24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කෝටි හයක ජීවිත අහිමි කළ දෙවැනි ලෝක යුද්ධය අවසන්ව වසර 76 යි

    - Advertisement -
    15 මැයි, 2021

    තම රටවල දේශසීමාව තවත් මදකින් ඉදිරියට ගැනීමේ අරමුණ සහිත වූ පුද්ගලයන් කිහිප දෙනෙක් හේතුවෙන් මුළු ලොවක් කඳුළු සැලීය. අවසන ඒ හේතුවෙන් මියගිය සමස්ත ය කෝටි 6ක් ලෙස ගණනය කර තිබිණි. ඒ කෝටි දෙකක් හමුදා සාමාජිකයන් සහ කෝටි හතරක් සිවිල් වැසියන් වශයෙනි. අවසන අදින් වසර 76කට පෙර ඔවුහු ඒ මහා යුද්ධයට නැවතීමේ තිත තැබූහ. ඒ වන විට පෙර පැවති ලෝකය තවදුරටත් පැවතියේ නැත. පැවතියේ සහමුලින් වෙනස් වූ ලෝකයකි. ඒ වෙනස් ලෝකය බිහිවීම පසුපස පවතින්නේද සුන්දර කතාවක් නොවේ. එහෙත් දෙවැනි ලෝකය යුද්ධය යනු කිසිදා අමතක කර දැමිය නොහැකි මානව ඉතිහාසයේ සුවිශේෂීම කාලපරිච්ඡේදයකි.

    දෙවැනි ලෝක යුද්ධයේ අවසානය ලෙස නිල වශයෙන් සැලකෙන්නේ මැයි මස 7 වැනිදාවයි. ඒ ජර්මනිය නිල වශයෙන් තම යටත්වීම ප්‍රකාශ කළ දිනයයි. එහෙත් අමතක කළ යුතු නොවන්නේ මේ දිනයෙන් පසුව අගෝස්තු දක්වා මිත්‍ර පාර්ශ්වයේ අති බිහිසුණු ප්‍රතිචාරවලට මුහණ දීමට අක්ෂ පක්ෂයේ රටවලට සිදු වූ බවයි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ 1945 අගෝස්තු 6වැනිදා හිරෝෂිමාවට සහ අගෝස්තු 9වැනිදා නාගසාකි නගරයට එල්ල කරන ලද න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයයි.

    - Advertisement -

    මේ මහා සටනට ලෝක යුද්ධය යැයි පැවසුවාට මේ සඳහා ඍජුවම දායකත්වය සපයන්නේ රටවල් කිහිපයක් පමණි. ජර්මනිය, ජපානය, ඉතාලිය, රුමේනියාව, හංගේරියාව, පින්ලන්තය, බල්ගේරියාව, ඉරාකය සහ තායිලන්තය එක් පසෙකත් අනෙක් පස ඇමරිකාව, බ්‍රිතාන්‍ය, සෝවියට් සගමය, චීන සමූහාණ්ඩුව, ප්‍රංශය , පෝලන්තය , කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, යුගොස්ලෝවියාව, බෙල්ජියම, නෙදර්ලන්තය, ග්‍රීසිය සහ නෝර්වේ යන රටවල් අනෙක් පක්ෂයේත් වශයෙන් සටනට සහභාගී වුහ. මේ හැර තවත් රටවල් රාශියකට අකමැත්තෙන් හෝ යුද්ධයට දායක වීමට සිදුවූයේ ඒ වන විටලොව බොහෝ රටවල් බලවතුන්ගේ යටත් විජිත බවට පත්ව තිබීම හේතුවෙනි.

    වසර හතරක් පුරා අති බිහිසුණු ලෙස පැවැති මේ යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය වශයෙන් සැලකිය හැකි වන්නේ සෝවියට් සංගමය මිත්‍ර පක්ෂයට සහය දීමට තීරණය කිරීමේ අවස්ථාවයි.

