24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    සුබ ගමන් කුමරුනි, පිලිප්!

    - Advertisement -

    බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ ආදරණීය සැමියා-එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු අනූ නව වසරක් ආයු වලඳා පසුගිය දා අභාවප්‍රාප්ත වූයේය. ඔහු දිවි සැරිය නිම කළේ හැත්තෑ හතර වසරක විවාහ දිවියට සමු දෙමිනි. ඒ අනුව බ්‍රිතාන්‍ය රජ පවුලේ කිරුළ දැරූ රාජිනියකගේ වල්ලභයා ලෙස දීර්ඝ කාලයක් විසුවේ ද ඔහු ය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දහහත් වැනි (17)දා සෙනසුරාදා රාජකීය සම්ප්‍රදායන් මධ්‍යයේ සිදු කිරීමට නියමිතව ඇත. අවසන් කටයුතුවලට පෙර දේව මෙහෙය පැවැත්වෙන්නේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේය. වින්ඩ්සර් මාලිගයේ තැන්පත් කර ඇති දේහය ගෞරවාචාර මධ්‍යයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයට රැගෙන ඒම සිදු කෙරෙනු ඇත. දේහය, දේවස්ථානයට රැගෙන යන්නේ එරට වේලාවෙන් පස්වරු 2.45ට පමණය.

    පිලිප් කුමරුගේ ආදාහන කටයුතු කොරෝනා වසංගත සීමාවන්ට යටත්ව සිදු කෙරෙන බව ද සඳහන් වේ. බ්‍රිතාන්‍යයෙහි දැනට බල පවත්නා වසංගත නීති යටතේ ආදාහන උත්සවයකට සහභාගී විය හැකි වන්නේ තිස් දෙනෙකුට පමණි. ඒ අනුව පිලිප් කුමරුගේ අවමඟුල් උත්සවයට මහජනතාවට සහභාගි වීමට ඉඩ ලැබෙනු ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇත. කුමරුගේ දේහය දැක බලා ගැනීම සඳහා එක් රොක් නොවන මෙන් ද රාජකීය මන්දිර ඉදිරිපිට මල් කලඹ තැන්පත් කිරිමෙන් ද වළකින ලෙස බ්‍රිතාන්‍ය රජය සහ රාජකීය පවුලේ සාමාජිකයන් සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

    - Advertisement -

     

    සමාජ සත්කාර

    බ්‍රිතාන්‍ය ජනයාගේ ගෞරවාදරයට පත් පිලිප් කුමරු උපත ලබා තිබෙන්නේ 1921 වසරේ ජුනි 10 වැනිදා ග්‍රීසියේ කෝර්ෆු දූපතේදීය. ඔහුගේ පියා ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරුය. ඔහුගේ මව බැටන්බර්ග්හි ඇලිස් කුමරියයි. ඇලිස් කුමරිය බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ මී මිනිපිරියක බව සඳහන් වේ. ඇලිස් කුමරිය උපත ලබා තිබෙන්නේ පිලිප් කුමරු ජීවිතක්ෂයට පත් වින්ඩ්සර් මාලිගයෙහිම ය. 1903හිදී ඇන්ඩෘ කුමරු සමඟ විවාහ වූ ඇය ඔහුගේ ස්වාමියා දැරූ තනතුරු සහ තානාන්තරවලට අනුව ජීවත්වීමට හුරු වූවාය. ඇය දරුවන් පස් දෙනකු ලැබුවාය. ඉන් සිව් දෙනෙක් දියණියෝ ය. පවුලේ බාලයා පිරිමි දරුවකු වූ අතර ඔහු පළමුව සඳහන් කළ පිලිප් කුමරුය. ඇන්ඩෘ කුමරු සහ පවුල වරින් වර ග්‍රීසියෙන් පිටමං කළ බව වාර්තාවන්හි සඳහන් වේ. මේ අතර ඇලිස් කුමරිය 1930 පමණ වන විට හීනෝනමාදය නමැති මානසික රෝගයෙන් පෙළෙන්නට වූවාය. ස්විට්සර්ලන්තයේ ස්ථාපිත උන්මත්තකාගාරයක් වැනි ස්ථානයක ඈ සෑහෙන කාලයක් රඳවා තබා ප්‍රතිකාර ලබා දී ඇත. මේ නිසා ඇය කලක් සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වූවාය. සුවය ලද පසු ඈ නොයෙක් සමාජ සත්කාරක වැඩපිළිවෙළවල යෙදෙමින් කාලය ගත කළාය. ග්‍රීසියේ දෙවන කොන්ස්ටන්ටයින් රාජ්‍ය පාලනය බිඳ වැටීමෙන් සහ 1967දී ග්‍රීසියේ හමුදා පාලනය පැනවීමෙන් පසු ඇලිස් කුමරිය එක්සත් රාජධානියේ බකිංහැම් මාලිගයේ වාසය කිරීමට පැමිණියාය. ඒ, ඇගේ ලේලියගේ-එනම් දෙවැනි එලිසබෙත් රැජනගේ සහ පුතණුවන්ගේ එනම්, පිලිප් කුමරුගේ ආරාධනයෙනි. බකිංහැම් මාලිගයෙහි පදිංචියට පැමිණීමෙන් වසර දෙකකට පමණ පසු ඈ එහිදීම ජීවිතක්ෂයට පත් වූවාය. ඇගේ දේහය ඈ උපන් ස්ථානය වන වින්ඩ්සර් මාලිගයට පසුව රැගෙන එන ලද බව සඳහන් වේ.

