24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    විරෝධාකල්පික ග්‍රැමොෆෝන් ගී

    - Advertisement -
    අප්‍රේල් 29, 2021

    සිංහල ගීතයේ ඓතිහාසික විකාශනය ගැන අවධානය යොමු කිරීමේ දී ග්‍රැමොෆෝන් ගීත සාහිත්‍යයට හමුවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්ෂ 1906 න් පමණ ඇරඹෙන ග්‍රැමොෆෝන් ගී යුගයේ මුල් කාර්තුවෙහි වැඩි වශයෙන් තැටිගත කෙරුණේ එවකට අතිශය ජනප්‍රිය වූ නුර්ති නාටක ගීත ය.

    මේවා ගායනා කළේ එවකට චිරප්‍රසිද්ධ නූර්ති ශිල්පීන් ශිල්පිනියන් විසිනි. එවකට ගීත සඳහා රාග- තාල නිර්මාණය කළේ ඉන්දියාවේ සිට පැමිණි හින්දුස්ථානි සංගීත ආචාර්යවරු සහ ලක්දිව සුප්‍රසිද්ධ සංගීතාචාර්යවරු ය. ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ මුල් ම වකවානුවේ එනම් 1906-30 පමණ කාලයේ ගීත වල දක්නට ලැබුණු සුවිශේෂී කාරණා කීපයකි. ඉන් පළමුවැන්න නම්, ගීත තනු වල පැවැති දුලබ බවයි. එනම් බොහෝ විට නුර්ති සඳහා යොදාගත් සුප්‍රකට තනු, ගීත තනු බැංකුවක් ලෙස භාවිත කරමින් එකී තනු වලට තවත් නුර්ති ගීත රාශියක් නිර්මාණය කෙරුණි. එබැවින් එකම මුල් නුර්ති ගී තනුවට තවත් නුර්ති ගීත දෙක තුනක් නිර්මාණය වීම මේ යුගයේ බිහි වූ ගීත වල දක්නට ලැබුණු ප්‍රවණතාවයකි (නිදසුනක් ලෙස “දුටුගැමුණු“ නුර්තියෙහි ඇතුළත් “ හරිමි රජ සැපා” ගීතයේ තනුවම “පද්මාවතී“ නුර්තියේ “ගොසින මාළිගෙටා” ගීතයට භාවිත විය.). දෙවැනි කාරණය නම්, ගීත තැටි වලට නැගුණ බොහෝ ගීත නුර්ති හෝ අනෙකුත් නාටක ගීත වුවත්, ඇතැම් ඒවා නුර්ති තනු භාවිත කරමින් බිහි වුණු නාටකවලට ඇතුළත් නොවූ “නව ගීත” වීම ය. තෙවැන්න නම්, ගීත ප්‍රබන්ධය සඳහා භාවිත කළ භාෂාවෙහි තිබු ගුණාත්මක භාවය යි. ඇතැම් නුර්ති ගීත රචනා කළේ නීතීඥ ජෝන් ද සිල්වා, ආර්. ජෝන් පෙරේරා, නීතීඥ චාල්ස් ඩයස්, බී. ඇල්. බෝධිපාල, ඇම්.ජි.පෙරේරා සහ ආනන්ද රාජකරුණා වැනි පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳව පෘථුල දැනුමක් තිබු රචකයන් පිරිසක් විසිනි. නමුත් ගීත රචකයන් ඇතැම් අවස්ථා වල දී ඉතා ශිෂ්ට සහ උසස් ගණයේ භාෂා හරඹයක් භාවිත කළ අතර ම, තවත් වරෙක, ඉතා සරල බස් වහර ද යොදා ගීත නිර්මාණය කර තිබුණි. මෙසේ නිර්මාණය වූ ඇතැම් “නව ගීත“ සමහරක ගේ ගීත රචනය ඉතා ප්‍රභල විය. එසේම අධිරාජ්‍යවාදී යුගයක, ජනතාව ගේ ඇස් ඇර- කන් යොමා බලන ලෙස රචනා වූ “විරෝධාකල්පික ගීත” මගින් සම්ප්‍රේෂණය කරන්නට යෙදුණ පණිවුඩය තීව්‍ර කරනු වස් ඇතැම් අවස්ථා වලදී නිර්දය උපහාසයට ගීත රචකයන් යොදාගත් භාෂාව එතරම් මටසිළිටි එකක් නොවීය. ඇතැම් ඒවා තරමක අවර ගණයේ වදන් වලින් සමන්විත විය. කෙසේ නමුත්, ගීත රචනා සහ ගායනා ආදියට ප්‍රමිතියක් හෝ වාරණයක් නොතිබුණු යුගයක බිහි වූ මෙවැනි ගීත සිංහල ගීතයේ පමණක් නොව සිංහල භාෂාවේ ක්‍රමික විකාශනය සහ සමාජයීය වාග්විද්‍යාව හදාරන්නෙකුට ඉතා වටිනා පර්යේෂණ මූලාශ්‍ර වන්නේය.