    පින්ලන්තයේද සහය ලබා ගනිමින් ඉදිරියට ගිය ජර්මන් හමුදා ආරම්භයේදී අති සාර්ථකවයක් අත් කර ගැනීමට සමත් විය. ඔවුන් රුසියානු භූමියෙන් විශාල ප්‍රමාණයක් අත්පත් කරගත් අතර තවත් ඉතිරිව තිබුණේ ලෙනින්ග්‍රෑඩ් සහ සේවාස්ටෝපල් වැනි නගර කිහිපයක් පමණක් විය. රුසියාව අත්පත් කර ගැනීම පහසු කටයුත්තක් සේ පෙනෙන්නට විය.

    - Advertisement -

    රුසියාවේ ස්ටාලින්ද ජපානයයෙන් ආරක්ෂා වීමට ‘මන්චුකු ඔ’ ප්‍රදේශයේ රඳවා තිබූ හමුදා භට පිරිස් පවා කැඳවා සටනට සූදානම් වූයේය. මොස්කව් අත්පත් කර ගැනීම යනු ජර්මනිය ප්‍රබල ජයක් ලැබීම බවට සැකයක් නොවීය. බැලූ බැල්මට සියලු වාසි තිබුණේ ජර්මනිය පැත්තටය. එහෙත් රුසියාවේ සහයට තවත් ප්‍රබල බලවේගයක් විය. ඒ ජර්මන් හමුදා කිසිදා අත්නොවිඳි රුසියානු භූමියේ අති බිහිසුණු ශීත සමයයි.

    මේ ශීත සමයේ තරම දන්නා රුසියානු හමුදා කල් සිටි අතර ජර්මන් හමුදා බොහෝ දුරක් ගෙවා රුසියානු භූමියට පැමිණ තිබුණේ ශීත සමයට සූදානම් වීමේ පහසුකම් ඔවුන් සතු වූයේ නැත.

    මේ සියලු සිදුවීම්වල ප්‍රතිඵල වූයේ මොස්කව් කටමුල සිටි ජර්මන් හමුදාව බර්ලින් දක්වා අති විශාල පසුබෑමකට ලක්වීමය.

    - Advertisement -

    රුසියානු හමුදාවල ප්‍රබල ප්‍රහාරයන්ට ලක් වුණු ජර්මානු හමුදා විනාශ වී ගිය අතර රුසියානු බිමේ සිට බර්ලිනය දක්වා ඔවුන් ලුහුබැඳ පැමිණි රුසියානු හමුදා හිට්ලර්ගෙ අවසන් මොහොත උදා කිරීමේ ගෞරවය අත්පත් කර ගත්හ. සැබවින්ම මේ සිදුවීම් වාර්තා වූයේ වසර 76කට පෙර මෙවැනිම සමයකය.

    මේ මහා ශීත ඍතු ප්‍රහාරය ඇතිවීමට පෙර අති සාර්ථක ලෙස ගොඩබිම, අහසේ මෙන්ම මුහුදේද දස්කම් දක්වමින් සිටි ජර්මන් හමුදාවල ප්‍රහාර ඇත්තෙන්ම විස්මයජනක විය. ඇමරිකාවට නොතිබූ දස්කම් සහිත ජර්මන් සබ්මැරීන් අත්ලන්තික් කලාපයේදී ගිල්වා දැමූ ඇමරිකානු නැව් සංඛ්‍යාව අති විශාල විය. අනෙක් පසින් මෙල්ල කරගත නොහැකි හුදකලා සටන්කරුවා ලෙස ජපානය ගිණිකොන ආසියාවෙන් විශාල ප්‍රදේශයක් අත්පත් කරගෙන තිබිණි. එහෙත් සෝවියට් හමුදා බර්ලිනය ආක්‍රමණය කිරීම වළක්වා ගැනීමට මේ කිසිවකුට හැකියාව ලැබුණේ නැත. ඒ 1945 මැයි මාසය විය.