    - Advertisement -

     

    ජර්මනියේ අධ්‍යාපනය

    1930 පමණ වන විට සිය බිරියගෙන් වෙන් වූ ඇන්ඩෘ කුමරුට 1931 වසරේ අග භාගය වන විට තම දියණියන් සිව් දෙනාගෙන් ද නිදහස් වන්නට ඉඩ ලැබුණේය. දියණියන් සිව් දෙනාම විවාහ වී සිටියේ ජර්මන් ජාතිකයන් සමඟය. බෑනාවරුන් නාසීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ අය හැටියට ද නම් කර ඇත. 1944 පමණ වන විට ඇන්ඩෘ කුමරු මොනාකෝ රාජ්‍යයේ මොන්ටේ කාර්ලෝහි පදිංචියට යන්නේය. 1939යෙන් පසු මිය යන තුරුම ඇන්ඩෘ කුමරු සිය දියණියන් නැවත නුදුටුවේය. පවුලේ උදවිය මේ අන්දමට සීසීකඩ විසිරී යද්දී පිලිප් කුමරුට කුමක් සිදු වීද? සිය අක්කලාට වඩා වයසින් බෙහෙවින් බාල වූ පිලිප් කුමරු 1930 වන විටත් පසු වූයේ නව හැවිරිදි වියෙහිය. කෙසේ වූවත් පිලිප් කුමරු සිය මව් පාර්ශ්වයේ ආච්චි අම්මා වූ වික්ටෝරියා මවුන්ට් බැට්න්ගේ සෙවනෙහි එනම්, බ්‍රිතාන්‍යයේ හැදෙමින් වැඩෙමින් සිටියේය. පිලිප් කුමරු එහි ළඟා වූයේ 1928 වසරේදී පමණ බැව් සඳහන් වේ. මේ අනුව බලන විට පිලිප් කුමරුට සිය මව සමඟ සම්බන්ධ වූයේ ඉතා අඩුවෙන් බව පෙනී යයි.

    - Advertisement -

    බ්‍රිතාන්‍යයේ හැදෙමින් වැඩෙමින් සිටි පිලිප් කුමරුව 1933 පමණ වන විට ජර්මනියේ පාසලකට ඇතුළත් කරන ලදී. එම පාසල අයත් වූයේ ඔහුගේ එක් සොහොයුරියකගේ සැමියාගේ පවුලේ අයටය. එනිසා ‘ඉස්කෝල කාසි’ ගෙවීමෙන් තොරව ඔහුව පාසල් යැවීමට හැකියාව තිබිණ. නාසීන්ගේ බලපෑම් වැඩිවන විට ජර්මනියේ අධ්‍යාපනය නවතා ස්කොට්ලන්තයට පැමිණෙන්නට පිලිප් කුමරුට සිදු විය. ඒ වන විට ඔහු ජර්මන් පාසලේ අධ්‍යාපනය ලබා තිබුණේ වාර දෙකක කාලයක් පමණි.

