24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ගාමිණීව “මල්සරා” කළේ මම

    - Advertisement -
    -ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ අමරසේන
    අප්‍රේල් 29, 2021

    මෙවර “අකුරු අතර අතීතයක්” සුවිශේෂීය. එයට හේතුව මේ වනවිට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා පුවත්පත් හා සඟරා කතුවරයාගේ “අකුරු අතර අතීතය” ගෙනහැර දක්වන නිසාවෙනි. ඔහු ආතර් යූ අමරසේනය. කර්තෘවරයකු මෙන්ම පිටු සැලසුම් ශිල්පියකු, චිත්‍ර ශිල්පියකු ලෙස ද, චිත්‍ර කතා චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට කතා හා තිර නාටක රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ආතර් යූ. අමරසේන මහතා මේ වනවිට පුවත්පත් මාධ්‍ය කලාවේ ප්‍රවීණයන් බොහෝමයකගේ ගුරුවරයාය. චිත්‍රවාහිනී’, ‘විසිතුර’, ‘සුරතුර’, ‘සිත්සර’ ‘පියකරු’, ‘මැද පෙරදිග‘, ‘ලියතඹරා’ ආදී සිනමා පුවත්පත්වල ප්‍රධාන සංස්කාරකවරයා වූ අමරසේන මහතා ‘සිංහල සිනමා වංශය’, ‘60 වසරක සිංහල සිනමා ප්‍රකාශන’, ‘සිංහලයේ මහා සිනමා වංශය’ කෘතිවල කතුවරයාය. අසූ පස්වැනි වියද ඉක්මවූ හෙතෙම ජීවිතයෙන් වැඩි කාලයක් සිනමාවට කැප කරමින් තවමත් පුවත්පත්වලට ලිපි සම්පාදනය කරමින් සිටින්නේය. දශක හයකට ආසන්න ආතර් යූ. අමරසේනගේ අකුරු අතර අතීතය අප හාරා ඇවිස්සුවේ මෙසේය.

    පත්තර කියවන්න පටන් ගත්තෙ කොයි කාලේද?

    - Advertisement -

    පත්තර කියවන්න පටන් ගත්තෙ මම ඉස්කෝලේ යන කාලේ මම ඉස්කෝලේ ගියේ මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයට. මගේ උපන්ගම පානදුරේ. ඒත් තාත්තගෙ ගම මහනුවර ඒ නිසා මට නුවර ඉස්කෝලෙට යන්න වුණේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලාම පත්තරවලට මම පුදුම විදිහට ආදරේ කළා. ඒ කාලේ පත්තර සෑහෙන්න ගොඩක් තිබුණා. ලොකු අය පත්තර කියවද්දී මම හොරෙන් ගිහිල්ලා බලාගෙන ඉන්නවා. එතකොට එයාලා බනිනවා “පත්තරයක් ගන්නෙත් නෑ අපිට වද දෙනවා කියලා”. ඒ දවස්වල තිබුණ පත්තරවලින් මම ආසම චලන චිත්‍ර, රස වගේ පත්තරවලට. ඒ කාලේම තමයි කවදහරි දවසක පත්තරේක වැඩ කරනවා කියලා කියල හිතා ගත්තේ.

     

    මුලින්ම පත්තරේක නම පළවුණේ කවද්ද?

    - Advertisement -

    ඉස්කෝලේ යන කාලේ මට හොඳට චිත්‍ර අඳීන්න පුළුවන්. මම චිත්‍රකතා ඇන්දා. දිනමිණ, සිළුමිණ ළමා පිටු ඒ කාලේ හරිම ප්‍රසිද්ධයි. මම ඒවට චිත්‍ර ඇඳලා යවනවා. හුඟක් ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් බිහි වුණේ ඒ ළමා පිටුවලින් තමයි. මම පුංචි කතා ලියලා සිළුමිණ ළමා සමාජයට යැව්වා. කටුගස්තොට ආතර් යූ. අමරසේන කියලා. ඒවා පළ වුණාම හිතට හරි සතුටුයි. පත්තර දෙකක් ගන්නවා. ගෙදර අයටයි පන්තියේ ළමයින්ටයි. එහෙම පළවුණාම මගේ ළමා කතා පිටුව ගුරුවරුන්ට පෙන්වනවා. එතකොට ‘ආතර් කවදා හරි පත්තර කර්තෘ කෙනෙක් වේවි’ සිංහල ගුරුවරයා අනාවැකියක් කිව්වා මට මතකයි.

