24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    කොවිඩ් හමුවේ සමාජ වගකීම

    - Advertisement -

    චීනයේ වූහාන් නගරයෙන් පටන් ගත් කොරෝනා ⁣වයිරසය දැන් සමස්ත ලොව පුරාම පැතිර ගොස් ඇති බව කවුරුත් දන්නා දෙයකි. ලොව පුරා ජනයා දැඩි කම්පනයට පත් කරමින් එහි දෙවැනි රැල්ලත් පසු කොට දැන් තෙවැනි රැල්ල මහත් බියකරු අන්දමින් පැතිර යමින් පවතී.ලොව අන් රටවල් කෙසේ වෙතත් පළමු රැල්ල මැඩ පැවැත්වීමට අප රට ගත් ප්‍රයත්නය ඉතා සාර්ථක බව කිව හැකිය.

    දෙවැනි රැල්ල ද එතරම්ම බරපතළ ව්‍යසනයක් නොකොට පහව ගියේය. නමුත්, තෙවැනි රැල්ල ඒ සියල්ල අතික්‍රමණය කොට ඇත.

    - Advertisement -

    දෙවැනි රැල්ල යන්තම් පහව යෑමේ ලකුණු පහළ වීමත් සමඟ ජනයා යළිත් වතාවක් ගමන් බිමන් අරඹන්නේ සාමාන්‍ය පරීක්ෂාවන් හා සාමාන්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු ආරක්ෂා කර ගනිමිනි. පොදු ප්‍රවාහන ස්ථාන, කාර්යාල, කර්මාන්තශාලා රථගාල් ආදී ජනයා ගැවසෙන ස්ථානවල උෂ්ණත්වය මැනීමේ උපකරණ හා අත් පිරිසුදු කිරීම සදහා අවශ්‍ය පහසුකම් සලසා තිබුණි. තවද විටින් විට ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ජනයා දැනුම්වත් කරමින් තිබුණි. නමුත්, තෙවැනි කොවිඩ් රැල්ල කොතරම් දරැණුදැයි අපට ප්‍රත්‍යක්ෂ වූයේ අසල්වැසි රටට සිදු වෙමින් පවතින අතිශය දරුණු ඛේදවාචකය දිනෙන් දින ඉහළ යන බව මාධ්‍ය මඟින් දකින්නට අසන්නට ලැබෙන විටදීය.

    අතීත හෙළ උරුමයන් හා සිරිත් විරිත් පමණක් නොව වෙද හෙදකම් වෙතට ද ශ්‍රී ලාංකිකයෝ නැඹුරු වූයේ හෙළ පුරුදු උරුමයෙන් ලැබූවන් පරිද්දෙනි. අත් බෙහෙත් හා හෙළ වෙද හෙදකම්වලට ඇතැමුන් යොමු වූයේ ද එහෙයිනි. පැඟිරි කොළ දමා දුම් ඇල්ලීම, ඉඟුරු කොත්තමල්ලි පානය සහ හොඳින් ලුණු මිරිස් තුනපහ යෙදූ ආහාර අනුභවය ඉන් සමහරකි.

    නමුත්, බොහෝ විද්වතුන් හා පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට මෙවර කාය ශක්තිය ඉහළ යැයි සැලකෙන තරුණ පරපුරට එක සේම ‘කොවිඩ් මරුවා’ සමඟ සටන් කළ යුතුව ඇත.

    - Advertisement -

    එසේ හෙයින් ලොකු කුඩා, තරුණ, මහලු කොයි කාටත් තම තමන්ගේ ජීවිත සුරක්ෂිත භාවය උදෙසා කළ යුතු සමාජ වගකීම් කිහිපයක් පෙන්වා දෙනු කැමැත්තෙමි.

    සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නිර්දේශ අනුව ආණ්ඩුව ගන්නා තීරණ හා තීන්දුවලට හිස නැමිය යුතුය. ඒ සියල්ල සිදු කෙරෙන්නේ ඔබගේ ජීවිත සුරක්ෂිතතාවය උදෙසා බව තරයේ අවධාරණය කර ගත යුතුය. ඇතැමුන් ඒ කිසිවක් නොසිතා යම් යම් විවේචන ඉදිරිපත් කරති. දැන් කළ යුත්තේ එය නොව, සැවොම එක්ව මේ කොවිඩ් මාරයා පරාජය කළ යුතු මාර්ගයකට ප්‍රවිෂ්ට වීමය. මන්ද යත්, මෙය සාමූහික ක්‍රියාවලියක් බැවිනි. නොඑසේ නම්, පොලිසියට හෝ හමුදාවට හෝ මෙය කළ නොහැක්කකි. සමස්ත සමාජයක් පුරා පැතිර ඇති මාරාන්තික වයිරසයෙන් බේරීම තම තමන්ගේ වගකීමකි. ඊට මුහුණ දෙන්නේ ඔබමය. ඔබගේ ආරක්ෂාවත්, ඔබ සමීපතමයන්ගේ ආරක්ෂාවත් වෙනුවෙන් සිහි නුවණින් කටයුතු කළ යුතුය. ප්‍රථමයෙන්ම සංචරණ සීමා කළ යුතුය. සංචරණය යනු මාරයා ගැවසෙන ස්ථානයන්ය. හිතුමතේ අල්ලාප සල්ලාපයේ යෙදීම, එක්ව ආහාර ගැනීම හා එක්රැස්ව කටයුතු කිරීමෙන් වැළකිය යුතුය.

