24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ගොරකා පාට

    - Advertisement -

    “ලීසා…”මට උන් හිටි තැන් අමතක වී කියවෙන්නට ඇත.

    සුපිරි වෙ‍ෙළඳසැලේ කවුන්ටරයට ඉදිරියේ තිබෙන පැහැදිලි වීදුරුවෙන් එළියෙ පෙනෙන රූපය මට අදහාගත නො හැක්කක් විය. බොහෝ අය මා දිහා බලන්නට ඇත. අනෝමා මගේ අත තදින් කොනිති ගසනු යාන්තමින් මට දැනුණත් එහි වගක් මට නොවීය. කොහොම එළියට ආවාදැයි මතකයක් මට නැත. කිරි සුදට දිලිහෙන මෝටර් රථයේ නැඟ ඇය යන්නට ගියාය. මුව ආවරණයෙන් මුහුණෙන් අඩක් වසාගෙන සිටිය ද ඒ ඇස් වල දිගහැරුම හඳුනාගන්නට මට අපහසු නොවීය.

    - Advertisement -

    “නැඟුණු රළ බිඳුණු හැටි….කමක් නෑ ඉතින් තවත් රැළි එනවානේ…” ඒ අනෝමා ය. එහි තවත් සොඳුරු බලාපොරොත්තුවක් ඇය තබා තිබුණාය. කිසි දිනක කලබල නොවන මට අනෝමා ඉදිරියේ සියුම් ලැජ්ජාවක් ඇති විය.

    අනෝමා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. කලාවත් සමඟ ඇලුම්ව කටයුතු ඇය මාගේ බිරිඳ වීමට පෙර සිටම ඇයට මා නොකියනා දෙයක් නැත. ඒ නිසාම ඇය මොනාලිසාගේ කාරණාව ද හොඳින් දැන සිටියා ය. පර්යේෂණ කටයුත්තක් සඳහා අනෝමා ප්‍රංශයට ගිය විටෙක මොනාලිසාගේ අනු රූ සිතුවමක් ගෙනැවිත් අපි දෙදෙනාගේ කාමරයේ මහා විශාල හිස් බිත්තිය මැද්දෑවට වන්නට එල්ලා තැබුවාය. මා කොතරම් මෙම සිතුවමට වසඟ වී සිටියත් මා වසඟ වී සිටින්නේ මෙහි සිටින මොනාලීසාට නොව ඒ තුළ මා දකින නාමලීට බව අනෝමා හොඳින් දැන සිටියාය.

    වෙනදාටත් වඩා මට මොනාලිසා ඉදිරියේ තනිවී බලා සිටීමට සිතුණෙමි.

    - Advertisement -

    “වේළුන ගොරකා පාට. හීන් ගොරකයා කියන්නේ ඒකනේ. මටනම් පෙන්නන්ට බෑ යසෝ සුනිලව. මොකට ඉස්කෝලෙ එනවද මන්දා…”

    පාසලේ දී දිනක් නාමලී යසෝ සමඟ දොඩනු මට ඇසිණ. නමුත් මම ඇයට කිසිත් නොකියුවෙමි. මේ ඇය නොවෙයි. කුඩා දරුවෙකුව ඉපදී ඇය පෝෂණය වන්නේ තමා වටා සැකසුණු රාමූන් තුළයි. ඒ සේකර පවුලේ පෝෂණයයි.

    දණ ඇන ඇවිදින කාලයේ සිටම මාව දන්නා නාමලී තරම් මාව පිළිකුල් කළ අයෙක් නැති තරම්ය. අහල ගම් හතේම ඇවිද ගොරකා එකතු කරන අප්පොච්චාට කවුරුත් කීවේ “ගොරකයා” කියායි. ඒ නිසාම මම කාටත් ගොරකයාගේ කොල්ලා විය. ගම් හතම පීරා ගොරකා එක්කාසු කරත් අප්පොච්චගෙ අතට ආවේ ගම් පුරා පතු ගාපු කකුල් කඩිත්තුවටවත් හිලව් නොවන මුදලකි.

    - Advertisement -

    නාමලීගේ තාත්තාට ගමේ උන් කීවේ “හාමු මහත්තයා” කියායි. මම ගමේ දකින්නට අකමැතිම කිසිම සිරියාවක් තෙතමනයක් නැති මිනිහෙක් වූවා නම් ඒ ඔහු පමණි. ගමේ පන්සලේ ප්‍රධාන දායකයා වූයේ ද මොන කටයුත්තක් කරන්නට ගියත් ගමේ මහතැන වූයේ ද ඔහු යි.

