24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කරළිය නිදහස් වුණු වගයි…

    - Advertisement -

     

    අටවැනි ලෝක පුදුමය ලෙසද, ලෝක උරුමයක් ලෙසද දෙස් විදෙස් ජනාදරය ඇදබැද තබාගත්තකි, “සීගිරිය”.

    - Advertisement -

    රමණීය ශෛලමය මුදුනත මත ජල තාක්ෂණය – ඉංජිනේරු තාක්ෂණය – ගෘහ නිර්මාණ ශිල්පය යන තුන් වැදෑරුම් ශක්තීන් විචිත්‍ර පෙරළියක යෙදී ඇති බැව් සනාථ කරන්නට අපට හමුවනා සාක්ෂි අතරේ කාන්තා රූ රැගත් “බිතු සිතුවම්” සුවිශේෂී වේ.

    පර්වත මුහුණතෙහි සිත්තම් වී සිටින “රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වැහි වළාකුළුත්” නිරූපණය කෙරෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සීගිරි අප්සරාවන් පිළිබඳව මතය වුණු බව කියැවේ….

    කෙසේ නමුත් නූතනයේ සිටින ජනකාන්ත කවියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ මතකයට අනුව නම් සීගිරි පර්වත මුදුන දෙස දෑස් දල්වා බලාහුන් එක් මවුතුමියක් කියමින් සිට ඇත්තේ පහත කවියයි.

    - Advertisement -

     

    “මහා සීගිරි ගලේ මුදුනක උඹේ රුව සිත්තම් වුණා

    එය බලන්නට හොරෙන් හවසක මාත් එතනට ගොඩ වුණා

    - Advertisement -

    කරඩුවක් වගෙ උඹේ උඩුකය අනෙක් උන් මැද දිළිසුණා

    මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කලුගල හෙලවුණා”

     

    දෙස් විදෙස් සංචාරකයන්ගේ කලාකාමීන්ගේ සිත්තරුන්ගේ මාහැගි ප්‍රශංසා ආදර පැසසුම් ලද කලාංගයක් ලෙස කුඩාකළ පටන් අප සිත්හි ගැඹුරුවට ළැගුම් ගෙන හිටි සංකල්පයන්ට ව්‍යාතිරේකයක් එල්ල කරමින් කවියා මතු කරමින් සිටින්නේ පෙර අසා දැනගෙන විදගෙන හිටි සුන්දර කලාකෘතියක කදුලු කතාවයි…

    කාශ්‍යප රාජ තන්ත්‍රය තුළ සිතුවමක් ලෙස සිරගත වුණු කාන්තා නිදහසත් පුද්ගල ස්වාධිපත්‍යය විෂයෙහි මගහැර අතහැර දමන ලද චෝදනාවක වේදනාත්මක අඩහැරයයි.

    වසර දහස් ගණනක අතීතයේ සි⁣ට රාජාවලියක් පසුකරගෙන අධිරාජ්‍යවාදය පරදවමින් දේශපාලන විවිධත්වයක් පසුකරගෙන ක්‍රමිකව ගමන් කරමින් අප ආ සාහිත්‍යයේ මාවත ඔස්සේ දී මේ කලාකෘතියක්ද නොඑසේ නම් යම් වේදනාවක භාව ප්‍රකාශනයක්දැයි නිසිලෙස හදුනා ගත නොහැකිව යාමෙන් ශිෂ්ඨාචාරයක් ලෙසින් අප නිරුත්තර වූ අවස්ථාවන් “සීගිරි ලලනාවන්ගේ චිත්‍රයට” පමණක්ම සීමා නොවේ.

    ගීතය – සිනමාව – නවකතාව යනාදී එකී නොකී සාහිත්‍ය අංගයන් සිසාරා යටිතලයෙන් පැතිරුණු විසල් දිය සළකුණක් සේ “සමාජ පීඩනය ” හා සූරාකෑම එදා මෙදාතුර අපට නොඅඩුව දක්නට ලැබුණි.

    පරසතු මල් චිත්‍රපටිය තුළින් අමු අමුවේ කතාබහට ලක් කෙරෙන ඕමාර් ඛයියාම් කෙනෙකු වූ බොනී මහත්තයාගේ සෙල්ලක්කාර චරිතයත් පන්ති විෂමතාවය හා ඒ ඔස්සේ පැන නගිනා සමාජ සූරාකෑම පිළිබදව අනුවේදනීය කතාන්දරයත් උක්ත කරුණ පිළිබදව නිදසුන් සපයයි.

    පහතින් දැක්වෙන්නේ ඒ කුලකයෙහිම තවත් එක් ගීතයකි.