    - Advertisement -

    බෞධාගමික, දේශාභිමානි ගීත වලට අමතරව, පවතින රජයයයන්, දේශපාලන මතිමතාන්තර, අනෙකුත් සමාජයීය වෙනස්කම්, මෙරටට අනුචිත නවීන විලාසිතාදිය නිර්දය ලෙස උපහාසයට ලක් කිරීම මුල්කාලීන ග්‍රැමොෆොන් ගීත මගින් ඉටු කළ එක් කර්තව්‍යයකි. පූර්වෝක්ත තේමා සඳහා නිදර්ශන ලෙස, “වනවාසේ සීලේ බිදින තපසුන්ගේ” (වලිගයකොට හිවලා මෙන් උපහාසය දනවා සිංහල ගැහැණුන් කොණ්ඩා කොටට කැපීම පිළිබඳව – ලක්ෂ්මි බායි ගේ ගායනය -1935) , “රබර් මිල ඉහළ නැගීම “ (රොමියුලස් සිල්වා), “ප්‍රංශ ඇඳුමේ“ (මෙරට එවකට තරුණියන් අතර ජනප්‍රිය වූ ප්‍රංශ විලාසිතාවක් වූ කොට ගවුම් සහ සාය ඇඳීම පිළිබඳ – රත්නසභාපති තරුණ නෝනා, 1931) , “ බියකරු අනතුරු” (අපරීක්ෂාකාරී බස් රථ අනතුරු පිළිබඳව – රෙජිනා පෙරේරා, 1935), “ආදී සිංහලුන්” (මෙරටට ආනයනික භාණ්ඩ ගෙන්වීම පිළබඳ විරෝධාකල්පය- ලක්ෂ්මි බායි 1939) ආදිය උපුටා දැක්විය හැකි අතර, මෙරට පැවති දුෂිත ජන්ද ක්‍රමය, ජන නායකයන් අතර පැවැති භේද -භින්න භාවය ආදී දේශපාලනික තතු කෙරෙහි උපහාසාත්ම අයුරකින් පහර එල්ල කිරීමද, එකී කරුණු එළිපිටම ගීත ආකාරයෙන් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම ද, ග්‍රමොෆෝන් ගීත මගින් ඉටු කෙරුණි . “ලංකාවේ මහජන මන්ත්‍රී” (රෙජිනා පෙරේරා -1938) , “ලංකා ප්‍රබෝධේ ස්වාජාතියේ”(ලක්ෂ්මි බායි-1939), “පක්ෂ භජනයෙන් පැටලී මෙකාලේ“ (වයලට් වීරකෝන් -1939) , “ජන නායක සිංහල භේදේ නිසා” (සිසිලියානා ඩයස් -1939) මෙකී අවස්ථා සදහා නිදසුන් ය. ගුවන්විදුලිය එතරම් ජනතාවට සමීප නොවූ යුගයක සහ සාක්ෂරතාවය එතරම් ඉහළ මට්ටමක නොපැවතුණු යුගයක , මෙරට බොහෝ ජනයා වෙත තොරතුරු දැනගැනීමේ එක්තරා මාධ්‍ය මෙවලමක් ලෙස ග්‍රමොෆෝන් ගීත තැටි හෙවත් ශබ්ද වාහිනී යන්ත්‍ර තැටි භාවිත විය. ඒවා මගින් එක්තරා අයුරකින් සමාජ පරිශෝධනයක් මෙන්ම, සමාජයීය, ආගමික ගැටුම් ඇති කිරීමට රුකුල් දෙන ගීත – සංවාද ආදිය නොතුබුණේ ද නොවේ. කෙසේ වෙතත් ගුවවිදුලියේ සංක්‍රාන්තියත් සමගම, වාරණය, ප්‍රමිතිය ඉස්මතු වූ යුගයක, මෙම ගීත නැවත පසු කාලීනව ගුවන්විදුලියෙන් වාදනය වූයේද යන්න සංකා සහිතය.

