24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ජීව බුබුළ පුපුරා අයි.පී.එල්. අතර මඟ නවතින ලකුණු

    - Advertisement -
    1 මැයි, 2021

     

    ‘ඉන්දියාවේ මහ මඟ මිනිසුන් මිය යමින් සිටින්නේ කොවිඩ් වසංගතය උත්සන්න වීමෙනි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නම් තවමත් සංවිධානය කෙරෙන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදක්වමිනි. අයි.පී.එල්. තරගාවලියේ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අදියරට කුමක් සිදුවේවි ද? මේ ඒ ගැනය.’

    - Advertisement -

    මෙතෙක් සිදු නොවූ අයුරෙන් කොවිඩ් වසංගතය දරුණු ලෙස ඉන්දියාව වෙළාගනිමින් ඇති හෙයින් ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගමාලාව ද සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙමින් පවතී. එසේ වුව ද කුමන මොහොතේ හෝ මෙම තරගාවලිය ද අත්හිටුවීමට සිදුවිය හැකැයි විශ්වාසය බවට පත්වෙමින් තිබේ.

    ඒ බව තහවුරු කරමින් මෙවර තරගාවලිය නියෝජනය කරමින් සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කොවිඩ් වයිරසය වැළඳීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වී තිබේ. මේ අතරින් දිල්ලි කැපිටල් පිල වෙනුවෙන් තරග වැදුණු ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් දැක්විය හැකිය. ඔහු වසංගත තත්ත්වය හමුවේ සටන් වැදී සිටින තම පවුලේ සහයෝගය පිණිස මෙම අසීරු අවස්ථාවේ තරගාවලියෙන් ඉවත්වන බව පවසා තිබිණි.

    “තත්ත්වය යහපත් වුවහොත් නැවත තරග වැදීමට මා සුදානම්.” ඔහු වැඩි දුරටත් එසේ පවසා තිබුණේය. ඔහුට අමතරව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ඕස්ට්‍රේලියාවේ ඇන්ඩෘ ටයි මෙන්ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ඇඩම් ශම්පා,කේන් රිචර්ඩ්සන් යන ක්‍රීඩකයින් ද තරගාවලියෙන් ඉවත්ව යන්නට තීරණය කර අවසන් ය. එහෙත් ඔවුන් කීවේ පෞද්ගලික හේතුන් මත මෙලෙස තරගාවලියෙන් ඉවත්වන බවය.මාස 10 ක් පමණ කාලයක් ජීව බුබුලක් යටතේ වරින් වර තරග වැදී වෙහෙසට පත්වීම මත එංගලන්ත ක්‍රීඩක, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ලියම් ලිවින්ස්ටන් ද දැනටමත් සියරට බලා ගොස් ඇත.

    - Advertisement -

    මේ අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියා වේග පන්දු යවන්නා වන පැට් කමින්ස් ඉන්දීය ධනවතුන්ට ආදර්ශයක් වන ආකාරයේ සද්ක්‍රියාවක නිරත වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඒ රට හැර යන ඉන්දීය කෝටිපතියන් හමුවේ ඔක්සිජන් නොමැති දුක් විඳින ඉන්දීය ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස්දහසක් පරිතාගයක් සිදු කරමිනි.

    චෙන්නායි ඉදිරියෙන්

    මේ වනවිට (අප්‍රේල් 26) චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසු වන්නේ තරග පහකට සහභාගි වී ඉන් හතරක් ජයගනිමිනි. ලකුණු වේගය මත ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටී. දෙවැනි ස්ථානයේ සිටින දිල්ලි කැපිටල්ස් පිල මෙන්ම තුන්වන ස්ථානයේ සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ද තරග පහකින් හතරක්ම ජයගෙන ඇත.

    - Advertisement -

    අවස්ථා කිහිපයකදීම මෙන්ම පසුගිය තරගමාලා දෙකෙහිම ශුරයින් බවට පත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තවමත් පසු වන්නේ සිව්වන ස්ථානයේ ය. මේ වනවිට ඔවුන් තරග පහකින් ජයගෙන ඇත්තේ දෙකක් පමණි. පරාජයන් තුනක් අත් කරගෙන තිබේ.

    ඔවුන් සහභාගි වූ තරග පහම පැවැත්වුණේ චෙන්නායිහි දී ය. පුහුණුකරු මහේල ජයවර්ධන සන්රයිස් හයිද්‍රාබාද් තරගයෙන් පසු සඳහන් කර තිබුණේ චෙන්නායිහි මන්දගාමී තණ තීරුවලට ගැලපෙන පරිදි තම පිතිකරුවන් හැඩගැසී ඇති නමුත් තවත් වැඩි දියුණු කරගත යුතු අංශ , (විශේෂයෙන් මැද පෙළ පිතිහරඹය) පවතින බවයි.

    මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම ජයගැනීමට සමත් වූයේ කිරාන් පොලාර්ඩ් අංක 05 ස්ථානයේ පන්දුවට පහරදීමට යොමු කිරීමෙනි. ඔහු පන්දු 22 කින් ලකුණු 35 ක් ලබා ගනිමින් සාර්ථක විය.

    “ ඔබ සැමදිනම එකම උදේ ආහාරය ගත යුතු නැහැ. අප සෑම දිනම එකම දේ කළහොත් ප්‍රතිවාදින්ට අපට එරෙහිව සැලසුම් සකස් කිරීම පහසු වෙනවා.මේ නිසා අවස්ථාව අනුව වගේම ප්‍රතිවාදීන්ට අනුව අප වෙනස් විය යුතුයි.” කොවිඩ් අභියෝගය මැද මහේල ජයවර්ධන පවසා තිබුණේ එලෙසිනි. එහෙත් තරගාවලියේ අනාගතය පවතින්නේ නම් අවිනිශ්චිත තත්ත්වයක බව පැවසිය යුතුමය.

