24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    අලසකම දියුණුවට දරුණුම බාධාවයි

    - Advertisement -

    නුගේගොඩ, ශාන්ත ජෝන් විද්‍යාලයේ  ධර්මාචාර්ය, ශාස්ත්‍රපති,  කොට්ටාවේ හේමවංස හිමි

    අලසකම ඇති තැන වීර්යයට ඉඩක් නැහැ. වතුර භාජනය බොර දියෙන් පීරී පවතිනවා නම් ඒ ජලයෙහි පැහැදිලි ජලයට ඉඩක් නැහැ. ඒ වාගේම සිතේ අලසකම තිබෙනවා නම් නිවන් අවබෝධයට ඉඩක් නැහැ. එවැනි පුද්ගලයන්ට දියුණුවකුත් නැහැ. එවැනි මිනිසුන් මනුෂයන් ලෙස ඉපදිලා තිරිසනුන් වගේ මියැදෙනවා.

    - Advertisement -

    කම්මැළිකම එසේත් නැත්නම් අලසකම පුද්ගල ජීවිතය පරිහානියට පත් කරයි. කුඩා කල සිටම දරුවන්ට උදෑසන නැගිට තමන්ගේ වැඩ තනිවම කරන්නට මව්වරුන් අනුබල දෙන්නේ තම දරුවන් අලසකමින් තොර දරුවන් කිරීම උදෙසා ය. ඒ තරමටම අලසකමින් තොර ක්‍රියාශීලී, වීර්යයෙන් යුක්ත වීම පුද්ගලයකුගේ ජීවිතයට මහත් ආලෝකයකි. පරම්පරා උරුමයෙන් යම් පුද්ගලයකුට කොතරම් ධනස්කන්ධයක් හිමිව තිබුණ ද එම පුද්ගලයා, අලසකම නිසා නිකරුණේ සිටිමින් තිබෙන ධනය නාස්ති කර ගැනීම අනුවණකමකි. අලසකමින් මිදී ජිවිත සොඳුරු කර ගැනීම මගින් සෑම පුද්ගලයකුටම දෙලොවම සුගතිගාමී කර ගත හැකි ය. පහත දැක්වෙන්නේ “අලසකම“ බුදු දහමෙහි විස්තර කර ඇති ආකාරය පිළිබඳ නුගේගොඩ, සාන්ත ජෝන් විද්‍යාලයේ ධර්මාචාර්ය, සාස්ත්‍රපති, කොට්ටාවේ හේමවංස හිමියන් සමඟ සිදු කළ සංවාද සටහනකි.

     

    n ස්වාමීන් වහන්ස, බුදුදහමට අනුව අලසකම යනු කුමක් ද?

    - Advertisement -

    බුදුදහමට අනුව අලසකම කියන්නේ සිත සහ කය දෙකෙහි උදාසීන බව. බුදු දහම අනුව ථිනමිද්දය ලෙස අලසකම හදුන්වනවා. අලසකම දියුණුවට, ආලෝකයට, නිවන් අවබෝධයට බාධාවක් වෙනවා. ඒ නිසා අලසකම නීවරණ ධර්මයක් වෙනවා. නිවන් අවබෝධය අපේ බුදු දහමේ ප්‍රධාන සංකල්පයක්. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම දියුණුව වැදගත් වෙනවා. අලසකම තිබීමෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම දියුණුවක්, ආලෝකයක් ලබා ගන්න බැහැ. අලසකම ජීවිතයේ සෑම කාර්යකටම බාධාවක් වෙනවා. ධර්මය තුළින් ථිනමිද්දය හෙවත් අලසකම පාසි සහිත ළිඳකට, විලකට උපමා කර දක්වනවා.

    n අලසකම නිසා මිනිසුන් පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ

    කෙසේද?

    - Advertisement -

    බුදු රජාණන් වහන්සේ උත්සාහය, වීර්යය , කැප කිරීම වැදගත්ව අගය කළ ශාස්තෘවරයෙක්. ඒ නිසාම අපේ බෝසතාණන් වහන්සේ තමන්ගේ බෝසත් දිවිය නිමා කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අපේ බුදු රජාණන් වහන්සේ තරම් උත්සාහය, විර්ය ගැන කථා කළ, ශ්‍රාවකයා ඒ සදහා මෙහෙයවු වෙනත් කිසිදු ශාස්තෘවරයෙක් නැති තරම්. බුදු රජාණන් වහ්සේගේ බෝසත් අවදියේදී “මම බුදු වෙලා අන් අය අවබෝධ කරවමි යන්න සිතට ගත්තා. එලෙස බුදු රජාණන් වහන්සේ තම බෝසත් අවධීයේදී ඉලක්කයක් තබා ගෙන එය ළඟා කර ගෙන, අන් පුද්ගලයින්වත් ඒ ඉලක්කයට යොමු කරනවා “ යන්න ට සිතා කටයුතු කළා.

