24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මම කවදාවත් ප්‍රශ්න මඟහැරලා ගියේ නෑ

    - Advertisement -
    ප්‍රතිභාපූර්ණ රංගනවේදිනී සුවිනීතා වීරසිංහ
    මැයි 13, 2021

     

    “අද කාලේ මවුපියන්ට දරුවොත් පිටුපාන එකේ සිනමාවේ කළණ මිතුරෝ ඉන්නේ කොහොමද දරුවෝ? මම තනි වෙච්ච කලාකාරිනියක්. ඒකට බොහෝ හේතු තිබුණා. මම මේ ගමන ආවේ තනියම. යන්නෙත් තනියම”

    - Advertisement -

    ඇය සමඟ කතාබහේදී එක්තරා තැනක බිමට නැඹුරු කරගත් දෑසින් ඒ බව මට පැවසුවාය. සිනමා ලෝකයේ දිදුළන තරුවල ජීවිතයේ යථාර්ථය පෙනෙන්නට ඇති තරම් බැබලෙන අලංකාර එකක් නොවන වග ඈ ප්‍රත්‍යක්ෂ කළාය. ජීවිතයේ නේකවිද හැල හැප්පීම් මැද ඈ ආ ගමන ගැන ඇයට ඇත්තේ තෘප්තිමත් සිතුවිලිය.

    ඇය සිනමාවේ කොමල, බොළඳ, සියුමැලි සිකුරුලියාය. කුළගෙදරින් දුම්බර කඳුවැටියට කැන්දන් ආ දුම්බර මැණිකේය. ශෝක සුසුම් ඉවත හෙලා ගැයුම් ගැයූ රැඟුම් රැඟූ දෙලොවක් අතර තනිවූ සිනමා තාරකාවය. දිලි දිලි දිලිසෙන එළියකින් යුතු කළුගල් අතරින් පහළ වුණු මැණිකය. වසන්තයේ මල් කැකුළය. සුවිනීතා වීරසිංහ යන නම මෙරට සිනමා වංශකතාවේ රන් අකුරින් ලියැවී ඇත්තේ එහෙයින්‍ ය.

    අනූව දශකයේ උපන් අප හැත්තෑව අසූව දශකවල චිත්‍රපට නරඹා ඇත්තේ රූපවාහිනියෙන්ය. කුඩා කල කළුසුදු චිත්‍රපට නරඹන විට මාලිනී, අනුලා, සුමනා වැනි පිරිපුන් රංගන ශිල්පිනියන් අතර දිගැටි මුහුණුවරක් සහ රුවක් සහිත එක්තරා රංගන ශිල්පිනියක් මගේ සිත්ගත්තේය. ඒ දෙලොවක් අතර චිත්‍රපටය නැරඹීමෙන් පසුවය. එකල අම්මා පැවසුවේ සුවිනීතා වීරසිංහ එකල ජනප්‍රිය රැල්ලට හසුනොවූ ප්‍රතිභාපූර්ණ සම්භාව්‍ය රංගන ශිල්පිනියක් බවය. කෙසේ වුවද මගේ සිත් ගත්තේ වර්තමානයේද නොවෙනස්ව පවතින ඇගේ අන්කොමන් ඇඳුම් විලාසිතාය. නළලතේ රැඳී මොට්ටුවද ඇගේ ඉන්දියානු ඇඳුම් විලාසිතාද නිරන්තරයෙන් මා සිත්ගත්තේය. මෙවර මා ඇයට සම්මුඛ වුණු හේතුව විශේෂය. සුවිනීතා වීරසිංහ එළඹෙන දහනව වැනිදාට ඇගේ උපන්දිනය සමනරන්නීය. ඇගේ සිනමාවේ අතීත මතක හාරවුස්සන්නට සේම ඇගේ ජීවිත අත්දැකීම් ඔබ හමුවේ ගෙනහැරපෑමට අප ඈ සොයා ගියේය.

    - Advertisement -

     

    ජීවිතයේ හත්වෙනි දශකය පසුකරමින් සිටින ඇයගේ රුව එකල මෙන්මය. වයස්ගත වුවද තුරුණු වියෙහි නටඹුන් බොහෝමයක් ඇගේ මුහුණෙහි ඉති‍රිය. දෙනෙත් සිහින් කරමින් පානා සිනාව තවමත් එසේමය. අපව ආදරයෙන් පිළිගෙන අපට ආසන පනවා ඇයද හරිබරි ගැසී ඉඳගෙන මදෙස බැලුවේ පිළිතුරු දෙන්නට සූදානම් විලාශයෙන්‍ ය. මහා රූස්ස ගසක වුවද අතීතය හාරවුස්සන්නට මුලින්ම බැලිය යුත්තේ එහි මුල් පද්ධතිය පැතිර ඇති ආකාර ගැනයි. එහෙයින් ඇගේ මුල් ටික ඇත්තේ කොහේදැයි මම විමසුවෙමි.

