24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    මිදුල අමදින යකඩ ඉදල නව නිපැයුම් සම්මාන දිනූ උෂාරි සහ අමාෂා

    - Advertisement -

    අප රට වෙනත් රටවල වෙළෙඳපොළක් බවට පසුගිය කාලවලදී පත් වී තිබූ අතර, සම්පත් තිබියදී පවා නිෂ්පාදන සිදු නොකර ආනයනය කරන්නා වූ දෙයින් යැපීමට මිනිසුන් හුරු වී සිටින්නට විය. ඊට හොඳම උදාහරණයක් ලෙස කොස්ස මෙන්ම ඉදල ද හැඳින්විය හැකි අතර, අප රට තුළ කොස්සක් මෙන්ම ඉදලක් නිෂ්පාදනය කිරීමට සියලුම අමුද්‍රව්‍ය පැවතිය ද චීනයෙන් ගෙන්වන ලද ප්ලාස්ටික් කොසු, ඉදල් මිල දී ගැනීමට මිනිසුන් පුරුදු විය. කොවිඩ් – 19 වසංගතයත් සමඟ නැවතත් අප රටේ මිනිසුන් දේශීය නිෂ්පාදනවලට අවධානය යොමු කිරීමට පටන් ගත් අතර, වෙනස්ම ආකාරයේ ප්‍රයෝජනවත් ඉදලක් සහ පරිසර හිතකාමී කුණු එකතු කරනා උපකරණයක් නිපදවීමට ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනා ඩබ්ලිව්. කේ. උෂාරි රංගනා හා ඊ. එම්. අමාෂා සාලින්ද එදිරිසංහ යන සිසුවියන් සමත් වී තිබේ. මේ සිසුවියන් දෙදෙනාගේ නව නිර්මාණයට සහතිකපත් මෙන්ම සම්මාන ද හිමි වී ඇත.

    යොවුන් ජනතා අතිරේකයේ මෙවැනි දස්කම් දක්වනා අයට වෙනම ඉඩක් වෙන් කෙරෙනා අතර, මෙවර තම මිතුරිය සමඟ එක්ව කළ නව නිර්මාණය පිළිබඳ උෂාරි රංගනා සිසුවිය විස්තර කර සිටියේ මෙසේය.

    - Advertisement -

    “මේ ඉදල සහ කුණු එකතු කරන උපකරණය මමයි මගේ මිතුරියයි එකතු වෙලා තමයි නිර්මාණය කළේ. ඇත්තටම අපි පාසලේදී එහෙමත් නැත්නම් නිවෙසේදී සිදු කරන ලද එදිනෙදා වැඩවලදී මතුවන ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම තමයි අප පාසලේ නව නිපැයුම් සංගමයේ ප්‍රධාන ඉලක්කය වුණේ. එතනදි තමයි මේ ඉදල කියන දේට මූලිකව විශේෂ වූ ගැටලු නැති උපකරණයක් නිර්මාණය කළේ.”

    “ඉදලක් කිවුවම ඒකෙ ඉරටු ටික කාලෙකින් කැඩෙනවා, නැත්තම් මිට කැඩෙනවා, අපිට සමහර විට මාසයක්වත් පාවිච්චි කරන්න බෑ. ඒ නිසාමයි අපි යකඩ මිටක් සහ කැමති අවස්ථාවලදී ලී මිටක් සවි කර ගැනීමට හැකි පරිදි මේ ඉදල නිර්මාණය කළේ. විශේෂත්වය තමයි මේකට බයිසිකල් රිම්වල අහක දාන ස්පෝක් කම්බි භාවිත කිරීම. මේ කම්බි යොදාගන්න හේතුව තමයි ඉක්මනින් ඉරටු මෙන් කැඩී නොගොස් වැඩි කාලයක් භාවිත කිරීමට ඇති හැකියාව. එතකොට කෙනෙක්ට මේ වගේ ඉදලක් අවුරුදු 5ක් වුණත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම වෙන ඉදල්වල ඉරටු කැඩුනම ආයෙත් එකක් අලුතෙන් ගන්න එක තමයි කරන්නේ. ඒත් මේක කම්බි කැඩුණොත් එහෙම ආයෙත් තමන්ටම කම්බි දාගන්න පුළුවන් විදිහට තමයි සවි කරල තියෙන්නේ. අනෙක් කරුණ තමයි මේ ඉදල සම්පූර්ණයෙන් ගලවා පෙට්ටියක අසුරා තබා ගැනීමට හැකි වීම. එමඟින් ඉදල අවුවට වේළෙමින් වැස්සට තෙමෙමින් එළියේ තැබීමට අවශ්‍ය වෙන්නේ නෑ.”