    කෙසේ වෙතත්, දශක නවයකට පමණ ඉහතදී පටිගත කළ මෙම ගීතය ඔබ සැම වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරමි. මෙම ගීත දෙක අන්තර්ගත වූයේ එවකට ජර්මනියෙහි නිෂ්පාදිත ර්‍ථඒඅඹ්ර්‍ණර්‍ථඩ්ර්‍ණව් ගීත තැටි අංක ඕ 32079 අංකයෙන් නිකුත් වූ ගීත තැටියේ දෙපස ය. මෙම ගීත දෙක අතුරින් පළමු ගීතයෙන් කියැවෙන්නේ වර්ෂ 1927-29 තරම් ඈත වකවානුවක, මෙරට ට පැමිණි ඉන්දියානු වෙළෙඳුන් (හෙට්ටින්) විසින් මෙරට වෙළෙඳ ව්‍යාපාර, ඉඩම් කඩම්, දේපල, රැකි රක්ෂා ක්‍රම ක්‍රමයෙන් අල්ලා ගැනීම සහ මුදල් පොළියට දීම නිසා සිංහල ජාතීන්ට මතුවට ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන ය. “මෙදා ඉන්දියාවේ නෑයෝ එනවා බොහෝ වැඩියි” යන ගීතය යටත් විජිත සමයේ දී වත් වාරණයකට ලක් නොවුණු, එකල ජනයා අතර ප්‍රචලිත වුණු ගීතයකි. මෙම ගීතයට සමාන අරුත් ඇති ගීතයක් චාල්ස් ඩයස් මහතා ගේ “මායාවතී” (1923) නුර්තියේ “හෙට්ටි අපේ රට පට්ටන මේ සිට වට්ටි ගන්ට ආමු “ යන ගීතයෙන් ද කියැවුණි. ඇතැම් විට මෙම ගීත රචකයා එකී ගීතයේ ආභාසය ලබා මෙම ගීතය රචනා කළා විය හැකි ය.

    මෙදා ඉන්දියාවේ නෑයෝ

    - Advertisement -

    එනව බොහො වැඩියි

    ලංකා වාසීන්ට ඉඩක් නැතුව යයි…

     

    - Advertisement -

    අපි මෝඩයාගේ රටට යමු කියාගන එන්නේ

    අම්මේ මුත්තේ කිව්වත් නැහැ යන්නේ..

     

    වට්ටි කාසි රැස් කරති ඇවිත් සමහරූ

    මුදල් දී මෙදා සිහළ දනට බලකරූ

     

    ගෝනි බෝතල් පටවා හිසේ දුරු මිරිස්

    ගමක් ගානේ යන්නේ නෙක සිතු විලස්…

     

    මේ කාලේ කොළඹ වතුත්

    ගෙවල් දොරවලුත්

    ලංකා වාසීන්ගේ රැකි රක්ෂාවලුත්

    විසල් වෙළෙඳ සාලා ද

    බොහොම උන්ට අත් වෙලා

    කබල් ගානේ අපිට ඉඩක් බැඳගෙනා ….