    ස්කොට්ලන්තයේ අධ්‍යාපනය නිම කිරීමෙන් පසු පිලිප් කුමරු රාජකීය නාවික හමුදා කොලීජියෙහි කැඩෙට් නිලධාරියකු ලෙස අධ්‍යාපනය නිම කළේය. ඒ 1939දී පමණය. ඉන් ඉක්බිති ඔහු නැවත ග්‍රීසියට පැමිණියේ සිය මව සමඟ ජීවත් වීමේ අරමුණ ඇතිවය. ඔහුගේ මව ඒ වන විට වාසය කළේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවරය. ග්‍රීසියේ රජුගේ නියමය ප්‍රකාරව පිලිප් කුමරුට ග්‍රීසියෙන් පිටමං වන්නට සිදු වන්නේ ඉතා කෙටි කලකිනි. යළිත් බ්‍රිතාන්‍යට පැමිණෙන පිලිප් කුමරු නාවුක හමුදා නිලධාරියකුට අවශ්‍ය අධ්‍යාපනය තව දුරටත් ලබා බ්‍රිතාන්‍ය නාවුක හමුදාව සමඟ දෙවන ලෝක යුද මෙහෙයුම් කටයුතුවලට සහභාගී වන්නේය. එනම් නාසීන්ට එරෙහි මෙහෙයුම්වලටය. ඒ වන විට පිලිප් කුමරුගේ එක සොයුරියක්, ඇගේ සැමියා සහ දරුවෝ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව සිටියහ. අනෙක් සොයුරියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයෝ නාසි හමුදාවන්ට පක්ෂපාතීව කටයුතු කරමින් සිටියහ. එය බලවත් ගැටලු සහගත තත්ත්වයක් බව බැලූ බැල්මටම පෙනී යයි. නාවුක නිලධාරියෙක් ලෙස ඔහු අදියරයෙන් අදියරය ඉදිරියට යමින් සිටියේය. ඔහුට තම නාවුක හමුදා වෘත්තීය කටයුතු තව දුරටත් ඉදිරියට රැගෙන යෑම 1946 වසර පමණ වනවිට ගැටලුවක් වී තිබිණ. ඒ අනෙකක් නිසා නොව ඔහු සහ එලිසබෙත් කුමරිය අතර හටගෙන තිබුණු ප්‍රේම සම්බන්ධය විවාහයක් දක්වා දිගු වෙමින් පැවැති නිසයි.

     

    පරිවාර කටයුතු

    එලිසබෙත් කුමරිය සහ පිලිප් කුමරු අතර හමුව සිදු වන්නේ 1939දී පමණය. හය වැනි ජෝර්ජ් රජු සහ ඔහුගේ බිරිය එලිසබෙත් රැජන, ඩාර්ට්මවුත්හි රාජකීය නාවුක හමුදා කොලීජියට පැමිණි අතර ඔවුන්ගේ දියණියන් දෙදෙනා වූ එළිසබෙත් සහ මාර්ග්‍රට් කුමරියන්ට පරිවාර කටයුතු සිදු කිරීමට පැවරී තිබුණේ පිලිප් කුමරුටය. ඔහු එම කුමරියන්ට ඥාතී සොයුරෙක් ද වූයේ ය. ඒ වන විට දහතුන් හැවිරිදි වියේ පසු වූ එලිසබෙත් කුමරිය සහ දහ අට හැවිරිදි වියේ පසු වූ පිලිප් කුමරු අතර ප්‍රේම සම්බන්ධයක් ඇති විණ. මුල් කාලයේදී දෙදෙනා අතර ලිපි හුවමාරු විය. එහෙත් පසුව මේ ප්‍රේම සම්බන්ධතාවය එලිසබෙත් කුමරියගේ මව්පියන්ට දන්වන්නට ඔහුට සිදු විය. එක්දහස් නවසිය හතළිස් ගණන් මැද භාගය වන විට ඔහුට එලිසබෙත් කුමරියගේ අත ගන්නට හය වැනි ජෝර්ජ් රජතුමාගේ කැමැත්ත ලැබිණ. 1947 වසරේදී එලිසබෙත් කුමරිය සහ පිලිප් කුමරු අතර විවාහය සිදු විය.

    රාජකීය පවුලේ ඉහළම පෙළේ සාමාජිකයකු ඇමතීම සඳහා යොදා ගන්නා His Royal Highness නාමය විවාහයට පළමුව පිලිප් කුමරු වෙත පිරිනමන ලදී. එයට අමතරව ඔහුට එඩින්බරෝහි ආදිපාද තනතුරත් මෙරිඔනින් සහ බාරොන් ග්‍රීන්විච්හි අර්ල් තනතුරත් පිරිනැමිණ. පිලිප් කුමරු හමුදා සේවයෙන් ඉවත් වූයේ එලිසබෙත් කුමරිය, රැජන තනතුරෙහි 1952 වසරේදී අභිෂේක කිරීමෙන් පසුවය. පිලිප් කුමරු ඒ වන විට සිය හමුදා දිවියේ කොමාන්ඩෝ ධුරය දරමින් සිටියේ ය. එලිසබෙත් කුමරියගේ රාජාභිෂේකයෙන් පසු අට සියයකට අධික තනතුරු සංඛ්‍යාවක් භාරගෙන ඒවායෙහි රාජකාරී කටයුතු කරන්නට පිලිප් කුමරුට සිදු විය. ඔහු 2017 වසරේ අගෝස්තු මාසයේදී ඒ සියලු තනතුරුවලින් විශ්‍රාම ගත්තේ ය. එකී තනතුරුවලට අදාළ විවිධ අවස්ථාවන් 22219කට ඔහු 1952 වසරේ සිට 2017 වසර දක්වා කාලයේදී සහභාගී වී තිබුණේය. ඒ සමඟම ඔහුගෙන් යටපත් වූ ඔහුගේ හැකියාවන් ගැන ද සිහි කළ යුතුය. ඔහු ගුවන් නියමුවකු වශයෙන් ද කටයුතු කළ අයෙකි. පියාසර පැය පන්දහසක පමණ අත්දැකීම් ඔහුට ඇත. එසේම ඔහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි; පෝලෝ ක්‍රීඩකයෙකි.