    “මගේ ගම දෙහිවල. මගේ තාත්තා බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක්. මම තමයි පවුලේ වැඩිමලා සහ එකම ගෑනු ළමයා. මට බාල සහෝදරයෝ පස්දෙනයි. මම පාසල් ගියෙ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඉස්කෝලේ යන කාලේ මම නර්තනයට දක්ෂයි. උඩරට නැටුම් ප්‍රාරම්භය, මධ්‍යම, අවසානය තුනම පාස් කළා. මම උසස් පෙළ කරද්දි මට ඕනේ වුණේ සමාජයට මිනිස්සුන්ට මොකක්හරි සේවාවක් කරන්න. ඒ කාලේ මම හීන දැක්කේ වෛද්‍යවරියක් වෙන්න. පාසල් ගමන ඉවර වුණාම එස්.එස්.සී.වලින් දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. වසර තුනක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පුහුණු වුණා. අවසන් වසර සම්පූර්ණ කරගන්න බැරි වුණා. මගේ දෛවය විසින් මාව වෙනත් පැත්තකට යොමු කළා.”

    - Advertisement -

     

    “ඒ කොහොමද?”

    මුහුණෙන් විවිධ ඉරියව් පාමින් ඈ කරගෙන යන අතීතාවර්ජනය මදකට නතර කළ ඈ හිඳ සිටි ඉරියව්ව වෙනස් කරමින් මවෙතට නැඹුරු වුණේය. ඒ නම් රසබර කතාවක ආරම්භය බව ඉවෙන් වැටහුණු මම හූමිටිවත් නොදී දිගටම ඇයට සවන් දුන්නෙමි.

    “දවසක් මගේ තාත්තා පත්තරේක තිබුණු දැන්වීමක් මට පෙන්නුවා. ඒක රොබින් තම්පෝගේ චිත්‍රපටයකට නළු නිළියන් තෝරන තිර පරීක්ෂණයක් ගැන දැන්වීමක්. මම ඒ තිරපරීක්ෂණයට යන්න තීරණය කළා. ඒකට මගේ අම්මා තරයේ විරුද්ධ වුණා. අම්මාට ඕනේ වුණේ මම ආයුර්වේද වෛද්‍යවරියක් වෙනවා දකින්න. අම්මාගෙ විරුද්ධත්වය එක්ක මගේ හිතුවක්කාරකම, මුරණ්ඩුකම නිසා ඒ තිරපරීක්ෂණයට ගියා. මට ඕන වුණේ නිළියක් වෙන නෙමෙයි. මට නටන්න සින්දු කියන්න පුළුවන් නිසා මගේ හැකියා උරගා බලන්න තමයි ඒකට ඉදිරිපත් වුණේ. ලංකා චිත්‍රාගාරයේ ඒ සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණේ. රොබින් තම්පෝ ඇතුළු විනිශ්චය මණ්ඩලයට මම පෙනී හිටියා. එතනට ඇවිත් හිටියා ඒ වෙනකං මම ජීවමානව දැකලා නැති සන්ධ්‍යා කුමාරි. සම්මුඛ පරීක්ෂණයෙන් සති දෙකක් යනකොට මට ලියුමක් ආවා මාව චිත්‍රපටයකට තෝරාගත්තා කියලා.”

    දෛවය යනු එවැනි අරුම පුදුම දෙයකි. මිනිස්සුන්ගෙ ජීවිත බලාපොරොත්තු නොවුණු අන්දමින් වෙනස් කරන මායාවකි. එදා සුවිනීතා නම් මුරණ්ඩු තරුණිය මවගේ විරෝධය පසෙකලා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණු හෙයින් අද අපට සුවිනීතා වීරසිංහ නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය හිමිව ඇත. එසේ නොවුණා නම් සුවිනීතා වීරසිංහ අද ආයුර්වේද වෛද්‍යවරියකි. එකල පෙම්වතුන් අමනාප වූ පෙම්වතියට සරදම් කරන්නට කීවේ සුවිනීතාගේ මංගල චිත්‍රපටයේ නමයි. රොබින් තම්පෝගේ “සුදු සඳේ කළු වළා” චිත්‍රපටයෙන් සුවිනීතා වීරසිංහ තම සිනමාගමන ආරම්භ කරන්නීය. හාහාපුරා කියා සිනමාවට එන ඇයට ප්‍රථමයෙන් ලැබෙන්නේද ප්‍රධාන චරිතයයි. බොනිෆස් ප්‍රනාන්දු සමඟ එහි ප්‍රධාන චරිතය ඈ නිරූපණය කළාය. තමා රඟපානවාට තරයේ විරුද්ධ වුණු අම්මා සමගම රූගත කිරීම්වලට ගිය ඈ අධ්‍යක්ෂවරයාට අවැසි ලෙස “සුදු සඳේ කළු වළා” නම් වාණිජ චිත්‍රපටයේ රඟපෑ බව මා සමඟ පැවසුවාය.

