චීන රජය නිෂ්පාදනය කරන ලද මෙරටට ලැබී ඇති සයිනො ෆාම් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබුණු පසු මෙරට ජනතාවට එන්නත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේද අනුමැතිය අනුව එය මෙරට භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත්, අනුමැතිය ලැබුණු පසු එය මෙරට කුමන ජන කණ්ඩායමක් ඉලක්ක කරගෙන ලබා දෙන්නේද යන්න අදාළ විද්වත් කමිටු විසින්ද තීරණය කරනු ඇතැයිද ඇමැතිනිය සඳහන් කළාය.
ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග (27/2 ) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මේ එන්නතේ ආරක්ෂිතභාවය තහවුරු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව අදාළ දත්ත අධ්‍යයනයෙන් පසුව තීරණය කරන බවයි.
එන්නතේ ආරක්ෂිතභාව තහවුරු කරන තෙක් එය ජනතාවට ලබාදීමට කටයුතු නොකරන බවත් මේ වන තෙක් එය චීන ජාතික ජාතිකයන්ට පමණක් ලබාදීමට කටයුතු කර ඇති බවද ඇමැතිනිය සඳහන් කළාය. චීන රජය ප්‍රදානයක් ලෙස ලැබුණු මේ එන්නතේ ආයු කාලය වර්ෂ 2023 දක්වා ඇති බැවින් එම කාලයේ මෙහි ආරක්ෂිතභාවය තහවුරු කිරීමෙන් පසුව භාවිතා කිරීමට හැකි වනු ඇති බවද ඇමැතිනිය ප්‍රකාශ කළාය. මේ එන්නත් තොගයට ශීතදාමය පවත්වා ගනිමින් ගබඩා කිරීමට වැය වන පිරිවැයට අමතරව වෙනත් පිරිවැයක් වැය නොවන බවද ඇමැතිනිය කීවාය.
The article first published on dinamina.lk ⋆෴⋆