24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    මානව ශාස්ත්‍ර ඉගැන්වීමේදී තරුණ සිත සරු බිමක් කළ යුතුයි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

    - Advertisement -
    Author(s): 
    උපාලි කරුණාරත්න

    මානව ශාස්ත්‍ර ඉගැන්වීමේදී තරුණ සිත සරු බිමක් බවට පත් කළ යුතු බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පැවසීය. මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ සාහිත්‍ය, විචාරය හා සමාජය: නව න්‍යායික ප්‍රවේශයන්හි අවශ්‍යතාව සහ අභියෝග මැයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළට (2020) අදාළව පැවැත්වූ පූර්ව දේශනය කරමිනි. මෙය පෙරේදා (07) පස්වරුවේ කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙහි මූලාසනය සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා දැරූ අතර ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතාද මේ අවස්ථාවට සහභාගි විය. දේශනයේ පිටපත් මෙහිදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ මහත්මිය විසින් රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමිට, නායක හිමිවරුන්ට, මහා සංඝරත්නයට, රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිසට පිළිගැන්වූහ.

    එහිදී වැඩිදුරටත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා මෙසේද කීය.

    - Advertisement -

    “කාලාමයෙනි! යමක් පැවසූ පමණින් එය භාර නොගනිව්. පරම්පරාවේ පැවත එන නිසාවත්, එය එසේය යන ආරංචියෙන්වත්, ආගමික පොත්පත්වල තිබුණු පමණින්වත්, තර්කය නිසා හෝ න්‍යාය නිසාවත්, මේ කාරණය කියා තිබෙන හැටි මැනැවැයි සිතාවත්,තමන් කලින් සිතූ අදහසට ගැලපුණු පමණින්වත්, මේ පුද්ගලයා සෑහෙන කෙනෙකැයි, ඔහු කියන දෙය පිළිගත යුතුය සිතාවත්, මේ තැනැත්තා මගේ ආචාර්යයන් වහන්සේය කියාවත්, යමක් භාර නොගනිව්. නමුත් කාලාමයෙනි! මේ අයහපතැයි යම් දිනක තොපටම වැටහුණොත් එදින එය අතහැර දමව්. එසේම යහපතැයි තොපටම වැටහුණොත් එය පිළිපදිව්”.

    මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන් පවසන පරිදි මේ ඉගැන්වීමෙන් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකුට කොතරම් විප්ලවයක් ඇතිකළ සේක්දැයි ආගම පිළිබඳ ඉතිහාසය සාක්ෂි දැරීමෙන් පෙනී යයි. ලෝකය දිවි දෙවෙනි කොට ගරු කරන පරම්පරාව, ආගමික පොත්පත්, ආචාර්ය මතය ආදී දේවල් උන්වහන්සේ කිසිවක් ගණන් නොගත් සේක. එහෙත් සමකාලීනව අප මේ පාඩම ඉගෙන ගෙන නැත. රාහුල හිමිපාණන් පවසන පරිදි දැනටත්, ගුරුවරයාගේ අදහසට හෝ පොතේ අදහසට නැතහොත් පරම්පරාවට විරුද්ධ මතයක් ශිෂ්‍යා පළ කළහොත් ගුරුවරයා තදින් කිපී ඔහුට නොයෙක් අන්දමින් තරවටු කරයි. ගෝලයාගේ පරීක්ෂා බුද්ධිය, විවේචන බුද්ධිය පාගා දමන්න ගුරුවරයා නිතරම සූදානම් වෙයි. ගුරුවරයාට වඩා ගෝලයා නුවණැතියකු වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති. ගෝලයා ජීවිතාන්තය දක්වා තමාගේ වහලා කර ගන්න ගුරුවරයා නිතරම වෑයම් කරයි. මේ ඉගැන්වීම් ක්‍රමය නිසා ඇති වූ වහල්ලු අප අතර බොහෝය. නිදහස් මතයක් ඔවුන් අතර ප්‍රකාශ කිරීම බීරි ඇතුන්ට කරන වීණා ගායනාවකි. 

    රාහුල ස්ථවිරයන්ගේ විග්‍රහයේ දැඩි විවේචනයට ලක් කෙරෙන වැඩවසම් ගුරු- ශිෂ්‍ය සම්බන්ධතාව සමස්තයක් ලෙස දැනටමත් අපේ විශ්ව විද්‍යාලවල පවතින බව මම පිළිගනිමි. උන් වහන්සේ සඳහන් කරන තරමේ අමු අමුවේ සිදු නොවුණත් අපගේ සමස්ත අධ්‍යාපන දර්ශනය ගුරු කේන්ද්‍රීයය. ප්‍රශ්න කිරීම් බැහැර කරවන සුලුය. මේ පොදු ගැටලුවට පිළිතුරක් ලෙස මම නව න්‍යායික ප්‍රවේශ මුල්කොටගත් ගුරු කේන්ද්‍රීය නොවන ඉගැන්වීමේ දර්ශනයක් යෝජනා කරමි.

    - Advertisement -

    මානව ශාස්ත්‍ර ඉගැන්වීමේදී හා ඉගෙන ගැනීමේදී ගුරුවරුන් හා ශිෂ්‍යයන් වන අපට වෙනදාටත් වඩා හිමි භාරධුර කාර්යය වනුයේ තරුණ හිත සරු බිමක් බවට පත්වන සේ සකස් කිරීමයි.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ මහත්මිය- නොබෝ දිනකින් 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පැවැත්වීමට කටයුතු කරන බව පැවසුවාය.

    සංස්කෘතිකාංග ගණනාවකින් මෙය සමන්විත වූ අතර ගායක ගායිකාවන් සහභාගි වූ ‘රසදීපනී ‘ රසවින්දන වැසටහනද පැවැත්විණි. විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, සාහිත්‍යවේදීන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

    - Advertisement -

    ඡායාරූප – සුදත් මලවීර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.