24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මැදපෙරදිග අර්බුදයේ නොනිවෙන ගිනි

    - Advertisement -
    Author(s): 
    ධම්මික සෙනෙවිරත්න

    පලස්තීනය දිගින් දිගටම කියා සිටින්නේ සය දින යුද්ධයේ දී ඊශ්‍රායලය බලහත්කාරයෙන් අත් කර ගත් බිම්වලින් ඉවත් විය යුතු බවය. එහෙත් එසේ ඉවත් වීම වෙනුවට ඊශ්‍රායලය සිදු කළේ එම බිම්වල ජනාවාස ඇති කිරීමය. හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා ඊශ්‍රායලය ක්‍රියා කරන අතර ඊශ්‍රායල් ආක්‍රමණ ත්‍රස්තවාදි ක්‍රියාවන් බව හමාස් සංවිධානය පවසයි.

    ලෝකයම වසංගතයකට එරෙහිව සටන් කරමින් මිනිස් ජීවිත බේරා ගැනීමේ වෑයමක යෙදී සිටිය දී රොකට් ප්‍රහාරවලින් මිනිස් ජීවිත විනාශ කරමින් මැදපෙරදිග සටන් ඇවිලී තිබේ.

    - Advertisement -

    ඊශ්‍රායල් පොලිසිය සහ පලස්තීන වැසියන් අතර සති කිහිපයක් තිස්සේ ගැටුම් ඇති විය. පලස්තීනුවන් විසින් යුදෙව්වන්ට එල්ල කළ ප්‍රහාරවලට ඊශ්‍රායල් පොලිසිය රබර් උණ්ඩ, වෙඩි උණ්ඩ හා ග්‍රෙනේඩ්වලින් ප්‍රතිචාර දක්වා තිබේ. ඉන් සිය ගණනක් තුවාල ලැබූහ. අඟහරුවාදා ගාසා තීරයේ පිහිටි මහල් 13කින් සමන්විත හනාදි ටවර් ගොඩනැඟිල්ල ඇතුළු ස්ථානවලට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල විය. හමාස් සංවිධානයේ දේශපාලන මූලස්ථානය ද එම ගොඩනැඟිල්ලේ පිහිටා තිබූ අතර නායකයන් කිහිප දෙනකු එහි පදිංචිව සිටි බව ද වාර්තා වේ. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් තිස් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණි. ඉන් දහ දෙනකු කුඩා දරුවන්ය.

    රොකට් ප්‍රහාර 130කට වඩා එල්ල කරමින් තමන් ද ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වූ බව හමාස් සංවිධානය පවසා තිබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි එලෙස එල්ල වූ රොකට් ප්‍රහාර ගණන දෙසීය ඉක්මවන්නට ඇත. ඒවා පතිත වූයේ tel-aviv නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලටය. ඊශ්‍රායල වාර්තාවලට අනුව එම ප්‍රහාරවලින් පස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. එම ඇතැම් රොකට් ප්‍රහාර ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් ගුවනේදීම විනාශ විය. ප්‍රහාර හා ප්‍රති ප්‍රහාර වෙනුවෙන් ඊශ්‍රායල් අහස දිස්වූයේ ගිනිකෙළි සංදර්ශනයක් මෙනි. ඊශ්‍රායලයේ බෙන් ගුරියන් (ben gurion) ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමට සිදු වූ අතර තෙල් නළ මාර්ගයට ද ප්‍රහාර එල්ල වී තිබිණි.

    හමාස් මිලිටරි ඉලක්ක

    - Advertisement -

    ඉකුත් සඳුදා පලස්තීනුවන් හා ඊශ්‍රායල් පොලිසිය අතර ගැටුම් ඇති වූයේ අල් අක්සා පල්ලිය පිහිටි භූමියේදීය. මෙම පූජනීය ස්ථානය ඉස්ලාම් භක්තිකයන් මෙන්ම යුදෙව්වන් විසින් ද තම තමන්ගේ පුදබිමක් ලෙස සලකනු ලබයි.

    ගාසා තීරය ආශ්‍රිතව අගමැති ඒරියල් ෂැරොන්ගේ (arial sharon) පාලනය යටතේ නීතිවිරෝධිව ඇති කළ යුදෙව් ජනාවාස මෙම ගැටුම් ඇති වීමට ආසන්න හේතුවයි.

    ඊශ්‍රායලය ප්‍රකාශ කරන්නේ තමන් මෙම ගුවන් ප්‍රහාර එල්ල කළේ හමාස් මිලිටරි ඉලක්කවලට බවය. එම ප්‍රහාරවලින් හමාස් හා ජිහාඩ් සටන්කරුවන් පහළොස් දෙනකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි එම වාර්තාවල දැක්විණි.

