24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මම මැරෙන්නෙත් දුෂ්ටයෙක් විදිහට

    - Advertisement -
    -රෙක්ස් කොඩිප්පිලි-
    මැයි 6, 2021

     

    විජයගේ වෙඩිල්ල එහාට මෙහාට වුණා නම් මම දැන් “මරුවා සමඟ වාසේ”

    - Advertisement -

     

    විසේ තියෙනවා නම් ඇක්ෂන් කියන්නේ

    කජු කනවා වගේ වැඩක් තවමත් හරිහමන් කදිරෙක් නැහැ

    - Advertisement -

     

    ප්‍රේක්ෂකයෝ මාව හඳුන්වන්නේ ඩීසන්ට් දුෂ්ටයෙක් විදිහට

     

    - Advertisement -

    දුෂ්ටයාට ආදරය කරපු දුෂ්ට ගෑණු ළමයි ඒ කාලේ හිටියා

     

    සැරම පාරවල් වැදුණේ ගාමිණීගෙන්

     

     

    ලියුම්කරු වන මා මෙවර “යුග යුග බැඳී තරු” තුළින් ඔබ හමුවට ගෙන එන ජ්‍යේෂ්ඨ කලාකරුවාට සම්මුඛ වන්නේද තැති ගැන්මකින් බව ආරම්භයේදීම පැවසිය යුතුය. මන්දයත් අනූව දශකයේ මැදභාගයේ උපන් මා පුංචි සන්දියේ සිට බැලූ බැලූ හැම චිත්‍රපටයකම පාහේ දුෂ්ටයා වූයේ ඔහුය. තියුණු දෙනෙත්ද විසල් නාසයට යටින් ඇති ඝණ උඩු රැවුලෙන් යුතු ඔහුගේ රුවද බේස් එක වැඩි කටහඬද ඇහෙන වාරයක් පාසා හිතට එන්නේ භීතිය මුසු හැඟීමකි. එයටද සරිලන වැඩි බරකින් වර නැඟෙන ඔහුගේ නම වැඩිහිටියන් කියන වාරයක් පාසා මගේ ඊගෝවේ ඇඳීි ඇත්තේ භීතිය, ත්‍රාසය මුසු හැඟීමකි.

    සිනමාවේ ස්වර්ණමය යුගයට හිමිකම් කියූ හැත්තෑව අසූව දශකවල බයිස්කෝප් බලන්නට පොරකන කොල්ලන්ගේ අවධානයට ලක්වුණු අංග දෙකක් ඇත. ඒ සටන් ජනවනිකා ගාණන සහ සිංදු ගණනයි. එකල බයිස්කෝප් පිස්සන්ට අනුව “ෆයිට්” පහක්වත් නැතිනම් ඒ චිත්‍රපටය කමකට නැති එකකි. එකී සටන් ජවනිකාවලත් රෙක්ස්, ඇලෙක්ස් හෝ රොබින් නැතිනම් ඔවුන්ට චිත්‍රපටය බෝරින්ග්ය. එකල ඉස්කෝලේ තාප්පෙන් පැන හොරෙන් චිත්‍රපටි බලන්නට ගිය කොලු ගැටයෝ චිත්‍රපටය නරඹා නැවත ඉස්කෝලෙට පැමිණ පිට්ටනියේ “උඹ රෙක්ස් මම ඇලෙක්ස්” යැයි කියා ගනිමින් හොඳ හැටි ගුට බැට දීගෙන ඇති වග කිව්වේ රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේය. චලන චිත්‍රයේ නිරතුරුවම අප දකින බොහෝ වීරයෝ, වීරයෝ බවට පත් වූයේ ඔහු දුෂ්ටයා වුණු නිසාවෙනි. වීරයාගේ සද්ගුණවත් චරිතයෙන් ප්‍රේක්ෂකයාව නතුකර ගත හැකිවූයේ ඔහුගේ දුර්ජන ගති ස්වභාවයන් ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කළ නිසාවෙනි. සටන් ජවනිකාවලදී වීරයාට පක්ෂව ප්‍රේක්ෂකයා ගැලරියේ විසිල් ගැහුවේ ඔහු වීරයාගෙන් පහර කනවිටය. රෙක්ස් කොඩිප්පිලි යන නාමය නොදන්නේ කවරෙක්ද? එදා මෙදතුර සිංහල සිනමාවේ දශක පහකට අධික කාලයක් දුෂ්ටයා ලෙස රඟපෑ එකම නළුවා ලෙස මා ඔහු හැඳීන්වීමට කැමැත්තෙමි. අප ඔහු සොයා ගියේ දශක පහකට අධික ඒ රසගිය මතක මුලසිට හාරවුස්සන්නට සිතැතිවය. අපව සුහදව පිළිගත් ඔහු අපට ආසන පනවා සුවපහසු ලෙස හිඳ තැනින් තැන සුදු වුණු ඝණ උඩු රැවුල පිරිමදිමින් මා දෙස බැලූයේ ප්‍රශ්න විමසන්නට සන් කරනා විලාශයෙනි. මේ පිළිසඳරට මුලපුරන්නට හොඳම තැන ඔහුගේ ආරම්භයයි. එහෙයින් හාහා පුරා කියා ඔහුගේ කුඩා කල වතගොත අප විමසුවෙමු.