     

    සිනමාවට ආදරේ කරන්න පටන් ගත්තේ කොයි කාලේද?

    - Advertisement -

    ඒකත් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම තමයි. ඉස්කෝලේ යන කාලේ අපිට තිබුණු ලොකුම වින්දනය තමයි සිනමාව. ඒ නිසා අප්‍රමාණව සිනමාවට ආදරේ කළා. රෑ දොළහේ ෂෝ එක පවා ගෙදරට හොරෙන් බලන්න ගිහින් තියෙනවා. මහනුවර රීගල් වෙම්බ්ලි, වේල්ස්, ඕඩියන් සිනමාහල්වල රජකළේ අපි තමයි. ඒ කාලේ සිංහල සිනමාවක් නැහැ. ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපට අපි පුදුම ආසාවකින් බැලුවේ.

     

    පූර්ණකාලීනව පුවත්පතක රාජකාරි කරන්න පටන් ගත්තේ කොයි කාලේද?

    මගේ තාත්තා වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. එයාට ඕන වුණේ මාවත් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න. පත්තරවලට විකාර ලියනවා කියලා මගේ පත්තර පවා තාත්තා විසි කරලා තියෙනවා. මම මගේ පාර කොහොම හරි ගියා. තරුණ කාලේ මට රස්සාවක් කරන්නේ එතරම් වුවමනාවක් තිබුණේ නැහැ. ගෙදරින් කන්න බොන්න දීපු නිසා මම කළේ පත්තරවලට නිදහස් මාධ්‍යවේදියෙක් විදියට ලියපු එක. ඒ දවස්වල සෝමපාල රණවීර චලන චිත්‍ර කියලා සති දෙකකට වරක් පලවෙනි චිත්‍රපට සඟරාවක් කළා. ඒක අයිති කඳානේ එස්.එම්. නායගම් මහත්මයාට. ඒකට මම පොඩි කාලේ ඉඳලා ලිපි තැපැල් කරනවා. මම සෝමපාල මහත්තයව පෞද්ගලිකව දැනගෙන හිටියා. 1958දී විතර මම ඔහුව මුණගැහෙන්න කඳානේ චලන චිත්‍ර පත්තර කන්තෝරුවට ගියා. මම ඔහුට කිව්වා පත්තරේක ලියන්න කැමති බව. ඔහු මගෙන් ඇහුවා “මොනවද ලියන්න කැමති?” කියලා. මම කිව්වා “මම ඕනම දෙයක් ලියන්න කැමතියි” කියලා. ඊට පස්සේ සෝමපාල මහත්තයා මගෙන් ඇහුවේ නළු නිළියෝ අඳුරනවද කියලා. මම එතකොට පෞද්ගලිකව කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඒ සඟරාවේ ලිපි ලිව්වා. ලිපි සංස්කරණය කළා. චිත්‍ර ඇන්දා. පාර්සල් බැන්දා. සඟරාවට එන ලියුම්වලට පිළිතුරු ලිව්වා. සඟරාවේ සල්ලි එකතු කළා. මාසෙ අන්තිමට රු. 50ක් ලැබුණා. කාලා, බීලා, කෝච්චියේ ගිහින් තව සල්ලිත් ඉතුරුයි. ඔක්කෝටම වඩා තිබුණේ ආත්ම තෘප්තිය.

     

    තමන්ගේම කියලා පත්තරයක් පටන් ගත්තේ ඊට පස්සේද?