    “තොපි ඉගෙන ගන්නෙ අහසෙ තොරණ බඳින්ට ද?..”

    මම දොට්ට පිලට යන වෙලාවක නාමලීගේ තාත්තා මුණගැසුනත් ඔය කතාව ඔහු අසන්නේ මහා උද්දච්ච සරදම් ලීලාවෙනි.

    සංගීත විෂයට මා කොතරම් දක්ෂයෙකු වුවත් නාමලීට සංගීතයට එන්නට ඕන වූ නිසාවෙන් සංගීත ගුරුතුමිය මාව චිත්‍ර විෂයට මාරුකර යැවීය. එදා එහෙම නොවුණා නම් සංගීත ගුරුතුමියට පාසලෙහි වසන්නටත් මට යහතින් ගමේ වසන්නටත් නාමලීගේ තාත්තා ඉඩ නොදෙන්නට තිබුණි.

    නමුත් සිදු වූයේ යහපතකි. චිත්‍ර විෂයට පිට පළාතකින් පාසලට අලුතෙන් පැමිණි ගුරුතුමා දුෂ්කර සේවයට අපේ පාසල තෝරාගෙන තිබීම මට ඉලක්කයක් සදන්නට මුල්ම කාරණාව විය. ඔහුත් මා මෙන්ම ගොරකා පාට යැයි මට සිතී ඇත. ඔහුට අපේ ගමේ එකාලට වාගේ පන්තියක් කුලයක් තිබුණේ ම නැත.

    දහයේ පන්තියට එනතුරුම මොනාලිසා කෙනෙකු ගැන හාන්කවිසියක් නොදැන සිටි මට චිත්‍ර ගුරුතුමා විසින් ඉදිරිපත් කළ පත්තරේකින් කපාගත් මොනාලිසාගේ පින්තූරයත් ඒ පිළිබඳ විග්‍රහයත් තුළ මා දුටුවේ නාමලීව ය. ඩාවින්චි ලීසාගේ සිතුවම ඇඳීමට අවුරුදු හතරකට අධික කාලයක් ගත්තත් එය සම්පූර්ණ කරන්නට ඔහුට නොහැකි වී ඇත. නමුත් නාමලීව පින්තාරු කර ගත් සිතුවම මගේ සිත මැද්දෙ එල්ලී දැනට විසි අවුරුද්දකටත් එහාය.

    එයින් පසුව මම නාමලී වෙනුවට ඇයට “ලීසා” ලෙස කතා කරන්නට පුරුදු වූයෙමි. නාමලී එය දැන සිටියත් නොදන්නා සේ සිටීමට දක්ෂ වූවා යැයි මට සිතෙයි.

    නාමලීගේ ප්‍රතික්ෂේපිත බැල්ම තුළ ඇය මාව තව තවත් ඇය තුළටම යොමු කර ගත්තා විය යුතුය. “මම ඇයට ආදරය කළා ද?…” මම නොදනිමි.

    “මිනිස්සු වැඩියෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ තමන්ට කිට්ටු කර ගන්න බැරි දේවල් ලීසා…”

    මම ලීවේ එපමණකි. සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙදෙනාම ඉහළින් ම සමත් වුවත් විද්‍යා අංශයෙන් උසස් පෙළ කිරීමට නගරයේ පාසලට යාමට තරම් වත්කමක් මට නොවූ නිසාවෙන් මම වාණිජ අංශයෙන් උසස් පෙළ කිරීමට ගමේ පාසලේම නතර වූයෙමි. එදා ඒ වෙන්වීමෙන් පසුව නාමලී ව මේ තරම් සමීපයට දුටුවේ සභාවේ පුස්තකාලයේ දීය. ඒ වන විට මම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ විද්‍යාර්ථයෙකි. මම නාමලී ඉදිරියට ගොස් කතා කිරීමට නොසිතුවෙමි.වචන කිහිපයක් ලියූ කොළ කෑල්ල, මේසය මත තබා ගිය ඇයගේ පොතක් තුළ රඳවා මම පුස්තකාලයෙන් පිටතට ආවෙමි. ඉන්පසු කිසිදාක මම ලීසාව දැක්කේ නැත.