    “මගේ ගම බදුල්ල. මගේ තාත්තා මිනින්දෝරුවෙක්. අපේ පවුලේ පිරිමි තුන්දෙනයි. මම බාලයා. මට අවුරුදු එකහමාරෙදී තාත්තා නැති වෙලා තියෙනවා. ඒ නිසා තාත්තා ගැන මට මතකයක් නැහැ. අම්මා තාත්තා නැතුව කොල්ලො තුන් දෙනෙක් හැදුවා. මගේ පාසල බදුල්ල ශාන්ත බීඩ්ස් විද්‍යාලයට සහ බදුල්ල සිද්ධාර්ථ විද්‍යාලයට. ඉස්කෝලේදී මම ක්‍රීඩා කළා. ඊටත් වඩා මම දක්ෂ ගායනයට. මම ඉස්කෝලේ යද්දි ඌව ජාතික කලා මණ්ඩලයේ හොඳම ගායකයා වුණා. එතකොට හිටපු ඇමති බණ්ඩාරනායක මහත්තයාගෙන් මට තිළිණයක් ලැබුණා.”

     

    රෙක්ස් කොඩිප්පිලි රඟපාන්න කලින් මොකද කළේ?

    බොහොම සතුටින් ඔළුව දෙපසට වනමින් ඔහු කරගෙන යන අතීතාවර්ජනයට මගෙන් බාධාවකි. ඔහු සිනහවක් පාමින් නැවත කතාව ඇරඹුවේ වෙනත් තැනකින්ය.

    “ඉස්කෝලෙන් පස්සේ අපෙන් කවුරුත් ඇහුවේ මොකද කරන්නේ? මොන රස්සාවද කරන්නේ? කියලා ඒ නිසා අපි අපිට ඕනේ දේවල් කළා. රෝහණ ග්‍රැමටික් සොසයිටි කියලා එකක් පටන් අරගෙන බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර වගේ ඌව පළාතේ තැන් කීපයක වේදිකා නාට්ටි හදලා පෙන්නුවා. මාරක දෛවය, සංගීත පිස්සා වගේ වේදිකා නාට්‍ය. ඊටපස්සේ මම හමුදා පොලිසියට බැඳුණා. 1958දී මම කොළඹට ආවා. ආධුනිකයන්ගේ විසිර යෑමේ උත්සවයේදී සොල්දාදුවන් හාරසිය ගාණකින් මම දෙවැනි තැනට තේරුණා. මම අවුරුදු පහක් රාජකාරි කළා. හමුදා පොලීසියේ ඉද්දි මම බොක්සින්ග්, පිහිනීම, පාපන්දු වගේ ක්‍රීඩාත් කළා. හමුදා පොලීසියේ පලවෙනි පිහිනුම් කණ්ඩායමේ නායකයා මම. හමුදාවේ ඉද්දි මාරුවීම් එක්ක මන්නාරම, දියතලාව වගේ විවිධ තැන්වල මම වැඩ කළා. මට ඒ රස්සාව දිගටම කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. හමුදාවෙන් ඉවත් වෙලා මොකද්ද දන්නවාද කළේ? ඔයා පුදුම වෙයි ඒක ඇහුවොත්.”

    නොනවත්වා යටගිය මතක එකිනෙක ගලපා දිගහරින එක මදකට නතර කළ රෙක්ස් නැවතත් මදෙස බැලුවේ බැරෑරුම් මුහුණක් මවා ගනිමිනි. පසුව චිත්‍රපටවල මෙන් කට කොනකින් සිනහවක් පා නැවත කතාව ආරම්භ කළේය.

    “මම අච්චර හොඳ පඩියක් ලැබෙන රස්සාවක් අතහැරලා ගුවන්විදුලි සංස්ථාවේ “ආධුනික පැය”ට සම්බන්ධ වුණා. ඒක කළේ කරුණාරත්න අබේසේකර. ඒ තරගෙන් මම දෙවෙනි තැන දිනාගත්තේ පළවෙනි තැන දිනුවේ නන්දා මාලනි. ඊටපස්සේ ගුවන්විදුලි සංස්ථාවේ නැවුම් මිහිර වගේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මගේම ගීත හතරක් පහක් විතර කිව්වා.”