    අත්‍යවශ්‍ය දේකට හැර නිවසින් බැහැරට නොයා යුතුය. නිවෙසෙන් බැහැරව යා යුත්තේ ආහාර හා ඖෂධ සඳහා පමණි. එහෙත් , ඒවා ද ඉතා ප්‍රවේශම් කටයුතුව ළඟා කර ගත යුතුය. නිවසකින් එක් අයකු පමණක් බැහැරට ගොස් ඒවා රැගෙන ඒමට කටයුතු කරන්න. අත්‍යවශ්‍ය ගමන් බිමන්, කඩ සාප්පු, ඇඳුම් සාප්පු ඇතුළු විනෝද ගමන් යනාදිය නවතා දැමිය යුත්තකි. මෙය ඔබටත් සමාජයටත් වන හානිය අවම කිරීම උදෙසා තම තමන් ස්වයං වාරණයෙන් කටයුතු කළ යුතුම මොහොතකි. තවද දෑත් සේදීම හා මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපැදිය යුතුමය. වර්ෂ 1918 දී යුරෝපය පුරා පැතිර ගිය ස්පාඤ්ඤ උණ නැමැති වසංගතයේදි එකල ජනයා හිස් වැසුම් ද අත්වැසුම් ද මුඛ ආවරණ ද ශරීරය හොඳින් වැසෙන සේ දිගු ඇඳුම් ද භාවිත කළහ. කොවිඩ් රෝග ලක්ෂණ ඔබට පෙන්නුම් කෙරෙන්නේ නම්, වහාම අන් අයගෙන් දුරස්වන්න. වහාම අදාළ සෞඛ්‍ය උපදෙස් මත සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ වෙනත් ශරීර සංකූලතා අපහසුවක් දැනුණොත් වඩාත් සැලකිලිමත් වන්න. තැන් තැන්වල නොයා කල් ගත නොකොට වහාම අදාළ සෞඛ්‍ය කටයුතු කෙරෙහි යොමු වන්න. ඔබ නිවෙසේ රැඳී සිටිය ද ඔබට කිසියම් හෝ සැකයක් සංකාවක් පවතී නම්, අන් අයගෙන් දුරස්ව කටයුතු කරන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. සමස්ත සමාජයක් රටක් වෙනුවෙන් අද දවසේ ඔබ කළ යුතු කාර්යභාරය හා ඔබගේ වගකීම එයයි. ඔබ තනි තනිව කරන මේ වගකීම් සහගත කාර්යභාරය සමස්ත සමාජයක, රටක කොරෝනා වසංගතය පාලනයට හෝ පැතිර යෑමට හේතු වනවා ඇත. බොහෝ දෙනෙක් අද රට වසා දමන්න යැයි මත ඉදිරිපත් කරති. රට වසා දැමුවහොත් සිදු වන්නේ ජීවන මාර්ග වැසී යාම ය. මෙය සෘජුව බලපාන්නේ සාමාන්‍ය ජනයාට ය. එදා වේල සොයා ගනිමින් ජීවත් වන අයට මෙය තදින්ම බලපාන්නකි.

    - Advertisement -

    රට විවෘත කළොත්, ශීඝ්‍රයෙන් කොවිඩ් වසංගතය පැතිර යනු ඇත. මේ කාර්යයන් දෙකම අත්‍යවශය. නමුත්, කළ හැක්කක් ද නොවේ. එහෙත් අප සැමට එක්ව සැලසුම්කරණයකට අනුව විසඳුමකට යා හැකිය. එය තනි තනිවම තම තමන්ගේ යුතුකම් හා වගකීම කෙරෙහි වඩාත් සැලකිල්ලක් දක්වා ඒ අනුව කටයුතු කිරීමයි. එය අපට අප වෙනුවෙන් ඉටු කිරීමට අපහසු කටයුත්තක් නොවේ. මන්ද යත්, මේ කැප කිරීම් හමුවේ රැකෙන්නේ අප අපම වීමයි.

    ශ්‍යාමා සමරසිංහ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.