24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ඉන්දීය ක්‍රිකට් පිල පවුල් පිටින් එංගලන්තයට

    - Advertisement -

    දරුවන්-බිරියන් ජෛව බුබුළු ආරක්ෂක වළල්ලට

     නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සහ එංගලන්ත පිල සමඟ ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත් වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සති දෙකකට අධික නිරෝධායන කාලසීමාවක් ගත කිරීමටත්, මාස තුනකට අධික කාලයක් ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක රැඳී සිටීමත් සිදුවී තිබේ.

    - Advertisement -

    මේ දීර්ඝ කාලසීමාවේදී ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ මට්ටමක පවත්වාගැනීම සඳහා ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලට ඔවුන්ගේ බිරිය හා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටී.

    පසුගිය අයිපීඑල් තරගාවලියේදී ද එක් එක් කණ්ඩායම් ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ල තුළ රැඳී සිටියේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ වන අතර, එංගලන්ත සංචාරයේදිත් එම ක්‍රමවේදය අනුගමනය කිරීමට තීරණය වී ඇත.

    එංගලන්ත සංචාරයට සහභාගි වන ඉන්දීය ක්‍රීඩකයන් දැනටමත් මුම්බායි නුවර කේන්ද්‍ර කරමින් ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක රැඳී සිටින අතර, ඊට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඇතුළත්ව සිටිති. එහෙත් එංගලන්තයේදී තම ක්‍රීඩකයන්ට සිය පවුල්වල සාමාජිකයන් සමඟ එකම ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක රැඳී සිටීමේ හැකියාව මෙතෙක් තහවුරු වී නොමැත. මේ සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.

    - Advertisement -

    ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද ඒ දිනවලම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර, එම සංචාරයට එක් ටෙස්ට් තරගයක්, එක්දින හා විස්සයි20 තරග 3 බැගින් ඇතුළත්ය. එබැවින් පිරිමි හා කාන්තා කණ්ඩායම් මුම්බායි නුවරට ඒකරාශි කර එහි සිට ජූනි මස 2 වැනිදා එකම ගුවන්යානයකින් ලන්ඩනය බලා පිටත්වීමට නියමිත බව වාර්තා වේ.

    පිරිමි කණ්ඩායමට ක්‍රීඩකයන් 20 දෙනකු ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැලසුම වී ඇති අතර, ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අද සිට මුම්බායි නුවරදී ආරම්භ වනු ඇත. සංචාරයට එක්වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ පුහුණු කාර්ය මණ්ඩලය විශේෂිත ගුවන්යානා මගින් මේ වනවිටත් මුම්බායි නුවරට පැමිණෙමින් සිටිති.

    දැනටමත් නායක විරාත් කෝලි, උපනායක අජින්ක්‍යා රහානේ, ප්‍රවීණ පිතිකරු රෝහිත් ෂර්මා සහ ප්‍රධාන පුහුණුකරු රවී ශාෂ්ත්‍රී මුම්බායි නුවර හෝටලයක නිරෝධායන කාලසීමාව ගත කරමින් සිටිති.

    - Advertisement -

    ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලට එක්වීමට පෙර මේ සියලුදෙනාම පීසීආර් පරීක්ෂණ තුනකින් සමත්විය යුතු අතර, ලන්ඩනය බලා යෑමට ගුවන්යානයට ගොඩවීමට පෙර තවත් පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය.

    ඉන්දීය ක්‍රීඩකයන් පළමුව නවසීලන්තය සමඟ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයට සහභාගි වන බැවින් ඔවුන්ගේ ගමනාන්තය වන්නේ එම තරගය පැවැත්වීමට නියමිත සදම්ප්ටන් නුවරය. එහිදී දින 10ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමට ද ඉන්දීය පිලට සිදු වනු ඇත.

    ඉන්දියාව සහ නවසීලන්තය අතර ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය ජූනි මස 18 සිට 22 දක්වා පැවැත්වේ. ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගමාලාව අගෝස්තු මස 4 වැනිදා නොටින්හැම් නුවරදී ආරම්භ වන අතර, අවසන් ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 10 වැනිදා මැන්චෙස්ටර් නුවරදී ආරම්භ වේ.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.