    ජීවිතය අන් අයට අවැසි ලෙස නොව ගත කළ යුත්තේ තමාට අවැසි පරිදිය. රෙක්ස් කොඩිප්පිලි නම් තරුණයාද තමන්ගේ ජීවිතය තමන්ට අවැසි ලෙස ගත කර ඇති හැඩයි. ඔහුගේ ඉලක්ක විවිධය. එකිනෙකට වෙනස්ය. එහෙත් ඒවායින් ඔහු ජීවිතය විඳීන්නේය. හමුදාවෙන් ඉවත් වුණු රෙක්ස් හෝටල් ක්ෂේත්‍රයට තිබුණු ආසාව නිසා ටයිම්ස් ගොඩනැඟිල්ලේ ආපනශාලාවේ කළමනාකරු ලෙස වැඩ ආරම්භ කළාලු. කලක් එහි සේවය කළ රෙක්ස් ආපනශාලාවට නිතර යන එන මහත්තයෙකුගෙන් ගෑස් පහ හන්දියේ මරීනා හෝටලයේ රැකියාවකට පැමිණි ආරාධනාවක් භාරගත්තේය. පසුව ඔහු සලාකා හොටලයේ කළමනාකරු ලෙස රැකියාව අරඹා ඇත. එහිදී රෙක්ස්ට ඩොමී ජයවර්ධන, ඔස්වල්ඩ් ජයසිංහ වැනි රංගන ශිල්පීන් නිරන්තරයෙන් හමුවන්නට අවස්ථාව ලැබී ඇත.

    රෙක්ස් තම හෝටල් රැකියා ජීවිතයේ අත්දැකීම් නොනවත්වා දිගහරිමින් සිටියි. හෝටලේ රැකියාව කළ රෙක්ස් සිනමා නළුවෙකු වූයේ කෙසේදැයි විමසන්නට මට ඇවැසි වුවද කතාව අතරමැදට පැන බැනුම් අසන්නට ඇති බිය නිසාම මුවින් නොදොඩා අසා දිගටම ඔහුගේ කතාව අසා සිටියෙමි. රෙක්ස් කතාව මදකට නතර කළ සැණින් මගෙන් ඔහුට නොඉවසිමත් පැනයකි.

     

    “සිනමා නළුවෙක් වුණේ කොහොමද?”

    “මම සිනමාවට එක් වුණේ අහම්බෙන්. මගේ මුල්ම චිත්‍රපටය තිරගත වුණේ හරියටම මීට වසර පණහකට කලින් 1971 දී. 1971 දවසක චිත්‍රපට නළු මගේ මිත්‍ර ඔස්වල්ඩ් ජයසිංහ, චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා එක්ක මාව හොයාගෙන සලාකා හෝටලයට ආවා. එතනදී අපි අතරේ පොඩි සංවාදයක් ඇති වුණා.”

    ඔස්වල්ඩ් – “මෙන්න මම කිව්ව මිනිහා. මගේ හොඳම යාළුවෙක්. බිහිසුණු වැඩ, අවදානම් වැඩ කරන්න හරිම සූරයා“

    “රෙක්ස් මේ මිස්ටර් පෙරේරා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්“

    මම – “ඔව් මම අහල තියෙනවා මිස්ටර් කේ.ඒ. ඩබ්ලිව්. කවුද නොදන්නේ?“

    මිස්ටර් පෙරේරා – “රෙක්ස් අපේ “කතුරු මුහත්“ චිත්‍රපටයේ වැඩ භාගයක්ම ඉවරයි. ඔස්වල්ඩ්, රෙක්ස්ව රෙකමන්ඩ් කරන කොට චිත්‍රපටයේ තිබුණේ වලිගය විතරයි. ඒත්… පික්පොකට් ගහන සුළු චරිතයක් තියෙනවා. ඒක මම ඩිවොලප් කරන්නම්. කැමතිද? ඔයාට තියෙන්නේ නීලා ලියනගෙදර කියන අලුත් නිළියගේ හෑන්ඩ් බෑග් එක අරන් දුවන්න.“

    මම – “මම කැමතියි මිස්ටර් පෙරේරා.“

    “චිත්‍රපටයේ රඟපාන කොට සහාය අධ්‍යක්ෂ කුමාරදාස වාගීස්ව මිස්ටර් පෙරේරාට ඉල්ලීමක් කළාට පික්පොකට් චරිතය වෙනුවට මට වෙන චරිතයක් දෙන්න කියලා. මිස්ටර් පෙරේරා මං වෙනුවෙන්ම අලුත් දුෂ්ට චරිතයක් ක්‍රියේට් කළා.”