    “තේ කූඩය පිටේ බැදන් නුඹ එනවා කන්ද උඩින්

    හුග කලකට පස්සෙයි මම දැක්කෙ ලෙච්ජමී

    මගෙ ළෙංගතු කමට ඉතින් කාගෙත් ඇස් වහල හොරෙන්

    තනි පංගලමේ හිදින්න වරෙන් ලෙච්ජමී”

     

    හුදෙක් විනෝදය දනවන ගීයක් ලෙස අප විදින්නට අහන්නට පුරැදු වී ඇතත් “ලෙච්ජමී” එවැනි සරල ගීයකට වඩා ලැයිම් සංස්කෘතිය තුළ කාන්තාවන්ට විදින්නට සිදුවන නානාවිධ තාඩන පීඩන අවලාද පිළිබඳව කදිම කියවීමක් යැයි වඩා විචාරාත්මක දෑසකින් බැලූ විට ගම්‍ය වේ…සේව්‍ය සේවක සබදතාවය තුළ පැවතිය යුතු අනිවාර්ය අචාර ධර්ම පද්ධතිය ඉක්මවා යමින් වත්තෙ මහත්තයාගේ පාරම්පරික අධිපතිවාදී ස්වරූපය බලපැවැත්වුණු ආකාරය මින් කියැවේ.

    ⁣”වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ ” මිල්ටන් පෙරේරා ශූරීන් ගයන ගීයේ මෙලෙස සදහන්ය.

     

    “සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි

    නෝන ඌට මට වැඩියෙන් ආදරෙයි

    ඇස් රතු වී දුක් කදුලැලි බේරුණා

    රක්ෂාවේ හැටි මට දැන් තේරුණා”

     

    තිරිසන් සත්වයකු වන නිවසේ සුරතල් බල්ලාගේ ආදර කරුණා අවශ්‍යතා උසස් පැළැන්තියේ නිවැසියන් අතින් සම්පූර්ණ ⁣වන අතරම නිවැසියන් හා සමාන එකම මනුෂ්‍ය ප්‍රවර්ගයේම සාමාජිකයෙකු වුවද තමන්ගේ අවශ්‍යතා උවමනා පයෙහි පෑගෙන දූවිල්ලක ගානට වැටෙන අයුරැ නිවසේ මෙහෙකරුවාගේ දෘෂ්ඨියෙන් බලා ලියා ඇති ගීතයකි මේ….

    මෙවැනි නිර්මාණ හඩගා ලොවට කියා ඇත්තේ සමකාලීන සමාජ සන්දර්භය තුල පවතින කඨෝර සමාජ යතාර්ථයම මිස මේවා හුදෙක් කලාංග ගණයට පමණක් අයත් වන ගීත නිර්මාණ යැයි කිව හැක්කේ කාටද….

    එලෙස පැවති සමාජ දිය සුළි සැඩ පහර ගල් වැටි තරණය කොට අපහසු ගමනක නිරත වූ ලාංකික ජන සමාජය යම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයකට – ඒක පුද්ගල වටිනාකම

    සමානාත්මතාවයේ නාමයෙන් යම් තරමේ ඇගයුමකට ලක්වන අවකාශයකට පත්ව ඇති යුගය දළ වශයෙන් හෝ වර්ථමානයයි.

    මෙතුවක් කාලයකට පන්ති අරගලයත් සමාජ විෂමතාවයත් විසින් නිර්මාණය කරදුන් නේකවිද චෝදනාවන් වග විභාග කෙරෙනා සමථ මණ්ඩලයක්ව පැවති “කලා අවකාශයන් – සාහිත්‍ය අංගයන් ” මිටෙන් හල කුරුල්ලන් මෙන් නිදහස්ව නිවහල්ව යොවුන් ආදරය – ස්වභාව සෞන්දර්යය – දාරක ස්නේහය වැනි ප්‍රස්තුතයන් ඔස්සේ වඩාත් සැහැල්ලුවෙන් හා සියල්ලගෙන් ස්වායත්ථව පියඹමින් යනු කලා රසවතුන් වන අපට වර්ථමානයේදී පෙනෙන්නට තිබේ.

    යටගිය දවස පන්ති අරගලයේ – සමාජ විෂමතාවයේ රොන් මඩින් අපවිත්‍රව අපිරිසිදු ව පැවති දිය පතුල කණ්ණාඩියක් සේම සුපැහැදිලිව නැතත් යම් යම් දේශපාලනමය වාරණයන්ට හා නියාමනයන්ට යටත්ව ඇතත් සාපේක්ෂව යම් ආකාර නිදහස් කරළියක් නිර්මාණය වී ඇති මෙවැනි යුගයක කලාව සාහිත්‍යයට නැවුම් මං මාවත් සොයා යමින් පෙර නොවූ විරූ අපූර්ව මානයන් අවදි කරවාගනිමින් විචිත්‍ර නිමැවුම් ජනනය කරන්නට අද දවසේ හැකිය.

    විසිරී පැවති ප්‍රකාශන අවකාශයන් හුදෙක් “සෞන්දර්යාත්මක” ඉසව් වලම රදවා තබාගන්නට ලැබෙන අවසරය හිමිය.

    නව්‍යකරණයේ නාමයෙන් විකෘති බිහි වීම හැකි පමණ අල්ප වී – සංකල්පීය විවිධත්වයකින් හා සාරවත් සන්දර්භයකින් සන්නද්ධ නවමු සාහිත කුසුම් වැඩි වැඩියෙන් හා තව තවත් සුපිපෙන්නට නියමිතව ඇත.ඉතින් අපි බලා සිටිමු.

    චාමිකා අරවින්දි

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.