24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයට නව පර්යේෂණාගාරයක්

    - Advertisement -
    ඔලිම්පික් ජයග්‍රහණ‍ සඳහා සූදානම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් සතු ක්‍රීඩා හැකියාව දියුණු කරමින් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වගකීමක් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ(09) පැවසීය.
     
    සෑම වසරකම අප්‍රේල් 09 වැනිදාට යෙදෙන ලෝක උත්තේජක මර්දන දිනයට සමගාමීව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව පර්යේෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
     
    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.30ට යෙදුණු සුබ මොහොතින් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව පර්යේෂණාගාරය විවෘත වූ අතර එම අවස්ථාවට ග්‍රාමීය සහ පාසල්  ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාද එක්ව සිටියේය. 
     
    මෙම පර්යේෂණාගාරය නවීන තාක්ෂණික විද්‍යාගාර උපකරණ වලින් සමන්විතය.
     
    මෙහි ස්ථාපිත “Liquid  Chramatoghaphy Tandom Mass Specrophotometer” වැනි අධි තාක්ෂණික උපකරණ මගින් පර්යේෂණ  සාම්පලවල තහනම් උත්තේජක ඇද්දැයි වඩාත් නිවැරදිව සහ ඉක්මනින් හඳුනාගත හැකි වේ.
     
    මෙහි පර්යේෂණ ඔස්සේ ප්‍රධාන වශයෙන් ස්වභාවික නිෂ්පාදනවල අඩංගු විය හැකි තහනම් ද්‍රව්‍ය පිළිබඳව අවධානය යොමු කරයි.
     
    ප්‍රජා පර්යේෂණ ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක භාවිතයට ඇති නැඹුරුතාවය අධ්‍යයනය  කිරීම ද මෙම නව ඒකකය හරහා සිදුවේ.
     
    දේශීය ඖෂධ පිළිබඳව සහ ආහාර අතිරේකවල අඩංගු විය හැකි  තහනම් ද්‍රව්‍ය හඳුනාගැනීම, තහනම් උත්තේජක පරීක්ෂණ සහ තහනම් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නව ප්‍රවණතා SLADA පර්යේෂණ ඒකකය මගින් අපේක්ෂිතය.
     
    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී මෙසේ ද පැවසීය. 
     
    ඉතාමත්ම කඩිනමින් මෙම පර්යේෂණාගාරයේ වැඩකටයුතු අවසන් කර විවෘත කිරීම පිළිබඳව ප්‍රථමයෙන් මා ස්තූතිවන්ත වෙනවා.
     
    විශේෂයෙන්ම අපි නව ක්‍රීඩා සැලැස්මක් සමඟ නව ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනඟා ගැනීමට යන තිරසාර ගමන තුළ මා  විශ්වාස කරන කාරණය නම් එම ගමන සාර්ථකව යාමට අවශ්‍ය ඒ් හා බැඳුණු පරිසරය සහ පර්යේෂණ අප නිර්මාණය කළ යුතු බවයි. 
     
    ඉතිහාසයේ පටන් අපේ රටේ බොහොමයක් ස්ව හැකියාව සහ දක්ෂතාවය මත ගොඩනැඟුණු ක්‍රීඩකයන් සිටිනවා. 
     
    දිගු කාලීන සැලසුම් සකස් කර තිබුණත් අපි ඉතිහාසයේ බොහෝ ජයග්‍රහණ ලැබුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ස්ව උත්සහයෙන්, ආර්ථික අපහසුතා මැද, අඩු පහසුකම් මැද සහ කෙටි කාලීන සැලසුම් හරහායි. 
     
    2024, 2028, 2032 වසරවලදී පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා වසර 10 කට පෙර  ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගත යුතුයි. 
     
    සාමාන්‍යයෙන් බැලූ බැල්මට දක්ෂතාවයන් මත හඳුනාගත හැකි නමුත් එම දක්ෂතා පවත්වාගැනීමට නම් ඒ් සඳහා අවශ්‍ය තාක්ෂණය සහ ක්‍රමවේදයන් භාවිත කළ යුතුයි බවයි මගේ විශ්වාසය.
     
    ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය පෝෂණ රටාව ඔවුන්ට ගැළපෙන පරිදි පෝෂණවේදීන් විසින් සකස් කළ යුතුයි.
     
    මෙම පර්යේෂණාගාරය මගින් ඒ් සඳහා අවශ්‍ය පරීක්ෂණ සහ ඊට අදාළ කරුණු තහවුරු කරගත හැකියි.
     
    දේශීය ජීවන රටාව පදනම් කරගෙන ක්‍රීඩකයාගේ මනස සහ බඩ පිරවීම යන කරුණු  දෙකම සමබරව පවත්වාගෙන යමින් ක්‍රීඩාව ගොඩනැගිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව හොඳින් කටයුතු කිරීමේ හැකියාව අද අපට තිබෙනවා.
     
    රටේ දරුණුම ගැටලුවක් ලෙස තරුණ දරුවන් මතට ඇබ්බැහිවීම දැක්විය හැකියි. ක්‍රීඩාවක යෙදෙන විට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඉන් සිදුවනුයේ ඒ දරුවන් කබලෙන් ළිපට වැටීමක්. 
     
    එම නිසා ඒ පිළිබඳව ජනතාව, රටේ දරුවන්, ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් දැනුවත් කිරීම කාලෝචිත යැයි මම විශ්වාස කරනවා. 
     
    අපේ ඉලක්කය ජාතික ක්‍රීඩා උළෙල, සාක් තරගාවලිය පමණක් නොවේ. එතනින් එහාට ක්‍රීඩකයා රැගෙන යාමයි. එම ඉලක්ක සඳහා ක්‍රීඩකයා රැගෙන යන්නේ කෙසේද ? ක්‍රීඩකයාගේ මනස සකස් විය යුත්තේ කෙසේද ? යන කාරණය පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුයි.
     
    ක්‍රීඩාවකදී උත්තේජක භාවිතය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි.
     
    උත්තේජක භාවිතයේ විපාක පිළිබඳව ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මනා ලෙස දැනුවත් කිරීම අවශ්‍යයි.
     
    ක්‍රීඩා පාසලකින් 08 ශ්‍රේණියේ සිට ක්‍රීඩකයකු ගොඩනඟන්නේ අවුරුදු 10 කදී ඔලිම්පික් ජයග්‍රහණ‍යක් ලබාගැනීම සඳහායි. එහිදී එම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව හඳුනා ගැනීම, ඔවුන් සතු ක්‍රීඩා හැකියාව දියුණු කිරිම, ඒ් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමේ වගකීමත් මෙම ආයතනයට පැවරෙනවා. 
     
    ඒ් සඳහා මෙහි කරන පර්යේෂණ පදනම් කරගෙන දක්ෂ ක්‍රීඩකයන් ගොඩනැඟීම, ඔවුන්ගේ පෝෂණ රටාව ගොඩනැගීම, ක්‍රීඩා පිටියේ පමණක් නොව බාහිර ක්‍රියාකාරකම් වලදී වුවද ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත්.
     
    පසුගිය දිනවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්තා තැබුවා.  එසේම පැවති ජාතික වාර්තා අලුත් කළා. ඉදිරියේදි අපට ඒ්වා ලෝක වාර්තා බවට පත්කිරීමට හැකියාව ලැබෙයි කියා මා විශ්වාස කරනවා යැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම, ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා,  ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  ලාල් ඒ්කනායක මහතා ඇතුළු ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූහ.
     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.