    රෙක්ස්ට මේ අතරවාරයේ චිත්‍රපටවල සටන් දර්ශනවල ප්‍රධාන නළුවන් වෙනුවෙන් ක්‍රියාදාම දර්ශන සඳහා “ඩබල්“ චරිත ද කිරීමට අවස්ථාව ලැබුණි. “හතර දෙනාම සූරයෝ“ චිත්‍රපටයේ එක සූරයකු ලෙස රඟපෑ සේනාධීර රූපසිංහ පිටුපස පොලීසිය දුහුබඳීන දර්ශනය කොටහේනේදී රූගත විය. එහිදී සේනාධීර ඇඳ සිටි කමිසය හා කලිසමට සමාන ඇඳුමින් සැරසී, වේගයෙන් මෝටර් බයිසිකලයෙන් වැඩ පෙන්වමින් පදවා ගෙන ගියේ රෙක්ස්ය. රෙක්ස් එවැනි අවදානම්, ක්‍රියාදාම ‘ඩබ්ල්‘ වැඩ කිරීමට ගජ සමතෙකි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා තම ඊළඟ චිත්‍රපටය වූ “ලොකුම හිනාව“ට රෙක්ස්ට පැවරුවේ බෙල්ල කැඩෙන කොන්ත්‍රාත්තුවකි. එය රෙක්ස්ගේම වචනවලින් කිවහොත්,

    “මම උණ ලී පටවා ගෙන ඉස්සරහට එන කරත්තයකට උඩින් මෝටර් බයිසිකල් එක වේගයෙන් පදවා ගෙන කරත්තය උඩින් පැන්නුවා. උණ බම්බු දිගේ ගිය මගේ බයිසිකලය ලිස්සලා පාර පැත්තට වීසි වෙනවා මට දැනුණා. මම හැඩලය තද කරලා අල්ලා ගත්තා. මට එච්චර දුර යන්න ලැබුණේ නෑ. මට සිහිය ලැබුණේ ඊටපස්සේ දවසේ රෝහලේදී. උණ බම්බු කරත්තය දිගේ ගිහින් මගේ කකුලක් කැඩිලා තිබුණා. මේ මාරක පිම්මෙන් පස්සේ එක කකුලක් කඩාගෙන අවුරුද්දක් විතර එකම තැන හිටියා.“

    සිනමා ප්‍රේක්ෂකයන්ට ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක අත්දැකීම් ලබා දෙන්නට ඔවුන් කෙතරම් කැප කිරීම් කරනවා ඇත්ද? තාක්ෂණය නොදියුණු වකවානුවක ත්‍රාසජනක ජවනිකා තාත්විකව රිදී තිරයට ගෙන ඒමට ඔවුන් ගත් ජීවිත අවදානම ප්‍රසංසනීයය. සිනමාවට හා පුරා කියා පය තැබූ විගසම අඩු කඩාගත් රෙක්ස් කොතෙක් පාඩම් ඉගෙන ගත්තත් මාරක පිමි පැනීමේ කෙළවරක් නම් නොවූ බව දශක පහකට අධික සිනමා ජීවිතය දෙස බැලූවිට පැහැදිලි වෙයි.

    “රඟපාපු චිත්‍රපටවල මතක හිටින සටන් ජවනිකා මොනවද?” නිකටට අත රඳවාගෙන ‍දෙනෙත් හිස් අවස්කාශයට යොමු කරමින් බැරෑරුම් කල්පනාවක යෙඳුණු රෙක්ස් නැවතත් මා දෙස බලා දිගු කතාවක් ආරම්භ කළේ.