     

    වසර හැටකට ආසන්න ඇගේ සිනමා දිවියේ මතක හාරවුස්සන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙයින් සුවිනීතා වීරසිංහ එදාමෙදාතුර පණ පෙවූ චරිත අතර තවමත් මතකයේ රැඳෙන චරිත මොනවාදැයි විමසුවෙමි.

    “සුදෝසුදු” චිත්‍රපටයේ හීන් මැණිකාගේ චරිතය මට විශේෂයි. ඒක කේයස්ගේ (සාරග පලන්සූරිය) කවිපොතක්. ඉස්කෝලේ සාහිත්‍යයට මම සුදෝසුදු ඉගෙනගත්ත නිසා ඒ චරිතය පිළිබඳව මට යම් අවබෝධයක් තිබුණා. ගාමිණී ෆොන්සේකාත් එක්ක මම මුලින්ම රඟපෑවේ මේ චිත්‍රපටයේ. ගාමිණී ඒ කාලේ හරිම ජනප්‍රියයි. මගේ තුන්වැනි චිත්‍රපටය ඒ වගේ දක්ෂ නළුවෙක් එක්ක රඟපාන්න ලැබුණු එක ගැන සතුටු වුණා. සුදෝසුදු චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ මට සුවිශේෂ කෙනෙක් මුණගැහුණා. ඒ කවුද දන්නවාද?”

    කොහේදෝ ඈතක දෑස් කක්ෂගත කරගෙන නොනවත්වා කරගෙන ගිය මතකාවර්ජනය මදකට නතර කළ ඈ මදෙස බැලූයේ බැරෑරුම් මුහුණක් මවාගනිමිනි.

    “එදා සුදෝසුදු මංගල දර්ශනය බලන්න ඇවිත් හිටියා ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඔහු මට කතා කරලා මගේ රඟපෑම අගය කළා. පසුව ඔහුගේ “දෙලොවක් අතර” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුණු “චිත්‍රා”ගේ චරිතයට මාව තෝරගත්තා කියලා මට දැනගන්න ලැබුණා.”

     

    “කොහොමද මහා සිනමාකරු එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම?”

    කතාවට බාධා වුවද ඒ ප්‍රශ්නය මට ඇගෙන් නොඅසා සිටින්නට බැරිය. මන්දයත් මේ හමුවීම ඇගේ රංගන ජීවිතය නව මනයකට යොමු කළ නිසාවෙනි.

    “ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ ලංකාවේ දක්ෂ ප්‍රවීණම අධ්‍යක්ෂවරයා. ඔහු යටතේ රඟපාන්න ලැබුණ එක මගේ ලොකු භාග්‍යයක්. “දෙලොවක් අතර” චිත්‍රපටය තමයි මගේ සිනමා රංගනයේ කඩඉම. වානිජ රැල්ල කියන්නේ මොකක්ද තාත්වික රංගනය කියන්නේ මොකක්ද කියලා වැටහුණේ ලෙස්ටර් නිසා. ඔහුගෙන් තමයි මම තාත්වික රංගනය කියන එක හරියටම ග්‍රහණය කරගත්තේ. දෙමළ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරපු මට වානිජ රැල්ලේ සහ තාත්වික රංගනයේ ලොකු වෙනසක් දැනුණා. ඒ ද්‍රවිඩ අධ්‍යක්ෂවරු නැති නම් මම අද සිනමාවේ නැහැ. නමුත් මම වාණිජ රංගන ශෛලියෙන් මිදිලා තාත්වික රංගනය මොකක්ද කියලා ඉගෙනගත්තේ ලෙස්ටර් මහත්මයාගෙන්. “දෙලොවක් අතර” චිත්‍රපටය තමයි මගේ කලාත්මක රංගනයේ ආරම්භය. එතැන් පටන් මම හොඳ චරිත සහ හොඳ තිරරචනා තෝරාබේරාගෙන රඟපාන්න උත්සාහ කළා. ටෝනි රණසිංහ එක්ක මම එහි ප්‍රධාන චරිතය රඟපෑවේ. සිංහල සිනමාවේ මම කැමතිම රංගන ශිල්පියා තමයි ටෝනි රණසිංහ. ඔහු සමඟ ඊටපසුව මම සසරක පැතුම, හුලවාලි, සඳමාලි වගේ චිත්‍රපටවල රඟපෑවා.”