    මගේ යාලුවෙක් හිටියා බොනිෆස් ජයවර්ධන කියලා. එයා තමයි කිව්වේ අපි සිනමා සඟරාවක් පටන් ගමු කියලා. ඒ කාලේ සිනමාව කියන්නේ හරිම ජනප්‍රිය මාධ්‍යයක්. ඒත් සඟරාව පටන් ගන්න තරම් මට සල්ලි තිබුණෙ නැහැ. ජයවර්ධන කිව්වා මම සල්ලි දෙන්නම් ඔයා පටන් ගන්න කියලා. පත්තරේ නම “චිත්‍රවාහිනී”. මේ සඟරාවට ඔගස්ටස් විනායගරත්නම්, රැලෙක්ස් රණසිංහ, ධර්මසිරි ගමගේ උදව් කළා. ‘චිත්‍රවාහිනි’ සඟරාවට දිලිප් කුමාර් හා දේව් ආනන්ද් නම් ජනප්‍රියම නළුවන්ගේ සම්මුඛ සාකච්ඡා කිරීමට ඔගස්ටස් එක්ක මම ගියා. පින්තූර ගත්තේ රැලෙක්ස්. මම අවුරුදු දෙකක් ‘චිත්‍රවාහිනි’ සඟරාව කළා.

     

    ඊටපස්සේ කොහෙද වැඩ කළේ මොන පත්තරේද?

    1961 වසරේ ගුණසේන සමාගමෙන් ‘දවස’ කියලා පත්තරයක් පටන් ගන්නවා. “ඕවා කර කර ඉඳලා හරියන්නෑ දවස පත්තරේට යන්න” කියලා මගේ යාළුවෙක් කිව්වා. මම දවස පත්තරේ කවුරුවත් අඳුරන්නේ නැහැ. මගේ යාළුවාම මාව ‘දවස’ පත්තරේ කර්තෘ ඩී. බී. ධනපාල මහත්තයා ළඟට එක්කරගෙන ගියා. එයාගේ පුතා ඩී.බී. සුරනිමල. එයා එතන ඡායාරූප ශිල්පියා. මම දවස පත්තරේට ප්‍රවෘත්ති වාර්තා වාර්තාකාරයෙක් විදියට බැඳුණා. මම ලියන ප්‍රවෘත්තිවල එක පේළියකට සත තුනයි ගෙව්වේ. ප්‍රවෘත්ති විතරක් නෙමෙයි සිනමාලිපිත් දවස පත්තරේට ලිව්වා. අවුරුද්දක් විතර වැඩ කරගෙන ඉද්දි දවසක් මාව ධනපාල මහත්තයා එයාගේ කාමරයට ගෙන්වලා හරි අපූරු ආරාධනාවක් කළා.

     

    ඒ මොකක්ද?

    එයා කිව්වා “අමරේ සිනමාකාරයා නිසා අපි සිනමා පත්තරයක් පටන් ගමු?” කියලා. එතන රිවිරැස කර්තෘ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර හා විමලේන්ද්‍ර වතුරේගමත් හිටියා. ධනපාල මහත්තයා පත්තරේට “විසිතුරු” කියලා නම දාමු කිව්වම වතුරේගම කිව්වා “විසිතුර” කියලා දාමු කියලා. මම විසිතුරේ ආරම්භක කර්තෘ වුණා. ඒ පත්තරේ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ කාලේ තිබ්බේ සිනමාස් සමාගමෙන් කරපු “කලා” පත්තරේ. ඒකෙත් ලිව්වේ සිනමාස් සමාගමේ චිත්‍රපට ගැන විතරයි. අපිට කවුරු එක්කවත් බැඳීමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි හැමෝම ගැන ලිව්වා. තිස්ස අබේසේකර, සිරිල් බී. පෙරේරා, රැලෙක්ස් රණසිංහ ඒ කාලේ විසිතුර පත්තරයේ ලිව්වා. මේ කාලේ තමයි මම සිනමාවට ජනප්‍රිය හොඳම නළුවෙක් හඳුන්වලා දුන්නේ.

     

    ඒ කවුද?

