24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    සොඳුරු සිරි පානා පානාවළ ඇල්ල

    - Advertisement -
    පළාත – ඌව
    දිස්ත්‍රික්කය – මොනරාගල
    ප්‍රා.ලේ. කොට්ඨාසය -බිබිල
     

    ත්‍රාසය, භීතිය, කුතූහලය කැටි කර ගත් අපූරු ඇල්ලක් ගැන තොරතුරු දැනගන්න ලැබුණේ දින කිහිපයකට කලින්. මේ දිනවල පවතින කොවිඩ් අවදානමත් එක්ක ඇවිදින්න යන එක තරමක් අවදානම් කියලා හිතුණත් සුන්දරත්වය විඳින්න යන්න තියෙන ඇල්ලක් නිසා කොවිඩ් අවදානමෙන් රට මිදුණාම ඇවිදන්න යන අයට පහසුව සඳහා මේ ගැන ලියන්න හිතුණා.

    ජීවිතේ විඳින්න නම් ගෙදරින් එළියට යන්න ඕනෑමයි. එහෙම කියන්නේ සුන්දරත්වය දකින්න නම් ඇවිදින්න ඕනෑම නිසයි. ඒකට ඌව පළාතේ යන්න නම් තැන් එමටයි. කැලේක ඇවිදින්න ගියත්, කන්දක නැග්ගත්, ඇල්ලක් බලන්න ගියත්, දියවළකට පැන්නත්, ගඟක නාන්න ගියත් ඒ වින්දනය නම් කවදාවත් අමතක කරන්න බැහැ. එය ඒතරම්ම සුන්දරයි.

    - Advertisement -

    ඌව පළාත කියන්නේ සුන්දර ස්ථානවලින් පිරුණු ප්‍රදේශයක්. සති, මාස ගානක් නොවෙයි අවුරුදු ගානක් ගියත් මෙහි තිබෙන සුන්දර ස්ථාන බලලා නිම කරන්න බැරි තරම්. අපි අද කියන්නෙත් ඒ වගේ බොහොම සුන්දර ඇල්ලක් ගැනයි. මේ දිය ඇල්ල පිහිටා තිබෙන්නේත් හරිම අපූරු තැනක.

    ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ, බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තමයි මේ ඇල්ල පිහිටා තිබෙන්නේ. පහසුවෙන්ම මේ සුන්දර ඇල්ල නැරඹීමට යෑමට නම් මොනරාගල-බිබිල මාර්ගයේ, බිබිල නගරයේ ඉඳලා බදුල්ල පාරේ කිලෝමීටර් හයක් පමණ එන්න ඕනෑ. ඊට පස්සේ උණගොල්ල පන්සල හා ටැංගොඩ පන්සල අතර තිබෙන කොළොන්ගොල්ල කියන ගමට එන්න ඕනෑ.

    මේ ගමන යන්න මාත් එක්ක මධුර ගලගොඩ වගේම මැදගම රම්‍යා නංගිත් එකතු වුණා. මේ ඇල්ලට සේරුගොඩ ඇල්ල කියලා නම දාලා තිබුණට කවුරුත් දන්නේ පානාවළ ඇල්ල කියලයි. ඒ නම තමයි ප්‍රසිද්ධ වී තිබෙන්නේ. පානාවළ ඇල්ල කියන නම හැදුණ හැටිත් දැනගෙනම ගියා නම් හොඳයි නේද?

    - Advertisement -

    මේ ඇල්ලේ මැද විශාල වළක් තියෙනවා. ඒක විශාල පහනක් වගේ. අන්න ඒ නිසා තමයි මේ ඇල්ලට පානාවළ ඇල්ල කියලා කියන්නේ.

    අඩි තිහක්-තිස්පහක් විතර උඩක ඉඳන් පහළට ඇදහැලෙන ඇල්ල වගේම තවත් පසෙකින් දිය පාරක් ලෙසින් මේ ඇල්ල පහළට ඇදහැලෙනවා. ඒකෙන් මේ ඇල්ලේ අපූරු සුන්දරත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.

    ඇල්ල පහළට වැටෙන ගල් රැන්දේ තවත් නිධන් ලකුණු කිහිපයක්ම තියෙනවා කියලා අපිත් එකක් ගියපු කරුණාරන්ත මාමා කිව්වා.