    සුවිනීතා දෙලොවක් අතර චිත්‍රපටයට පසුව වසර පහක විරාමයක් ගන්නීය. විවාහය සහ හොඳ පිටපත් නොමැති හේතු මත ඇය එම කාලය රඟපෑම පසෙකලා සිනමාව පිළිබඳ අධ්‍යයනය කරන්නීය. දක්ෂ අධ්‍යක්ෂවරු අතින් නිමැවුණු යුරෝපීය චිත්‍රපට බලමින් බටහිර සිනමාව අධ්‍යයනය කරන්නීය. සිනමාව පිළිබඳව ලියැවුණු පොත්පත් කියවන්නීය. ඇයට අවැසි වූයේ බයිස්කෝප් නිළියක් වීමට නොවේ දක්ෂ චිත්‍රපට තාරකාවක් වීමයට. ප්‍රේක්ෂකයාට යම්කිසි දෙයක් දායාද කළ හැකි චිත්‍රපටයක රඟපාන්නය. ඉන්පසුව ඇය මා රැගෙන ගියේ “වැලිකතර”ටය.

    “අවුරුදු පහකට පස්සේ මට හොඳ ස්ක්‍රිප්ට් එකක් ලැබුණා. ඒක ලිව්වේ තිස්ස අබේසේකර. ඉතාම හොඳ ප්‍රබල ප්ලොට් එකකින් ගොඩනැඟුණු පිටපතක්. ඒ වැලිකතර. වැලිකතර කියන්නේ ඩී.බී. නිහාල්සිංහගේ පලමුවෙනි ස්කෝප් චිත්‍රපටිය. මම ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම යන චරිත දෙකට මැදිවෙලා ප්‍රධාන චරිතය රඟපෑවා. අපි තුන්දෙනා එක හා සමානව අපේ රංගනය ඉදිරිපත් කළා කියලා මම විශ්වාස කරනවා ප්‍රේක්ෂකයන් ඒ තරම් ආදරයෙන් ඒ චිත්‍රපටය වැළඳ ගත්තා.”

    වැලිකතරට පසුව ඈ ඔහුව දමා යන්නට ගිය සිකුරුලියා වූවාය. සිකුරුලියා චිත්‍රපටය එච්.ඩී. ප්‍රේමරතනයන්ගේ පළමු වැනි සිනමා අධ්‍යක්ෂණයයි. එහි නාමලීගේ චරිතයෙන් ඈ කාන්තාවගේ ජීවිතයේ අවධි තුනක් රඟපෑවාය. ඒ සඳහා විජය කුමාරතුංගගෙන් සහ ජෝ අබේවික්‍රමගෙන් සුවිනීතාට ලැබුණේ නොමද සහායකි. පසුව ඈ සිංහල සිනමාවේ කුල භේදය යන සංකල්පය විචිත්‍රව චිත්‍රණය කළ “හුලවාලි”හී “සුභා” වන්නීය. එහි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා ගාමිණී හා ටෝනි අතර සුවිනීතාව මැදි කළේය. රොඩී තරුණියක වී කළ ඒ චරිත සුවිනීතාට කිසිදා අමතක නොවන වග මා සමග පැවසුවේ තෘප්තිමත් සිතිනි. විවිධ විචිත්‍ර චරිත ඔස්සේ නේකවිද රංගන ශෛලියන් ඈ ප්‍රේක්ෂකයන් හමුවේ තැබූවාය. එම එම සිනමා ප්‍රකාශනයන්ගෙන් කම්පිත වුණු ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ ඈ තුළ ඒ සදාතනිකව සිටින්නීය. ඉන්පසුව සුනිල් ආරියරත්නයන්ගේ පළමු වැනි චිත්‍රපටයේ ඈ “අනුපමා” වූවාය. සනත් ගුණතිලක සහ චාන්දනී සෙනෙවිරත්න සමඟ රඟපෑ සතිපූජා චිත්‍රපටයද ෂෙල්ටන් පයාගලගේ පළමුවැනි චිත්‍රපටය වන “මලට නොඑන බඹරු”ද ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “යුගාන්තය” සහ “ඊඩඥ ට්ධඤ ම්ඪදඨ” යන චිත්‍රපටය ඇයට අමතක කළ නොහැකි බව කීවාය. ධර්මසිරි බණ්ඩාරනායකගේ බවදුක සහ බවකර්ම චිත්‍රපටද ඇයට විශේෂය.