    ඒ වන විට හිට්ලර් සිටියේ බර්ලිනයේ පොළොව යට ඉදිකර තිබූ විශේෂ බංකරයකය. ඔහු‌ගේ 56වැනි උපන්දිනය යෙදී තිබුණේ අප්‍රේල් 20වැනිදාටය. ඔහු එදින කාර්යාල පරිශ්‍රයට පැමිණ හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකුට පදක්කම් පැළඳූ බවට වාර්තා තිබේ.

    එහෙත් මේ වන විට පරාජය සනාථ වී තිබූ බැවින් හිට්ලර් හමුදා මෙහෙයුම් සඳහා උපදෙස් ලබාදීම තවදුරටත් සිදුකරමින් සිටියේ නැත. එහෙත් වාර්තා අනුව ඔහු වරක් බංකරයෙන් මතුපිටට පැමිණ යුද අවි නිෂ්පාදනය සම්බන්ධ නව ඇමතිවරයා වූ ඇල්බට් ස්පියර් කැඳවා මේ වන විට පරාජය තහවුරු බැවින් ජර්මනියේ ස්ථාපිත කර තිබූ සියලු අවි නිෂ්පාදන කම්හල් විනාශ කර දමන ලෙස නියෝග කර තිබේ.

    ඔහු අප්‍රේල් 22 තම අවසාන හමුදා ප්‍රධානීන්ගේ හමුව පවත්වා තිබේ. එහිදී පරාජය නිල වශයෙන් තම හමුදා ප්‍රධානීන් ඉදිරියේ නිවේදනය කළ හිට්ලර් ඔවුන්ට ඉතා දරුණු ලෙස බැණ වැදී තිබේ. 2004 දී තිරගත වූ ඩවුන්ෆෝල් සිනමාපටය මඟින් අධ්‍යක්ෂ ඔලිවර් හිර්ෂෙබිගෙල් විසින් මේ අවස්ථාව සිනමාපටය සඳහා අති සාර්ථකව නිරූපනය කර ඇති අතර එය නරඹන විට හැඟී යන්නේ හිට්ලර්ගේ අවසන් මොහොත දෙස අප බලා සිටින බවකි.

    කෙසේ වුවද එම අවසන් හමුවෙන් පසු කාර්යාල පරිශ්‍රයේ පැවති සියලු ලිපි ලේඛන ගිනිබත් කිරීම සිදු කළ අතර හිට්ලර් පසුව තම අවසන් ගමන සඳහා එතෙක් තම පෙම්වතිය ලෙස සිටි ඊවා බ්‍රවුන් සමඟ පොළොව යට බංකරයට පැමිණ තිබේ.

    ඊට පෙර අප්‍රෙල් 29වැනිදා ඔහු ඉතා උදාරතර කාර්යයකට ඉදිරිපත් වන්නේ තම මරණය පෙනී පෙනී තම පෙම්වතිය විවාහ කර ගැනීමෙනි.

    තමන් සමඟ මිය යන ඇය විවාහ කර නොගැනීමෙන් ලෝක ඉතිහාසයේ සදාතනිකව ඇයට අපකීර්තිය අත්වන බව වටහා ගැනීමට තරම් සංවේදී හදවතක් හිට්ලර් සතු වූ බව මෙහිලා සටහන් කළ යුතුමය. එමෙන්මයුද්ධ තමන්ගේ නායකත්වයෙන් සිදුවූ මහා ලෝක යුද්ධයක් පරාජය ලබමින් අවසන් වූ මොහොතක, තවත් පැය කිහිපයකින් දිවි නසා ගන්නා මානසිකත්වයක සිටියද තම පෙම්වතියගේ ආත්ම ගරුත්වය ගැන සිතීමට තරම් නිරවුල් මනසක් ඇඩෝල්ෆ් හිට්ලර් සතුවීම ඔහුගේ උසස් ගුණාංගයක් ලෙස සටහන් කළ යුතුමය.

