24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    කොරෝනා අභියෝගතා මැදවෘත්තීය අධ්‍යාපනය

    - Advertisement -

    වෘත්තීය පුහුණුවෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා යොමුවන්නන් හට ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුවක්  ලබා දීම, මුල්‍ය  ආයතන සම්බන්ධ කිරීම (ක්‍ෂුද්‍ර මූල්‍ය ණය) කළ යුතුය. ඉන් නොනැවතී ඔවුන්ට තම නිෂ්පාදන අලෙවිය සඳහා ඇගයීම් ලබා දීම සිදු කිරීම ඉතා වැදගත් වේ.

     

    - Advertisement -

    පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු දරුවන් යොමු වන්නේ වෘත්තීය අධ්‍යාපනය දෙසටය. වර්තමානයේ වෘත්තීය අධ්‍යාපනය සෑම දරුවකුටම වඩාත් පලදායී වන්නේ කොරෝනා වසංගතයත් සමඟ කාර්යාල මත පදනම් වුණු වෘත්තීන් අවලංගු වෙමින් පවතින හෙයිනි. ලෝකයේ සෑම රටකටම බලපා තිබෙන මෙම අර්බුදය හේතුවෙන් සමාගම් මූලික වුණු වෘත්තීන් මෙම බරපතළ අභියෝගයට මුහුණ දෙමින් සිටී.

    කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි වීම සහ නව රැකියා මාර්ගවලට යොමු වීමට ඇති ඉඩකඩ ද ඇහිරී යෑම හේතුවෙන් වෘත්තීය දැනුම උපයෝගි කර ගනිමින් ස්වයං රැකියා කෙරෙහි යොමු වීමේ වාසිය මෙහිදී දක්නට ලැබේ. එමෙන්ම රටේ නව ව්‍යවසායකයන් බිහි වේ.

    මේ නිසා කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා නිපුණතාවයෙන් හෙබි ශ්‍රම බළකායක් ස්ථාපිත කිරීම ඉතා වැදගත් කාරණයකි. මෙලෙස නිපුණතාවයෙන් හෙබි ශ්‍රම බළකායක් බිහිකර ගැනීමට අප රටක්, සමාජයක් ලෙස කළ යුත්තේ කුමක්දැයි සලකා බැලීම වටී.

    - Advertisement -

    අධන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙනීමෙන් පසු උසස් අධ්‍යාපනයට හිමිකම් නොලබන හා උසස් පෙළ සමත් නමුත් විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට අවස්ථා නොලබන තරුණ තරුණියන් සඳහා කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්‍රමයක් සකස් විය යුතුය. අත්දැකීම් හා පළපුරුද්ද තුළින් ඉහත තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවට යොමු වන්නේ කරුණු 4ක් මුල්කරගෙනය. ඒවා නම්.

    i.වෘත්තීය පුහුණුවෙන් පසු රැකියාවක් ලබා ගැනීමට.

    ii.වෘත්තීය පුහුණු කුසලතා වර්ධනය (NVQ) කර ගනිමින් වෘත්තීය පුහුණු ඩිප්ලෝමා, උපාධි ලබා ගනිමින් කළමනාකාර තත්ත්වයේ රැකියාවලට යොමු වීමට,

    - Advertisement -

    iii.විදේශීය ශ්‍රම වෙළෙඳපොලේ රැකියා සඳහා පිළිෙගත් වෘත්තීය පුහුණු සහතිකයක් ලබා ගැනීමට සහ

    iv. වෘත්තීය පුහුණුවෙන් පසු සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අරඹා ස්වයං රැකියාවක් සඳහා පිවිසීමේ බලාපොරොත්තුවෙනි.

    වෘත්තීය අධ්‍යාපන පුහුණු ආයතන දේශීය සහ විදේශීය ශ්‍රම වෙළෙඳපොළට සරිලන ලෙස, එනම් පුහුණු පාඨමාලාවල විෂය මාලාවන් ගුණාත්මකභාවයකින් හා ශ්‍රම වෙළෙඳපොලේ ඉල්ලුමට ගැලපෙන ලෙස සකස් විය යුතුය.

    එමෙන්ම ශ්‍රම වෙළෙඳපොලේ ඉල්ලුම් කරන වෘත්තීන් 200කට වැඩි ප්‍රමාණයක් ඇති මුත් අද වන විට පාඨමාලා සකස් වී ඇත්තේ වෘත්තීන් 100කට පමණි. මේ ගැන ද මේ විෂය සම්බන්ධ බලධාරීන්ගේ අවධානය යොමු වී යම් යම් පියවර ගත යුතුව ඇත.