    “ඩී.බී. නිහාල්සිංහ, එච්.ඩී. ප්‍රේමරත්න, සුනිල් ආරියරත්න, ෂෙල්ටන් පයාගල මේ හැමෝම ප්‍රවීණ නිර්මාණකරුවෝ. ඒ අයගේ පළවෙනි චිත්‍රපටවලටම මාව දායක කරගත්ත එක සුවිශේෂයි.”

    බොහොම ආඩම්බර ලීලාවකින් එය පවසූ විට මා පෙරළා ඇගෙන් විමසුවේ අමුතු ප්‍රශ්නයකි.

     

    “නවකයන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන බය හිතුණේ නැද්ද?”

    “කිසිසේත්ම නැහැ. ඒ අය නවක වුණාට ඔවුන් සිනමාව ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඔවුන් සිනමාව හදාරලා තිබුණා. නිහාල්සිංහ කියන්නේ වියට්නාමයේ යුද්ධය පවා රූගත කරපු දක්ෂ කැමරා ශිල්පියෙක්. හොඳට පොතපත කියවපු විද්වතෙක්. ඒ නිසා මට අවදානමක් ගන්න බය හිතුණේ නැහැ. සුනිල් ආරියරත්න ක්ෂේත්‍රයට එනකොට ආධුනිකයි. නමුත් ඔහු එතකොට කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කළා. ඔහුත් හොඳ දැනුමක් සහිත විද්වතෙක්. එතකොට හැමෝටම අධ්‍යක්ෂවරු වෙන්න බැහැ. අධ්‍යක්ෂවරයෙක් වෙන්න නම් චිත්‍රපට සංස්ථාවෙන් පැවැත්වෙන විභාගයට මුහුණ දෙන්න ඕනේ. සුනිල් ඒකට කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා “දුෂ්කර ක්‍රියා” කියලා. මම එයටත් සම්බන්ධ වුණා. නවකයන් වුණාට දක්ෂයි නම් මම එදත් අදත් සහයෝගය දෙනවා. කමල් අද්දරාරච්චි අධ්‍යක්ෂණය කරපු කෙටි චිත්‍රපටයකටත් මම රංගනයෙන් දායක වුණා.”

    සිනමාවේ කඩවසම් රංගන ශිල්පීන් බොහෝමයකගේ පෙම්වතිය වීමට ඇය වාසනාවන්ත වූවාය. විවිධ චරිත හරහා සිනමාවේදී ඔවුන්ට හා පෙම් කිරීමටද ඇයට ඉඩහසර ලැබුණේය. එහෙයින් මේ පැනය ඇගෙන් නොඅසා සිටින්නට බැරි විය.

     

    “සිනමාවේදී ඔබ වැඩිපුරම ආදරය කළ පෙම්වතා කවුද?”

    “එක්කෙනෙක් කියන්න බෑ. හැමෝටම මම කරපු චරිතය අනුව ආදරය කළා. ගාමිණී ෆොන්සේකා ගැන කිව්වොත් ඔහු හරිම සුහදශීලීව සහයෝගයෙන් සතුටෙන් වැඩ කරපු කෙනෙක්. දර්ශනයක් රූගත කරන්න කලින් අපි ඒ ගැන කතා කරලා සහයෝගයෙන් කටයුතු කළේ. මම ආදරේම චරිතය තමයි ටෝනි රණසිංහ. එයා හරිම විහිළු තහළුවෙන් හිටපු කෙනෙක්. ටෝනි හිටියොත් එතැන සිනා සාගරයක්. අපි බොහොම සතුටින් සහ සැහැල්ලුවෙන් තමයි රූගත කිරීම්වලට සම්බන්ධ වුණේ. විජය කුමාරතුංගවත් මතක් කරන්න ඕනේ. ඔහුත් බොහොම සුහදශීලීව රඟපාපු කෙනෙක්. මම ඔහුගේ දේශපාලන වැඩවලටත් සහයෝගය දීලා තියෙනවා. ජෝ අබේවික්‍රම ටිකක් සීරියස් කැරැක්ටර් එකක්. එයා නිතරම කතා කළේ හොඳ හරවත් දේවල්. මේ හැමෝම එක්ක මම ජවනිකාව ගැන සාකච්ඡා කරලා තමයි රඟපෑවේ.”