    යුද්ධය ඉතිහාසය නිර්මාණය කරයි යනුවෙන් වන ප්‍රසිද්ධ කියමනට අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් හිට්ලර් ජයගත්තේ නම් ඔහු ගැන ලියවෙන ඉතිහාසය අදට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබූ අතර එයට සාපේක්ෂව මිත්‍ර හමුදා සිදු කළ ම්ලේච්ඡ පහාර පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරවු වීමට ද ඉඩ තිබිණි.

    කෙසේ වුවද දැනට ලොව පිළිගත් මතය වන්නේ හිට්ලර් අප්‍රේල් 30වැනිදා රාත්‍රියේදී ස්වකීය බංකරයේදී තම පිස්තෝලයෙන් හිසට වෙඩි තබා ගනිමින් සිය දිවි නසා ගත් බවයි. ඒ සමඟම හිට්ලර්ගෙ බිරිය ඊවා සයනයිඩ් ගැනීමෙන් මිය ගොස් සිටි බවයි. මේ පිළිබඳව සනාථ කෙරෙන සාක්ෂි සපයා ඇත්තේ හිට්ලර්ගේ බංකරය තුළ සිටි ගුවන් විදුලි පණිවිඩ හුවමාරු ශිල්පියා ලෙස කටයුතු කළ රෝමස් ටිෂ් නම් පුද්ගලයෙකි.

    ඔහු පවසා ඇත්තේ ඔහු අවසන් වරට හිට්ලර්ගේ බංකරයට ගිය අවස්ථාවෙදී හිට්ලර් හිසට වෙදි වැදීමෙන් මිය ගොස් සිටි බවත් ඔහු මිය ගොස් සිටියේ මේසයට හිස තබාගෙන බවත්ය.

    එමෙන්ම සයනයිඩ් ගිල දැමූ ඊවා සෝෆාවේ මියගොස් සිටි බවත් ඇයගේ හිස හිට්ලර් සිටි දෙසට හැරවී තිබූ බවත්, ඇය දෑතින්ම පපුව අල්ලාගෙන මියගොස් සිටි බවත් රෝමස් ටිෂ් මිත්‍ර හමුදා හමුවේ සාක්ෂි ලබා දී තිබේ. පසුව හිට්ලර්ගේ නියෝග මත සිරුරු දෙක විනාශ කර දැමීමට සෙසු නිලධාරින් කටයුතු කළ බවද ටිෂ් පවසා තිබේ.

    මේ වන විට ලොවම පිළිගෙන ඇත්තේ හිටිලර්ගේ සිරුර ගිනිතබා විනාශ කර දැමූ බවට වන මතය වුවද සෝවියට් හමුදා එලෙස ගිනි තබා දැමූ සිරුරු සොයා ගැනීමෙන් හිට්ලර්ගේ යැයි හඳුන්වා දෙනු ලැබූ සිරුරේ දැවී ගිය හිස් කබල පරීක්ෂාවට ලක් කර තිබේ.

    එහිදී හෙළදරවු වී ඇත්තේ එම හිස්කබල වයස අවුරුදු 40 ගැහැනු පුද්ගලයකුගේ හිස් කබලක් බවයි. මිය යන විට හිට්ලර් 56 හැවිරිදි වියේ පසුවූ අතර හිස්කබල් පරීක්ෂා කිරීමෙන් ගැහැනු හෝ පිරිමි බව නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව ද තිබේ.

    ඒ අනුව ලොවට රහසක්ව පැවති තවත් මතයක් සනාථ වන ලකුණු පැහැදිලිව පෙනේ.

    එම මතය ඉදිරිපත් කර ඇත්තේ දෙවැනි ලෝක යුද සමයේ යුද වාර්තාකරුවකු ලෙස කටයුතු කළ ‘ජෙරාඩ් විලියම්ස් ‘ නැමැත්තෙකි.