    “අපරාධය හා දඬුවම“ චිත්‍රපටයේ දර්ශනයක ඔස්වල්ඩ් ජයසිංහටයි මටයි මාරක සටනක් තිබුණා. මේ දර්ශනය රූපගත කළේ මාලිගාතැන්න කන්දේ ලොකු ගලක් උඩ. ඔස්වල්ඩ්ගේ මට දුන්නු වේගවත් පහරකින් බිමට වැටුණා. මාව කන්ට්‍රෝල් කරගන්න බැරුව අඩි හාරසීයක් පහළට වැටී ප්‍රපාතයකට වැටෙන්න ගියා. එදා මට දෙයියෝ සිහි වුණා. රූටලා යද්දි ය මම ගහක අත්තක එල්ලුණ. ඒ අත්ත කැඩිලා වැටුණේ බිම ගල් ගොඩක් උඩ තිබ්බ වීදුරු ගොඩකට. බරපතල තුවාල ඇතුව සතු තුනක් මම හොස්පිට්ල් එකේ හිටියා. මේ මොන මාරක පිමිද ළමයෝ? මම යුද්ධ හමුදා පොලීසියේ ඉන්නකොට මෝටර් සයිකල් කරණම් ගහලා ශූරතා පෙන්නලා කරණම් කණ්ඩායමේ නායකයා වුණේ ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරලා. ඔන්න බබෝ බිල්ලෝ එනවා“ චිත්‍රපටයේ මට තිබුණා උඩට හෙලිකොප්ටරයකට අමාරුවෙන් ගොඩ වෙලා ගාමිණී ෆොන්සේකා එක්ක සටන් කරන ජවනිකාවක්. ඒක මට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම “දුප්පතාගේ හිතවතා“ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට හිටපු බැප්ටිස්ට් ප්‍රනාන්දු පැදගෙන ගිය කාර් එක මෝටර් බයිසිකලයකින් ෆලෝ කරලා බයිසිකලය අතඇරලා කාර් එක ඇතුළට තුළට පනින දර්ශනයක් තිබුණා. ඒක මම බොහොම ආසාවෙන් කරපු එකක්. “කල්‍යානි ගංගා“ චිත්‍රපටයේදී දයානන්ද ජයවර්ධන එක්ක බෝට්ටුවක් ඇතුළේ ගහගන්න සීන් එකක් තිබ්බා. ඒකත් මට අමතක වෙන්නේ නැහැ. තොටවත්තගේ “මරුවා සමඟ වාසේ” චිත්‍රපටියේ ජවනිකාවක විජය මට වෙඩි තියෙනවා. ඒ වෙඩිල්ල ඇත්තටම මගේ බඩට වැදුණා. ඒක තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ඇත්තටම මට මරුවා සමඟ වාසය කරන්න වෙන්නේ.”

    මහත් ආශාවකින් සේම ආඩම්බරයකින් එකල දැමූ වැඩකිඩ ටික රෙක්ස් මා ඉදිරියේ දිගහරියි. ත්‍රාසය, භීතිය, කුතුහලය, ප්‍රචණ්ඩත්වය ආදී එකී මෙකී නොකී විශම හැඟීම් සමඟ දෑස් විසල් කර මම ඔහුගේ කතාවලට සවන් දෙමි. කතාව නැවතූ සැණින් හිතට නොව කටට ආ පැනය මම රෙක්ස්ගෙන් නොවලහා විමසුවෙමි.

     

    “මේවා කරන්න බය හිතුණේ නැද්ද”

    එය ඔහුට විහිළුවකි. උඩු ඇන්දේ දත් සියල්ලම විලිස්සමින් සිනහවක් පෑ ඔහු මට පිළිතුරු දුන්නේ සරදම් විලාශයකිනි.

    “ඒ මොකටද බය වෙන්නේ? බය නම් ඒවා කරන්න යනවාද? විසේ තියෙනවා නම් ඕවා කජු කනවා වගේ වැඩ. අනික පොඩි කාලේ ඉඳලා කැලෑවල වැල්වල එල්ලිලා ගිහින් වගේම හමුදා පොලිසියේදී ලබපු අත්දැකීම් නිසා ඕවා කරන එක මහලොකු දෙයක් නෙමෙයි මට.”

    රෙක්ස් පණපෙවූ චරිත අතරින් ඔහුට අමතක නොවන සුවිශේෂී චරිත මොනවාදැයි විමසන්නට මා අමතක කළේ නැත. මුවන්පැලැස්ස චිත්‍රපටයේ කදිරාගේ චරිතය, රක්තා චිත්‍රපටයේ දානුගේ චරිතය, සාගරිකා චිත්‍රපටයේ රත්නේ අයියාගේ චරිතය, කොටි වලිගය චිත්‍රපටයේ එන සාජන්ට් සිල්වාගේ චරිතය ඔහුට සදා අමරණීය චරිතය. රෙක්ස් පැවසූ පරිදි මුවන්පැලැස්සේ කදිරා වැනි චරිත කරන්නට “හරිහමන් කදිරෙක්” තවමත් නැත. එවැනි කදිරෙක් එන බවක් ඔහුට පෙනෙන්නේද නැත. කොටි වලිගය චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1987 සරසවිය සම්මාන උලෙළේ රංගන කුසලතාවක් වෙනුවෙන් ඔහු සම්මානිත විය. එය තම සිනමා දිවියේ ලද මුල්ම සම්මානය බව රෙක්ස් කියා සිටියේය.