    සිනමා තාරකාවකට සම්මුඛ වුවහොත් ඔහුගෙන් හෝ ඇයගෙන් නොඅසා සිටින්නට බැරි පැනයක් ඇත. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනයි. මේ හන්දියක් හන්දියක් ගානේ සිනමාපටවල පෝස්ටර්, කටවුට් ගැසුණු කොදෙව්වකි. චිත්‍රපටයක් බැලීම තම එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් කොටගත් මිනිසුන් ජීවත් වුණු රටකි. සිනමාශාලාවල පොරකමින් ගුටිබැට හුවමාරු කරගනිමින් කරගනිමින් චිත්‍රපට බැලූ මිනිසුන් විසූ දූපතකි. එහෙයින් එකල සියල්ලන්ගේම සිකුරුලියාටද ප්‍රේක්ෂකයන්ගෙන් නොමද ආදරයක් හිමිවූ බව නිසැකය.

    “මම තරුණ කාලේ මගේ ගෙදරට මිටි ගණන් ලියුම් ආවා. ඒ හැම එකකටම විවේකයක් ලැබුණු හැටියේ පිළිතුරු ලිව්වා. මගේ තාත්තා මට කියල තිබුණා හැම ලියුමකටම උත්තර ලියන්න කියලා. නමුත් ටිකක් කාර්යබහුල වෙද්දි පිළිතුරු ලියන වැඩේට අවකාශයක් නැති වුණා. හුලවාලී චිත්‍රපටයෙන් පස්සේ මට පාරේ බැහැලා යන්න බැරි තරම් මිනිස්සුන්ගෙන් ප්‍රතිචාර ලැබුණා. මම රංගන ශිල්පිනියක් වුණත් සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවිතය ගත කළේ. පාරේ යද්දි පොරකකා මං එක්ක කතා කරන්න කට්ටිය පිරෙනවා. ඒ ප්‍රතිචාරවලින් මම රඟපෑ චරිත මිනිසුන්ගේ මතකයේ රැඳෙන බව මම තේරුම් ගත්තා. ඒ ප්‍රතිචාර මට එදත් තිබුණා. අදත් තියෙනවා.”

     

    “ආදරය ගැන මොකද හිතෙන්නේ?”

    එවර මා ඇසූ ප්‍රශ්නයෙන් ඇය තිගැස්සී ගියාය. කලකට පෙර ඇගේ තුරුණු වියේදී මේ ප්‍රශ්නය ඇසුවා නම් එය අතිශය සාමාන්‍ය විය හැකිය. එහෙත් ජීවිතයේ හත්වෙනි දශකයද පසු කරන ඇගෙන් ඒ ප්‍රශ්නය මා ඇසීම ඇයට අමුත්තක් විය හැකිය. මේ පිළිතුර ඇය දුන්නේ ඉතාමත්ම සැලකිල්ලෙන් සන්සුන්ව බව කිවයුතුමය.

    “තරුණ කාලේ සෑහෙන්න ආදර ආරාධනා ඇවිත් තියෙනවා. එහෙම ආරාධනා ආවාම මම කියන්නේ “මගෙන් අහන්න එපා, ඇවිත් අම්මගෙන් අහන්න” කියලා. මට ආදරය කරපු අය ගොඩක් ඉන්න බව මම දන්නවා. සමහරුන්ට ඒ ආදරේ ප්‍රකාශ කර ගන්න බැරි වුණ බවත් මම දන්නවා. මගේ රූපයට, මගේ හඬට, මගේ රංගනයට ආදරය කරපු බොහෝ අය ඉන්නවා. ඒ බොහෝ අයට පෙරළා මට ආදරේ කරන්නත් බැහැනේ. ඒත් මම ආදරය කරලා තියෙනවා. ආදරේ ප්‍රතිඵලත් විඳලා තියෙනවා. ආදරය නිසා ජීවිතයේ යම් යම් තැන් අසාර්ථක වෙලා තියෙනවා. ආදරය කියන එක නිළියකට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ට විඳීන්න පුළුවන් දෙයක්.”

