධිපති මැතිවරණය තියෙන්නේ. ශ්‍රී ලංකා එකේ ගොඩාක් අය පැනලා ගියා. හෙක්ටර් කොබ්බෑකඩුව, විජය කුමාරතුංග අපි තමයි එකට හිටියේ. විජයට කවුරුත් කැමතියි. ආදරෙයි. අපි කැන්වසින් යනවා. ආදර්ශ හාල් පොත් බෙදුවා අපි බලයට ආවොත් දෙනවා කියලා. අපිව රිමාන්ඩ් කළා.

    විජය හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ අපි කතරගම ගියා. එතකොට විමුක්ති හම්බවෙන්න හිටියේ .අතේ ඉන්නේ යසෝදරා. මේ තියෙන්නේ කතරගමදි ගත්ත පිංතුරයක්

    .” කෝච්චි මාමා පරණ ඡායාරූපයක් මට දික් කළා.

    ‘ඒ හිනාව තවම එහෙමමයි.’

    ජී.අයි.ආර්. ගරුසිංහ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.