24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    කුරුලු ඇසින් ලොව බලන්න නාරංගල උඩට එන්න

    - Advertisement -

     

    බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි කඳු ශිඛර බොහෝය. මේ කඳු අතර නාරංගල කන්දට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එසේම විවිධ ජනකතා ද

    - Advertisement -

    බහුල නාරංගල කඳු වැටිය සංචාරකයන් ඇද-බැඳ තබා ගැනීමට සොබා දහම විසින් සිදු කර ඇති අපූරු නිර්මාණයක් බව කෙමෙන් එහි ළං වන විට මනාව දිස් වේ. එයට ප්‍රධානම සාධකය වන්නේ කඳු මුදුනට ගොඩ වන්නාට අවටින් පැතිරෙන මීදුම් වලා නිසා අහස උඩ සිට ඌව පළාතට සොබා දහමින් උරුම කර දී ඇති අලංකාර දසුන් දැක ගැනීමේ වාසනාව උදා වීමයි. නාරංගල කඳු පන්තිය ඓතිහාසික වශයෙන් පමණක් නොව සංස්කෘතික අතින් ද අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන තිබේ. ඇතැමකු මේ කන්ද නාරං ගෙඩියක හැඩයක් ගැනීම නිසා නාරංගල වූ බව පවසයි. අලුයම වැටී ඇති පින්න (ජල බින්දු) මතට වැටෙන හිරුඑළියත් සමඟ ඉදුණු ජමනාරං වර්ණයක් දිස් වීම මත නාරංගල වූ බවට ඇතැමකුගේ තවත් මතයකි. මෙයට ඉඳුරාම වෙනස් මතයක් පුරාවිද්‍යාපති කොටවෙහෙර කාශ්‍යප හිමියෝ දක්වති. එනම්: මහනුවර රාජධානියේ සිට සතුරු සේනා බදුල්ල ආක්‍රමණය කිරීමට පැමිණේ දැයි කියා නිරීක්ෂණය කිරීමට භාවිත කළ නැරඹුම් ගල මෙසේ පසුකාලීනව නාරංගල ලෙස හැඳින්වූ බව උන් වහන්සේ පෙන්වා දෙති. එයට හේතු ලෙස 1817දී හා 1818දී දියත් වූ අසාර්ථක නිදහස් සටනට සේනා සංවිධාන කළ ජායකගෙදර මොහොට්ටාල ඇතුළු ප්‍රදේශීය නායකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද නාරංගල කඳු ආශ්‍රිතව බවට ඉතිහාසයේ සඳහන්ව ඇතැයි උන් වහන්සේ පවසති.

    මුහුදු මට්ටමේ සිට අඩි 4,540ක් පමණ උසකින් යුත් නාරංගල කන්ද බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන උසම කඳුවැටියයි. මේ කඳුවැටිය බදුල්ල වියලුව මැතිවරණ කොට්ඨාසයට අයත් වේ. හාලිඇළ ගලඋඩ මාර්ගයේ කන්දේගෙදර හරහා කීනකැලේ ගම්මානයට ගොස්, එතැන් සිට තේ වතු යාය මැදින් වැටී ඇති පටු මාර්ගය ඔස්සේ පා ගමනින් යා යුතුය.

    බුදුන් වහන්සේගේ පළමුවන ලංකා ගමන ලෙස උන් වහන්සේ වැඩම කළේ මහියංගණයට බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. බුදුන් වහන්සේ නාරංගල කඳු මුදුනට වැඩම කළත් දුරුතු පොහොය දිනක් වන එදින අවට කුඹුරුවල ගොවියන් සී සාන බව දැක ශ්‍රී පතුල එහි නොතබා ආපසු වැඩම කොට ඇති බවට ජනප්‍රවාදයේ පවතී. පරසතුරු ආක්‍රමණයෙන් පරාජයට පත් වළගම්බා රජු කලක් බෝගොඩ විහාරස්ථානය ආශ්‍රිතව කාලය ගත කරන විට දෝව රාජමහා විහාරයටත් නාරංගල කඳු මුදුන දක්වාත් උමං මාර්ග තැනවූ බවට මතයක් පවතී.

    - Advertisement -

    මෙවන් කතා විශාල ප්‍රමාණයක් ඇති නාරංගල කඳු මුදුන දක්වා ඇති විවෘත භුමිය නිසා දහවලකදී කන්ද තරණය කිරීම වෙහෙසකාරිය. මානා පඳුරු හා කුඩා ලඳු කැලෑවෙන් පරිසරය වෙළා ගෙන තිබේ. එනිසාම ඇතැමකු වැලිමුවන් හා වල්ඌරන් වැනි සතුන් දඩයම් කිරීමට මේ කඳුයායට ගිනි තබන බව පැවසේ.

    මෙවන් පසුබිමක් පැවතිය ද අසීරුවෙන් කඳු මුදුනට ගොඩ වූ විට දකින්න ලැබෙන මනස්කාන්ත දසුන් නිසා ගමන් වෙහෙස පහව යයි. කඳු මුදුනට ගොඩ වූ විට නකල්ස්, යහන්ගල, නමුණුකුළ, පිදුරුතලාගල හා මොනරාගල දක්වා විශාල භූමි වපසරියක් ද දැක බලා ගත හැකිය.

    එසේම සංචාරකයන්ට හා පරිසර ගවේෂකයන්ට කඳවුරු ගැසීමට කදු මුදුන හොඳම තෝතැන්නකි. සඳ ඇති රාත්‍රියක කඳවුරක කාලය ගත කරන්නේ නම් ඉමිහිරි අත්දැකීම් ද විඳිය හැකිය. එයටත් වඩා නව දිනකට අත වනමින් හිරු උදා වෙද්දි පරිසරයේ මැවෙන අලංකාර දසුන් සංචාරකයකුට ජීවිතය පුරා මතකයේ රැඳෙනු ඇත. කඳු ගැටයට පහතින් ඇති භූමිය මීදුම් වලාවෙන් පැතිරී වැසී පැවතීම නිසාම අහසේ සිට අවට සිරි නරඹන බවක් දැනේ. මෙවන් අසිරිමත් වින්දනයක් විඳීමට හැකි එකම ස්ථානය නාරංගල ගිරි සිරස බව එහි එන ඔබට මනාව වැටහේ.

    - Advertisement -

    මේ නාරංගල කඳු ගැටය එක් අතකින් අවාසනාව ද උරුම කර ගෙන ඇති බවක් පෙනේ. එනම්: මෙය නිරන්තරයෙන් ගිනි තැබීමට ගොදුරු වේ. මෙවන් පරිසර විනාශයන් නිසාම අද වන විට මේ අලංකාර නාරංගල කන්ද නැඟීම සංචාරකයන්ට තහනම් කර තිබේ. එක් අයකු හෝ දෙදෙනකු මෙවන් අලංකාර පරිසරයකට ගිනි තබා හානි සිදු කිරීම පොළොව නුහුලන අපරාධයකි. එනිසා මේ අලංකාර නාරංගල කන්ද ආශ්‍රිත පරිසරය ආරක්ෂා කිරීමට සැම දෙන සිහියේ තබා ගැනීම වැදගත්ය.

    කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.