24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    සිය‍ෙය් හා පනහේ නෝට්ටු අවලංගු කළ ඇන්. ඇම්

    - Advertisement -

    1965 මාර්තු 22 දින පැවැති හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එ. ජා. පක්ෂය පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් ආණ්ඩුවක් බිහිකළ අතර, එම ආණ්ඩුවේ සම්පූර්ණ නිල කාලය අවසන් කර 1970 මාර්තු 25 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය 1968 ජූනි 05 වන දින සභාග රජයක් පිහිටුවීමට ඇතිකර ගන්නා ලද සංයුතිය අනුව 1970 මැයි 27 වන දින පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගන්නේ තුනෙන් දෙකක බලයක් ද සමඟිනි. ආසන 151න් එකසිය දහසයක් සභාග ආණ්ඩුවට හිමි වූ අතර 1970 මැයි 29 දින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර, ‍රටේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ආර්ථික විද්‍යාව සඳහා ආචාර්ය පදවි දෙකක් (ඩබල් ඩොක්ටර්) හිමි වූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මුදල් ඇමැතිවරයා ලෙස අගමැතිනිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    මෙරට ව්‍යාපාරික ලෝකය සසල කරමින් පීඩිත ජනතාවගේ අපේක්ෂාවන් උද්දීපනය කිරීමට මෙම පත්වීම හේතු විය. හත්වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 1970 ජුනි 14 දින උත්සවාකාරයෙන් ඇරඹුණ අතර, ප්‍රථම අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කරනු ලැබුවේ 1970 ඔක්තෝබර් 25 වන දිනදීය.

    - Advertisement -

    කම්කරු නායකයකු ලෙස ඇන්. ඇම්. පෙරේරා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ඉල්ලීම් 21 ලබාගැන්මට අනවරථ අරගලයක යෙදී සිටි පුද්ගලයකු නිසාත් ඒ වෙනුවෙන් පිකටින්, පෙළපාලි, වර්ජන රැල්ලකට නායකත්වය දුන් අයකු නිසාත් ඇන්. ඇම්. ගේ පළමු අයවැයට කාගේත් නෙත් සිත් යොමුවිය.

    නමුත් අයවැය ඉදිරිපත් කළ පසු බාහිරින් පෙනුණු වැදගත්ම යෝජනාව වූයේ සංසරණයේ පවතින රුපියල් 50/- හා 100/- නෝට්ටු (එවකට ඉහළම මුදල් නෝට්ටු දෙක) අවලංගු කිරීමේ යෝජනාව පමණි. ඉල්ලීම් 21 ලබාදීම පිළිබඳව කිසිදු සඳහනක් නොවීය.