     

    බීඩියක් වත් ලංකාවෙන් උන් ගන්නේ නෑ

    මුදල් ඒකෙත් යවන්නෙ ඉන්දියාවට යි

     

    ඡන්ද ලාබෙත් ලබා දුන්නාම සිංහලේ

    රටෙන් පිටවෙලා පුතුන්ට යන්න වෙයි……

    මෙම ගීතයේ රචකයා අඥාත අතර, ගීත ගායනය සහ සංගීතය එවකට සිටි ජනප්‍රිය සංගීතඥයෙක් වූ, එච්.ඒ .ලෝරන්ස් ප්‍රේරා මහතා විසිනි. වර්ෂ 1902 දී කොළොඹ මරදානේ උපත ලද එච්. ඒ. ලෝරන්ස් ප්‍රේරා මහතාගේ පියා එවකට දක්ෂ නාඩගම් සහ නුර්ති ශිලිප්යෙකු වූ පෑලිස් අප්පුහාමි මාස්ටර් ය. වර්ෂ 1911 දී පමණ එවකට පරණවාඩියේ (මරදාන) කැරොල් කණ්ඩායමෙන් ගීත ගායනයට ප්‍රවිෂ්ට මෙතුමා, 1916 -20 දී පමණ, සාදිරිස් මාස්ටර් සහ එඩි මාස්ටර් වෙතින් සංගීතය හදාරා පසුව දක්ෂ සර්පිනා වාදකයෙක් මෙන්ම ගායකයෙක් බවටද පත් විය. එවකට ටවර්හෝල් හි විදුර, සිරිසඟබෝ, වෙස්සන්තර, දුටුගැමුණු ආදී නුර්ති රැසක ජනාකර්ෂණයක් දිනා ගත නළුවෙක් බවටද පත් විය. එච්.ඇම් .වී., පර්ලෆෝන්, බ්‍රෝඩ්කාස්ට් ආදී ග්‍රැමොෆෝන් තැටි ලේබල සදහා මෙතුමා ගේ ගීත බොහෝ සංඛ්‍යාවක් නිකුත් විය. එවකට ආර්ය සිංහල නාට්‍ය සභාවේ මෙන්ම බී. ඇල් බෝධිපාල මාස්ටර් ගේ නාටක වල ද සුප්‍රසිද්ධ නළුවෙක් වූ මෙතුමා ගුවන්විදුලි ගායකයෙක් ද විය. එතුමාගේ ජනප්‍රිය වූ ගීත අතර, “සිරිගණ මහ මුණි”, “සිරිකත සේමා”, “මෙදා ඉන්දියාවේ”, “සිරිගණ මුණි ගුණ”, “සඳ වාගේ ලෝකේ දස දෙස”, “නිලම්බරේ සිසි දුලා කැළුම්” ආදී වශයෙන් ගීත රාශියක් වෙයි.

    මෙම තැටියේ අනෙක්පස අතුළත් වූයේ ද මෙවැනි ම විරෝධාකල්පික ගීතයකි. නමුත්, මෙම ගීතයෙන් ශ්‍රාවකයා වෙත සම්ප්‍රේෂණය කළ අදහස වූයේ ලංකාවේ එවකට ජීවත් වූ විවිධ ජාතීන් පිළිබඳවත්, සිංහලයන් අතර ඇති අසමගිය නිර්දය ලෙස උපහාසයට ලක් කරන ආකාරයත් ය. “ලක වාසීන් අතර ජාතීන් ගේ” යන මෙම ගීතය එදා ගායනා කළේ එවකට ටවර්හෝල් වේදිකාවේ “සුපිරි නළුවා” ලෙස විරුදාවලි ලබා සිටි ඇන්. රොමියුලස් ද සිල්වා මාස්ටර් විසිනි. ගීතයේ වචන පහත අයුරින් වේ.

     

    ලකවාසීන් අතර ජාතීන් ගේ නෙක

    චරිත අරුම වේ //

    නෙක ජාතීන් ඉන් වැඩේවී

    නෙක ජාතීන් ඉන් නැසේවී

    එය ලෝකේ ධර්මේ වේ //

     

    ලකවාසීන් අතර ජාතීන් ගේ….//

     

    මෙරට එරොප්පා (යුරෝපා) ජනයින්

    සිතට කයට සැප වඩමින් //

    උඩට උඩටමයි පාද තබන්නේ

    ඒගැන ඇයි කොඳුරන්නේ //

     

    ලකවාසීන් අතර ….

     

    ලංසි පරංගි චරිතේ

    මක්ක වුනත් හෙට දවසේ //

    ඔක්කොම ඇති දේ කාලා බීලා

    අද නටතිය ගහල වියෝලේ //

     

    ලකවාසීන් අතර….