     

    අනිල්විරසිංහ

    ——————–

    විශාලා මහා නුවරක අයි.පී.එල්. පිස්සුවක්

    ඉන්දීය මාධ්‍ය අතර විරෝධතාවක්

    ප්‍රමුඛ ඉන්දීය පුවත්පත් කීපයක් ඉරිදා ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආවරණය කිරීම අත්හිටුවා තිබේ. දිදුලන ක්‍රිකට් තරගාවලිය වාණිජකරණය ට ගොදුරු වී ඇතැයි පවසමින් හා වසංගත තත්ත්වය අභිමුව ක්‍රීඩාව යොදාගත යුතු ආකාරය සම්බන්ධයෙන් දක්වමින් ඔවුහු මෙලෙස තරගාවලි ආවරණය අවසන් කර ඇත.

    ‘එක්ස්ප්‍රස් පබ්ලිකේෂන්ස්’ සිය ප්‍රධාන ඉංග්‍රීසි දිනපතා පුවත්පත වන ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත්පතේ මුල් පිටුවේ කතුවැකියක් පළකරමින් කියා සිටියේ විස්සයි විස්ස ඉසව්ව පිළිබඳ වාර්තා කිරීම නවතා දමා ඇති බවයි.

    ‘මෝනිං ස්ටෑන්ඩර්ඩ්’ සහ ‘සන්ඩේ ස්ටෑන්ඩර්ඩ්’ යන ඉංග්‍රීසි භාෂා පුවත්පත් දෙකද ඔවුන්ගේ ස්ථාවරත්වයේ පසුවෙයි.

    ක්‍රිකට් උමතු ඉන්දියාව තුළ මේ මාසයේ ආසාදන හා මරණ විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. රෝගීන් දහස් ගණන් ඇඳන්, ඔක්සිජන් සහ ඖෂධ සඳහා පොර බදමින් සිටිති. ආදාහනාගාර සහ සොහොන් පිටිවල පමණක් නොව, මේ වනවිට දර සෑයවල් ගොඩ ගැසීමට හැකි සෑම තැනක ම දක්නට ඇත්තේ ගිනි තබා ඇති මෘත දේහයන්ය.

    ‘මෙතරම් ඛේදජනක කාලයක ඉන්දියාවේ ක්‍රිකට් උත්සවය පැවැත්වීම නොගැලපෙන දෙයක්.’ අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් විරෝධතාව දැක් වූ පුවත්පත් කණ්ඩායම පැවසීය.

    අදාළ මාධ්‍ය සමාගම කියා සිටියේ එකී විරෝධය ක්‍රිකට් තරගාවලියකට එරෙහිවීමක් සේ දැකිය නොහැකි බවයි.

    ‘අපි පෙර නොවූ විරූ අර්බුදයක් පසුකරමින් සිටින බව ක්‍රිකට් ක්‍රීඩාව ද පිළිගත යුතුයි.’ ඔවුහු පවසති.

    මෙලෙස විරෝධය දක්වන මාධ්‍ය කණ්ඩායමට දකුණු ඉන්දියාවේ නගර 30 ක ට වැඩි ගණනක් ආවරණය වන පරිදි පුවත්පත් ප්‍රකාශයට පත් කරන අතර එහි විශාල පාඨකයන් පිරිසක්ද සිටිති.

    කෙසේ නමුත් ඔවුන්ගේ එම තීරණයට පක්ෂ හා විපක්ෂ මත නැත්තේ නැත. ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඊට පක්ෂ වද්දී තවකකු පවසන්නේ ජනතා අවධානය වෙනතකට යොමුකිරීමට අයි.පී.එල්. යොදවා ගත හැකි බවයි.

    ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් පසුව ‘ක්‍රිස් ලින්’ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට සිය නිවෙස් බලා යාමට ගුවන් ගමන් සපයන ලෙස ඉල්ලා ඇති බව ‘නිව්ස් කෝප්’ අඟහරුවාදා වාර්තා කළේය. මේ වනවිටත් ලොව ධනවත්ම විස්සයි20 තරගාවලියෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුම ඉවත් වී ඇත.

    මේ අතර ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බවය. ‘අයි.පී.එල්. කියන්නේ නිල ක්‍රිකට් සංචාරයක් නොවෙයි. ඒක පෞද්ගලික සංචාරයක්.” අගමැතිවරයා පවසා තිබිණි.

    ‘බිය වෙන්න එපා. ජෛව බුබුළ තුළ ඔබ මුළුමනින්ම ආරක්ෂිත යි.’ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පවසා තිබේ.

    ‘සෑම ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් පස්දෙනෙකුටම දින දෙකකට වරක් පරීක්ෂා කරනු ලබන අතර කණ්ඩායම් හෝටල්වලට පිටත ආහාර සැපයීම ද තහනම් කර ඇත.

    ‘මෙම පියවරයන් පිළිබඳ ඔබ අප සමඟ අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි මට විශ්වාසයි.’ සංවිධායකයෝ පවසති.

    ‘මේ වතාවේ ඔබත් වඩා වැදගත් දෙයක් වෙනුවෙන් සෙල්ලම් කරනවා. ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන්.’ බොහෝ දෙනෙක් පවසා තිබේ.

     

     බන්ධුල ජයමාන්න

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.