    කවුරු මුදල් ඇමැති වුවද අයවැය ‍ලේඛනයක් ඉදිරිපත් කළ විට ඒ පිළිබඳව හදාරා පසුදා විශේෂ දේශනයක් පැවැත්වීම ඇන්. ඇම්. පෙරේරාගේ (ලංකා සමසමාජ පක්ෂයේ) පුරුද්දක් විය. ඒ වෙනුවෙන් සෑම විටම මෙන් යොදාගනු ලැබුවේ කොළඹ නවනගර ශාලාවයි. ඒ මඟින් අයවැයක අභ්‍යන්තරයේ පවතින කරුණු සරල බසින් ඉදිරිපත් කිරීම සිදු විය. ඒ අනුව තමන් ඉදිරිපත් කළ අයවැය පිළිබඳව කරුණු දැක්වීමට ද පසුදා නවනගර ශාලාවේදී විශේෂ දේශනයන් සංවිධානය කරන ලදි. ආර්ථිකය පිළිබඳ ඇන්. ඇම්. අන්‍ය අයවැය ලේඛන පිළිබඳ කරුණු දැක්වීමේදී ආචාර්ය, මහාචාර්ය උගතුන් නායකත්වය ගත්තත් ඇන්. ඇම්. ගේ දේශනය ඇසීමට කම්කරු ජනතාව විශාල වශයෙන් එක්රැස් විය. විශේෂයෙන් වරාය කම්කරුවන් ඇතුළු අතිමහත් කම්කරු ජනතාවක් අවශේෂ ජනතාවගෙනුත් නවනගර ශාලාව අතුරු සිදුරු නැතිව පිරී පැවතුණි. ඉදිරිපත් කළ අයවැය පිළිබඳ මූලික කරුණු හා එහි බලපෑම් පිළිබඳව ඉතා හරවත්ව ඇන්. ඇම්. පැහැදිලි කර දුන් අතර, විශේෂයෙන් 50/- හා 100/- නෝට්ටු අවලංගු කර නව නෝට්ටු නිකුත් කිරීම පිළිබඳ වූ නවමු වැඩසටහන විශේෂයෙන් පැහැදිලි කරන ලදි. බැංකුවල තැන්පත් නොකර නෝට්ටු වශයෙන් සඟවාගෙන තිබූ ධනවතුන් සතු මුදල් එළියට ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, ඒවා සඳහා බදු අයකිරීම තවත් අරමුණක් විය. සියලු නෝට්ටු වෙනුවෙන් නව මුදල් නෝට්ටු ළඟම ඇති බැංකු‍ෙවන් මාරුකර ගන්නා ලෙස උපදෙස් දුන් අතර, බුලත්විට විකුණන කෙනෙක් වුව ද තමන් සතු වූ 50/- හෝ 100/- නෝට්ටු රැගෙන බැංකුවට ගොස් ඒවා බැංකුවට භාරදී තමාගේ බව සඳහන් කර නව නෝට්ටු රැගෙන ආ යුතු විය. මේ තුළින් ඇන්. ඇම්. බලාපොරොත්තු වූ අනෙක් කරුණ වූයේ ධනපතීන්ගේ ආයතනයන් ලෙස හැඳින්වූ බැංකුවලට සාමාන්‍ය ජනතාව ද ආකර්ෂණය කිරීමට අවස්ථාව උදාකර ගැනීමයි.

    - Advertisement -

    මේ සියලු පැහැදිලි කිරීම්වලින් පසුව ප්‍රශ්න ඇසීමේ වාරය ඇන්. ඇම්. සභාවට ලබා දුන්නේය. ක්ෂණිකව නැඟී සිට වරාය කම්කරුවකු තමා ගැන හඳුන්වා දී මෙසේ ඇසීය. ‘සහෝදරයා කම්කරු පංතියේ ඉල්ලීම් 21 පිළිබඳව අවුරුදු ගණනාවක් තිස්සේ උගුරේ ලේ රහ වෙනකම් කතා කළා. පෙළපාලි ගියා. පිකටිං කළා. ස්ට්‍රයික් කළා. අපිව ධනපති ආණ්ඩුවලට විරුද්ධව මෙහෙයවූවා. ඇයි! සහෝදරයා ඒ ඉල්ලීම් 21 ගැන කම්කරුවන්ට ලබා දෙන වරප්‍රසාද ගැන අයවැයේ සඳහන් නොකළේ…’

    ඇන්. ඇම්. ඉතා සන්සුන්ව සුහද ලෙසින් නැඟී සිට ‘සහෝදරයා මට ධනපති ආණ්ඩුවලින් ඉල්ලීම් 21 ඉල්ලා සටන් කළා ඇත්ත තමයි! අද අපි වමේ බලවේග ශ්‍රී. ල. නි. පක්ෂය සමඟ එකතු වී නව සභාගයක් තුළින් සමාජවාදී රටක් ගොඩනැඟීමේ ක්‍රියාදාමයක නිරතවෙලයි ඉන්නෙ. සහෝදරයා කියන විදිහට මට පවතින ‘දුර්වල ආර්ථිකය’ නමැති කේක් ගෙඩිය එක් එක් පුද්ගලයාට පංගු කර දෙන්න පුළුවන්. ඒ ලැබෙන පංගුව ඉතා කුඩයි. සහෝදරයා දැන් මේ කේක් ගෙඩිය ලොකු කරන අවස්ථාව උදාවෙලා තියෙන්නේ. මේක අපි ඔක්කොම එකතුවෙලා ලොකු කරමු. කේක් ගෙඩිය ලොකු කළොත් අපිට ලොකු කොටසක් ඉදිරියේදී භුක්ති විඳින්න පුළුවන් වෙයි. මගේ අයවැය ඒ කේක් ගෙඩිය ලොකු කරන්න උදව් කරන එකක් ඒ සඳහා සහෝදරයන් උදව් කරන්න. ඇන්. ඇම්. ගේ මේ පිළිතුර හමුවේ සියලුදෙනා නිශ්ශබ්ද වූයේ එම අදහස් ඉත සිතින් අනුමත කරමිනි. එම පිළිතුර අවසන් වන්ට තවත් කම්කරුවෙක් නැඟී සිට මෙසේ ප්‍රකාශ කළේය.