    මම දවසක් රැලෙක්ස් රණසිංහ එක්ක එයාගේ ගෙදරට ගියා. ගෙදර තිබ්බේ මෝදර. රැලෙක්ස්ගේ ගෙදර ලස්සන හුරුබුහුටි හාදයෙක් බිත්තියේ තීන්ත ගානවා. එයා ලස්සන හාදයෙක්. මම එයාගෙ මූන දැක්කෙ පැත්තට. ඒ කවුද කියලා රැලෙක්ස්ගෙන් ඇහුවම එයා කිව්වා ඒ මගේ මල්ලි ඇන්තනී කියලා. එතකොටම ඇන්තනී විසිතුර පත්තරයේ කර්තෘ කියලා මාව හඳුනගෙන මට කිව්වා “මචං මම රඟපාන්න හරි ආසයි. මට චාන්ස් එකක් දෙන්න” කියලා. ඊටපස්සේ දවස් කීපයක් ඇන්තනී මාව හොයාගෙන එන්න පටන්ගත්තා. බැරිම තැන මම සිරිසේන විමලවීර මාස්ටර් ළඟට එක්කගෙන ගියා. එයා අලුත් චිත්‍රපටයක් කරනවා. කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට අපි ගියේ. මාස්ටර් එයා දිහා හොඳට බලලා ප්‍රශ්න කීපයක් අහලා චිත්‍රපටයකට තෝරාගත්තා තෝරගත්තා අවාසනාවට ඒ චිත්‍රපටය කරන්න කලින් විමලවීර මාස්ටර් මැරුණා. ලෙස්ටර් ‘ගම්පෙරළිය’ චිත්‍රපටය පටන් ගන්නකොට මම ඇන්තනිට ගම්පෙරළියේ චරිතයක් දෙන්න කියලා ඉල්ලීමක් කළා. ‘අයිසේ, තමුසේ ආවේ අන්තිම මොහොතේ. අපිට ඉතුරු වෙලා තියෙන බලදේවගේ චරිතයට තෝරා ගත්තා” කියලා ලෙස්ටර් කිව්වා. ඒ ඇන්තනී තමයි කවුරුත් දන්න ටෝනි රණසිංහ.

     

    ගාමිණී ෆොන්සේකා ජනප්‍රිය නළුවෙක් කළේ ඔබ නේද?

    ඒ කාලේ ගාමිණීව කවුරුවත් ගණන් ගත්තෙ නැහැ. ආනන්ද ජයරත්න, ටෝනි රණසිංහ වගේ නළු නිළියෝ ඒ කාලේ ගණන් ගත්තේ. ගාමිණී හිටියේ දෙහිවල ගෙදර. ගාමිණීට සිනමාවට එන්නත් ඕනේ. ප්‍රසිද්ධ නළුවෙක් වෙන්නත් ඕනේ. අවස්ථාවක් තිබුණේ නැහැ. එයා හරිම දක්ෂ බව මට පෙනුණා. ගාමිණී රඟපාපු චිත්‍රපට ගැන අපි මුල ඉඳන්ම ඉහළම ප්‍රචාරයක් දුන්නා. ඒ කාලේ ගාමිණී ගැන මැද පිටුවේ ‘මල්සරා’ කියලා සුගතපාල ද සිල්වා ලිව්ව ලිපිය ජනප්‍රිය වුණා. යම් යම් ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා පත්තරවලින් ගාමිණීට ප්‍රචාරය පවා දෙන එක නතර වෙලා තිබුණා. පසුකාලයේ නැවතත් හොඳ ජනප්‍රියත්වයක් ගාමිණීට අපි දුන්නා. ගාමිණී කියන්නේ මගේ ශ්‍රියානිගේ හොඳම මිත්‍රයෙක්.

     

    ඔබේ සිනමාවේ වීරයා කවුද?