    රෙක්ස් කොඩිප්පිලි යැයි කියූ සැණින් මෙරට සිනමාව හුරු පුරුදු සියල්ලන්ගේම සිත්වල චිත්‍රණය වන්නේ ප්‍රතිවීර චරිතයකි. එසේත් නැතිනම් දුෂ්ටයාගේ චරිතයයි. ඒ තරමට රෙක්ස්ට දුෂ්ටයා අයිඩෙන්ටිටි වී ඇත. මම රෙක්ස්ගෙන් මෙවර ඇසූයේ අමුතු ජාතියේ පැනයකි.

     

    “ප්‍රේමවන්තයාගේ චරිතය රඟපාලාම නැද්ද?”

    එක් වරම ඇහිබැමි උස් කරගත් රෙක්ස් මා දෙස බලා ආරූඪ කරගත් ගැඹුරු හඬකින් එයට මෙසේ පිළිතුරු දුන්නේයෙ.

    “මොකද නැත්තේ… මාව දුෂ්ටයා විදිහට හැමෝම දැක්කාට මාව ප්‍රේමවන්තයා විදිහට දැකපු අයත් හිටියා. “ලස්සන දවසක්” චිත්‍රපටයේ මම ශ්‍රියානි අමරසේන එක්ක රඟපෑවා. “දමයන්ති” චිත්‍රපටයේ ගීතා කුමාරසිංහත් එක්ක රඟපෑවා. අනිත් ඔක්කොම චිත්‍රපටවල මම දුෂ්ටයා තමයි. හැබැයි මම ප්‍රේමවන්ත දුෂ්ටයෙක්.”

    ප්‍රේමවන්තයෙක් වුණත් දුෂ්ටයා දුෂ්ටයාමය. සිනමාකරුවන් දුෂ්ටයාව නිර්මාණය කරන්නේ වීරයා හොඳ මිනිසා කිරීමටය. ප්‍රේක්ෂකයාට දුෂ්ටයා අප්‍රසන්න වන තරමට වීරයා ප්‍රසන්නය. අද මෙන් නොව හැත්තෑව අසූව දශකවල රංගන ශිල්පී ශිල්පිනියෝ ඔවුන්ට ප්‍රේක්ෂක ප්‍රතිචාර නිවසට පැමිණියේ ලියුම් මලු පිටින් වග නිතර කියති. සිනමාවේ ප්‍රේමවන්තයින්ට එවැනි ප්‍රතිචාර ලැබුණ ද දුෂ්ටයන්ට ලැබෙන ප්‍රතිචාර ගැන මට කුඩාකල සිටම තිබුණේ කුකුසකි. සිනමාවේ එදා මෙදාතුර දීර්ඝ කාලයක් දුෂ්ටයා වූ සිටි තැනැත්තා දැන් මගේ ඉදිරිපිටය. පමා නොවී මා ඒ පැනය ඔහුගෙන් විමසුවෙමි.

    “මම දුෂ්ටයා වුණාට මිනිස්සු මට ආදරෙයි. හැමෝම මට කිව්වේ ඔයා දුෂ්ටයා වුණාට හරිම “ඩීසන්ට් දුෂ්ටයෙක්” කියලා. දුෂ්ටයා වෙන්න හේතුවක් තියෙනවනේ. මනුස්සයෙක් නිකම්ම දුෂ්ටයෙක් වෙන්නේ නෑනේ. ඒක ප්‍රේක්ෂකයෝ දන්නවා. සමහරු හිතනවා අපි දුෂ්ටයාගේ චරිත රඟපාපු නිසා මිනිස්සු අපිට කැමති නැහැ කියලා. එහෙම එකක් අද වනතුරු මට දැනිලා නැහැ. මාව දැකපු ගමන් සමහරු බය වෙනවා. ඒත් මං එක්ක කතා කළාම ඒ හැඟීම වෙනස් වෙනවා. මටත් ඒ කාලේ ප්‍රේක්ෂකයන්ගෙන් ලියුම් ආවා. මාසෙකට ලියුම් පනහක් හැටක් ආවා.”

    “ඒ අතරේ ආදරය ප්‍රකාශ කරපු ලියුම් තිබුණේ නැද්ද?” මගෙන් නැවතත් හරස් ප්‍රශ්නයකි.

    “ඔව්. එහෙම ලියුම් තිබුණා. වීරයාට වගේම දුෂ්ටයාට ආදරය කරන ගෑණු ළමයිනුත් ඉන්නවානේ. දුෂ්ට ගෑනු ළමයි නැත්තේ නෑ.”

