24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ගොවි ජනතාවගේ උකස් කළ ඉඩම්වල ණය ගෙවන්න සමුපකාරයෙන් වැඩපිළිවෙළක් රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ කියයි

    - Advertisement -

    පෞද්ගලික ගැනුම්කරුවන්ට සිය ගොවිබිම් උකස් කර නැවත එම කුඹුරු ඉඩම් බේරා ගැනීමට නොහැකිව සිටින ගොවීන් වෙනුවෙන් සමුපකාරය මඟින් එම උගස් ණය ගෙවීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට රජය සැලසුම් සකස් කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව හෙතෙම කීවේය.

    - Advertisement -

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂද්‍ර මූල්‍ය ණය ලබාගෙන දැනට ගෙවා ගැනීමට නොහැකිව සිටින ගොවීන්ගේ ගැටලු විසඳීම මූලික කරගනිමින් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹි බව රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

    උගස් කර ඇති, නමුත් බේරා ගැනීමට නොහැකි කුඹුරු ඉඩම් වෙනුවෙන් සමූපකාරය මැදිහත් වී උගස බේරා ඉඩම නිදහස් කර ගැනීමෙන් අනතුරුව ඉඩම් හිමියාට එම ඉඩම්වල වගා කිරීමට හැකියාව ලබා දෙන අතර, එම අස්වැන්න සමූපකාරය මඟින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ඉඩම් හිමියාට ඉතා අඩු ප්‍රතිශතයකට අනුව වාරික වශයෙන් අදාළ ඉඩමේ ණය ගෙවීමට හැකියාව දෙන බවත්, ගොවිබිමේ භුක්තියට ද කිසිඳු බාධාවක් සිදු නොවන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

    - Advertisement -

    මෙම තත්ත්වය මඟ හරවා ගනිමින් ඔවුන්ට බාධාවකින් තොරව ගොවිතැන් කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මෙහිදී තීරණය කළ බව පැවැසූ ඒ මහතා මෙහි නියමු ව්‍යාපෘතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට යෝජිත බව කීවේය.

    රෝෂාන් රණසිංහ මහතා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් 89,000කට අධික පිරිසක් ගොවිතැන් මඟින් ජීවිකාව ගෙන යනවා. එයින් 50%කට වඩා පිරිසක් ඔවුන්ගේ කුඹුරු ඉඩම් උකස් තබා තිබෙනවා. එහිදී අධික පොලියක් ගෙවීමට සිදු වී තිබෙනවා. ඉඩමේ භුක්තිය සම්බන්ධ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන නිසා විවිධ හේතුන් මත අස්වැන්නේ ප්‍රමාණය වෙනස් වීම මත ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වෙනවා. අවසානයේදී ඉඩමත්, ආදායමත් දෙකම අහිමි වී යනවා.

    - Advertisement -

    ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ නියමු වැඩසටහන සඳහා තෝරාගන්නා ගොවීන් ප්‍රමාණය හා ඔවුන්ගේ විස්තර ගැනීම වගේම, ක්‍රියාත්මක කිරීමත් කමිටුවක් හරහා සිදු කිරීමට අප යෝජනා කරනවා. ඒ අනුව එම කමිටුවේ වාර්තාව මැයි මස 15 වැනි දින ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

     

    නුවන් කොඩිකාර සහ

    පොළොන්නරුව දිසා සමූහ

    එම්. පී. සරත්

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.