    අලසකම තිබුුණොත්, පාසල් දරුවෝ පාසල තුළත්, තරුණ තරුණියන් සමාජය තුළත්, පාලකයින් ආයතන තුළත්, ආගමික වශයෙන් පූජ්‍ය පූජක පක්ෂය ඒ සංස්ථා තුළත් පිරිහෙනවා. බෝහෝ අය නිසරු දෙයට අලස වන්නේ නෑ. සරු දෙයට අලස වෙනවා. උදාහරණ විදිහට, මිනිසුන් අල්ලස් ගැනීම, අනුන්ට රිදවීම, අනුන්ගේ වැටුප් නැති කිරීම සිදු කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින කෙනෙක් විදිහට බොහෝ අය වැරදි ක්‍රියා කරන්න අලසකමක් දක්වන්නේ නැති බව මට අත්දැකීම් තියනවා. විශේෂයෙන් ම ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ඉහළ නිලධාරීන්, අනුන් උදෙසා තමන්ට කළ හැකි දේවල් නොපිරිහෙළා ඉටු කරන්න සිතට ගන්න ඕන. ඒ වාගේ ම සෑම ක්ෂේත්‍රයකම පුදගලයින් තමන්ට කළ හැකි දේවල් අනුන් වෙනුවෙන් කරන්න ඕන. ඇතැම් පුද්ගලයින් තමන්ට කරන්න පුළුවන් දෙයක් වුණත් කරන්න කැමති නෑ. පොඩි තැනින් ඇවිල්ලා ඉහළ තනතුරුවලට ගියපු බොහෝ නිලධාරින්, නරගරබද දියුණුවෙන් සිටින පුද්ගලයින්ට තමන්ට කරන්න පුළුවන් උපකාරයක් කරන්න කැමති නෑ. බොහෝ පුද්ගලයින් තමන්ට දෙයක් ලැබෙන්නේ නැත්නම් ඒ වැඩේ කරන්නේ නැහැ. කරපු වැඩෙන් තමන්ට ප්‍රයෝජනයක් වෙනවා නම් විතරක් ඒ වැඩේ කරනවා. අලසකම, ක්‍රෝධ සහිත බව, අනුවණ බව පිරිහීමට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ පරාභව සුත්‍රයේ 06 වන ගාථාවෙන් පැහැදිලි කර පෙන්වනවා. අලසකම තිබුණොත් මුළු සමාජ සංස්ථාවම පිරිහෙනවා.

    n උප්පත්ති වාසනාව තිබූ පමණින්, අලස පුද්ගලයකුට ජීවිතය සාර්ථක කර ගැනිමට පුළුවන් ද?

    උප්පත්ති වාසනාව තිබු පමණින් අලස පුද්ගලයකුට ජීවිතය සාර්ථක කර ගන්න බැහැ. පෙර කරන ලද පින් ඇතිව මේ භවය උපත බැලුවට (ගති සම්පන්තිය), ඒ ජීවිතය මෙහෙය වීමේදී උත්සාහය, වීර්යය, වාගේ ම ධනාත්මකව වෙනස් වෙන්න සිතට ගන්න ඕන. අපට ලැබෙනවා වාගේ ම අනුන්ටත් ලබා දෙන්න ඕන. අපි අපේ ජීවිත ආලෝකවත් කර ගන්නවා වාගේම අනුන්ගේ ජීවිතත් ආලෝකමත් කර ගන්න ඕන. මඩිඟේ මහානායක හාමුදුරුවෝ කියනවා වගේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම කළ යුතු වෙනවා. අපි කුමන තරාතිරමේ හිටියත්, අලසකමින් තොරව අන් අයට උදව් කරන්න ඕන. අලසකම ඇති තැන වීර්යයට ඉඩක් නැහැ. වතුර භාජනය බොර දියෙන් පීරී පවතිනවා නම් ඒ ජලයෙහි පැහැදිලි ජලයට ඉඩක් නැහැ. ඒ වාගේම සිතේ අලසකම තිබෙනවා නම් නිවන් අවබෝධයට ඉඩක් නැහැ. එවැනි පුද්ගලයන්ට දියුණුවකුත් නැහැ. එවැනි මිනිසුන් මනුෂයන් ලෙස ඉපදිලා තිරිසනුන් වගේ මියදෙනවා. පින් ඇතිව මනුෂයකු ලෙස ඉපදෙන පුද්ගලයන්ගේ එලොව මෙලොව සාර්ථක කර ගන්න වීර්ය තියෙන්න ඕන. ඒ නිසා උප්පත්ති වාසනාව තිබූ පමණින් අලස පුද්ගලයකුට ජීවිතය සාර්ථක කර ගන්න බැහැ. මිනිසුන්ගේ ඇඟිලි කපා මාලයක් සකසමින් සිටි අංගුලිමාලි තමන්ගේ වීර්ය නිසා අවසානයේදී අංගුලිමාල හාමුදුරුවෝ වුණා. අංගුලිමාල පෙර අවස්ථාවේදී නොමග ගියා. වීර්ය නිසා පසුව සුමගට යොමු වුණා. ඒ වාගේ ජීවිතය සාර්ථක කර ගන්න වීර්ය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.