    වෘත්තීය මාර්ගෝපදේශන

    වැඩසටහන්

    කාර්මික හා වෘත්තීය පුහුණුවට තරුණ තරුණියන් යොමු කර ගැනීමට නම් වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ස්ථාපන නිලධාරීන්ගේ සහයෝගය ලබා ගෙන පාසල් පද්ධතියේ විවිධ අවස්ථාවලදී හැරයන දරුවන් හඳුනාගෙන, වෘත්තීය උපදේශන හා මාර්ගෝපදේශන වැඩසටහන් මඟින් දැනුවත් කිරීමට කටයුතු කිරීම සිදු කළ යුතුය.

    විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට නොහැකි හා උසස් වෘත්තීය සහතිකයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වන තරුණ පිරිස් සඳහා කාර්මික අධ්‍යාපන උපාධි ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩි කළ යුතුය. එනම් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) තුළ ඉහළ මට්ටමට (LEVEL 7) දක්වා ඇති අවස්ථා වැඩි කිරීම.

    දැනට රත්මලාන පිහිටා ඇති වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පහසුකම් වැඩි දියුණු කර ඒ හා සමාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයන් කීපයක් ප්‍රධාන නගරවල ආරම්භ කිරීම සුදුසුය. උදාහරණයක් ලෙස පිලිපීනයේ මැනීලා නගරයේ ඇති තාක්ෂණ විශ්වවිද්‍යාලය වැනි ආයතන ආරම්භ කළ යුතු වේ.

    ගුණාත්මකභාවය සහතික කළ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දේශීය, රාජ්‍ය හා පෞද්ගලික කර්මාන්ත හා නිෂ්පාදන ආයතන තුළ විවිධ අංශවල ඇති ශිල්පීය පුරප්පාඩු හඳුනා ගෙන ඒ සඳහා වෘත්තීය පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම කළ යුතුය.

    එමෙන්ම නව කර්මාන්ත හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් සඳහා වෘත්තීය පුහුණු නව පාඨමාලා පුහුණු ආයතනවල සැලසුම් කර සංවිධානය කිරීම, ආයෝජන මණ්ඩල කලාපවල ඉල්ලුම්වලට ගැළපෙන ලෙස නිපුණතාවන් පුහුණු කිරීමේ පුහුණු මධ්‍යස්ථාන එම කලාප ආසන්නයේ ස්ථාපිත කිරීම යෝග්‍ය වේ.

    වෘත්තීය පුහුණුවට පැමිණෙන්නන් බලාපොරොත්තු වන්නේ නව තාක්ෂණයෙන් යුත් ආකර්ෂණීය පන්ති කාමරයන්ය. ඒ නිසා තරුණ පිරිස ආකර්ෂණය වන නවීන උපකරණ හා පහසුකම්වලින් යුත් ශ්‍රම වෙළෙඳපොළ අභිමුඛ පුහුණු වැඩසටහන්වලින් යුක්ත පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ද වැදගත්ය.

    පුහුණුවට පැමිණෙන අය සඳහා මුල්‍ය සහයෝගී ක්‍රමවේදයක් ඇති කිරීම (අවම වශයෙන් මධ්‍යස්ථානවලට පැමිණීම සඳහා පාපැදියක් වත් ලබා දීම), ශිල්පීය වෘත්තීන් සඳහා සමාජ ප්‍රතිමූර්තියක් ඇති කිරීම සහ ශිල්පීන් සඳහා අඩු වැටුප් හා වේතන ගෙවීම නිසා කාර්මික හා වෘත්තිය පුහුණුවට තරුණයන්ගේ ආකර්ෂණ ඍණාත්මක වේ. එම දෝෂය මගහරවමින් ඒ සඳහා පිළිගත් වැටුප් හා වේතන ගෙවීමට පියවර ගැනීම අද දවසේ කළ යුතුම කටයුත්තකි.

    ආයතනික පුහුණුව

    ශ්‍රම වෙළෙඳපොලේ සියලුම වෘත්තීන් සඳහා ආයතනික පුහුණුව දීම වැදගත් වේ. වෘත්තීය පුහුණුවන්නන්ගේ සේවාස්ථ පුහුණුවේදී (OJT) පුහුණු දීමනාවක් ගෙවීම, වෘත්තීය පුහුණු ආයතනවල පෙනුම සහ පහසුකම් ප්‍රශංසනීය ලෙස සකස් වීමෙන් තරුණ පිරිස් පුහුණු ක්ෂේත්‍රයට නැඹුරු වීමට, ආකර්ෂණය ඇති කිරීමට බලපායි. අඩු තරමින් එක් පළාතකට අංග සම්පූර්ණ නේවාසිකාගාරවලින් සමන්විත පුහුණු ආයතනයක් බිහි කළ යුතුය.

