24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    පරදින්න බය නම් දිනන්නත් බෑ

    - Advertisement -
    Author(s): 
    නිරෝෂාන් ප්‍රියංකර

    ශ්‍රී ලංකා පිල හෙට බංග්ලාදේශ සංචාරය අරඹයි

    තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (16) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

    - Advertisement -

    එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සැකසීමේ අරමුණින් මේ තරගාවලියට කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය යටතේ සංචිතයක් නම් කර තිබේ.

    නායකත්වයෙන් හිමි වීමෙන් පසු කුසල් ජනිත් පෙරේරා පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක් වූ අතර, එහිදී ඔහු පැවසුවේ තරග පරදින්න බය නම් ජයග්‍රහණය ද කළ නොහැකි බවත්, තරග ජයග්‍රහණය කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ක්‍රමවේදය මේ වන විට කණ්ඩායමෙන් ගිලිහී තිබෙන බවත්ය.

    “මම දකින විදියට අපට තරග දිනන්න නම් අපි බය නැතිව ක්‍රිකට් ගහන්න ඕන. මොකද මැච් එකක් පරදින්න බයේ දිනන්න බැහැ. බයේ ගහන්න ගහන්න වෙන්නේ අපි තව පහළට වැටෙන එක විතරයි. නිර්භීතව ක්‍රීඩා කළොත් අපිට සමහර වෙලාවට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. තමන්ව විශ්වාස කරලා තමන් දන්න දේ ක්‍රීඩාංගණයට ගිහිං කරන්න පුළුවන් විශ්වාසයක් ක්‍රීඩකයන්ට දෙන්න තමයි මම හදන්නේ. ඒ විදිහෙ සංස්කෘතියක් තමයි මම හදන්න බලාපොරොත්තු වෙන්නේ”

    - Advertisement -

    සියලු ක්‍රීඩකයන් සියයට සියයක් සිය දායකත්වය තරගයකදී කණ්ඩායමට දිය යුතු අතර, ඉතා වැදගත් වන්නේ ඒ දවස තුළ තම උපරිමය කණ්ඩායමට දෙන්නේ කෙසේද යන්න බවත් ඔහු කීය.

    “කවුරු පුහුණු කළත් කවුරු නායකයා වුණත් ක්‍රීඩකයන් 11 දෙනෙක් ක්‍රීඩා කරන්න ඕන. එතකොට ක්‍රීඩකයන් 11 දෙනාගෙන් ලැබෙන දේ තමයි අන්තිමට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවත් එක්ක තරගය දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ. සියලු ක්‍රීඩකයන් තම තමන්ගේ වැරැදි හඳුනා ගනිමින් ඒවා නිවැරැදි කර ගත යුතුයි. තමාගේ ස්ථානය රැක ගැනීම වෙනුවෙන් ක්‍රීඩාවේ නිරත වුණත් ක්‍රීඩකයන්ගෙන් සියයට සියයක දායකත්වයක් කණ්ඩායමට ගන්න බෑ.” කුසල් ජනිත් පෙන්වා දුන්නේය.

    තමාට නායකත්වයට භාර දෙන්නේ කොපමණ කාලයකට යන්න දැනුම්වත් කර නැති අතර, කෙසේ වෙතත් මේ දුන් වගකීමේදී තමාට අවශ්‍ය ජයග්‍රාහී සංස්කෘතියක් ඇති කිරීම බවත් කුසල් ජනිත් පවසයි.

    - Advertisement -

    “මම නායකත්වයක් බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් නෙවෙයි. මම ගිහිල්ල ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. මට වගකීමත් දෙන්න තමයි එයාලා කතා කළේ. ඉතිං මම දන්නේ නෑ කොච්චර කාලෙකට එයාලා (තේරීම් කමිටුව) සැලසුම් කරලා තියෙනවාද කියලා. මගෙ පැත්තෙන් මම බලන්නේ ජයග්‍රාහී සංස්කෘතියක් කණ්ඩායමේ හදන්න. එක පාරටම ඒක හදන්න බෑ.”

    ඉතා වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයකු වන කුසල් ජනිත් අන්තර්ජාතික එක්දින තරග 96කට සහභාගි වී ඉනිමක ලකුණු ගැනීමේ සාමාන්‍ය 31.04ක් රඳවා ගෙන සිටින්නේ ප්‍රහාරාත්මක වේගය 92.04ක් ලෙස සටහන් කරමිනි.