    ‘සහෝදරයා මගේ පඩිය හැමදාම රේස් ඔට්ටු දාලා ඉවර වෙනව. ගෙදරට, ගෑනිට, දරුවන්ට ගෙනියන්න දෙයක් ඉතුරු වෙන්නෑ. මට රේස් ඔට්ටු දැමිල්ල නවත්ව ගන්නත් බෑ. මම හිතුව මේ නීතිවිරෝධී, සමාජ විරෝධී රේස් බුකී මේ අයවැයෙන්වත් සහෝදරයා තහනම් කරයි කියල. රේස් ඔට්ටු හොඳ සමාජයකට අවශ්‍ය නෑ. ‍මම කැමැත්තෙන් හිටිය සහෝදරයා මේ සමාජය ගොඩනඟන්න රේස් ඔට්ටු, බුකී තහනම්කරයි කියලා. කෝ ඒක කළේ නෑනේ. ඒ වෙනුවට රේස් බුකිවලින් බදු අරගෙන ඒවා නීත්‍යනුකූල කරලා. මොකක්ද සහෝදරයා මේ කරපු වැඩේ…’

    - Advertisement -

    ඇන්. ඇම්. සිනාසී ප්‍රශ්නය ඇසූ සහෝදරයාට මෙසේ පිළිතුරු දුන්නේය. ‘සහෝදරයා රේස් ඔට්ටු ඇල්ලීම තහනම් කරන්න කියනව. රේස් ඔට්ටු නීතියෙන් තහනම් කරල නවත්වන්න පුළුවන් දෙයක් ද? මගෙ යාළුවෙක් ඉන්නව. මිනිහ හවසට තවත් යාළුවෙක් එක්ක වත්තෙ බංකුව උඩ වාඩිවෙලා මුදල් ඔට්ටු දානවා. මොකක්ද ඔට්ටුව. අර ගසේ වහල ඉන්න කපුටා විනාඩි දෙකක් ඇතුළත ඉගිළෙයි ද? නැද්ද? දෙන්න මුදල් දාලා බලා ඉන්නව. විනාඩි දෙකෙන් ඉගිලුණොත් එක්කෙනෙක් දිනනවා එක්කෙනෙක් පරදිනවා’ ඒ වගේ සහෝදරයා මට රේස් ඔට්ටු තහනම් කරන්න පුළුවන්. නමුත් නවත්වන්න බෑ. තම තමන් හිත හදාගන්න ඕන ඔට්ටු නොදාන්න. මම කළේ මගේ අයවැය පියව ගන්න ලක්ෂ කෝටි ගණන් මුදල් ගැවසෙන රේස් ඔට්ටුවලට බද්දක් දැමීම පමණයි. ඒ තුළින් ඒ ඔට්ටුවලට ගැවසෙන මුදල් කන්දරාවෙන් කොටසක් බදු වශයෙන් මම ගත්තා. ඔවුන් අතේ ගැවසෙන සල්ලි රටේ යහපතට මම ගත්තහම ඇති වැරැද්ද මොකක්ද?…’ එම පිළිතුරෙන් කම්කරුවා නිහඬ කිරීමට හැකි වූවා පමණක් නොව ඉදිරියේදී රේස් නොදාන බවට ද ඔහු ඇන්. ඇම්. ට සහතික විය.

     

     බණ්ඩාරගම සමරසේන මුදලිගේ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.