24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    කමිල්-චාමික එන්සීසී පිලට එක්දින කිරුළ දිනා දෙති

    - Advertisement -

    කමිල් මිෂාරගේ විශිෂ්ට ශතකයත් චාමික කරුණාරත්නගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඇන්ජෙලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් එන්සීසී කණ්ඩායම ඊයේ සමත් විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන තරගාවලියේ එස්එස්සී පිටියේ ඊයේ පැවැති අවසන් තරගයේදී එන්සීසී පිල හමුවේ ඉෂාන් ජයරත්නගේ නායකත්වයෙන් තරග කළ රාගම කණ්ඩායම ලකුණු 145කින් පරාජයට පත් විය.

    - Advertisement -

    තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එන්සීසී පිල කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය රාගම පිලට ඕවර 30.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 141ක් පමණි.

    එන්සීසී පන්දු යවන්නන් හමුවේ රාගම පිළිතුරු ඉනිමේදී සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට කිසිදු පිතිකරු යුගලයකට අවස්ථාවක් නොලැබිණි.

    ජනිත් ලියනගේ හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 42ක් රැස් කළේ පන්දු 71කිනි. මුල් කඩුලු 3 ළහිරු කුමාර සහ නිමේෂ් ද සිල්වා බිඳ දමද්දී මැද පෙළ ප්‍රබල පිතිකරුවන් තිදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යමින් තරගය එන්සීසී පිල දෙසට ගෙන යෑමට චාමික කරුණාරත්න සමත් විය. ලකුණු 2ක් රැස් කර සිටි ෂෙහාන් සඳරුවන් ආබාධයකට ලක්වීම ද රාගම පිලට අවාසියක් විය. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 4ක් බිඳ දැමූ අතර, ඔහුට අනගි සහායක් දුන් ළහිරු කුමාර කඩුලු 3ක් දවා ගත්තේය.

    - Advertisement -

    පළමුව පන්දුවට පහර දුන් එන්සීසී පිලේ පළමු කඩුල්ලට මුළු ලකුණු 7දී බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි කමිල් මිෂාර යළිත් වරක් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ශතකයක් රැස් කිරීමට සමත් විය. මෙවර තරග වාරයේ තෙවැනි ශතකය ඊයේ වාර්තා කළ කමිල් පන්දු 132කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 113ක් රැස් කළේ පළමු පෙළ තරග දිවියේ ඉහළම ඉනිම ලෙසිනි.

    ඔහු මුළු ලකුණු 255දී සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමට පෙර කවීන් බණ්ඩාර සමඟින් තෙවැනි කඩුල්ලට ලකුණු 137ක් එක් කළ අතර, අනතුරුව සිව්වැනි කඩුල්ලට ලකුණු 98ක් එක් කළේ නායක ඇන්ජෙලෝ පෙරේරා සමඟිනි. කවීන් හතරේ පහර 6ක් සමඟ පන්දු 76කින් ලකුණු 65ක් සහ ඇන්ජෙලෝ පන්දු 43කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් විය.

    අවසන් පූර්ව තරගයේදී එන්සීසී පිල වෙනුවෙන් ශතකයක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංගට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 10ක් පමණි.

    - Advertisement -

    පන්දු යැවීමේදී ඉෂාන් ජයරත්න සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ දැමූහ.

    එන්සීසී – 286/7යි. (ඕවර 60) කමිල් මිෂාර 113, කවීන් බණ්ඩාර 65, ඇන්ජෙලෝ පෙරේරා 61 (ඉෂාන් ජයරත්න 52/3, බිනුර ප්‍රනාන්දු 55/3)

    රාගම – 141යි. (ඕවර 30.3) ජනිත් ලියනගේ 42 (චාමික කරුණාරත්න 37/4, ළහිරු කුමාර 30/3)

    නිරෝෂාන් ප්‍රියංකර

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.