    - Advertisement -

    මැදපෙරදිග ගිනියම් කරමින් මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිව තිබෙන්නේ 2014 වර්ෂයේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇති වූ යුද ගැටුමෙන් පසුවය. හමාස් රොකට් ප්‍රහාරවලට පසු ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ පලස්තීනය රතු ඉර පැන ඉදිරියට විත් තිබෙන බවය. ඒ වෙනුවෙන් පලස්තීනයට ඉහළ වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි ද ඉන් පෙන්වා දී තිබේ. ඇතැම් විදේශිකයන් ද පවසන පරිදි මෙවැනි ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙතැයි අපේක්ෂා කළ නොහැකි තරම්ය. එහෙත් එය සිදුවී ඇත.

    හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනීයේ පවසා ඇත්තේ මේ තත්ත්වය මීට වඩා තීව්‍ර කිරීමට ඊශ්‍රායලයට අවැසි නම් පලස්තීනය ද ඊට සූදානම් බවය. එසේම එය මෙතැනින් නතර කිරීමට ඔවුන්ට අවැසි නම් තමන් ද එය මෙතැනින් නතර කිරීමට සූදානම් බව ඔහු පවසා තිබිණි.

    විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ක්‍රීඩාව මුළුමනින්ම වෙනස් කිරීමට තරම් මේ තත්ත්වය හේතු වනු ඇති බවය. හමාස් සන්නද්ධ ප්‍රධානියාගේ නිවෙස ද පිහිටා තිබූ හනාදි මහල් නිවාස සංකීර්ණය ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් මුළුමනින්ම විනාශයට පත්ව ඇත.

    නීති විරෝධී ජනාවාස

    අල් අක්ෂා පල්ලිය පිහිටි පෙදෙසෙන් වහාම සිය හමුදා භටයන් ඉවත් කරගන්නා ලෙස හමාස් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම සඳුදා පැවැති ගැටුම් අතරතුර අත්අඩංගුවට ගත් සියලු පලස්තීන වැසියන් පිළිබඳ සඳහන් කළ යුතු බව ද නැඟෙනහිර ජෙරුසෙලම ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඇති කළ නීති විරෝධී ජනාවාස ඉවත් කරගන්නා ලෙස ද හමාස් සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ.

    උද්ගතව ඇති තත්ත්වය වඩාත් උණුසුම් අතට හැරෙනු ඇත්දැයි යන්න ගැන ලෝක ප්‍රජාව බිය පළ කරති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පෞද්ගලික මට්ටමින් හදිසි රැස්වීමක් ද පවත්වා තිබිණි. අමෙරිකාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය දුරදිග ගෙන නොයන ලෙසටය.

    පලස්තීන අගමැති මොහොමඩ් ෂතායේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරමින් සිය ජනතාවට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණ නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත. හමාස් සංවිධානයේ මහ ලේකම් ෂියාඩ් අල් නකලා සිය ජනතාව හමුවේ සපථ කර ඇත්තේ සටන නතර නොකරන බවටය. ආපසු නොහැරෙන බවටය. ඊශ්‍රායලය කියා සිටින්නේ ද සිය ක්‍රියාමාර්ග නතර නොකරන බවය. දෙපාර්ශ්වයම මෙවැනි ස්ථාවරයක පිහිටා සිටින පසුබිමක එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශයක් නිකුත් කරමින් නැඟෙනහිර ජෙරුසලම ප්‍රදේශයේ පවතින තත්ත්වය ගැන දැඩි ලෙස අවධානය යොමු කර ඇතැයි සඳහන් කර තිබිණි. ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර මෙන්ම ගාසා තීරය දෙසින් ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් ද ජීවිත අහිමි වූ හා තුවාල ලැබූ අය වෙනුවෙන් ඔවුහු කනගාටුව පළ කර ඇත.

    ඊශ්‍රායලය විශේෂ අවස්ථාවල දී සේවයට ගෙන්වන ආරක්ෂක හමුදා භට පිරිස් පන්දහසක් සේවයට කැඳවා ඇති බව ද වාර්තා විය. අමෙරිකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයක මෙම ප්‍රහාර පිළිබඳ සඳහන් වූයේ මේවා පුහුණුවක් හෝ යුද අභ්‍යාසයක් නොවන බවය. මේ සැබෑ රොකට් ප්‍රහාර බව ඉන් දැනුම් දී තිබුණේ ඒවා අහිංසක වැසියන් ඉලක්ක කර ඇතැයි ද දක්වමිනි. ඉන් ළමයින් සහ වැඩිහිටියන් තුවාල ලබා ඇතැයි ද එම පණිවිඩයේ සඳහන් වෙයි. අරාබි ලීගයේ ප්‍රධානී අහමඩ් අබුල් ගෙයිට් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හඳුන්වා ඇත්තේ කිසිදු වග විභාගයකින් තොරව සහ වගකීම් විරහිතව එල්ල කළ ප්‍රහාරයක් වශයෙනි. ජෙරුසලම ආශ්‍රිතව නිර්මාණය වී ඇති අනතුරුදායක පරිසරය වඩාත් අයහපත් අතට හැරීම පිළිබඳ ඊශ්‍රායලය වගකිව යුතු යැයි ද එහි සඳහන් විය.