    එම ආයතනවල වෘත්තීය අධ්‍යාපන පුහුණුවට අමතරව, ශාරීරික අධ්‍යාපන පුහුණුව, සංස්කෘතික වැඩසටහන්, ව්‍යවසායකත්ව වැඩසටහන්, හරිත සංකල්පයන්, සන්නිවේදන නිපුණතාවයන්, තොරතුරු තාක්ෂණය වැනි විෂයන් ඇතුළත් ක්‍රියාකාරකම් ඉහළ නැංවිය යුතුය. චීනයේ ෂුවෑංග් හි ඇති කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු විද්‍යාලය මේ සඳහා පෙන්වා දිය හැකිය.

    කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක විය යුත්තේ සමාජ ඉල්ලුම පදනම් කර ගෙන නොව, දේශීය හා විදේශීය කර්මාන්තවල ඉල්ලුම පදනම් කර ගෙනය.

    ශ්‍රම ඉල්ලුම ඇති ක්ෂේත්‍රයන් කිහිපයකි. ඒවා නම්,

    i සංචාරක කර්මාන්තය

    ii කෘෂිකර්ම ක්ෂේත්‍රය (වැවිලි ක්ෂේත්‍රය)

    iii ඉදිකිරීම් ක්ෂේත්‍රය

    iv ධීවර ක්ෂේත්‍රය

    v විදේශීය ශ්‍රම වෙ‍ළඳපොලේ රැකියා අවස්ථා වේ.

    ඉහත අංශ පහේ ශ්‍රම වෙළෙඳපොළ හඳුනාගෙන, එයට ගැළපෙන ලෙස විෂය මාලාව සකස් කර න්‍යායික, ප්‍රායෝගික හා ආයතන පුහුණුව (OJT) ඇතුළත් කර පාඨමාලා සකස් කළ යුතුය.

    ඉහත i, ii, iii ක්ෂේත්‍ර තුනේ පුහුණුව ලබන තරුණ පිරිස්වලට, හොඳ පිළිගැනීමක්, රැකියාව පිළිබඳ අභිමානයක්, වටිනාකමින් යුත් පිළිගත් පුහුණුවීම් ක්‍රමවේදයක්, අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම, ජාතික වෘත්තීය සහතිකයක් (Li – L7) ලබා දිය යුතුය.

    එමඟින් තරුණ පිරිසගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කර ගත හැකිය. ඒ අනුව වැඩි තරුණ පිරිසකට ශ්‍රම වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා විවෘත කර ගත හැකි වේ.

    විදේශ ශ්‍රම වෙළෙඳපොලේ වෘත්තින්හි ශ්‍රම ඉල්ලුම හඳුනා ගැනීම වැදගත් වේ. එහිදී අප පළමුව තානාපති කාර්යාලවල සහාය ලබා ගැනීම, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධ වීම, විදේශ රැකියා ආයතනවලින් උපදෙස් ගැනීම කළ යුතුය. ඊට අමතරව විදේශීය පුහුණු ආයතන සමඟ සම්බන්ධතාවය, විදේශීය රටවල ඇති රාජ්‍ය සංවිධාන සමඟ සම්බන්ධ වීම තුළින් ශ්‍රම වෙළෙඳපොළ හඳුනා ගත හැකිය.

    ඉන්පසු විදේශ ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන ලෙස අප කටයුතු සංවිධානය කළ යුතුය. මෙහිදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

    • පුහුණු වැඩසටහන් සැලසුම් කර සංවිධානය කිරීම.

    • විෂය මාලාවන් නවිකරණය කිරීම.

    • විදේශ රටවල සිටින විශේෂ පුහුණුව ලත් අයගේ දැනුම ලබා ගැනීම

    මේ සඳහා උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය දැක්විය හැකිය. අද මෙහි පුහුණුව සාර්ථකව අවසන් කරන ශිල්පීන්ට ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැද පෙරදිග, සහ ජර්මනිය යන රටවල රැකියා අවස්ථාව ලැබේ.

    • හඳුනා ගත් රටවල භාෂාව ගැන පුහුණුවක් ද මෙම පුහුණුලාභීන්ට දිය යුතුය.