    “මේකෙම අනෙක් කොටස තමයි කුණු එකතු කරන උපකරණය. ඇත්තටම අපි මිදුලක් අතුගෑවම ගල් වැලිත් එක්ක තමයි කොළ රොඩු එකතු වීමක් වෙන්නේ. ඇතැම් අවස්ථාවලදී අපි මිදුලේ තිබෙනා ගල් වැලිත් එක්කම කොළ රොඩු වීසි කිරීමට පෙලඹෙනවා. එමඟින් කාලයක් ගතවීමේදී මිදුලේ ගල් වැලි ඉබේම ඉවත් වෙනවා. එය වැළැක්වීමට අප මේ නිර්මාණය කළ උපකරණයේ යටට විවිධ ප්‍රමාණයේ දැල් සවි කර ගැනීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් ලොකු ගල් තිබෙනා මිදුලක නම් ලොකු සිදුරු තිබෙනා දැල මේ කුණු එකතු කරන උපකරණයට සවි කිරීමෙන් කොළ රොඩු පමණක් ඉතිරි වී ගල් ටික දැලෙන් බිමට වැටීමක් සිදු වෙනවා. එසේම විවිධ ප්‍රමාණයේ දැල් කිහිපයක්ම මිදුලේ ගල් වැලි අනුව සවි කර ගැනීමට සකසා තිබෙනවා.”

    - Advertisement -

    “මේ නව නිපැයුමට අපට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සංගමය මඟින් පවත්වපු සවිස්කාර කියන තරගයෙන් තෙවැනි ස්ථානයත් වයි. බී. ටී. ඊ. ආර්. කොංග්‍රසයෙන් සම්මානයකුත් ලැබී තිබෙනවා. මෙවැනි නව නිපැයුමක් කිරීමට අප පාසලේ විදුහල්පතිනිය වන ගයානි වත්සලා ගුරු මෑණියොත් ගොඩක් සහයෝගය දැක්වූවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අප පාසලේ නව නිපැයුම් සංගමය භාර සහකාර විදුහල්පති තරංග දුනුආරච්චි ගුරුතුමාත් අප පසුපස හිඳිමින් හෙවණැල්ලක් මෙන් සහයෝගයක් දැක්වුවා. අපට වැරදුනු තැන් ගොඩයි ඇත්තටම. ඒ හැම වෙලාවකම අපිව ධෛර්යමත් කරන්න තරංග සර් අපිත් එක්කම හිටියා. ඒ වගේම අප පාසලේ නව නිපැයුම් සංගමයෙන් නව නිර්මාණ බිහිවීමට තරංග සර්ගේ කැපවීම ගොඩක් හේතුවෙනවා. තව අපේ අම්මල තාත්තලත් මේ නිර්මාණයට ගොඩක් උදව් කළා. තවත් මෙවැනි නව නිපැයුම් කිහිපයක් සිදු කරමින් ඉන්නවා. අපේ බලාපොරොත්තුව තවත් මෙවැනි නව නිර්මාණ සිදු කිරීමටයි.”

    චීනයෙන් ගෙනා ප්ලාස්ටික් ඉදලට සමු දීමට දැන් කාලය පැමිණ ඇත. එසේ නම් දේශීය දේ තව තවත් වැඩිදියුණු කරමින් අප රටේ නිර්මාණ සිදු කරන තරුණ තරුණියන්ට අවස්ථාවක් මෙන්ම සහයෝගයක් ලබා දීම බලධාරීන්ගේ යුතුකමය. මේ ඉදල මහාපරිමාණව නිෂ්පාදනය කිරීමට හැකිනම් ඉන් ලැබෙනා ප්‍රයෝජනය ද අත් මහත්ය.

    ගයාන් සංජය

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.