24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    පරිපාලනය විධිමත් කිරීමට ඇමැතිගෙන් ඓතිහාසික තීන්දුවක්

    - Advertisement -
    Author(s): 
    ප්‍රින්ස් ගුණසේකර

    ක්‍රීඩා සංගම් 15කට පඩි ගෙවන ලේකම්වරු 15ක්

    අන්තර්ජාතික ජයග්‍රහණ ලබාගත හැකි ක්‍රීඩා සංගම් 15කට පරිපාලන ලේකම්වරුන් පත් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා තීරණය කරයි. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම පත්වීම් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා මේ වසරේදී පුවත්පත් දැන්වීම් පළ කර සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් තෝරා ගැනීමට පියවර ගැනෙනු ඇත.

    - Advertisement -

    ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ක්‍රීඩා සංගමය එක්ව සකසන පොදු ක්‍රමවේදයක් යටතේ මෙම පරිපාලන ලේකම්වරුන් පත් කරගැනීම ඒ ඒ ක්‍රීඩා සංගමයට පැවැරෙන අතර, එය පිළිගත් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත යුතු වේ. මෙලෙස පත්වීම් ලබන පරිපාලන ලේකම්වරුවරුන්ට මාසික වේතනය ක්‍රීඩා සංගමයට ලබාදිය නොහැකි හෙයින් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලෙන් මාසික වේතනය ලබාදීමට ක්‍රියාකරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ක්‍රිකට් හා පාපන්දු වැනි ක්‍රීඩා සංගම්වලට මුදල් ඇති හෙයින් ඔවුන් තම සංගමය මගින් වැටුප් ‌ගෙවන පරිපාලන ලේකම්වරයකුගේ සේවය ලබාගත යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය. එම ක්‍රීඩා සංගම් සඳහා දැනටමත් වැටුප් ගෙවන පරිපාලන ලේකම්වරුන් පත්කර ගැනීමට එම අන්තර්ජාතික සංගම් නිර්දේශ ලබාදී ඇති හෙයින් ඔවුන්ට මාසික වේතනයක් සමග පරිපාලන ලේකම්වරුන් පත්කර ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බව ක්‍රීඩා ඇමැතිවරයා පෙන්වා දුන්නේය‍.

    මෙලෙස පරිපාලන ලේකම්වරුන් පත්කිරීම මගින් සෑම ක්‍රීඩා සංගමයකම පරිපාලන කටයුතු විධිමත් කිරීම, ක්‍රීඩා ප්‍රවර්ධන කිරීම, ජාතික ඉහළ කාර්යසාධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, පුහුණුකරුවන්ට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජාතික හා අන්තර්ජාතික ක්‍රීඩා සඳහා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරිපාලන කටයුතු කිරීම හා අමාත්‍යාංශ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඉතාම ක්‍රමවත් ලෙස සිදු කිරීමේ හැකියාව ලැබේ.

    - Advertisement -

    “ඇතැම් විට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ක්‍රීඩා සංගම් වෙත යම් යම් නිර්දේශ ලබා දෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියා දන්නේ ඊළඟ කෝප් කමිටු රැස්වීමේදී. අපට ලැබෙන නිර්දේශ ක්‍රීඩා සංගම් වෙත ලබා දෙනවා. නමුත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපට කිසිදු බැඳීමක් ලැබෙන්නේ නෑ. මේ හැම සංගමයකටම පරිපාලන ලේකම්වරුන් පත් වුණාම මේ සියලු කාරණා සම්බන්ධීකරණය කරගන්න හැකි වෙනවා. ජාතික ක්‍රීඩා සභාව වෙහෙස වී ජාතික ඉහළ කාර්ය සාධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීමත් මේ පරිපාලන ලේකම් සතු වෙනවා. දැනට අප බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා සංගම් 15ක මේ තනතුර ඇති කරන්නයි. අප ඇඟිලි ගහන්නේ නෑ. විනිවිද පෙනෙන ක්‍රමවේදයක් අනුව ඔවුන් පරිපාලන ලේකම්වරුන් පත්කරගත යුතුයි. අපි වැටුප් ගෙවනවා පමණයි” ඇමැතිවරයා පැවැසීය.

    ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව ක්‍රීඩා පනත තුලින් විශාල වෙනසක් ඇති වනු ඇතැයි ද ඇමැතිවරයා විශ්වාශය පළ කළේය. එය ඒක් ඒක් ක්‍රීඩා සංගමයට අදාළ වන පරිදි නොව සියලුම ක්‍රීඩා සංගම්වල පරිපාලනය ශක්තිමත් කරන ව්‍යුහයක් වනු ඇතැයි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. එබැවින් දැනට ක්‍රියාත්මක නිලවරණ ඒ ආකාරයෙන් පවත්වා රටේ නීතියට හා අන්තර්ජාතික සංගමයේ නීතියට අනුව යම් යම් සංශෝධන ඉදිරියේදී කරගත යුතු බවද ඇමැතිවරයා කීය. කොරෝනා අභියෝග ජය ගෙන මේ වසරේ නව ක්‍රීඩා සංස්කෘතියක් තුළින් රටේ ජාතික ආර්ථිකය නංවාලීමට ක්‍රීඩා අමාත්‍යාංශය අරමුණු කොට ඉලක්කගත වැඩපිළිවෙලකට පිවිස ඇති හෙයින් නව වැඩසටහන් වේගවත්ව ක්‍රියාවට නැංවීම අපේක්ෂාව වේ.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.