     

    හම්බ -මරක්කල -කොච්චි

    උන්ගැන දෙයියෝ සාක්කි

    හම්බ කරන දේ පොදි ගහගනිමින්

    මෙලෝ වසෙන් දුක් විඳීති //

     

    ලකවාසීන් අතර….

     

    සිංහලයෝ රට හිමියන්

    සමයාදී කුලභේදෙන් //

    පරල වෙලා සමගිය බින්ඳාගෙන කටයුතු

    වලහා පිරිහේ //

     

    ලකවාසීන් අතර….

     

    නෙක ජාතීන් ඉන් වැඩේවී

    නෙක ජාතීන් ඉන් නැසේවී

    එය ලෝකේ ධර්මේ වේ //

     

    ලකවාසීන් අතර……

     

    මෙම ගීතයෙන් ගීත රචකයා ඉස්මතු කර ඇත්තේ ජාතීන් අතර ඇති භේද භින්න භාවය සහ ඔවුනගේ සංස්කෘතිකමය වශයෙන්, එනම් ජාතීන් වශයෙන් ඓන්ද්‍රීයව පවතින දුර්වලතාවයන් පෙන්වා දීමත්, එකී දුර්වලතා එවකට මෙරට අල්ලා සිටි දියුණු ජාතියක් වූ යුරෝපා ජාතීන් සමගින් සංසන්දනය කිරීමක් ය. අවසාන වශයෙන් ආගම් සහ කුලභේදයෙන් භින්න වී සිටින සිංහලයා ගැන ද ගීත රචකයා උපහාසයෙන් බලයි. එවකට සිටි ජනප්‍රියම නුර්ති නළුවා සහ ජනප්‍රියම ගායකයා වූ රොමියුලස් ද සිල්වා මහතා ලවා ම ගීතය තැටිගත කරන්නට ඇත්තේ මෙම පණිවුඩය ජනතාව වෙත ඉතා හොදින් සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් විය හැකි ය. මෙම ගීතයේ ද ගීත රචකයා පිළිබඳව කිසිඳු සටහනක් නොමැත. ගීතය තැටිගත කරන ලද්දේ 1929 වසරේදී පමණය. වෙළෙඳපොළට මෙම ගීත තැටිය පැමිණ ඇත්තේ 1930 වර්ෂයේ දීය.

    මෙම ගීතය ගායනා කළ රොමියුලස් ද සිල්වා මහතා පිළිබඳව දීර්ඝ සටහනක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. එතුමා පිළිබඳව කෙටි සටහනක් පමණක් මෙහි තබමි. වර්ෂ 1901 දී පුංචි බොරැල්ලේදී උපත ලද මෙතුමා වර්ෂ 1905 දී යන්තමින් පස් වස් සපිරෙන විට සිංහල නෘත්‍ය සමාගමේ ළදරු නළුවෙක් ලෙසත්, වර්ෂ 1911 පමණ වනවිට ටවර්හෝල්හි ආර්ය සිංහල නාට්‍ය සභාවේ ළමා නළුවෙක් ලෙසත් රංගනයේ යෙදෙන්නේ ය. ඒවකට ජනකාන්තම නළුවා වූ බි. බර්නාඩ් සිල්වා නොහොත් “බන්ටා මාස්ටර්” ගේ සෙවණැල්ල ලෙස ඔහු අනුගමනය කළ මොහු වර්ෂ 1919 දී පමණ ටවර්හෝල් කරළියට පිවිසෙන්නේ “විධුර” නුර්තිය හරහාය. පසුව වෙස්සන්තර, දුටුගැමුණු, උම්මග්ග ජාතකය, පණ්ඩුකාභය, රාමායණය, උත්තර ගැමුණු, හේමමාලි, පද්මාවතී, කාලිංග කුමරු සහ සිරිමල් එතනා, ශ්‍රී වික්‍රම රස්ජසිංහ, සිරිසඟබෝ, ආදී නුර්ති රාශියක චරිත මවන්නේය. වර්ෂ 1927 දී මුල්වරට ර්‍ණච්ඡ්ර්‍ණව් ලේබලයට “මනෝරම්‍ය ලංකා” නම් ගීතය තැටිගත කරමින් ග්‍රැමොෆෝන් ලෝකයට පිවිසි මෙතුමා එච්.ඇම් .වී., පර්ලෆෝන්, බ්‍රෝඩ්කාස්ට් ආදී ග්‍රැමොෆෝන් තැටි ලේබල සදහා තැටිගත කළ ගීත සංඛ්‍යාව සියයකට ආසන්න ය. ඒවා අතුරින් සරල ගී, අරෙහ ශාස්ත්‍රීය ගී, කිතුණු ගීතිකා, කවි, සීපද, ගාථා සහ ශ්ලෝක ආදියද අන්තර්ගත ය. වර්ෂ 1927-37 කාලයේ වැඩිම ගීත ප්‍රමාණයක් තැටිගත කළ ගායකයන් තිදෙනා අතුරින් කෙනෙක් වන්නේ මෙතුමා ය. අනෙක් දෙදෙනා වන්නේ, ටී. වී .එඩ්වින් පෙරේරා සහ රොමානිස් පෙරේරා ය.