    - Advertisement -

    ඒ කියන්නේ අපි කලින් කියපු පහන විතරක් නෙවෙයි උදැල්ලක්, ඇතෙක්ගේ රූපයක් වගේ විවිධ සලකුණු මේ ඇල්ල ආශ්‍රිතව දකින්න තියෙනවා. නිධන් කියලා මේවා ගන්න ආපු ගොඩාක් දෙනාට සිද්ධ වුණ විවිධ කරදර ගැන කතා ගොඩාක් ගමේ අය දන්නවා. එකක් විතරක් කියන්නම්. අගෝස්තුව කියන්නේ හොඳට පායන කාලයක් නේ. ඉතිං ඇල්ලේ වතුරත් අඩු නිසා මේ පහනේ මැණික් තියෙනවා කියලා කිව්ව කතාවකට පිරිසක් ඇවිල්ලා දවස් දෙක තුනක් තිස්සේ වතුර මෝටර් දාගෙන වතුර හිස් කර-කර ඉඳලා තියෙනවා. කොහොම හරි පන්සලේ හාමුදුරුවන්ට මේ ගැන ආරංචි වෙලා වැලි ටිකක් මතුරලා ඇල්ල පැත්තට විසි කරලා. මේ දේ කළාට පස්සේ අර පිරිසට යන්න ලැබිලා නෑ මහා ධාරානිපාත වැස්සක් කඩා පාත් වෙලා අර සේරම ගහගෙන ගිහින් තියෙනවා. මේ නිසා ගමේ අය නම් කියන්නේ මේ ඇල්ල ආශ්‍රිතව තියෙන වස්තුව රැක ගන්න භුත බලවේග ඉන්නවා කියලයි. ඒ විතරක් නෙවෙයි. කාලෙන් කාලෙට මේ පහන වගේ තියෙන වළෙන් මතු වෙන රන් තෝඩු දාගත්ත ආඳෙක් ඉන්නවා කියලත් දැකපු අය කියනවා. ඒ වගේම මේ දිය ඇල්ල කවදාවත් නොසිඳෙන ඇල්ලක් හැටියටත් ගම්මුන් අතර ප්‍රසිද්ධයි.

    අප මේ තොරතුරු කියන්නේ පාමුල ඉඳගෙන. ඇල්ල උඩට යන්න නම් දැඩි පරිශ්‍රමයක් දරන්න ඕනෑ. ගල් රැන්දක් දිගේ නැඟලා තමයි උඩට යන්න ඕනේ. අපිත් එකක් ගමනට එකතු වුණ කරුණාරත්න මාමා කල්වේලා ඇතිව තිත්ත වැලක් කපා ගෙන ඇවිල්ලා තිබුණා. මේවයේ හොඳට නැඟලා පුරුදු නිසා කලින්ම නැඟලා පහළට වැල දැම්මට පස්සේ තමයි අපි කට්ටිය නැග්ගේ…

    ඇල්ලේ සුන්දරත්වය බලන්න නම් උඩට නඟින්නම ඕනෑ. පහළ ඉඳගෙන අපි මොනවද දැකපු ලස්සන කියලා හිතුණේ ඇල්ල උඩට ගියාමයි. හුදෙකලා වුණ පරිසරයක තියෙන නිසා මේ ඇල්ල ආශ්‍රිතව තියෙන්නේ තරමක ගුප්ත බවක්. ඇයි අර භුතයෝ ඉන්නවා කියලත් කිවුවානේ. ඉතිං ඒක නිසා සමහර විට මේ ඇල්ල බලන්න එන පිරිස තරමක් අඩු වෙලත් ඇති. කොහොම වුණත් ඇල්ලේ තියෙන සුන්දරත්වය ගැන කියන්න නම් වචන නැහැ. හැබෑවටම ලස්සනයි. අවට තියෙන පරිසරයත් ඒ වගේමයි.

    ඒත් කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ කාරණාවකුත් තිබෙනවා. මේ ඇල්ල ආශ්‍රිතව නටබුන් රැසක්ම තියෙනවා. රජ කෙනකු මේ ආශ්‍රිතව මාලිගාවක් හදාගෙන හිටියා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා කියලා අපට කිවුවේ කරුණාරත්න මාමා. ඒ කිවුව නටබුන් බලන්න ගියාම දැක්කේ මහා විනාශයක් සිදු කර ඇති ආකාරයයි. මේවා ඇතුළේ වස්තුව ඇති කියලා කට්ටිය මේවා හාරලා විනාශ කරලා. ඇල්ල ආසන්නයේ තමයි වාඩි ගහගෙන ඉඳලා තියෙන්නේ. මාමා කිවුවෙ තරමක වේදනාවකින්.