    “මම ගොඩක් වෙලාවට ලකුණු 50- 60 ගහලා අවුට් වෙනවා. මේ තේරීම් කමිටුව මගෙන් බලාපොරොත්තු වෙන්නේ මට එම සංඛ්‍යාව ලකුණු 100 දක්වා රැගෙන යන්න කියලා. මාත් ඒක පෞද්ගලිකවම පිළිගන්නවා. මම 50ක් හරි 60ක් හරි ගහලා අවුට් වෙනවට වැඩිය 100ක් ගැහුවොත් මැච් එකක් දිනන චාන්ස් එක වැඩියි. හැම මැච් එකේම 100 ඒවා ගහන්නත් බෑ. නමුත් අපිට හොඳ ආරම්භයක් එක්ක තරගයක වගකීමක් අරගෙන ගහන්න පුළුවන් තරගය හොඳින් ඉවර කරන්න පුළුවන් කියන තැන මමත් ඉන්නවා” කුසල් ජනිත් කීය.

    කණ්ඩායමේ කඩුලු රකින පිතිකරුවකු ලෙස බංග්ලාදේශයට එරෙහි තරගාවලියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන කුසල් ජනිත් ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා නොකළ හොත් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට බලාපොරොත්තුවෙන් සිටී.

    බංග්ලාදේශ තරගාවලියට නම් කළ සංචිතයේ ආරම්භක පිතිකරුවන් රැසක් සිටින අතර, ධනුෂ්ක ගුණතිලකට අනිවාර්යයෙන්ම එහි එක් ස්ථානයක් හිමි වනු ඇත.

    ආරම්භක පිතිකරුවන් ගැන කුසල් ජනිත් පැවසුවේ “තේරීම් කමිටුවයි පුහුණුකරුයි එක්ක කතා කරන්න ඕනෑ. ඕපන් කරන්න ධනුෂ්ක ඉන්නවා, මම ඉන්නවා කිහිප දෙනෙක්ම ඉන්නවා. 2023 විතර වෙනකල් සැලසුමක් තියෙන්න ඕනැ කවුද ඕපන් කරන්නේ කියලා. මොකද හැමවෙලාවෙම ගොඩක් ක්‍රීඩකයන්ව මාරු කළොත් ටීම් එකක් කවදාවත් හැදෙන්නේ නෑ. දික්වැල්ලත් ලිස්ට් එකේ ඉන්නවා. මේ සංචාරයේ මම කඩුලු රකින්න ඉන්නෙ. මොකද ඉස්සරහට අපි කණ්ඩායම සමබර කරන්නෙ කොහොමද කියල බලන්න ඕනෑ. මොකද ගොඩක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙතන අඩුයි. ඒ නිසයි මම ආරම්භක පිතිකරුද අංක 3 පිතිකරුද කියලා තීරණය වෙන්නේ.”

    හෙට ආරම්භ වන බංග්ලාදේශ සංචාරයේදී පන්දු රැකීමෙන් ලොකු වෙනසක් අපේක්ෂා කරන බවත් කී කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අන්තර්ජතික තරග අත්දැකීම් වැඩි වුවත්, ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන් දේශීය පිටියේ දී ලබා ඇති අත්දැකීම් අන්තර්ජාතික පිටිය තුළට ගෙන යෑම වැදගත් බවත් කියා සිටියේය.

    බංග්ලාදේශයට එරෙහි නවකයන්ගෙන් සමන්විත සංචිතයේ උප නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්ය. ඔහු සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුසල් ජනිත් පැවසුවේ නව වගකීම හේතුවෙන් ඔහුගේ පිතිකරණයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බවයි.

    මෙන්ඩිස්ට විවේකයක් දීමට ගත් තීරණය ඉතා නිවැරදි බවත්, ඒ කාලයේදී ඔහුගේ දුර්වල තැන් හදාගනිමින් හොඳින් පුහුණුවීම් කර කණ්ඩායමට එක්වීම නිසා ඔහුගෙන් උපරිමය ගත හැකි බවත්ය.

    “කුසල් මෙන්ඩිස්ට විවේකයක් හම්බ වුණ එක හොඳයි. ඕනැම ක්‍රීඩකයෙක් උඩට යනව පල්ලෙහාට යනව. ඒ කාලෙට විවේකයක් ලැබෙන එක හොදයි. නව වගකීමත් එක්ක තමයි එයා කණ්ඩයාමට එක් වෙන්නේ. එතකොට පිතිකරණයේදී එයා ටිකක් වෙනස් වෙයි කියලා මට හිතෙනවා. එයාට දිගු ඉනිම් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට වගකීමක් දුන්නම එයාගෙන් උපරිමය ගන්න පුළුවන් වෙයි කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා.” කුසල් ජනිත් පැවසීය.

    හෙට බංග්ලාදේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා පිල 21 වැනිදා සංචිතයේ ක්‍රීඩකයන් අතර, පුහුණු තරගයකට එක් වෙයි.

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 23 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි තරග 25 වැනිදාත්, තෙවැනි සහ අවසන් තරගය 28 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.