    අප්පොච්චාගෙ මරණයෙන් පසුව මම කොළඹටම මුල් බැස්සා කීවොත් නිවැරදිය.

    ගෙදර සීනුව දෙතුන් වතාවක් නාදවනු ඇසිණි.ටික වේලාවකින් පහළ මාලයෙන් ඇසුණු සුහද කතාබහ නිසාම පහළට බැස්සෙමි.

    “ලීසා..” මට නැවතත් කියැවිණි. මගේ ඇස් අදහා ගත නොහැකි රූපයක් මා ඉදිරියේ ඇඳී තිබිණි.

    “ඔව් ඔව්..ලීසා තමයි” අනෝමා විහිළුවෙන් මෙන් කීවත් මා හට පොළොව හාරා හැංගෙන්නට තරම් ලැජ්ජාවක් ඇති විය. නාමලීට මට දැනුණු ලැජ්ජාව යටපත් කරන්නට මෙන් සුහදව සිනාසී මා සමඟ කතාවට එක් වූවා ය. මෙතෙක් කාලයට ම ඇය මා ඉදිරියේ මට ම සුහද ව සිනාසුන පළමු අවස්ථාව එය විය.

    “සුනිල් දැන් බත්තරමුල්ල බ්‍රාන්ච් එකේ නේද ඉන්නව කිව්වේ”

    මම බැංකු කළමනාකාරවරයකු ලෙස සේවය කරන බව අනෝමා විසින් ඇයට කියා තිබුණා විය යුතු ය.

    ” තාත්තා දැන් කොහෙද ඉන්නේ නාමලී..ඔයා ළඟද? අයියා ළඟ ද? “

    ඇගේ මුහුණේ යම් අපහසුතාවයක් මට පෙනෙන්නට විය.

    “තාත්තා….තාත්තා දැන්…අයියා ළඟ ඉන්නේ. ඔව් අයියා එක්ක තමයි ඉන්නේ.” පිරුණු මුහුණ අඳුරු වී යමකින් පලායන්නට උත්සාහ කරනවාක් මෙන් කලබල වූයේ මන්දැයි මා නොදනිමි.

    “ඔයා කොහොමද නාමලීව දන්නෙ?”

    අනෝමාගෙන් එය දැනගන්නා තුරු මට ඉස්පාසු නැති විය.

    “මම දන්නවද ළමයෝ ඒ ඔයාගේ ලීසා කියලා…ඔයා ලීසා කියලා එළියට දිව්ව වෙලාවේ තමයි මම දැනගත්තේ ඔයා හොයන ලීසා මේ අපේ කුසුම් කියලා…මම දැනං හිටියෙත් නෑ කුසුම්ට නාමලී කියලා කෑල්ලක් නමේ මුලට එනවා කියලා..” ඇය කියාගෙන ගියාය.

    “ඔව් නේන්නම් ලීසාගේ නමට කුසුම් කියලා කෑල්ලකුත් එනවා තමයි.”මම කීවෙමි.

    “මම කුසුම්ට කෝල් කරා ඔයාගෙ අප්පච්චිගේ දානය වෙනුවෙන් අපිත් එක්ක වැඩිහිටි නිවාසයට යන්ට එන්ට කියන්න. ඒ වෙලාවේ මම ඔයා කවුද කියලා කිව්වා…” අනෝමා ජයග්‍රාහි ලෙස කියාගෙන ගියාය.

    “ඒත් කුසුම් වැඩිහිටි නිවාසෙ දානයට එන්න වෙන්නේ නෑ කිව්වා. කුසුම් කියනවා සරණ වැඩිහිටි නිවාසෙට දානය දෙන එක තේරුමක් නැති වැඩක් ය කියලා. වැඩිහිටි නිවාස බලාගන්න උදවිය අපි ගිහින් දෙන දේවල් විකුණ ගන්නවාය කියන්නේ…” ඇය හඬ බාල කර කියන්නට විය.

    “අපි දෙන දානය හරිම දානයක් වෙන්නේ එහෙ තාත්තලගෙ හිත් සැනසුනොත් විතරයි. අපි දෙයක් අරං යනවානං අරගෙන යන්නේ අපේ කැමැත්තෙන්. ඒ මිනිස්සු ඉල්ලලා නෙවෙයිනේ අනෝමා. ඇරත් කවුරුහරි එහෙම දෙයක් කරනවා නම් ඒ කරන දේවල ආනිසංස ඒ උදවියට ලැබෙයි..”