    කරුණාරත්න කියන්නෙ අපිත් එකක් ඇල්ලට යන පාර පෙන්වන්න ගියපු තවත් මිත්‍රයෙක්. එයා ඇල්ල ගැන දන්න කතා වෙනස්ම ඒවා. නිතර නිතර මේ ඇල්ල බලන්න යන-එන පිරිස් මත්පැන් පානය කරලා කරන නොහොබිනා වැඩ නිසා ජීවිත විනාශ වුණ කතා ගැන එයා දන්නවා. මත්පැන් පානය කරලා ඇල්ලේ උඩ ඉඳලා වළට පැනපු ගොඩාක් අය ජීවිතෙන් සමු ගත්තා කියලා කිවුවේ දුකෙන්. මේ ඇල්ලේ පාමුල තියෙන වළේ ගල් ලෑල්ලක් තියෙනවා කියලා තමයි කියන්නේ. වළේ ගැඹුර කොච්චරක් ද කියලා දන්නේ නැති නිසා වළට පැන්නම විහින් අනතුරේ වැටෙනවා කියලා තමයි එයා කියන්නේ. එහෙම ජීවිතය නැති කර ගත්ත තරුණයන් තුන් හතර දෙනෙක්ම ඉන්නවා කියලයි ඔහු අපට කිව්වේ. ඒ අයගේ සිරුරු හොයාගන්නත් සමහර වෙලාවට දවස් තුන හතර ගියා කියලාත් කිව්වා.

    ඇල්ලක් බලන්න ආවම සමහරු වීරයෝ වෙන්න හදනවා. තරුණකම පෙන්නන්න හදනවා. මත්පැන් බීලා විහින් අනතුරේ වැටෙනවා. ඒ නිසා මේ ඇල්ල බලන්න යනවා නම් මත්පැන් පානය කරලා ඇල්ලේ නඟින්න එපා. එහෙම වුණොත් අනතුරක් අත ළඟම බව කිව යුතුමයි. ඒ වගේම සමහරු ඇවිල්ලා ඇල්ල බලලා මත්පැන් පානය කරලා ඒ බෝතල් ඇල්ල පහළට විසි කරනවා. පහළට ගහගෙන එන ඒ වීදුරු කටුවලට කකුල් කැපුණ අය ගොඩක් ඉන්නවා. ඒ වගේම උඩ ඉඳගෙන කාලා බීලා විසි කරලු ප්ලාස්ටික් බෝතල්, බිස්කට් කවර, ෂොපින් මලු ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇල්ල පාමුල තියෙනවා.

    ඉතිං පිටින් එන සමහර පිරිස් කරන මේ වගේ වැඩ නිසා ඇල්ලේ තියෙන සුන්දරත්වයට හානි සිදු වෙනවා. මේ කාරණාව නම් කියන්නම ඕනෑ. ඇල්ල අයිනට යන එක නම් අනතුරුදායකයි. ඒ වගේම ඇල්ල පැත්තකින් තරමක පහළට බහින්න පුළුවන් වුණත් ඒ අවදානම් ගමන් හොඳ නැති බව කියන්න ඕනෑ. යන්තම් හරි පය ලිස්සුවොත් මීටර් තිහක්-හතළිහක් යටින් තියෙන ගල් ගොඩකට තමයි වැටෙන්නේ. බේරගන්න නම් කෙනකුට හදිස්සියකවත් පහළට යන්න විදිහක් නෑ. ඒ නිසා ඇල්ලේ සුන්දරත්වය විඳින්න ඔබ යන ගමනේ ඒ වගේ අවදානම් ක්‍රියා නොකරනවා නම් ඒ ගමන තවත් විනෝදජනක වගේම සුන්දර මතකයන් සහිත සිහිවටනයන් සහිත ගමනක් වේවි.

    ඔබටත් ඉඩ ඇති වෙලාවක මේ ඇල්ලේ සුන්දරත්වය විඳින්න යන්න. ඒත් පරිසරයට හානියක් කරන්න එපා. ඔබ ආපසු එන විට සුන්දර මතකයන් විතරක් රැගෙන එන්නත් අමතක කරන්න එපා.

     

    ජී.අයි.ආර්.‍ ගරුසිංහ

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.