     

    සිනාසෙමින් ඒ සුන්දර අතීතය සිහිපත් කරන රෙක්ස්ගේ සිනමා අතීතය තවත් සුන්දර කළ මිත්‍රයන් බොහෝය. ජීවිතයෙන් වැඩි කාලයක් සිනමාව වෙනුවෙන් වැය කළ ඔහුගේ දුක සැප බෙදා ගත් කළණ මිතුරන් කවුරුන්දැයි විමසුවෙමි. ඔහුගේ මිත්‍ර ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ගාමිණී ෆොන්සේකාය. ඕනෑම විෂය පරාසයක දැනුම හෙබි ගාමිණී සමඟ වීදුරු හිස් කරමින් විවිධ දෑ කතා කළ, සංවාද සංලාපවලින් වර්ණිත රාත්‍රීන් රෙක්ස් සිහිපත් කළේය. ගාමිණී සමඟ එකම කාමරය බෙදාගත් එකම සගයා තමා බවත් ගාමිණී භීෂණය සමයේ මාතරින් ඡන්දය ඉල්ලන විට බිය සැක නැතිව ගාමිණී සමඟ ඡන්ද වැඩවලට තමා ගියේ ඔහු ලබාදුන් ඒ මිත්‍රත්වය නිසා බවත් රෙක්ස් කියා සිටියේය. ඊළඟට රෙක්ස් කිව්වේ ඔහුගේ මිතුරා විජය කුමාරතුංග ගැනය. තමන් නිෂ්පාදනය කළ බයිසිකලේ චිත්‍රපටයටද කිසිදු මුදලක් අය නොකර විජය කළ රංගනය අදටද රෙක්ස් අගය කරන්නේය. උගත්කම සහ වැදගත්කම අතින් විජය තම මිතුරු ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව රෙක්ස් අප සමඟ පැවසුවේය.

    සිනමාවේ ප්‍රතිවීරයා ගොඩනැඟෙන්නේ එවැනි තවත් ප්‍රතිවීරයන්ගේ ඒකරාශියකිනි. සටන් ජවනිකාවලදී තමන් හා කරට කර සටන් කළ සටන් නළුවන් කවුරුන්දැයි රෙක්ස් කොඩිප්පිලිගෙන් විමසන්නට මා අමතක කළේ නැත.

    “ගාමිණී ෆොන්සේකා, බැප්ටිස් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, විල්සන් කරු, මර්වින් ජයතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරොන් මයිකල්, සුමිත් මුදන්නායක වගේ අයගෙන් මමත් ගුටි කෑවා. එයාලත් මගෙන් ගුටි කෑවා. ඒ තරහා ගුටි බැට ජවනිකාව ඉවරවෙනකං විතරයි. ඊටපස්සේ බොහොම මිත්‍රශීලී යාළුවෝ එයාලා. මේ අයගෙන් මට සැර පාරවල් වැදුණේ ගාමිණීගෙන්. ගාමිණී ගහන පාරවල් ඇත්තටම වදිනවා.”

    එදා ගාමිණීලා විජයලා ටෝනිලා සිනමාවේ වීරයා වුණේ රෙක්ස්ලා ඇලෙක්ස්ලා දුෂ්ටයෝ වුණු නිසාවෙන් බව පිළිගත යුතු සත්‍යකි. වීරයාගේ රංගනය ප්‍රේක්ෂක සිත් ඇදබැඳ ගත්තේ ප්‍රතිවීරයාගේ ප්‍රතිචාරාත්මක රංගනය නිසාවෙනි. එහෙයින් වීරයන් නොමැති සිනමාවක් නොමැති සේම ප්‍රතිවීරයින් නොමැති සිනමාවක්ද නැත. වර්තමාන සිනමාවේ ප්‍රතිවීරයින් ගැන රෙක්ස්ට ඇත්තේ අප්‍රසන්න හැඟීමකි.

    “වර්තමානයේ සිනමාවේ දුෂ්ටයෝ නැහැ. ඒත් දැන් ඉන්න ඔක්කොම වගේ ඇත්ත ජීවිතයේ දුෂ්ටයෝ. හරියට හැසිරෙන්න දන්නේ නැහැ. තැනකට ගිහින් මිනිස්සුන්ට හරියට කතා කරන්න දන්නේ නැහැ. ඒ වගේම දැන් හරිහමන් උස මහත නළුවොත් නැහැනේ. දැන් ඉන්නේ දුෂ්ටයෝ නෙමෙයි තොත්ත බබාලා. දැන් සිංහල සිනමාව නැති වෙන තැනට ඇවිත් වගේ. ඒකට හේතුව චිත්‍රපටි පෙන්නන හෝල් වහලා. එහෙම පසුබිමක හොඳ දුෂ්ටයෝ සිනමාවට එයි කියලා හිතන්න බැහැ.”