     

    නිහඬ කුමරු

    ඒ සියල්ලටම වඩා පිලිප් කුමරු ඉතා නිහඬ කෙනෙකු වන්නේය. දෙවැනි එලිසබෙත් රැජන සමඟ විවාහ වී හැත්තෑ හතර වසරක් ඉක්ම ගොස් ඇතත් ඔහු රජ පවුලේ සම්ප්‍රදායන්, සෙසු රාජකීයයන් මෙන්ම බ්‍රිතාන්‍ය ජනයා සමඟ කිසිදු කලෙක කිසිම ආකාරයක හෝ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගත්තේ නැත. රාජකීය පවුල් පසුබිමකින් පැමිණි කෙනකු නිසා ඔහු එම සම්ප්‍රදායන් ගැන පෘථුල අවබෝධයකින් යුතුව කටයුතු කළ බවට සැකයක් නොවේ. ඇතැම් විට ඔහුට ද ගැටලු, පීඩාවන් ඇතිවන්නට ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන කුමරුගේ ඥාතී සොයුරියකගේ සැමියා විටෙක සඳහන් කර තිබුණේ මෙවැන්නකි.

    “… ඔවුන් (රාජකීයයන්) ඔහුට ඉතා රෞද්‍රයි. ඔවුන් ඔහුට ලොකුකම් පෙන්නුවා. ඔවුන් ඔහුව පිටස්තරයෙක් හැටියට සැලකුවා. …”

    පිලිප් කුමරු තම මිතුරකු වන ගයිලෙන් බ්‍රැන්ඩිත්ට වරක් පවසා තිබුණේ “… මට ඉවත්ව සිටින්න යැයි ඔවුන් පවසා තිබෙනවා. …” යනුවෙනි.

    එහෙත් දෙවැනි එලිසබෙත් රැජන පවසන්නේ පළමුව ද, දෙවැනුව ද, තෙවැනුව ද, අවසාන වශයෙන් ද ඔහුගේ රාජකාරිය මා අපහසුතාවයට පත් කිරීම නොවේය යන්නයි.

    හැත්තෑ හතර වසරක විවාහ දිවිය තුළදී පිලිප් කුමරු, දෙවන එලිිසබෙත් රැජන අසලින්ම නොසෙල් වී සිටියේ ය. තම බිරිය සමාජයේ කැපී පෙනෙන විට එය නොරුස්සන සැමියන් බහුල ලෝකයේ පිලිප් කුමරුගේ හැසිරීම පුදුම සහගතය.

    පිලිප් කුමරුගේත් දෙවැනි එලිසබෙත් රැජනගේත් බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු වරක් සඳහන් කළේ පිලිප් කුමරු වටිනා පාඩම් බාල පරම්පරාවට දීමට හැමවිටම ක්‍රියා කරන බවයි.

    “… මගේ පියා සරලයි. ඒ වගේම නිහතමානියි. ඔහු තමන් ගැන කතා කිරීම විශ්වාස නොකරයි. … ඔහු ඕනෑම කෙනෙකුට දෙන හොඳම අවවාදය තමයි; අනෙක් සියල්ල ගැන කතා කළත් ඔබ ගැන කතා නොකරන්න. ඔබ ගැන කිසිවකු උනන්දු වෙන්නේ නැහැ යන්නයි. …”

    පිලිප් කුමරුගේ නිහඬ ගති පැවතුම් විලියම් කුමරු වරක් විස්තර කර තිබුණේ මේ අන්දමෙනි.

    “… ඔහු (පිලිප් කුමරු) රැජනට දක්වන්නේ ඇදහිය නොහැකි සහයක්. ඔහුගේ ශක්තිමත් පසුබිම, පෞරුෂය ගැන සලකා බලන විට පැත්තකට වී හෝ පසුපසට වී හෝ රැජනට සහයෝගය දෙන්නේ කෙසේ දැයි මම නොදනිමි. … එය අප සැමගේ දෑස් විවර කරවන්නක්. …”

     

    මංජුලා විජයරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.