    මෙම ගීත යුගලටම ෆුට් බැලෝ හර්මොනියම්, තබ්ලාව සහ වයලීනය යන වාද්‍ය භාණ්ඩ සීමිත ගණනක් පමණක් උපයෝගී කරගෙන ඇති අතර ගායකයන් ගේ කටහඬ ඉස්මතුකිරීම ට ප්‍රමුඛත්වයක් දී ඇති බවක් පෙනේ. මෙම ගීත තැටිගත කිරීම් එවකට කොළඹ දී (වර්තමානයේ ඇස්වාට්ටුව හන්දිය පිහිටි ස්ථානයේ) තිබුණු ශබ්දාගාරයක් තුළ ජර්මානු ඉංජිනේරු මහතුන්ගේ ආධාර ඇතිව ය.

    සිංහල ගීතයේ විරෝධාකල්පික ගී පිළිබඳ ඉතිහාසය හදාරන්නන්ට මෙවැනි ගීත පිළිබඳව හැදෑරීම අතිශය වැදගත් ය. අප රටෙහි පසුගිය දශක කිහිපයේ ඇති වූ ජාතිවාදී අරගල, කෝලාහල පිළිබඳව ඊට දශක ගණනාවකට පෙර සමාජ විද්‍යාත්මක ඇසකින් ග්‍රමොෆෝන් ගීතරචකයා දුටු අයුරු අපූරු ය. එසේම සිනමාව, රුපවාහිනිය හෝ ගුවන්විදුලිය වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නොමැති යුගයක ජනයා වෙත ගීත තැටි මගින් සමාජගත කරන්නට යෙදුණු පණිවිඩය එකතරා දුරකට ප්‍රශංසනීය ය. ගීත ඉතිහාසය, භාෂාවේ ක්‍රමික විකාශනය, ගීත රචනයේ, සංගීතයේ සහ ගායනයේ ප්‍රමිතිය, තත්කාලීන සමාජයීය සංසිද්ධි ආදී මාතෘකා යටතේ සලකා බලනකල ග්‍රැමොෆෝන් ගීත මෙකි කරුණු සියල්ල අප වෙත පරාවර්තනය කරන කැඩපතක් බඳුය. එබැවින් අනාගත පරපුරටද මෙම ගීත සංරක්ෂණය කර තැබීම සහ මේවා පිළිබඳව ගවේෂණය කිරීම අප සැමගේ යුතුකමකි.

     

    විශේෂ ස්තූතිය :

    ගීත තැටි සංරක්ෂක එච්.එම. ගුණතිලක මහතා, කලාභූෂණ ඇඹුල්දෙනියේ ලයනල් ගුණතිලක මහතා

    ආශ්‍රිත ග්‍රන්ථ සහ පුවත්පත්: සිළුමිණ ,1930 මාර්තු 30 Modernising Composition: Sinhala song , poetry and politics in the twentieth- century Sri Lanka by Garrett Field (2017);  කතා පෙට්ටියේ ගී – කලාභූෂණ ඇඹුල්දෙනියේ ලයනල් ගුණතිලක (1992)

     

     

     

     

    කථිකාචාර්ය,

    උද්භිද විද්‍යා අධ්‍යානාංශය

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.