    සිනමා රංගනයෙන් නොනැවතුණු රෙක්ස් තිරකතා රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසද ක්ෂේත්‍රයට පැමිණියේ 1982 තිරගත වූ “බයිසිකලේ“ චිත්‍රපටයෙනි. ඩැනී ඩබ්ලිව්. පතිරණ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග, ජෙනිටා සමරවීර, රෙක්ස් ප්‍රධාන චරිත රඟපෑහ. බයිසිකලේ චිත්‍රපටය ඔහු තේමා කොට ගත්තේ එතෙක් චිත්‍රපටයකින් සාකච්ඡා නොකළ බොක්සිං ක්‍රීඩාව ගැනය. එහි ප්‍රධාන චරිත දෙක බොක්සිං ක්‍රීඩාවට ළැදි සොහොයුරන් දෙදෙනෙකි. මේ දෙදෙනා බොක්සිංවලට මෙන්ම මෝටර් බයිසිකල් රේස්වලටත් දක්ෂය. චිත්‍රපටයේ විජය හා රෙක්ස් මෝටර් බයිසිකල්වලින් රජ වැඩ පෑ නළුවෝ‍. බයිසිකලය චිත්‍රපටයේදී තමන් දන්නා සියලු ශිල්ප දැක්වූ රෙක්ස් මා සමඟ පැවසුවේය.

    රෙක්ස්ගේ පෞද්ගලික ජීවිතය ගැන නොඇසුවොත් එය මේ සංවාදට අඩුවකි.

    “මගේ බිරිඳ කැතරින්ව මට හමුවෙන්නේ විවාහ යෝජනාවකින්. මට දුවලා දෙන්නයි පුතයි. පුතා තමයි මද්දුමයා. ලොකු දුව රොෂාන්තියි, පොඩි දුව සුරේකායි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ දෙන්නටම දුවයි පුතයි ගාණේ ළමයි ඉන්නවා. පුතා ප්‍රසන්න. මම ඉන්නේ පුතා ළඟ. අහස් මාළිඟා චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් මගේ පුතා. පුතාටත් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මම මුණුබුරු මිණිබිරියෝ හය දෙනෙක්ගේ සීයා කෙනෙක්. මගේ බිරිඳ මීට වසර හතරකට කලින් මිය ගියා.”

    රෙක්ස් කොඩිප්පිලි සිනමාවට අවතීර්ණ වන්නේ 1971දීය. එදා මෙදාතුර දශක පහක් තිස්සේ හතෙම දුෂ්ටයා වුණු නිර්මාණ ගණන අද ඔහුගේ හිසේ කෙස් ගණනටත් වඩා වැඩිය. ගණනින් එකසිය පනහකට අධික චිත්‍රපට සංඛ්‍යාවක දුෂ්ටයා වුණු රෙක්ස් තවමත් සිනමාවේ සහ ටෙලිනාට්‍යවල දුෂ්ටයාගේ චරිතය රඟපාන්නේය. බොහෝ නළුවන් ප්‍රේක්ෂකයන්ගේ සිත්හී ලැඟුම් ගත්තේ රෙක්ස් වැන්නවුන් ගුටි බැට කා ජීවිතද අවදානමේ හෙලා දුෂ්ටයාගේ චරිතයට පණ පෙවූ නිසාවෙනි. රෙක්ස් එදත් දුෂ්ටයාය, අදත් දුෂ්ටයාය. ඔහු කියනා පරිද්දෙන් මැරෙන්නේද දුෂ්ටයා වෙමිනි. මේ සටහන මා අවසන් කරන්නේ මා ඔහුගෙන් ඇසූ අවසන් පැනය සහ පිළිතුරු ඔහුගේම වචනයෙන් සඳහන් කරමිනි.

    “මැරෙනකං දුෂ්ටයාට රඟපාන්නද කල්පනාව?”

    “ඔව්. මම හිතන්නේ මට දිගටම දුෂ්ටයා වෙන්න වේවි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මගේ ජීවිතේම දුෂ්ටයා විදිහට රඟපෑවේ. සමහර සටන් ජවනිකාවල වුණු තුවාල තාමත් මගේ ඇඟේ තියෙනවා. තුවාල කැළැල් පනස් දෙකක් තාමත් ඇඟේ තියෙනවා. මට තාමත් එක සැරේ දෙතුන් දෙනෙක් එක්ක ගහගන්න පුළුවන්. වයසට ගියා කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ.”

     

     

     

    තිලක් පෙරේරා

     

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.