    අවුරුදු දහයක් තිස්සේ සරණ වැඩිහිටි නිවාසයට යන එන මම ඒ තුළ කිලුටක් නො දැක්කෙමි.

    පන්සලේ දානය දීමේ කටයුත්තට නාමලී ද පැමිණ බෙහෙවින් උදව් කළාය. ඇයට මම ලීසා ලෙස කතා කළෙමි.

    “සුනිල් මේ කතාව ඇත්ත. මටත් වුණේ ඒ දේමයි..” දානයේ කටයුතු අවසන් වීමෙන් පසු නාමලී එලෙස කියා ඇගේ අත් අත්බෑගයේ සීරුවට නැවූ කොළ කෑල්ලක් ගෙන මගේ අතේ තබා පිරුණු දෑසින් මා දෙස බලා යන්නට ගියාය. ඒත් ඒ ඇස්වල එදා සේම නොකියූ කතාවක වගක් තිබුණා විය යුතුය. මා හට එම කොළය කුමක්දැයි එකවර සිහියට ආවේ නැත. නැමුම් රේඛා ඉරෙන්න ට ආසන්නව තිබූ කොළයේ ඇඳි අකුරු බොද වී ඇති සෙයකි. දහස් වතාවකට වඩා මේ කොළය දිගහැර නවන්නට ඇත. කඳුළුවල පොඟවන්නට ඇත. මහා විරහා වේදනාවක් මට දැනිණ.. මගේ වේළුණු ගොරකා පාට අත් උඩ දිගහැරුණු එදා මම පුස්තකාලයේදී ඇයගේ පොතේ යට සැඟ වූ කතාව නැවතත් නවා මම කමිස සාක්කුවට දමා ගත්තෙමි.

    “මහත්තයා මේ අවුරුද්දේ අපිට අලුත් තාත්තෙක් එකතු වෙලා ඉන්නවා..” සරත් කනගාටු ස්වරූපයෙන් කියාගෙන යන්නට විය.

    “එහෙමද සරත්..?කොහේ කෙනෙක් ද?..”

    “දුව තමයි ගෙනත් බාර දීලා ගියෙ. දුව නම් කොළඹ කෙනෙක්. ඒත් ආයෙත් කවුරුත්ම ආවෙ නෑ මේ තාත්තව බලන්න. දුවයි පුතයි එයි කියලා හැමදාම මග බලාගෙන ඉන්නවා. අපියි කියලා මොනවා කරන්න ද සුනිල් මහත්තයා…” සරත් මහත්තයා මාත් සමඟ ඒ පිළිබඳ විස්තර කරමින් ඔහු ළඟට කැඳවාගෙන යන්නට විය.

    “සේකර හාමු මහත්තයා..” මට ඔහු දුටු සැණින් කියැවිණ.

    “මහත්තයා දන්නවද මේ තාත්තව..” සරත් පුදුමයෙන් මෙන් මගෙන් අසන්නට විය.

    මම කිසිත් නොකීවෙමි. ඔහුගේ අහංකාර තේජස්භාවය කෙතරම් ඔහු අසරණකර තියෙනවාදැයි මට සිතුණි.

    දැඩි කනස්සල්ලකින් සිත පිරුණි. කාමරයේ බිත්තිය පුරවා තිබූ මොනාලිසාගේ පින්තූරය මම ඔහේ බිමට බෑවෙමි. එය ගබඩා කාමරයේ නොපෙනෙන මුල්ලක තැබුවෙමි.

    “නාමලීටත් ඇති කතාවක්…අහලා බලන්න..”

    කිසිත් කතා නොකර සිටි නිසාම අනෝමා මට දුරකතනයෙන් කෙටි පණිවිඩයක් ඇඳේ එහා පැත්තේ සිට එවා තිබුණා ය.

    “කතාව මොකක් වුණත් ක්‍රියාව අනුමත කරන්න බෑ නේද? ” මම ඇයට පිළිතුරු ලෙස ප්‍රශ්නාර්ථයක් ලියා තැබුවෙමි.

     

    ශශී විජේරත්න

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.