24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    එක්දින කිරුළට එන්සීසී – රාගම හෙට අවසන් සටනේ

    - Advertisement -
    Author(s): 
    නිරෝෂාන් ප්‍රියංකර

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එන්සීසී සහ රාගම කණ්ඩායම් සමත් වෙයි. එම තරගය හෙට (11) එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ඊයේ සීසීසී පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් බදුරලිය ක්‍රීඩා සමාජය ලකුණු 18කින් පරාජය කිරීමට එන්සීසී කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාගම ක්‍රිකට් සමාජය හමුවේ යුද හමුදා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් වූයේ එන්සීසී පිටියේදීය.

    - Advertisement -

    බදුරලිය සමඟ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එන්සීසී පිල කඩුලු 7ක් දැවී ලකුණු 292ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය බදුරලිය ක්‍රීඩා සමාජයට ඕවර 49.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 274ක් පමණි.

    බදුරලිය පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ තිලකරත්න සම්පත් ලකුණු 98ක් රැස් කරමින් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැලඳ ගැනීමට කණ්ඩායමට සිදු විය. හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් එල්ල කළ සම්පත් වැය කළේ පන්දු 97ක් පමණි. පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 4ක් බිඳ දැම්මේය.

    අන්තර්ජාතික පිටියට සමුදීමෙන් පසු ක්‍රීඩා කරන පළමු දේශීය තරගාවලිය වන මේ තරගාවලියේ දෙවැනි තරගයට එක් වූ උපුල් තරංග එන්සීසී පිලට සාර්ථක ආරම්භයක් දුන්නේ ශතකයක් රැස් කරමිනි. පන්දු 139කින් ලකුණු 136ක් රැස් කළ ඔහුගේ ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. කමිල් මිෂාර සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් පිහිටු වූ තරංග අනතුරුව තවත් අර්ධ ශතක සබඳතා දෙකක් ද පිහිටු වීය. කමිල් මිෂාර ලකුණු 46කට දැවී ගියේය. පන්දු යැවීමේදී අලංකාර අසංක කඩුලු 3ක් සහ චාමිකර එදිරිසිංහ කඩුලු 2ක් බිඳ දැම්මේය.

    - Advertisement -

    එන්සීසී පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් යුද හමුදා පිල ලකුණු 178ක සීමා කළ රාගම ක්‍රීඩකයෝ පන්දු 64ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

    රාගම ඉනිම ඉලක්කය කරා ගෙන යෑමට ආරම්භක පිතිකරු සමින්ද ප්‍රනාන්දු සමත් වුවත් ඊයේ ඔහු අවාසනාවන්ත පිතිකරුවකු බවට පත් වූයේ ශතකයට ලකුණක් පසුපසින් සිටියදී දුවද්දි දැවී යෑමට හසු වීම හේතුවෙනි. ඔහු පිටියෙන් ඉවත් වන විට රාගම පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 5ක් පමණි. පන්දු 145කට මුහුණ දුන් ප්‍රනාන්දු හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි. නිෂාන් මධුෂ්ක ලකුණු 34ක් සහ දිනෙත් තිමෝද්‍ය ලකුණු 33ක් ඉනිමට එක් කළහ.

    ලකුණු 45කට කඩුලු 4ක් බිඳ වැටීමෙන් පළමුව පන්දුවට පහර දුන් යුද හමුදා ඉනිම ආරම්භයේදීම අඩපණ වූ අතර, හිමාෂ ලියනගේ සහ නායක තිසර පෙරේරා එක්ව ලකුණු 76ක් එක් කළ ද ඉනිම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යෑමට එය ප්‍රමාණවත් නොවීය. ඔවුන් දෙදෙනාටම රැස් කළ හැකි වූයේ ලකුණු 45 බැගිනි.

    - Advertisement -

    යුද හමුදා ඉනිම බිඳ දැමූ ඉෂාන් ජයරත්න ලකුණු 31කට කඩුලු 5ක් දවාගත් අතර, ඔහුට අනගි සහායක් දුන් බිනුර ප්‍රනාන්දු ලකුණු 30කට කඩුලු 3ක් බිඳ දැම්මේය.

     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.