    ඔහු තම මතය ඉදිරිපත් කරමින් ‘හිට්ලර් ඉන් බ්‍රසීල්, හිස් ලයිෆ් ඇන්ඩ් හිස් ඩෙත්’ යනුවෙන් කෘතියක් ද පළ කර තිබේ. මේ කෘතිය මඟින් ඔහු පවසා සිටින්නේ හිට්ලර් සියදිවි නසා නොගත් බවයි.

    ඇමරිකානු ඔත්තු සේවාවල සහය මත ඔහු සහ ඊවා රහසේම ආර්ජන්ටිනාවට හෝ බ්‍රසීලයට ගෙන ගිය බව ජෙර්ඩ් විලියම්ස් දක්වා තිබේ.

    එහිදී හිට්ලර් ජර්මන් යුද රහස් සියල්ලම ඇමරිකාවට ලබා දුන් බවත් හිට්ලර් වයස අවුරුදු 73ක් දක්වා ජිවත් වූ බවත් ඔහු දක්වා තිබේ. තවද ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ හිට්ලර් දියණියන් දෙදෙනකුගේ පියකු ද වූ බවයි.

    කෙසේ වුවද හිට්ලර් මරා දැමීම සම්බන්ධව දෙවැනි ලෝක යුද සමයේදී ඇමරිකාව පාලනය කළ ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් කිසිවිටෙක කැමැත්ත පළ නොකළ බව සඳහන්ය. ඔහු සැමවිටම හිට්ලර් ජීවග්‍රහයෙන් ගැනීමට කැමැත්ත දැක්වූ බවත් යුද ජය පෙනී පෙනී 1945 අප්‍රේල් 12 වැනිදා රූස්වෙල්ට් මිය ගිය බැවින් හිට්ලර්ගේ මරණයද සිදු වූ බව ලොව පුරා ප්‍රසිද්ධ මතයයි. එහෙත් ජෙරාඩ් විලියම්ස් දක්වන්නේ රූස්වෙල්ට් මියගියද ඔහු තම කැමැත්ත රහසිගතව ක්‍රියාවට නැංවීමට කටයුතු යෙදූ බවත් එය සාර්ථක වූ බවත්ය.

    විලියම්ස්ට අනුව 1945 අප්‍රේල් 29වැනිදා හිට්ලර් සහ ඊවා ප්‍රථමයෙන්ම ඩෙන්මාර්කයට පැනගොස් තිබේ. එහෙත් පසුව ඔවුන් යළි ජර්මනියට පැමිණ තිබේ. පසුව එවකට ස්පාඤ්ඤය පාලනය කළ ඒකාධිපති පාලකයා වූ ෆැන්සිස්කෝ ‌ෆ්‍රැන්කෝ විසින් ලබා දුන් යානයකින් ඔවුන් කැනරි දූපත දක්වා ගමන් කර තිබේ. එතැන් සිට ඇමරිකානු සහයෙන් ඔවුන් ආර්ජන්ටිනාවට හෝ බ්‍රසීලයට ගමන් කර තිබේ.

    මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද ලෝකය පිළි ගන්නේ 1945 මැයි මාසය වන විට තවදුරටත් හිට්ලර් කෙනෙක් නොසිටි බවටය.

    ඒ සමඟින් එතෙක් දැල්වී තිබූ ගෑස් කාමර ගිනිදැල් නිවී ගිය අතර, නිතිපතා අහිංසක මිනිසුන් ලක්ෂ ගණනින් වධකාගාර වෙත ගෙන ගිය දුම්රිය ද නවතා දමනු ලැබීය.

    ඉතිහාසයේ අති බිහිසුණු පිටුවක් එසේ වැසී ගොස් වසර 76ක් ගත වුවද මිනිසුන් ලෙස අප මේ සියල්ල බිඳකුදු නොඅඩුව මතකයේ තබා ගත යුතුය.

    ඒ මෙවැනි සිදුවීම් යළි සිදුවීමටත්, මෙවැනි පුද්ගලයන් යළි ඉස්මතු වීමටත් මොහොතක ඉස්පාසුවක් පමණක් ප්‍රමාණවත් වන බැවිනි.

     

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.