    එකල මෙරට වැසියෝ තම ඇඳුම් විලාසිතා තීරණය කළේ සිනමා තාරකාවලට අනුවය. ඔවුන් උත්සවවලට හෝ පුවත්පත්වලට පෙනී සිටි විලාසිතා එකල තරුණ තරුණියන් අනුකරණය කළ බව අම්මා කියූ බව මතකය. රුක්මනී, ජීවරානි, මාලිනීලාගේ විලාසිතා සේම සුවිනීතාගේද විලාසිතා අනුකරණය කළ තරුණියෝ කොතරම් ඉන්නට ඇත්ද? ඒ නිසාවෙන් සුවිනීතාගේ විලාසිතා ගැන අහන්න මා අමතක නොකළෙමි. කුඩා කල සිට ඇයව මගේ මතකයේ රැඳුණේ ඇයටම ආවේණික වුණු අන්කොමන් ෆැෂන් නිසාය.

    “මම රටේ ලෝකේ විලාසිතා බලලා ඒ විදිහට ඇන්දේ නැහැ. නිතරම මගේ ඇඳුම් තෝරාගත්තේ මගේ එක එක අවධියට සුදුසු ඇඳුම්. අපේ වයසට ගැලපෙන ඇඳුම්. තරුණ කාලේ ඇන්ද විදිහ වෙනස්. මැදි වයසෙදි මම ඇන්දේ තවත් විදිහකට. දැන් ඇඳුම් අඳීන්නේ ඊට වඩා වෙනස් විදිහට. ඇඟේ හැඩයට, හමේ පාටට සුදුසු විදිහට තමයි මම ඇඳුම් තෝරාගත්තේ. චිත්‍රපටවලදී අපි විලාසිතා කළේ ඒ චරිතයට අනුව. හැබැයි මම චිත්‍රපටවලත් අඟපසඟ පෙන්නන ඇඳුම් ඇන්ඳේ නැහැ. ඒ නිසා මට ගොඩක් චිත්‍රපටි නැතුව ගියා. ඇඟ පෙන්නලා අඳීන්න වෙන චරිත තියෙන හොඳ චිත්‍රපට මට ලැබුණා. ඒත් එහෙම රඟපාන්න අකමැති නිසා මම ඒ චිත්‍රපට ප්‍රතික්ෂේප කරලා තියෙනවා.”

    ගැහැණියකගේ හදවත මහමුහුදක් වැනිය. එහි අටෝරස්සියක් රහස් යටපත් වී ඇත. ජීවිතයේ එන නොයෙක් හැලහැප්පීම සම සිතින් දරා ඒවාට මුහුණදී නැවත ලොව දෙස බලා සිනාසෙන්නට ඇයට පුළුවනි. සිනමා නිළියකගේ ජීවිතය සාමාන්‍ය ගැහැනියකගේ ජීවිතයට වඩා හාත්පසින් වෙනස්ය. එහි නොකී කතා බොහොමය. සුවිනීතා වීරසිංහගේ ජීවිතයද එලෙසමය. ළං වීම්, වෙන්වීම්, සිත් බිඳීිම් අප්‍රමාණය. නිළියක් ලෙස සහ ගැහැණියක් ජීවිතයේ මුහුණ මුහුණදෙන කඩාවැටීම් සහ කළකිරීම්වලට ඇය මුහුණ දුන්නේ කෙසේදැයි මා ඇගෙන් නොඅසා සිටින්නේ කෙසේද?

    “ජීවිතය ගොඩක් ප්‍රශ්න එනවා. ඔය හැම දේකටම එකසැරේ මුහුණ දෙන්න බෑ. එහෙම ප්‍රශ්නවලට මට මුහුණ මුහුණදෙන්න බැරි අවස්ථා අනන්තවත් තිබුණා. මම හරි සංවේදී චරිතයක්. කොයිතරම් සංවේදී වුණත් මම ප්‍රශ්න මඟහැරලා ගියේ නැහැ. රැල්ල ගහලා කුණාටු ඇවිල්ලා මුහුද නිසල වෙන වෙලාවක් තියෙනවානේ. ප්‍රශ්නවලදීත් එහෙමයි. මනස සන්සුන් වුණාම ඒ ප්‍රශ්න විසඳගන්නවා. ක්‍රමානුකූලව ජීවිතේ පරිණත වෙනකොට ඒවාට මූණදෙන්න පුළුවන් හයියත් ඉබේම ලැබෙනවා. මම සෑහෙන්න කලකිරීම්වලට අසාධාරණකම්වලට මුහුණ දීලා තියෙනවා. ජීවිතයේ දරාගන්න බැරි කර්කෂ අවස්ථා ඇවිල්ලා තියෙනවා. අවස්ථාවාදී චරිත නිසා කලකිරිලා තියෙනවා. ඒ කලකිරීම් නම් අප්‍රමාණයි. නමුත් මම ඉලක්කය අතහැරියේ නැහැ. මාව වට්ටන්න ගොඩක් අය උත්සාහ කරලා තියෙනවා. මම බුද්ධිය මෙහෙයවල ඒ හැම අවස්ථාවකම ක්‍රියා කළා.”