    නැඟෙනහිර ජෙරුසලම සිය අගනුවර ලෙස ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පලස්තීනය රාජ්‍යයක් බවට පිළිගැනීමෙන් පසු අගනුවර වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත්තේ ද ජෙරුසලමය.

    සය දින යුද්ධය

    ටෙල් අවිව් පුරපති යායිර් රෙවිවෝ පවසා සිටියේ අරාබි තරුණයන් නගරයේ දේපළවලට අලාභ හානි කළ බවය. ඊශ්‍රායල් ධජය බිම හෙලා පලස්තීන ධජය එසවූ බවය. අල් අක්ෂා පල්ලිය පරිශ්‍රයේ රාමසාන් සමය බැවින් බොහෝ ඉස්ලාම් භක්තිකයන් ද රැඳී සිට ඇත. පල්ලියේ ප්‍රකාශකයකු පවසා තිබුණේ ඊශ්‍රායල් පොලිසිය ඔවුන් ඉවත් කිරීමට උත්සාහ කළ බව සහ ඒ සමඟ දෙපාර්ශ්වය අතර ගැටුම් හට ගත් බවය. එසේම ඊශ්‍රායල් ජාතිකයන්ගේ ඇතැමෙක් ද 1967 සය දින යුද්ධයේ දී ජෙරුසලමේ පැරණි නගරය අත් කර ගැනීම සමරමින් සිටි බව වාර්තා විය.

    පලස්තීනය දිගින් දිගටම කියා සිටින්නේ සය දින යුද්ධයේ දී ඊශ්‍රායලය බලහත්කාරයෙන් අත් කර ගත් බිම්වලින් ඉවත් විය යුතු බවය. එහෙත් එසේ ඉවත් වීම වෙනුවට ඊශ්‍රායලය සිදු කළේ එම බිම්වල ජනාවාස ඇති කිරීමය. හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා ඊශ්‍රායලය ක්‍රියා කරන අතර ඊශ්‍රායල් ආක්‍රමණ ත්‍රස්තවාදි ක්‍රියාවන් බව හමාස් සංවිධානය පවසයි.

    මැදපෙරදිග අර්බුදය වශයෙන් ප්‍රකටව ඇති ඊශ්‍රායල් පලස්තීන ගැටුම්කාරීත්වයට දශක හතකට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් විසඳුමක් ලැබී නොමැත. පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම ද මෙතෙක් සිදුව නැත. පලස්තීන නායක යසර් අර්පත් ජීවිත කාලය මුළුල්ලේ ගෙන ගිය අරගලය ජයග්‍රහණය නොකරම මිය ගියේය. පලස්තීනය වෙනුවෙන් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් පුද කර ඇත. මෙම අර්බුදය නිමා කිරීම සඳහා දරන ලද ප්‍රයත්නය වෙනුවෙන් 1994 දී අර්පත් ද, ඊශ්‍රායල් අගමැති ෂිමෙන් පෙරෙස්ට හා යිට් සැක් සබීන්ට නොබෙල් සාම ත්‍යාගය ද හිමිවිය. කෙසේ වුවද තවමත් මැදපෙරදිග උණුසුම් කරමින් නිමාවක් නොදැනම එය පෙරට යමින් තිබේ. වාර්තා වී ඇති පරිදි කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පවා ඊශ්‍රායලය සිය ජනාවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටිති.

    ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි මේ දිනවල ඇති වී තිබෙන මෙම උණුසුම්කාරී තත්ත්වය පලස්තීනයේ තුන් වැනි ඉන්ටිෆාඩාවට හේතු විය හැකිය. එනම් ඊශ්‍රායලය බලහත්කාරයෙන් හා නීතිවිරෝධීව අයත් කරගෙන ඇති ප්‍රදේශවලට එරෙහි පලස්තීනුවන්ගේ විරෝධයයි. මේ යුද්ධය විසඳුමකින් තොරව ඉදිරියට යැම යනු මැදපෙරදිග සාමය පිළිබඳ අපේක්ෂා බොඳ වීමය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.