    • වෘත්තීය පුහුණුවෙන් පසු දෙන සහතිකය එම රටවල් පිළිගන්නා සහතිකයක් විය යුතුය. එවිට පුහුණුලාභීන්ට ඉතා පහසුවෙන් එම රටවල ශ්‍රම වෙළෙඳපොළට ඇතුළු විය හැකිය.

    • අද වන විට ඕස්ට්‍රියාව, ජපානය, කොරියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැදපෙරදිග රටවල වෘත්තීය පුහුණු ශිල්පීන් සඳහා රැකියා අවස්ථා බහුලව ඇත. එම රටවල ප්‍රධාන ආයතන හා අපගේ තානාපති කාර්යාල හරහා සම්බන්ධතාවය ගොඩනඟා ගෙන අප වෘත්තීය පුහුණු ආයතනයන් සමඟ එම ආයතන ඒකාබද්ධ කර ගැනීමට කටයුතු කිරීම.

    ව්‍යවසායකත්ව සංවර්ධන

    පුහුණුව

    වෘත්තීය පුහුණුවෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා යොමුවන්නන් හට ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණුවක් ලබා දීම, මුල්‍ය ආයතන සම්බන්ධ කිරීම (ක්‍ෂුද්‍ර මූල්‍ය ණය) කළ යුතුය. ඉන් නොනැවතී ඔවුන්ට තම නිෂ්පාදන අලෙවිය සඳහා ඇගයීම් ලබා දීම සිදු කිරීම ඉතා වැදගත් වේ. ඔවුන්ගේ නිර්මාණ සඳහා ප්‍රදර්ශන පළාත් මට්ටමෙන් පැවැත්වීම, ඔවුන්ට අවශ්‍ය පුහුණු ශිල්පීන් වෘත්තීය පුහුණු ආයතනවලින් යොමු කිරීම, මූල්‍ය අවස්ථාවන් හා නීතිමය ගැටලු අවස්ථාවලදී උදව් කිරීම සහ පසුවිපරම් කටයුතු කිරීම කළ යුතුම දෙයකි.

    සේවයේ නිරත වන්නන්ගේ වෘත්තීය පුහුණුව ද ඉහළ නැංවීම සඳහා අප කටයුතු කළ යුතුය.

    දැනට රැකියාවල නිරතවන්නන්ගෙන් සමහර අය සඳහා දුරස්ථ, ජංගම, හෝ මාර්ගගත (ON Line) මඟින් පුහුණුව ලබාදීමේ ක්‍රමවේද සකස් කිරීම, කාර්යාල වේලාවෙන් පසු වෘත්තීය පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, සති අන්තපාඨමාලා ආරම්භ කිරීම, කෙටි කාලීන පාඨමාලා ආරම්භ කිරීම වැනි දේ ඒ යටතේ කළ හැකිය.

    දැනට ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජාතික වෘත්තිය සහතිකයක් දීම ද සිදු කළ යුතුය. මෙමඟින් කාර්මික හා වෘත්තීය ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ ශිල්ප දැනුම හා කුසලතාවය වර්ධනය වන අතර, ඔවුන්ගෙන් ලැබෙන පාඨමාලා ගාස්තු වශයෙන් අය කර ගන්නා මුදල් ආයතනයේ නඩත්තු හා අමතර වේතන ගෙවීමට යොදා ගත හැකිය.

    කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු උපදේශයන් සඳහා කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුව සඳහා ගුණාත්මක ගුරු පිරිසක් නොමැතිවීම ගැටලුවකි. මේ සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශවල සහභාගිත්ව (PPP) සහ අන්තර්ජාතික සම්බන්ධතාවයක් ගොඩනඟමින් කාර්ය මණ්ඩලයේ ධාරිතාවය සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

    ආදේශක උපදේශකවරුන් හෝ පුහුණුකරුවන් ලෙස පෙර වර්ෂවලදී කුසලතා කාර්ය සාධනයන්වල ඉහළ ප්‍රගතියක් ලබා ගත් සිසුන්ගේ සේවාව ආයතන වෙත ලබා ගැනීමට ක්‍රම වේදයක් සකස් කිරීම, කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ආයතනවල සේවකයින් සඳහා අනිකුත් සේවාවන්වලට ගැලපෙන ලෙස උසස් වැටුප් ලබා දීමට කටයුතු කිරීම වැදගත්ය.

     

    ජයසිරි මුණසිංහ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.