    මද නිහැඬියාවක් අප වටා පැතිර ගියේය. ඈ පිළිතුර දී කලකිරුණු අතීතය මතක් කරන්නට මෙන් ඉවත බලා සිටින්නීය. ඇගේ පිළිතුර නිසා මාද මදකට වික්ෂිප්ත විය. කතාව වෙනතකට හැරවීමට සිතා මම වර්තමානයට ඈව ගෙන ආවෙමි.

     

    “තරුණ රංගන ශිල්පිනියන් ගැන මොකද හිතෙන්නේ?”

    “තරුණ්‍යය කියන එක හැමදාම තියෙන්නෙ නැහැනේ. ඒ කලේ අපි රඟපාපු චරිත කරන්න දැන් අලුත් අය ඕනේ තරම් ඉන්නවා. අලුත් දක්ෂ අය ඉන්නවා. තරුණ රංගන ශිල්පීන් හැමෝම හඳුන්වන්නේ තරු කියලානේ. ඒ අයගෙන් බහුතරයක් මුදල් පසුපස හඹා යන වෙළෙඳ භාණ්ඩ විදිහටයි මට පේන්නෙ. වාණිජ රැල්ලට ගොඩක් අය ගහගෙන යනවා. රංගන හැකියාව වර්ධනය කර ගන්න අවශ්‍යතාවක් එයාලට නැහැ. එයාලගේ තියෙන්නේ මුදල් සෙවීමේ අරමුණ විතරයි. මට එයාලට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ අයගේ කලාව පෝෂණය කරන්න අරමුණු කරගෙන වැඩ කළ යුතුයි. එතකොටයි තමන්ව රැකෙන්නේ. තමන් ආවේ රංගන ශිල්පිනියක් වෙන්නද තරුවක් වෙන්නද කියලා එයාලා කල්පනා කරන්න ඕනේ. කැපවීමෙන් කලාව පෝෂණය කළොත් තමයි කලාකරුවා අමරණීය වෙන්නේ.”

    සැබවින්ම ඔවුන් සදා අමරණීය චරිතය. සිනමාවේ සදා නොමැකෙන මතක සටහන් ගොන්නක හිමිකාරියක වන ඇයව සිනමා රසිකයන්ට කිසිදා අමතක නොවන වග ප්‍රත්‍යක්ෂය. සිනමා නිළියන්ට සම්භාව්‍ය සිනමාව තෝරාගෙන ඒ ඔස්සේ යෑම එකල ලේසි පහසු නැත. අද මෙන් නොව එකල ගැලරියේ විසිල් ගැසුවේ වාණිජ චිත්‍රපටවලටය. නමුත් ඇයට සැමවිටම අවැසි වූයේ තරුවක් වීමට වඩා හොඳ නිළියක් වීමටය. එනිසා ඈ සිනමාපට තෝරාබේරාගෙන තාත්වික රංගනයට මූලිකත්වය දුන්නාය. ඒ සඳහා මඟපෙන්වන ප්‍රවීණයන් ඈ පසුපස සිටි බව කිවයුතුමය. සුවිනීතා වීරසිංහ නම් සිනමාවේ සිකුරුලියා ගැන සටහන අවසන් කිරීමට මා ඇය සටහන් කළ යුතුම යැයි පැවසූ යමක් මෙසේ සඳහන් කරමි.

    “මගේ රූපය කැඩපතකින් පෙනුණාට මගේ හදවත කැඩපතකින් පේන්නෙ නැහැ. මම ආධ්‍යාත්මය ගොඩක් දියුණු කරගත්ත කෙනෙක්. මම ගොඩක් අයට උදවු කරගෙන ඉන්න කැමති කෙනෙක්. වයස කියන්නේ නොම්මරයක් විතරයි. මගේ මනස තවම තරුණයි. මැරෙන්න කලින් මට කරන්න තව බොහෝ දේවල් තියෙනවා. සිනමාව, කලාව නිසා මට ආධ්‍යාත්මය දියුණු කරගන්න එක මඟහැරුණා. සියලු දෙනාගේ මනස සුවපත් කරන්න පුළුවන් කුමක්ද මම ඒ හැමදෙයක්ම කරනවා.”

     

     

     

    තිලක් පෙරේරා

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.