    n ඇතැම් පුද්ගලයින් තමන්ගේ දැඩි අලසකම නිසා ජිවිතය නිකරුණේ නාස්ති කර ගන්නවා. ඒ පිළිබදව ඔබ වහන්සේගේ අදහස කුමක් ද?

    අලසකම පාසි සහිත ළිඳක්, වැවක්. ළිදේ පාසි, දිය සෙවෙල්, කුණු රොඩු තියනවා නම් අපිට ඒ ළිදෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ, ඒ අපද්‍රව්‍ය ඉවත් කරාට පස්සේ. ළිදේ පාසි, දිය සෙවෙල්, කුණු රොඩු තිබේ නම් ඒ ළිදෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඒ වගේ තමයි අපේ මිනිස් සිත. අපේ සිතේ රාග, දේවේෂ, මෝහ, ආදී අපමණ කෙලෙස්, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද , උද්දච්ජ, කුක්කුච්ච ආදී විවිධ ක්ෂේත්‍ර ධර්මයන් ඉවත් කරලා සිත පිරිසිදු කර ගන්න පුළුවන්, අපේ තරුණ ප්‍රජාව, දරුවන්, වැඩිහිටියන් ආදී සෑම පාර්ශ්වයක්ම අලසකමින් මිදී , උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. නිරෝගී , නිවැරදි, දක්ෂ යන්නට බුදුරජාණන් වහන්සේ කුසල් යන්නට හදුන්වනවා. තමන් ඉන්න ක්ෂේත්‍රයට අනුව , ජාති, ආගම් කුල භේදයකින් තොරව අලසකමින් මිදී තමන්ගේ ජීවිත සොදුරු කර ගන්න කටයුතු කරන්න ඕන. උත්සාහයෙන් තොරව කටයුතු කිරීමෙන් ජිවිතය නාස්ති වෙනවා.

    n අලසකමින් මිදී ජීවිතය සොදුරු කර ගැනීමට ඔබ වහන්සේ සමාජයට ලබා දෙන උපදේශය කුමක් ද?

    අලසකම අපේ ජිවිතයට ආලෝකය ඇති කිරීමට ඉඩ අහුරන දෙයක්. පුණ්‍යවන්ත මනුෂ්‍ය භවයක් ලබපු සෑම පුද්ගලයෙකුම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න ඕන. වයසින් බාල, තරුණ, සහ වැඩිහිටි යන සෑම මිනිස් කොට්ඨාසයක්ම තමන්ගේ අරමුණු යහපත්ව ඉෂ්ට කර ගැනීමට කටයුතු කරන්න ඕන. උත්සාහය, විර්යය, සිහි නුවණ, විමසා බලා කටයුතු කිරීම යන ගුණාංග තිබුණොත් මිනිසුන්ගේ යසස වැඩෙනවා. අලසකමින් මිදී මිනිස් ජීවිත සුන්දර කර ගන්න මිනිස් ආකල්ප වෙනස් කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මනස සකස් කර ගන්න කිව්වේ මිනිස් ආකල්ප වෙනස් කරන්න. භාවනා සංකල්පය, කුසල් දහම් ප්‍රගුණ කිරීමේ මානසික අභ්‍යාස යනාදීය අප නිරන්තරයෙන් සිදු කළ යුතු වෙනවා.

    මදාරා මුදලිගේ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.