    ඒ කාලේ ඉඳලාම ගාමිණී ෆොන්සේකාට තමයි මම කැමතියි. මගේ විතරක් නෙමෙයි ගොඩක් අයගේ වීරයා වුණේ ගාමිණී තමයි. ඒකට ගාමිණීට හොඳ ප්‍රචාරණයක් ලබා දීලා සෑහෙන උදවුවක් කළා අපි.

     

    නිළියකට ආදරේ කරන්න හිතුණේ නැද්ද?

    අපෝ නැහැ. එහෙම ආදරය කළා නම් මට මගේ පත්තර රස්සාව කරගන්න බැරි වෙනවා. ඒත් නිළියෝ ඔක්කොම වගේ මගේ හොඳ යෙහෙළියෝ. ජීවරාණි කුරුකුලසූරිය තමයි කැමතිම නිළිය. ජීවා තමයි ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම නිළිය.

     

    කොහොමහරි බිරිඳවත් නිළියක් කළා නේද?

    දවස පත්තරේ වැඩ කරනකොට පත්තරේට දාපු මංගල දැන්වීමකින් තමයි මට ශ්‍රියානිව මුණගැහුණේ. එයාත් කලාවට බර කෙනෙක්. මවුපියන්ගේ කැමැත්ත ඇතුව අපි විවාහ වුණා. අපි විවාහ වෙන්න කලින් ඩී.බී. නිහාල්සිංහ ශ්‍රියානිව දැකලා එයාගේ කෙටි චිත්‍රපටයකට ගත්තා. ඒ කෙටි චිත්‍රපටය ලෙස්ටර් සහ සුමිත්‍රා දැකලා මගෙන් ඒ කවුද කියලා ඇහුවා. මගේ පෙම්වතිය කිව්වාම ලෙස්‍ටර්, ශ්‍රියානිව ගොළු හදවතට ගත්තා.

     

    වෘත්තීය ජීවිතයේ දී සමීපව ඇසුරු කරපු කලාකාරයෝ කවුද?

    කලාකාරයෝ නම් සමීපව ආශ්‍රය කරන්න බැහැ. හරිම අමාරුයි. එක්කෙනෙක් දෙන්නෙක් කියන්න බැහැ. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, නළු නිළියෝ කොච්චර නම් ඉන්නවාද? දැන් ඒ අය ගැන මතකයත් මගෙන් ගිලෙහෙමින් පවතිනවා.

     

    මාධ්‍ය කලාවේ දී මුහුණ දීපු ගැටලු, අර්බුද මොනවද?

    අපි වැඩ කළේ නළු නිළියෝ එක්කනේ. නළු නිළියෝ ගැන ලියනකොට බොහොම පරිස්සමෙන් ලියන්න ඕනේ. එක්කෙනෙක් ගැන ලියලා අනිත් කෙනා ගැන ලිව්වෙ නැත්නම් එයා තරහ වෙනවා. උදාහරණයක් විදියට මම ගාමිණී ගැන ලියනකොට විජය තරහ වෙනවා එයා ගැන ලියන්නේ නෑ කියලා. ඒ නිසා සෑහෙන්න ප්‍රශ්න ගොඩක් ආවා. නළු නිළියෝ හැමෝවම සමබර කරගෙන තමා ඒ ගමන අපිට යන්න ඕන. ඒ කාලේ ටෙලිවිෂන් නැහැ. සිනමා පත්තරවලින් තමයි ඒ අයට ජනප්‍රියත්වය ලැබුණේ.

     

    සිනමාව ගැන පොත් කීපයක් ලිව්වා නේද?

    1989දී ‘සිංහල සිනමා වංශය’ කියලා පොතක් ලිව්වා. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. 2008දී ‘සිංහලේ මහා සිනමා වංශය’, ‘වං හුං’ හා 2008 ‘60 වසරක සිංහල සිනමා ප්‍රකාශන’ කියන පොත් ලිව්වා. ලාංකික සිනමා සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයන් 45 දෙනෙකුට මගේ සංවිධානයෙන් මම සම්මාන ලබාදුන්නා ඒක මට ලොකු සතුටක්.

     

    ඔබ හොඳ පසු පරම්පරාවක් හැදුවා නේද?

    මට සතුටු වෙන්න පුළුවන් එකම දෙයක් ඒක තමයි. පත්තර රස්සාව මම හම්බ කළේ නැහැ. ඒත් මට හොඳ ගෝලයෝ පිරිසක් හිටියා. ඒ.ඩී. රංජිත් කුමාර, ප්‍රේමකීර්ති ද අල්විස්, බන්දුල පද්මකුමාර, ඩී. කීරගලආරච්චි, ඩබ්ලිව්. කේ. ඩී. නවරත්න, රොඩ්නි විදානපතිරණ, සෑම් පෙරේරා, දයාරත්න රටගෙදර, කුමුදු කුසුම් කුමාර, වින්සන්ට් පෙරියප්පෙරුම, කුලරත්න ආරියවංශ, අනුර සොලමන්ස්, ජගත් කුමාරසිංහ, රෝහණ වෙත්තසිංහ, සත්‍යජිත් මාඉටිපේ, තිලක් රත්නායක, අනුර සොලමන්ස්, කාරියවසම් ජී. ජී. කාරියවසම්, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් .ඒ හැමෝම මගේ ගෝලයෝ.

     

    සිනමාවට එන තරුණ පරම්පරා ගැන ඔබේ අදහස මොකක්ද?

    අධ්‍යක්ෂවරු නම් හොඳ අය කීපදෙනෙක් ඉන්නවා විෂය හදාරලා ලංකාවට ඇවිත් හොඳ නිර්මාණ කරන්න උත්සාහ කරන අය. නළු නිළියොත් දක්ෂ සහ අදක්ෂ කියන දෙපිරිසම මම දැන් සිනමාවෙ දකිනවා. දැන් එයාලගේ ප්‍රධාන අංගය රූපය. හැකියාව දියුණු කරනවට වඩා රූපය ඔජ වඩන එක තමයි එයාලගේ වැඩේ.

     

    වර්තමානයේ සිනමා පුවත්පත් තියෙන තැන ගැන සෑහීමකට පත්වෙනවාද?

    වර්තමානයේ සිනමා පුවත්පත් කලාවක් නැහැ. තියෙන පත්තරවලත් සිනමාවට වඩා යන්නේ වෙන වෙන කලාවල් ගැන. චිත්‍රපට හැදෙන්නෙත් අඩුවෙන් නිසා වෙන මොන මොනවා හරි කලාවල් ගැන ලියලා දානවා. සිනමාවටම කියලා විතරක් කැප වෙච්ච පත්තරයක් දැන් නැහැ. හැම ඉරිදා පත්තරේකම ටැබ්ලොයිඩ් ආවා. ඒකත් සිනමා පත්තර වැටෙන්න හේතුවක්.

     

    සිනමාව ගැන කලාව ගැන ලියන තරුණ මාධ්‍යවේදීන්ට මොකක්ද කියන්න තියෙන්නේ?

    තරුණ මාධ්‍යවේදීන් මීට වඩා කැපවෙන්න ඕනේ. සමහරු මොනවහරි ලියන්න ඕනාවටයි ලියන්නේ. හැදෑරීමක්, කියවීමක්, අධ්‍යයනය කිරීමක් එයාලගේ නැහැ. අලුත් පරම්පරාවට එහෙම කැපවීමක් කරන්න කාලයක් නැතුව ඇති. දැන් හැමෝම අහන්නේ ගෙවන ගාණ කීයද කියලා. දැන් තියෙන තත්ත්වෙත් එක්ක එහෙම නැතුවත් බැහැ. මේ වැඩේට එන්න ඕනේ ක්ෂේත්‍රයට ආසාවෙන්. මම තාමත් ඒ ආසාව අතහැරලා නැහැ. ඒක අතඅරින්න බැහැ. මම තවමත් වෙන වෙන නම්වලින් පත්තරවලට ලියනවා. අවුරුදු හැටක් තිස්සේ මම ලියනවා.

     

     

    තිලක් පෙරේරා

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.